විශේෂාංග

රාජසිංහ රජුගේ ආත්මය තවමත් සීතාවක සැරිසරනවා?

‘‘හරි නම් අපිත් අද බූට්ස් දාගෙන එන්නයි තිබුණේ’’ සීතාවක රාජසිංහ රජුට නපුරු උණ කටුව ඇනුණු බවට පතල රුවන්වැල්ලේ පෙතන්ගොඩ උයනට පා තබන අතරේ පසන් රූපසිංහ කීය.

‘‘මොකද සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට වගේ අපිටත් නපුරු උණ කටුවක් ඇනුණොත්’’ ඔහු ඒ සමගම කීයේ මා හා පැමිණි සෙසු සාමාජිකයා වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහට ඇසෙන සේ මදෙස බලා ඇසක් ඉඟි මරමිනි. වෛද්‍ය අමරසිංහගේ මිතුරකු වන පසන් මේ වන විට පරිගණක ග්‍රැෆික් නිර්මාණවේදියකු ලෙස කටයුතු කරයි.

‘‘නමුත් රජ්ජුරුවෝ මැරුණේ උණ කටුවේ විසට නෙවෙයි උණ කටුව ඇනුණු තුවාලෙට විස බැන්ද නිසා කියලා නේද කියන්නේ? ඔය කියන විදිහට පසන්ටත් උණ කටුවක් ඇනුණොත් දොස්තර යාළුවා තුවාලෙට විස බඳියි කියලද බය’’ මම ද වෛද්‍ය අමරසිංහට නොහැඟෙන සේ පසන්ට ඇසක් ඉඟි මරමින් කීවේ රාජසිංහ රජ්ජුරුවන්ට ගෙතී තිබෙන කතාව සිහිපත් වන නිසාය.

‘‘රාජසිංහ රජ්ජුරුවන්ට කොහොම වුණත් රාජසිංහ රජ්ජුරුවන්ගෙ ඉතිහාස කතාවට නම් කවුරු කවුරුත් බරපතළ විදියට විස බැඳලා තියෙනවා. මම මේ උත්සාහ කරන්නේ ඒ විසත් අයින් කරලා දාන්න’’ අප කී දේ වැඩි තැකීමක් නොකළ වෛද්‍ය අමරසිංහ කිව්වේය.

‘‘ඒක ඇත්ත. සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට බරපතළ අසාධාරණයක් සිද්ධ වුණ බව මේ පළාත්වල ජන හදවත්වලට තදින්ම කා වැදිලා තියෙනවා. මේ පළාත්වල හුඟක් මිනිස්සු අදටත් ඒ ගැන කම්පා වෙනවා. ඒ වගේම මේ පළාත්වල වැඩි දෙනෙකුගේ හිත්වල රජ්ජුරුවෝ ගැන ගෞරවයක් වගේම ලොකු අනුකම්පාවකුත් තියෙනවා’’ මම කීවෙමි.

මීට වසර පහළොවකට පමණ පෙර වෙසක් පෝ දිනක ‘සැඳෑ ගොම්මනේ’’ මම අමිතිරිගල තල්දූව හරහා සීතාවක හන්දිය තෙක් වැටී ගත් මාවත ඔස්සේ ගමන් කරමින් සිටියෙමි. එහි සීතාවක රාජසිංහ සොහොන වශයෙන් නම් කොට ඇති පුරාවිද්‍යාත්මක ස්මාරකය දුටු සැණින් මට පුදුම සිතිණි. ඒ කවුරුන් හෝ එම පුරාවිද්‍යා ස්මාරකය අවට පොල්තෙල් පහන් දල්වා ඇති අයුරු දැකීමෙනි. ඒ රජුට ආදරය, ගෞරවය, සේම අනුකම්පාව දක්වන සීතාවක වැසියන් විසින් විය යුතුය.

‘‘ඒ කතාව සහතික ඇත්ත. අනුරාධපුරයේ මිනිස්සු දුටුගැමුණු රජ්ජුරුවන්ටත් පොළොන්නරුවේ මිනිස්සු මහා පරාක්‍රමබාහු, කියන රජවරුන්ටත් දඹදෙණියේ මිනිස්සු තුන්වැනි විජයබාහු රජ්ජුරුවන්ටත් කෝට්ටේ මිනිස්සු හයවෙන පරාක්‍රමබාහු රජ්ජුරුවන්ටත් නුවර මිනිස්සු පළමුවැනි විමලධර්මසූරිය, රජවරුන්ටත් විශේෂ ආදර ගෞරවයක් දක්වනවාද කියන්න නම් මං හරියටම දන්නේ නැහැ. ඒත් අවිස්සාවේල්ල, රුවන්වැල්ල, හංවැල්ල, කඩුවෙල, වගේ පළාත්වල හුඟ දෙනෙක් සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට සලකන්නේ තමන්ගේ මියගිය වැඩිහිටි ඥාතියකුටත් වඩා ගරු සරු ඇතිව.’’ වෛද්‍ය අමරසිංහ කීයේ මුළුමනින්ම ඇත්තකි.

‘‘තමන්ට සිද්ධ වුණු බරපතළ අසාධාරණය නිවැරදි කර ගන්න සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ ආත්මය තවමත් සීතාවක රාජධානියේ සැරිසරනවාය කියන විශ්වාසයකුත් අදටත් මේ පළාත්වල තියෙනවා’’ මා එසේ කීයේ මීට දශක එක හමාරක පමණ සිට මාද සීතාවක ජනශ්‍රැති අධ්‍යයනයක යෙදී සිටි බැවිනි.

‘‘ඒත් සමහරු කියන විදියට රාජසිංහ රජ්ජුරුවෝ මරණයෙන් පස්සේ යක්ෂාත්මයක් ලැබුණාය කියනවා නේද?’‘ පසන් අසන ලද්දේ ඔහුද දැන් කලෙක සිට සීතාවක ඉතිහාසය පිළිබඳ මූලාශ්‍ර පරිශීලනය කරන්නකු බැවිනි.

‘‘සීතාවක රජ්ජුරුවෝ යක්ෂයෙක් වුණාය කියන මතය රජ්ජුරුවන්ට එරෙහි උඩරට භික්ෂූන් වහන්සේලා පිරිසක් ගොතපු කතාවක් විදිහටයි මම දකින්නේ.’’

‘‘සීතාවක රාජසිංහ ගැන බරපතළ ලෙස උනන්දු වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ඉතිහාස පර්ෙ ය්ෂකයෙක් ද වෙයි. ලක් ඉතිහාසයේ බොහෝ දෙනකුගේ නෙත නොගැටුණු අප්‍රකට කාල පරිච්ඡේද පිළිබඳ විශේෂ උනන්දුවක් පළ කරන ඔහු යුරෝපීයයන්ගේ ආගමනයට පෙර චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව අතර පැවැති සම්බන්ධතා මුල් කොට ‘‘ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම’’ නමින් පර්ෙ ය්ෂණාත්මක කෘතියක් 2014 වසරේ ලියා පළ කළේය. එමෙන්ම වෛද්‍ය අමරසිංහට 2005 වසරේ සිට රාජකීය ආසියාතික සමිතියේ සාමාජිකත්වයක්ද හිමිය. මේ ළමා රෝග විශේෂඥයාට සීතාවක රාජසිංහ රජතුමා ගැන උනන්දුව ඇති වීමද තරමක රසවත් කතාවකි. එය වෛද්‍ය අමරසිංහයන්ගේම වදන්වලින් කිවහොත් මෙලෙසිනි.

‘‘සීමාවාසික පත්වීමෙන් පස්සේ මට අවිස්සාවේල්ලේ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ පත්වීමක් ලැබුණා. අපිට නයිට් ඩියුටි වැටෙන කොට රෑට තියෙන්නේ ඇඩ්මිෂන් බාර ගන්න. කොහොම හරි ඔය කාලේ හැම තිස්සේම වගේ රෑ අටත් – දොළහත් අතර වගේ වෙලාවල්වලදී ඉස්පිරිතාලෙට නයි දෂ්ඨ කරපු මිනිස්සුන් හරියට අරන් එනවා. ඒ කාලේ අද තරම් ත්‍රීවීලර් නොතිබුණු හින්දද, ලෙඩ්ඩු ගෙනාවේ අර අපි ‘‘පාන් බාගේ’‘ කියන බස්වලින්. ඒ එනකොට මුළු බස් එක පිරෙන්නම කට්ටියක් එනවා. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ව හසුරුවා ගන්නත් අමාරු වෙනවා.

ඒ වගේ දවසක මම මාත් එක්ක නයිට් ඩියුටි කරපු ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් නිකමට වගේ ඇහුවා මේ පැත්තේ මොකද මෙච්චර නයි ගහන්නේ. මොකක්ද මේ දෙගොල්ලො අතර තියෙන විරසකේ කියලා. එතකොටම ‘‘මේ මනුස්සයා ඉස්සර ඉඳලම එහෙම තමයි සර්, අපේ රජ්ජුරුවෝ නැති වුණෙත් නයෙක් ගහලනේ කිව්වේ නැතැයි,’’ එතකොටම මාත් ඇහුවා, කවුද අපේ රජ්ජුරුවො කියන්නේ කියලා. මොකද සමහර වෙලාවට ගම් ප්‍රධානීන්ටත් රජ්ජුරුවො කියනවනේ. ඔය කිරිඳිවැල පැත්තේ මෑතක හිටපු ප්‍රභූවරයකුට අදත් මිනිස්සු කියන්නේ රජ්ජුරුවො කියලා. එතකොට තමයි මේ මනුස්සයා කිව්වේ ඇයි සර් අපේ ටිකිරි කුමාරයා කියලා.’’ වෛද්‍ය අමරසිංහ කීය.

ඒ කෙසේ හෝ රෝහල් උපස්ථායකවරයාගේ එම ප්‍රකාශයෙන් හටගත් කුතුහලය මත වෛද්‍ය අමරසිංහ ටිකිරි කුමාරයා නමින් හැඳින්වුණු සීතාවක රාජසිංහයන්ගේ මරණය පිළිබඳ ඓතිහාසික විස්තර ගොනු කිරීමට උත්සුක වූයේය. ඒ අනුව තමන් පළමුව සීතාවක රාජසිංහ සොහොන නමින් හැඳින්වෙන පුරාවිද්‍යා ස්මාරකය සමීපයට ගිය බවත් එහිදී මෙම කටයුත්ත ඉතා හොඳින් කළ යුතු බවට දැඩි අදිටනක් තමන් තුළ පහළ වූ බවත් ඒ අනුව අද ඉන් සතුටුදායක ප්‍රතිඵල උදාකර ගැනීමට හැකි වනු ඇති බවත් වෛද්‍ය අමරසිංහ කීය.

මගේ පශ්චාත් උපාධිය, විදේශීය පුහුණුව එහෙම ඉවර කරලා ළමා රෝග වෛද්‍යවරයෙක් විදිහට රජයේ සේවයට බැඳුනට පස්සෙත් අර අධිෂ්ඨානය මගේ හිතේ ඒ විදිහටම තිබුණා. ඒ අනුව තමයි තමා සීතාවක රාජසිංහ චරිතය ගැන තියන සියලු මූලාශ්‍ර මත පදනම් වුණු ස්වාධීන ගවේෂණයක් කරන්න පෙලඹුනේ. ඒ අනුව සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ පියා අවජාතක දරුවෙක්ය, එතුමා පියා මැරුවා. ශිව ආගම වැළඳගෙන බුද්ධ ශාසනය විනාශ කළා. අන්තිමට බලන සටනින් පැරදිලා පලා යන කොට මේ පෙතන්ගොඩ උයනේදී උණ කටුවක් ඇනිලා. ඒකට පෙතන්ගොඩ ගණිතයා විස බැන්ද නිසා මරණය සිද්ධ වුණා වගේ දැනට ජන සම්මත කතාවල ඇත්ත නැත්ත ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් තහවුරු කරන්න දැන් මට පුළුවන්’’
වෛද්‍ය අමරසිංහ කීය. වෛද්‍ය අමරසිංහ දැනට රටේ මහත් ආන්දෝලනයට පත්ව ඇති වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පදවියද හොබවමින් මෙම ගවේෂණවල යෙදීම සුවිශේෂත්වයකි. ඔහු එම තනතුර දරන ලද්දේ 1995-1997 කාල සීමාවේදීය.

‘‘රාජසිංහ රජ්ජුරුවන්ගේ ආත්මය තමන්ට සිද්ධ වුණු අසාධාරණය ගැන ලෝකයට හඬගා කියන්න අදටත් ඒ පරිසරයේ සැරිසරනවා කියන එක ජන සම්මතයක්නේ. ඒ වගේම ඩොක්ට, ඉස්සරවෙලාම රාජසිංහ සොහොන ළඟට ගිය වෙලාවේ මේ ගවේෂණය කරන්න හිතට අමුතුම ධෛර්යක් ශක්තියක් ආවනේ. එතකොට අපිට හිතන්න බැරිද රාජසිංහ රජ්ජුරුවන්ගේ ආත්මීය බලය තමන්ට සිදුවුණු අසාධාරණය ලෝකයාට කියන්න ඩොක්ටව වාහකයෙක් හැටියට යොදා ගත්තා කියලා.
මට වැඩි තැකීමක් නොමැති එලෙසින් එම අතිශය බැරෑරුම් ප්‍රශ්නය වෛද්‍ය අමරසිංහ වෙත යොමු කළෙමි.

සීතාවක රාජසිංහ නාමය දස අත සුපතල වුවද සීතාවක අවට වැසියන් එතුමන් රාජසිංහ නාමයෙන් හඳුන්වන්නේ නැත. පැරණි සීතාවක රාජධානියට අයත් ප්‍රදේශවල වැසියන් වැඩි දෙනකු රාජසිංහ රජතුමන් හඳුන්වන ලද්දේ ‘අපේ රජ්ජුරුවෝ’ යන නමිනි. මේ අතර ‘ටිකිරි කුමාරයා’ යන නමින් සීතාවක රාජසිංහයන් හඳුන්වන පිරිස්ද මෙහිදී මට හමුව තිබේ.

මහා වංශයේ සඳහන් වන අන්දමට අපේ රටේ රජවරු 182කි. මේ රජවරුන් අතර සීතාවක රාජසිංහ රජවන්නේ 173වෙනි රජු ලෙසය. දුටුගැමුණු, විජයබා, ගජබා, වළගම්බා ආදී රණශූර රජවරුන් අපට සිටියද, ඉතිහාසයේ පළමු වරට යුරෝපා ජාතීන්ටත් ඔවුන්ගේ තුවක්කු කාලතුවක්කුවලටත් පළමු වරට මුහුණ දෙන්නේ අපගේ විරයා වන සීතාවක රාජසිංහත් ඔහුගේ පියා වූ මායාදුන්නේත්ය. ටිකිරි කුමාරයා උපන්නේ 1530 දී බව ආසන්න වශයෙන් තීරණය කළ හැකිය. ඒ කාලය වන විට පරංගි කොළඹ කොටුව තනා එහි බලය තහවුරු කර ගෙන අවසන්ය.

එසේම කෝට්ටේ රටේ ප්‍රධාන රාජධානිය ලෙස සැලකුණ අතර මේ කෝට්ටේ රාජ්‍ය පැවැතියේ පරංගින්ගේ අණසක යටතේය. ටිකිරි කුමාරයාගේ පියා වූ මායාදුන්නේ සීතාවක රාජධානිය කරගෙන පරංගින්ගේ නිරන්තර ප්‍රහාරවලට මුහුණ දෙමින් සටන් වැදෙමින් සිටියේය. ටිකිරි කුමාරයාගේ ළමා කාලය ගෙවුණේ යුරෝපයේ සිට ලංකාවට පැමිණි කෲර වූත් අති දරුණු වූත් පරංගින්ගේ තාඩන පීඩන මධ්‍යයේය. එබැවින්ම ටිකිරි කුමාරයා සිටියේ ළමා කාලයේම සීතාවක රාජ්‍යයේ ආරක්ෂාවට යුද්දෙට යාමට සිදුවන පසුබිමකය.

ටිකිරි කුමාරයාට රාජසිංහ යයි නම් තැබුණේද ඔහු බාල වියේදීම කළ අසම සම සටනක් නිසාය. එයද පට බැඳි නමකි.
එදා කෝට්ටේ රජකම් කළ සත්වැනි පරාක්‍රමබාහුගේ දියණිය වූ සමුද්‍රදේවිය විවාහ කර ගන්නේ වීදියේ බණ්ඩාර නම් වූ රණ ශූරයාය. ඔහු අට ඉස්බක් අහසට පැන සතුරාට කඩුවෙන් කොටන අසහාය රණ ශූරයෙකි. මේ රණශුරයාද ඇතැම් විට ප්‍රතිකාලුන් හා එරෙහිව සටන් කළ අතර වරෙක ඔහු සීතාවකට එරෙහිව අලුත්නුවර වාඩිලා සිටියේය. නව යොවුන් වියේ සිටි ටිකිරි කුමාරයා තම අලුත් නුවර වාඩිලා වුන් වීදිය බණ්ඩාර සොයා ගියේය. වීදිය බණ්ඩාරගේ රණශූරත්වය නිසාම ඔහු හැඳින්වූයේ කෝට්ටේ ව්‍යාඝ්‍රයා යන නමිනි.

නව යොවුන් වියේ සිටි ටිකිරි කුමාරයා කෝට්ටේ ව්‍යාඝ්‍රයා සමග ද්වන්ධ කඩු සටනකට පැන්නේය. සටනින් පරාද වූ රණශූර කෝට්ටේ ව්‍යාඝ්‍රයා පලා ගියේය. ඊට පස්සේ ටිකිරි කුමාරයා වීදිය බණ්ඩාරගේ සේනාවට බරපතළ හානිකරලා ඒ සේනාවේ එකසිය විසිදෙනක්ව ගෙනත් මායාදුන්නේ රජ්ජුරුවන් ඉදිරියට පමුණුවනවා. අන්න ඒ වෙලාවේ ලංකාවේ සේනාව ටිකිරි කුමාරයාගේ නිර්භීතකම මුල් කරගෙන සිංහ රාජයා කියන අර්ථය තියන රාජසිංහ කියන නම පටබැන්දය කියල තමයි. අලකේශ්වර යුද්ධය, රාජාවලිය වගේ පොත්පත්වල සඳහන් වෙන්නේ’’ වෛද්‍ය අමරසිංහ කීය.

ටිකිරි කුමාරයා ඒ විදිහට අල්ලාගෙන ආවේ හැට ඈඳුත්තක් කියලා නේද පරණ පොත්පත්වල සඳහන් වෙන්නේ’’ පසන් අසන ලද්දේ එම ‘හැට ඈඳුත්ත’ යන යෙදුම රාජසිංහ නාමය හා සෘජුව බැඳී ඇති බැවිනි. පසුකාලීනව රජතුමා හැට ඈඳුත්තක් භික්ෂූන් වහන්සේලා සීතාවක නදියේ කලාමැදිරියන් වළේ ගිල්වා ඝාතනය කළ පුවතක් ලෙස රාජසිංහයන්ගේ චරිතය ඝාතනය කෙරෙන ‘මඩ ප්‍රචාරයක්’ පසු කාලීන පොතපතට එක් වන්නට ඇත්තේ මෙම සංසිද්ධිය මුල් කොට විය යුතු යැයි මට සිතේ. මෙහි හැට ඈඳුත්ත යනු දෙදෙනා බැගින් මාංචු දැමූ එකසිය විසි දෙනෙකි.

රාජසිංහ රජ්ජුරුවෝ එක සැරේ සතුරු බලමුළු තුනකට සාර්ථකව මුහුණ දීම හින්දා ඒ රාජසිංහ නාමය තවත් තහවුරු වුණා වෙන්න පුළුවන්. එක පැත්තකින් කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල, අනික් පැත්තකින් කොළඹ පෘතුගීසීන්, අනික් පැත්තෙන් කන්ද උඩරට පාලකයන්, මේ කියන සතුරු බලමුළු තුනටම මුහුණ දීපු රජ්ජුරුවන්ගේ රාජසිංහ නාමය මොන තරම් ප්‍රතාපවත් වුණාද කිව්වොත් ඊට පස්සේ කන්ද උඩරට රජකම් කරපු රජවරු පස් දෙනෙක්ම රාජසිංහ නමින් පෙනී සිටියනේ’
වෛද්‍ය අමරසිංහ එසේ පවසන ලද්දේ සීතාවක රාජසිංහයන්ගේ කුරිරු ඉරණම තීරණය කළ බව පැවසෙන පෙතංගොඩ උයනේ උණපඳුරු දෙස බලාගත්වනමය.

‘‘සීතාවකින් පස්සේ බිහිවුණු කන්ද උඩරට රාජධානියට රාජසිංහ රජ්ජුරුවෝ පරම හතුරෙක් වුණා නම් ඒ රජවරු එතුමන්ගේ රාජසිංහ නම යොදා ගන්නේ ඇයි’’ ඒ සමගම පසන් අසන ලද්දේ බොහෝ දෙනකගේ අවධානයට ලක්විය යුතු පැනයකි. කන්ද උඩරටින් සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට මරණයෙන් පස්සේ පවා තදබල විරෝධයක් එල්ල වුණු බව ඇත්ත. නමුත් රාජසිංහ කියන නම නිර්භීතකමේ සංකේතයක් විදිහට ඒ රජවරු යොදා ගන්න ඇති. මීට පෙර මා එම පැනය විමසූ විටෙක ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් පිළිතුරු දුන්නේ එලෙසිනි.

තිලක් සේනාසිංහ