විශේෂාංග

රාජකීයෙන් ඉගෙන ඇමෙරිකාවේ උපාධි ලබා ලිත් හදන ‘ඈපා’

බස් පොළේ, පොත් හලේ, මගතොට මේ කුමන තැනක වුව අවුරුදු නැකැත් සඳහන් කරමින් අලෙවි වීමට බලා සිටින ලිත් බොහොමයකි. එහෙත් ඒ සියල්ල පරදා වසර 165 ක් තිස්සේ වැඩියෙන්ම අලෙවි වන්නේ ‘ඈපා’ ලිතයි. එම නාමය ලාංකිකයින්ට බෙහෙවින් සමීප නාමයයි.

‘‘ඈපා ලිත’’ මෙරට පැරණිතම පංචාංග ලිතයි. එහි පළමු මුද්‍රණය සිදුවූයේ මීට වසර 165කට පෙර හෙවත් වසර 1855 දීය. ඒ දොන් පිලිප් ඈපා අප්පුහාමිගේ සංකල්පයක් අනුවය.

වසර 1810 දී ජ්‍යෙතිෂය පවුලකට දාව උපන් ඈපා අප්පුහාමි මූලික අධ්‍යාපනය ලැබුයේ වෙළගෙදර ධම්මදසී මහා නායක හාමුදුරුවෝ යටතේ ගලපාත විහාර පිරිවෙනේදීය. කරදඬු උස් මහත් වී යොවුන් වියට පැමිණෙන විට පවුලෙන් උරුමව තිබුණු ජ්‍යෙතිෂය පිළිබඳව වැඩිදුර හැදෑරීම ඔහුගේ අදිටන විය. ඒ සම්බන්ධයෙන් ගුරුහරුකම් ලැබීමට නිසි ගුරුවරයෙකු කොළඹ ප්‍රදේශයේ සෙවුවද, ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ගියේය. අනතුරුව පානදුරේ විසූ ජ්‍යෙතිෂය විෂයෙහි බොහෝ ඇසූපිරූ තැන් සහිත ගුරුවරයෙකුගෙන් එය හැදෑරීමට ගියද එම බලාපොරොත්තු බිඳ වැටුණේය.

පසුව ඔඩුදුවා තිබුණු ආශාව පසෙකලා ආයුර්වේද වෙදකම හදාරන්නට යෙදුණු ඔහු ඒ ඔස්සේ නිපුණයෙකු වෙමින් අනතුරුව කොළඹ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ ඔසුසලක් ආරම්භ කරන්නේ එම හැකියාව මතය.

මෙසේ කාලයක් ගතවෙද්දී වසර 1845 දී ඔහු දොන් ඇන්ඩිරස් අප්පුහාමි මහතාගේ වැඩිමහල් දියණිය සමගින් යුග දිවියට ඇතුළත් වූයේය.

කෙසේ නමුත් හිතේ කොනක පැළපදියම්ව තිබු ජ්‍යෙතිෂය ඉගෙනීමේ බලාපොරොත්තුව  ඉටුකර ගැනීම අරබයා නැවතත් සිත් යොමුකරන ඈපා අප්පුහාමි කොළඹ ගනේෂ කෝවිලේ එවකට කටයුතු කරමින් සිටි ශිවචාර්ය කුමාරස්වාමි සාමිවරයාගෙන් ජ්‍යෙතිෂය හැදෑරීම අරඹන්නේය.

ඉන් නොනැවතුණු හෙතෙම ජ්‍යෙතිෂයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා පිවිසෙනුයේ ඉන්දියාවේ කන්ච්නූර්හි ප්‍රකට ජ්‍යෝතීර්වේදියෙකු වූ අට්ථාවයිනගල්ගේ ශිෂ්‍යයෙකු ලෙසය. ඔහුගේ ශිල්පයෙන් හසල දැනුමක් ලබා ගන්නා ඈපා අප්පුහාමි නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙනුයේ අලුත් අදහසක් සමගිනි.

ඒ තමන් උගත් දැනුම තමන්ට පමණක් සීමා වන්නට ඉඩ නොදී මතු පරම්පරාව වෙනුවෙන් ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීමටය. මෙරට තුළ ජ්‍යෙතිෂය එතරම් දියුණු නොවූ සමයක ඈපා අප්පුහාමි ‘ඈපා පංචාංග ලිත’ මුද්‍රණය කළේය. ඒ 1855 වසරේදීයි. එය අභියෝගාත්මක මුල පිරීමකි.

බ්‍රවුන්පේපර් කඩදාසි පොතක් ලෙස නිමැවුණු එම පංචාංග ලිතෙහි පිටු 80 ක පමණ ජ්‍යෙතිෂයෙහි එන  කරුණු අන්තර්ගතව තිබිණි. මෙහිදී සිංහල බෞද්ධ පරිසරයක් වටා ගමේ පන්සල හා බැඳුණු සමාජය මූලික කර ගනිමින් පංචාංග ලිත නිර්මාණය වී තිබීම සුවිශේෂී විය.

වසර 1891 ක් වූ මාර්තු මස 10 වැනිදා ඔහු ජීවිතයෙන් සමුගන්නා තෙක්ම, ඒ අයුරින් වසර 37 ක් නොකඩවා ‘ඈපා පංචාංග ලිතෙහි’ මුද්‍රණ කටයුතු සිදුකර තිබුණේය.

ජ්‍යෙතිෂය ලෙයට එන්නත් කරගත් ඈපා පරම්පරාව අතරේ මෙකී ඈපා පංචාංග ලිතෙහි ඉදිරි මුද්‍රණ කටයුතු පරම්පරාවෙන් පරම්පරාවට ආ අතර වර්තමානයේ එය ඇත්තේ පස්වැනි ඈපා පරම්පරාව යටතේය.
එනම් දෙවනුවට දොන් ඩේවිඩ් ද සිල්වා ඈපා අප්පුහාමි, තෙවනුවට දොන් ඒබ්‍රහම් ද සිල්වා ඈපා අප්පුහාමි, සිව්වනුව තිස්ස ඈපා සෙනෙවිරත්න සහ පස්වනුව හෙවත් වර්තමානයේ මෙම කටයුත්ත ඉදරියට රැගෙන යාමේ වගකීම පැවරී තිබෙනුයේ ඉන්දික ඈපා සෙනෙවිරත්න මහතාටය.

මොවුන් අතරින් ‘ඈපා මුද්‍රණාලය’ නිමැවෙන්නේ දොන් ඒබ්‍රහම් ද සිල්වා ඈපා අප්පුහාමි මහතාගේ අදහසකට අනුව එක්දහස් නවසිය තිස් ගණන්වලදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදීය. අනතුරුව 1989 වසරේදී පමණ කොළඹ ආන්නද විද්‍යාලය අසලට ඈපා මුද්‍රණාලය සේන්දු වීම සිදු වන්නේ තිස්ස ඈපා සෙනෙවිරත්න මහතාගේ නියමය පරිදිය.

පංචාංග යනු, දිනය, නැකත, තිතිය, යෝග සහ කරණ යනාදියයි. මෙම මූලික කරුණු කාරණා ඇතුළත් 165 වැනි පංචාංග ලිත ‘ඈපා ප්‍රකාශනයක්’ ලෙසින් මේ වනවිට අලෙවි වීම ආරම්භ වී තිබේ. එය මේ වසරේ සිට ඉදිරි වසර දෙකක් දක්වා නිමැවී තිබේ. මෙම වසරට අමතරව ඉදිරි වසර දෙකක් සඳහා එය නිමැවීමට හේතු වී ඇත්තේ යම් අයෙක්ට කල් ඇතිව අනාගත සුබ කටයුත්තක් වෙනුවෙන් කටයුතු කිරීමේ පහසුව තකාය.

‘පංචාංග ලිත් දහස් ගණනක් පමණ අපි වසරකට අලෙවි කරනවා. ඒ අතරින් 18,000 ක් පමණම පොත් මිලදී ගන්නේ ජ්‍යෙතිෂය වෘත්තිය කරගත් උදවිය. මේක අතිෂය බැරෑරුම් කාර්යයක්. මගේ මූලිකත්වයෙන් ජ්‍යෙතිෂය පිළිබඳ අවබෝධයක් ඇති කර්තෘ මණ්ඩලයක් මගින් තමයි මේ පංචාංග ලිත නිමැවෙන්නේ. ඒ සඳහා අවම මාස 4 ක පමණ කාලයක්වත් ගත වෙනවා.

ඉස්සර පංචාංග ලිත නිමැවීම් කටයුතු සියල්ලක්ම පාහේ කෙරුණේ අතින් කෙරෙන වැඩ හැටියටයි. එතකොට මේ කාර්යය සඳහා මාස හයක්වත් ගත වුණා. ඒත් දැන් යාවත්කාලීන වී තිබෙන තාක්ෂණයත් එක්ක අපි මේ සඳහා පරිගණකවල සහාය ලබා ගන්නවා.

මීට අමතරව දෙසැම්බර් මාසේ නිකුත් කරන බිත්ති ලිතෙහි පිටපත් ලක්ෂ ගණනක් අපි මුද්‍රණය කරනවා’ යි ඈපා ප්‍රකාශකයින්ගේ පස්වැනි පරම්පරාවේ උරුමය හිමි ඉන්දික ඈපා සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටියේය.
ඉන්දික ඈපා සෙනෙවිරත්න යනු, කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇමරිකාවේ ඊස්ටන් කනෙක්ට්කට් ස්ටේට් සරසවියෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධ විශේෂ උපාධිය සම්පූර්ණ කර අනතුරුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබාගත්තෙකි.

ඒ අතරේ එම විෂයයන්ට හාත්පසින්ම වෙනස් ජ්‍යෙතිෂය වැනි විෂයක් මැනවින් උගත් ඉන්දික, ඈපා මුද්‍රණාලය සහ එහි කටයුතු 1997 වසරේ භාර ගන්නේ එම පරම්පරාවේ පස්වැනියා ලෙස 24 වැනි වියේදීය.
‘ඇමරිකාවට යන්න කලිනුත් ඇමරිකාවෙන් ආවාට පස්සෙත් මම ජ්‍යෙතිෂය පිළිබඳව සියල්ල ඉගෙන ගත්තා. ජ්‍යෙතිෂය කියන්නේ සාගරයක් වගේ විෂයක්. ඒකේ හැමදාම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ කාලේ හොඳම ජ්‍යෙතිෂවේදියෝ අපේ පවුලේ හිටියා. තාත්තාගෙන්, අම්මාගෙන් සහ සීයාගෙන් තමයි මම ගුරුහරුකම් ගත්තේ.

මේක ඉතාමත් නිවැරදිව විය යුතු දෙයක්. ඒ නිසා ඉතා හොඳින් ජ්‍යෙතිෂය හදාරන්න ඕනෑ මේ වැඩ කරන්න.’
ඉන්දික රජයේ අලුත් අවුරුදු නැකත් කමිටුවේ, පෝය දින කමිටුවේ මෙන්ම රජයේ නිවාඩු කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නෙකි. කෙතරම් ජ්‍යෙතිෂය පිළිබඳ දැනුම ඔහු සතුව පැවතිය මුත් ඔහු වෘත්තියක් හැටියට කේන්දර බැලීම සිදු නොකරන්නේ ඒ සඳහා පවතින වේලාවේ මදකම හෙයිනි. නමුත් කවරෙකු හෝ ජ්‍යෙතිෂය පිළිබඳ යම් කාරණයක් විමසුවහොත් නොපැකිලිව අදාළ කාරණය පහදාදීමට තරම් ඔහු නිහතමානී චරිතයකි.

වසර 165 ක් ගෙවුණු තැන මේ වනවිට ඈපා නාමය යටතේ මුද්‍රණ කටයුතුවලට අමතරව ජ්‍යෙතිෂය ප්‍රකාශනයන් 9ක් වසරක් තුළ නිකුත් වෙයි. ඈපා ලිත, පටි ලිත, පලාපල පොත, පංචාංග දිනපොත, සාක්කු දිනපොත, චූල දිනපොත, කැට කැලැන්ඩරය, ඈපා නැකැත් ලිත සහ ඈපා පංචාංග ලිත ඒ අතර ප්‍රමුඛය.
අනාගතයේදී සය වැනි පරම්පරාව දක්වා ඈපා ප්‍රකාශනයන් ඉදිරියට ඇදෙත්ම එහි වගකීම දරුන්නේ කවුරුන්දැයි යන වග ඉන්දික මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන්ගේ පුත් අනුහස් ඈපා සෙනෙවිරත්න එම වගකීම දරනු ඇති බවයි.

ගයාශාන් විතානආරච්චි
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන