විශේෂාංග

රහසේ කැමරා අටවා හොර්ටන්තැන්නේ කොටි ගණන් කළ හැටි

මව සමග සුරතල් වෙමින් රිසි සේ නිදහසේ සෙල්ලම් කරන කොටි පැටව් දෙදෙනෙකි. එය ඇස් ඉවතට ගැනීමට සිත් නොදෙන දසුනකි. මෙවැනි මනරම් අත්දැකීම් රැසක්ම තිබුණද ඒවා අපේ ඇසින්ම දුටු දර්ශනද නොවේ. අප ඒ සියල්ල දකින්නේ තෙවැනි ඇසෙනි. ඒ ඇස් කඳුකර කොටින් පිළිබඳ හා ඔවුන්ගේ චර්යා රටා ගැන ඉතා සමීපව සොයා බලා තිබුණේ හෝර්ටන්තැන්නේදීය.

හෝර්ටන්තැන්නේ කොටි ගැන කියන විට අපට දැනෙන්නේ යම් ගුප්ත බවකි. ඔවුන් දැක ගැනීම එපමණම විරලය. මේ නිසාම බොහෝ විට ඔවුන් ගැන තිබුණේ ද කතාන්තරය. ඔවුන් ගැන දැන සිටිනා රහස් අල්පය. කඳුකර කොටින් ගැන අබිරහස් මේ අයුරින් හෙළිදරව් කර ගැනීමට හැකි වී ඇත්තේ කැමරා උගුල් ඇටවීම (Camera Traps) පිළිබඳ කරන ලද පුහුණු වැඩසටහනක් පර්ෙ ය්ෂණයක් දක්වා දිගුවීම නිසාය. එම කැමරාවල සටහන් වූ අති විශාල රූප රාමු ප්‍රමාණය මෙන්ම කොටින්ගේ සිත් ගන්නාසුලු චර්යාවන්ද හෝර්ටන්තැන්නේ කොටි පිළිබඳ වසර 4 ක් තිස්සේ (2015 – 2018) සිදු වූ
පර්ෙ ය්ෂණයයකට මාවත විවර කර තිබේ.

පර්ෙ ය්ෂණය සඳහා මුල් වී ඇත්තේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය හා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයි. ඒ සමග වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා නිවර්තන පාරිසරික පද්ධති පර්ෙ ය්ෂණ ජාලය (TERM) ද එක් විය. මීට අවශ්‍ය විද්‍යාත්මක කැමරා මෙන්ම දැනුමද මූල්‍ය සම්පත්ද සිංගප්පූරු විශ්වවිද්‍යාලයෙන් සැපයිණි. සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව හා සංරක්ෂණ ජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉනෝකා පී. කුඩාවිදානගේ හා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එඩ්වඩ් එල්. වෙබ් මෙම පර්යේෂණයේ නායකත්වය දැරූහ. මූලික ‌කේෂත්‍ර  පර්ෙ ය්ෂකයන් වූයේ TERN හි රවීන්ද්‍ර අමරසිංහ හා තිලිණ නිමලරත්නය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්දික බණ්ඩාර හා චරිතා වන්නිනායකගේද හොර්ටන්තැන්න හිටපු උද්‍යාන භාරකරු පියල් රවීන්ද්‍ර උදයකුමාර් ද මේ කණ්ඩායමට ඇතුළත්වූහ. පසුකාලීනව යැං රූ හා මාර්කස් චු ආද ඊට එක්විය.

මෙම ලිපිය සැකසෙන්නේ ආචාර්ය ඉනෝකා පී. කුඩාවිදානගේ සමග අප කළ සාකච්ඡාවක් ඇසුරිනි. හෝර්ටන්තැන්න යනු කොටින්ට පරිසර විද්‍යාත්මකව හොඳ වාසස්ථානයකි. තේ වැනි වගාවන් සඳහා වටපිටාවේ බිම් යටවීම නිසා හෝර්ටන්තැන්න කඳුකර කොටින්ට ඉතිරිව ඇති ආරක්ෂිත භූමියක්ද වේ. මෙවැනි ගහනයකට අවශ්‍ය තරම් ආහාරද එහි තිබේ.

ඒ ගෝනුන් ඇතුළු සතුන්ය. එවිට වාසස්ථාන, ආහාර හා ආරක්ෂාව යන වැදගත් අවශ්‍යතා සියල්ල එහි සම්පූර්ණයය.
මේ පර්ෙ ය්ෂණයේදී සොයා බැලීමට අරමුණු කෙරුණේ හෝර්ටන්තැන්නේ කොටින් සිටීද? සිටී නම් ඒ කොපමණ සංඛ්‍යාවක්ද? ඔවුන්ගේ පරම්පරාව බෝවීමක් සිදුවේද? මේ සතුන්ගේ වාසස්ථාන කෙබඳුද? චර්යාවන් කෙසේද? වැනි කාරණාය. ඒ ඔස්සේ සොයා බලන විට පිරිමි සතුන්ගේ හැසිරීම් කෙබඳුද, එක් පිරිමි සතකු සිටින ප්‍රදේශයේ තවත් පිරිමි සතුන් රැඳෙනවාද, ගැහැනු සතුන් කී දෙනෙක් එක් පිරිමි සතකුගේ වසම තුළ රැඳෙනවාද වැනි තවත් සිත්ගන්නා සුලු කාරණාද විමසා බැලීමට හැකිය. මේ සියල්ල පරිසර විද්‍යාව හදාරණ අයට ඉතාමත් අගනේය. මේ පර්ෙ ය්ෂණය සිදු කර ඇත්තේ ද එබැවිනි. මුල පටන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජනයක් ලබා ගැනීම මගින් මේ දැනුම ඔවුන්ටද ලබා ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහි පාර්ශ්ව කීපයක් සිටීම විශාල වාසියකි.

මෙම විද්‍යාත්මක පර්ෙ ය්ෂණය සිදුවී ඇත්තේ මුලින්ම මුළු හෝර්ටන්තැන්නම වර්ග කිලෝමීටරය බැගින් නියැදිවලට වෙන්කර ගනිමිනි. එක් නියැදියකට කැමරා 2 බැගින් යෙදීම සැලසුම විය. අදියර දෙකකින් එය සිදු කෙරිණි. පළමු අදියර වර්ග කි.මී. 32ක් හා 2 අදියර සම්පූර්ණ හෝර්ටන් තැන්නය. ඊළඟට සිදු වූයේ කොටින්ගේ ගැවසීම පිළිබඳ සලකුණු ඔස්සේ සොයා බැලීමය. විවිධ තැන්වල රැඳී ඇති ලෝම, වැනි ද්‍රව්‍ය එහිදී පිටිවහලක් විය. එසේ හඳුනාගත් ප්‍රදේශවල කැමරා ඇටවීම අනතුරුව සිදු කෙරිණි.

මෙහිදී එක්රැස් කර ගත් තොරතුරුවලින් මූලිකම අරමුණ වූයේ කොටින් කී දෙනකු හෝර්ටන්තැන්නේ සිටීද යන්න සොයා බැලීමය. ඒ ඒ සතුන්ගේ තිත් සලකුණු රටා අධ්‍යයනය කරමින්, ඔවුන් වෙන් වෙන්ව හඳුනා ගැනීම ඊළඟ ප්‍රයත්නය විය. ඉදිරි පාදයේ, පසු පාදයේ හා කොඳුඇට පෙළ ඔස්සේ වැටී ඇති තිත් රටා මෙහිදී ප්‍රධාන වශයෙන්ම භාවිත කළේය. මේ සතුන් ගැවසෙන ප්‍රදේශද සොයා බැලිණි. එක් කොටියකු කැමරා 5 ක සටහන් වී තිබේ නම් ඉන් අදහස් කෙරෙන්නේ එම වසම තුළ අදාළ කොටියා ගැවසෙන බවය. අනතුරුව ගැහැනු හා පිරිමි සතුන් වෙන් වෙන්ව හඳුනා ගැනීමද සිදු විය.

ඒ සමගම ගැහැනු හා පිරිමි සතුන් රැඳෙන තැන් ගැන මෙන්ම පැටවුන් බිහිවන්නේද, පැටවුන් නිරීක්ෂණය කළ හැකිද වැනි කාරණාද අධ්‍යයනයට ලක් විය. ඇතැම් සතුන් හෝර්ටන්තැන්නෙන් පිටතට ගමන් කරන්නේද යන කාරණයද මෙහිදී අවධානයට ලක්විය. එසේ උපකල්පනය කළ හැකිවන්නේ ඇතැම් සතුන් යම් කාලයක් කැමරාවල සටහන් වී ඉන්පසුව නොපෙනී ගොස් තිබීම හේතුවෙනි. ඒ සතුන් එක්කෝ හෝර්ටන්තැන්නෙන් පිටතට ගමන් කර තිබේ. නැතිනම් මරණයට පත්ව තිබේ. මේ සතුන්ගේ මළද්‍රව්‍යය රැස්කර අන්වීක්ෂීය විශ්ලේෂණයන්ට ලක් කිරීමෙන් උන්ගේ ආහාර ගැනද දැනගත හැකි විය.

කොටින් විසින් ගොදුරු සඳහා සතකු දඩයම් කළ අවස්ථා කැමරාවල සටහන්ව ඇත්නම් උන්ට බාධා නොවන පරිදි කැමරා අටවා පරිභෝජන රටාව අධ්‍යයනය කිරීමද සිදු විය. කැමරා උගුල් ඇටවීමේදී සාමාන්‍යයෙන් එක් ස්ථානයක මුහුණට මුහුණලා යම් දුර ප්‍රමාණයකින් කැමරා 2 ක් ඇටවීම සිදු වේ. එසේ කිරීම මගින් සතාගේ සිරුරේ දෙපාර්ශ්වයම කැමාරාගත කළ හැකි වන බැවිනි.

මෙවැනි කැමරා උගුල් සම්බන්ධයක් ඇතිනම් සතුන් දැක්වූ ප්‍රතිචාරද සිත්ගන්නාසුලුය. ඇතැම් සතුන් කැමරාව ඉදිරිපිටටම පැමිණ ඒ දෙස බලා සිටීමට හුරු වී තිබිණි. තවත් සතුන් ඒ කැමරා සමග සෙල්ලම් කිරීමටද වෑයම් කළහ. එවැනි අවස්ථාවල කැමරා සූරා බැලීම පවා සිදු වේ. එක් අවස්ථාවක පර්ෙ ය්ෂණ කණ්ඩායමේ සගයකු අතපසු වීමකින් සිය හිස් වැස්ම කැමරාව අටවා ඇති කණුවේ රඳවා ගියේය. සාමාන්‍යයෙන් රූගත කිරීම් ආරම්භ කරන තුරු ඇතැම් අවස්ථාවල හිස්වැස්මෙන් කැමරාව ආවරණය කර තැබීමද සිදු වේ. එලෙස රඳවා ගිය හිස්වැස්මට පැන අත් පහරින් කොටියකු එය කීතු කීතු කර දමන ආකාරයද කැමරාවල සටහන්ව ඇත. තවත් අවස්ථාවල කැමරා උගුල් අටවා ඈත් වූ විගසම වාගේ විනාඩි 2-3 ක් වැනි කාල සීමාවක් තුළ ද රූගත කිරීම් සිදු වී තිබේ. ඉන් අදහස් කෙරෙන්නේ කැමරා අටවන විටද කොටියා එම අඩවියේම ගැවසී ඇති බවයි. කැමරාවල වැඩි වශයෙන්ම කොටින් සටහන් වී ඇත්තේ සවස 5-7 අතර කාල සීමාවේය. බොහෝ විට රාත්‍රි දර්ශනද සටහන් වී ඇත. දිවා කාලයේ සටහන් වූ ඡායාරූප සෑහෙන සංඛ්‍යාවක්ද තිබේ. කොටින් තිදෙනකු පැය 3 ක් පමණ කැමරාව ඉදිරිපිට සෙල්ලම් කරන දර්ශනයක්ද සටහන් වී ඇත. මේ සතුන්ගේ විවිධ ඉරියව් එහිදී දැකගත හැකි විය.

ඇතැම් සතුන් වැඩට යන කොටි ලෙස හැඳින්වීමට පර්ෙ ය්ෂර්කයෝ පුරුදු වී සිටියහ. එවැනි සතුන් උදෑසන එක් දිශාවකට ගමන් කරන අතර සවසට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරති. කළු පැහැ පටියක් සහිත හෝතඹුවකු එක් අතකට ගමන් කරන විට කොටියා අනෙක් අතට ගමන් කරන අතර එයම අනෙක් අතටද සිදු වේ. ‌මොනරා, හබන් කුකුලාද ඇතුළු වෙනත් සතුන්ද මේ කැමරාවල සටහන් වී ඇත. මෙතෙක් කොළ දිවියාගේ දර්ශනය හෝර්ටන් තැන්නේදී කිසිවකු විසින් හෝ ඡායාරූපගත කොට තිබුණේ නැත. ස්ථාන ගණනාවකදීම කොළ දිවියා මේ කැමරාවල සටහන් වී ඇත. මව පැටියා සමග ගමන් කරන අයුරු, මව ගොදුරක් රැගෙන යන අයුරු වැනි විවිධ අවස්ථා ඒ අතර තිබේ. මේ සතුන් පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවන්ද ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරි කාලයේදී ප්‍රසිද්ධියට පත්වනු ඇත.

මෙම තොරතුරු හෝර්ටන්තැන්නේ සත්ත්ව විවිධත්වය හා ආහාර ජාල පිළිබඳ සොයා බැලීමට ඉදිරි කාලයේ දී යොදා ගැනීමට නියමිතය. එම ඉදිරි පර්යේෂණ සඳහා මෙහිදී රැස්කරගත් ලක්ෂ ගණනක් වන ඡායාරූප එකතුව බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.තවමත් මෙම ඡායාරූප හා දත්ත මුළුමනින්ම විශ්ලේෂණය කර අවසන්ව නොමැත. එබැවින් හෝර්ටන්තැන්නේ කොටින් කී දෙනකු සිටින්නේදැයි තවමත් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකිය. එසේ වුවද, 2015 – 2018 පර්යේෂණ කාල සීමාව තුළ කොටින් 23 දෙනකු හඳුනාගැනීමට හැකි වී තිබේ. හෝර්ටන්තැන්නේ සිටින්නේ කොටින් 23 දෙනකු යැයි ඉන් අදහස් කෙරෙන්නේ නැත. සාමාන්‍යයෙන් ගහනයක් ගණනය කරන්නේ මාස 3 ක් වැනි කෙටි කාල සීමාවකටය.

එවැනි සීමිත කාලයක් තුළ ගහනයේ අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු නොවේ යැයි ද ඉපදීම් w3හෝ මරණ කිසිවක් සිදු නොවෙතැයි ද උපකල්පනය කෙරේ. එම ක්‍රමවේදයට අනුව නොව අවුරුදු 4 ක කාල සීමාවක් තුළ හෝර්ටන්තැන්නේ සිටි, එහි ආ මෙන්ම, හඳුනාගත් කොටින් සංඛ්‍යාව 23 දෙනෙකි. ගහන ඝනත්වය යනු වර්ග කි. මී. 32 කට 23 ක් ලෙස ගණනය කිරීම නිවැරදි නැත. එම ගණනය කිරීම ඊට වඩා වෙනස් විය හැකිය. උදාහරණයකට පර්ෙ ය්ශණය මැදභාගයේ කරන ලද ගණනය කිරීමකදී වර්ග කි. මී. 100 කට 18 ක් සිටිය හැකි බවට ගණන් බලා ඇත. කෙසේ වුවද, එම අවසන් ගණනය කිරීම් තවමත් සිදු වෙමින් පවතී.

මෙම අධ්‍යයනවලදී හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය තුළ කොටින්ට අනතුරක් ඇතැයි හඳුනා ගැනීමට හැකි වූයේ නැත. උද්‍යානය තුළ අනතුරක් නැති බව ඉන් පැහැදිලි වේ. එසේ වුවද, උද්‍යානය තුළ මේ සතුන්ගේ වාසස්ථාන වෙනස් වෙමින් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. හෝර්ටන්තැන්නේ තණ පිට්ටනි ඇති වූයේ මිනිසුන් අල වගා කිරීම නිසාය. එම පිට්ටනි ගෝණුන්ට අවශ්‍ය තරම් ආහාර සැපයීය. නමුත් වනාන්තරය විසින් ටිකෙන් ටික තණබිම් ආක්‍රමණය කරමින් පවතී. පිට්ටනිවල තැනින් තැන මහරත්මල් ශාකය ව්‍යාප්ත වී ඇති අයුරු දැකිය හැකිය. මේ ගස් සෙසු ගස්වලට වැඩීමට අවශ්‍ය භූමිය සකස් කිරීම සිදු කරයි. එවිට වන්නේ තණ පිට්ටනි ක්‍රමානුකූලව අඩුවෙමින් ගොස් වනාන්තරය ව්‍යාප්ත වීමය. එය ගෝනුන්ට ‌මෙන්ම කොටින්ට බලපානු ඇත. මෙය තවමත් උපකල්පනයක් වුවද, එහෙත් ඒ ගැන අවධානයක් තිබීම සුදුසුය.

මීට අමතරව දේශගුණික විපර්යාස විසින් හෝර්ටන්තැන්නේ පරිසරයට කවර බලපෑමක් අැති කරනු ඇතිදැයි තවමත් නිශ්චිතව කිව නොහැකිය. හෝර්ටන්තැන්න යනු අතිශයින්ම සමතුලිත වාසස්ථානයකි. එකී සමතුලිතතාව බිඳවැටීමෙන් එම පරිසර පද්ධතියේ සිටින ජීවීන්ට කුමක් වේදැයි අවිනිශ්චිතය.

හෝර්ටන්තැන්නේ සිටින්නේද Parthera Pardus Kotiya නම් ලංකාවට ආවේණික උප විශේෂයයි. නමුත් යාල, විල්පත්තුව වැනි ප්‍රදේශවල හමුවන කොටින්ට වඩා හෝර්ටන්තැන්නේ සිටින කොටි පුෂ්ටිමත්ය. සීතල පරිසරයකට අනුවර්ථනය වී සිටින අතර ලොම් වැඩිය. වර්ණය වඩා රන්වන් පැහැයට හුරුය. .

හෝර්ටන්තැන්නේ කොටින් පිළිබඳ අබිරහස් හෙළිදරව් කෙරෙනු අැති මෙම පර්යේෂණය පහසු එකක් වූයේද නැත. කටු පඳුරු, වන ලැහැබ් අතරින් රිංගා යාම මෙන්ම වගුරු සහිත ස්පෙන්ජියන් කඳු භූමියේ ඇවිද යාමට පහසු නැත. කෙසේ වුවද, කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම එහි සාර්ථකත්වයට මෙන්ම අභියෝග ජය ගැනීමටද ඉවහල් වූ බව පැහැදිලිය.
පර්යේෂණයේ ඇති වෙහෙසකර බව මඟහරවා ගැනීමටද පර්යේෂණයේදී නිරීක්ෂණය කළ දෑ හේතු වූ සෙයකි. එක්තරා කොටියකු සෑම දින 7 කට වරක් එකම ස්ථානයකට පැමිණ ගසක අත්තක් මතට වී මාර්ගය නිරීක්ෂණය කරන අයුරු කැමරාවල සටහන් වී තිබේ. මේ කොටියා එය චර්යාවක් කරගෙන තිබිණි.

හෝර්ටන්තැන්නේ පරිසරය අතිශයින්ම සංවේදීය. දැනට එය නැරඹීමට පැමිණෙන සංඛ්‍යාවද බෙහෙවින්ම වැඩිය. හෝර්ටන්තැන්න යනු ලංකාවේ දෙවන වැඩිම ආදායමක් උපදවන ජාතික උද්‍යාන අතරින් එකකි. දිනපතා දහස් ගණනින් ඇතුළුවන රථවාහන මගින් හෝර්ටන්තැන්නේ පරිසරය දූෂණයට ලක් වේ.

මේ නිසා එකී හානි අවම කරගන්නා ක්‍රමවේද අනුගමනය කිරීමට සංචාරකයන් සැලකිලිමත් විය යුතුය. දැනටමත් හෝර්ටන්තැන්නේදී දැකිය හැකි කපුටන්ගෙන් කියාපාන්නේ එහි පරිසරය දූෂණයට ලක් වී ඇති බවය. කපුටන් වැඩි වී තිබේ. කටුස්සන් සහ අනෙකුත් කුඩා සතුන් කපුටන්ගේ ගොදුරු බවට පත් වේ. කපුටකු කුරුලු කූඩුවක් කඩා බිඳ දමා පැටියා ආහාරයට ගන්නා දර්ශනයක්ද කැමරාවල සටහන් වී තිබේ.

හෝර්ටන්තැන්න සංරක්ෂණය සම්බන්ධයෙන් මේ පර්යේෂණය පමණක් ප්‍රමාණවත් නොමැත. මෙය බොහෝ දුරට පරිසර විද්‍යාත්මක අධ්‍යයනයක් වන අතර සංරක්ෂණය දෙසට අවධානය යොමු කිරීමේදී සමස්ත භූමි ප්‍රදේශය ගැනම අවධානය යොමු කිරීමට සිදු වේ. එපමණක්ද නොව කොටින් උද්‍යානයෙන් පිටතට ගමන් ගන්නා තත්ත්වයක් අැති වීම බාහිර පරිසරය ගැනද අවධානය යොමු කිරීමට සිදුවේ. මේ සමස්තය ගැනම සලකා බැලිය යුතුය. ආචාර්ය ඉනෝකා පවසන පරිදි තම කණ්ඩායම හෝ වෙනත් පර්යේෂකයන් මෙතැනින් එහාට ගමන් කළ යුතුය.

මෙහිදී රැස්කරගත් තොරතුරු මෙම පර්යේෂණයටම සීමා නොකර සංරක්ෂණය සඳහා තව තවත් පර්යේෂණවලදී අදාළ කර ගැනීම විය යුතුය. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මෙන්ම ලංකාවේද තේ වතු ආශ්‍රිතව කොටියකු දුටු විගස කලබල වී මරා දමන තත්ත්වයක් ඇති ව තිබීම කනගාටුදායකය. එකී මානසිකත්වයෙන් මිනිසුන් ගලවා ගැනීමට විශාල දෙයක් සිදු කළ යුතු වේ.

කොටියා යනු මිනිසුන් දුටු විට මගහරින සතෙකි. ඌ තේවතු වැනි විවෘත භූමි හරහා ඇදෙන්නේ කැලෑ එළිපෙහෙළි කිරීම නිසාය. බල්ලන් ගැවසීම තවත් හේතුවකි. ඒත් වන තීරුවක සිට අනෙක් වන තීරුව දක්වා තේ වත්තක් හරහා ගමන් කිරීමේදී බල්ලකු හමුවීම උගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමකි. කැලෑ කුට්ටි කුඩා වීම යනු ආහාර සීමා සහිත වීමය. වනතීරු හරා යෑමට අරක්ෂිත වන පිවිසුම් තිබිය යුතුය.

දැනුවත්කිරීම, ආරක්ෂාව ආදී සියල්ල එක්කර විධිමත් සැලැස්මක් සංරක්ෂණය සඳහා පිළියෙල කළ යුතුව ඇත. සතුන්ට හානි පමුණුවන අවස්ථාවල මිනිසුන්ට අවවාද කිරීමෙන් පමණක් පලක් නොමැති විට දඬුවමක්ද ලබාදිය යුතුය. ඒ සඳහා නීති රීතිද මීට වඩා තරමක් හෝ දැඩිවිය යුතුය.මෙලෙසම කැමරා උගුල් අටවා තවත් ජාතික උද්‍යාන කීපයක මෙවැනිම පර්යේෂණ කිරීමට සැලසුම් කරමින් තිබේ. උද්‍යානවලින් පිටතට ගමන් කිරීම ගැනද සාකච්ඡාවට ලක්වෙමින් ඇත. කොටින් ගැන පමණක් නොව වෙනත් සතුන් ගැනද එවිට මීට වඩා තොරතුරු දැන ගත හැකිවන අතරම සංරක්ෂණය සඳහාද රුකුලක් වනු ඇත.

කොටි බලන්නට හෝර්ටන්තැන්නට යන්න යැයි අප කිසි ලෙසකින්වත් ඔබට යෝජනා කරන්නේ නැත. එය නිෂ්ඵල වෑයමකි. එහෙත් මේ අතිශය සංවේදී පරිසරයට බිඳක් හෝ හානි නොකරන්නැයි අපි ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමු. මේ දේශයේ පණ නළ ගැහෙන්නේ පාරිසරිකව අතිශය සංවේදී මෙවැනි දායාදයන් මත බැවිනි.