විශේෂාංග

රහත් වෙලාදැයි දැනගන්න ඇඟට පොළඟෙක් දාන්න

දැන් දැන් රටේ තැන් තැන්වල සෝවාන් ඵලයට පත්කරන පන්ති පවත්වති.
ඒ අතරේ ඇතැමුන් කියන්නේ තමන් රහත් ඵලයට පත් වී ඇති බවය. සැබැවින්ම පන්ති ගොස් සෝවාන් ඵලයට පත්විය හැකිද. එසේ නැතිනම් මෙකල මහරහතන් වහන්සේලා වැඩ සිටිනවාද? මේ ගැන අප විමසුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානි මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමියන්ගෙනි.

තමන් අරහත් ඵලයට පැමිණි බව පවසමින්, එහෙමත් නැත්නම් ඒ බව හැඟෙන ආකාරයට හැසිරෙමින් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා අද රටේ ඉන්නවා. හැමෝම කියන්නේ රහත්වෙලා කියලා. බෞද්ධයන්ට ඒක හරිම ගැටලුවක් වෙලා?

ලංකාවේ ඉන්න හාමුදුරුවරු හැමෝම එහෙම කියනවද? නැහැනේ. හැමෝම එහෙම කියන්නේ නැහැ.

එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ‘‘සිව්පිළිසිඹියාපත් ලංකා පුත්‍ර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ’’ යනුවෙන් තමාම හඳුන්වා ගන්නවා. එවැනි තවත් අය ඉන්නවා?

ඒ ගොල්ලන්නට මානසික රෝග. එහෙම නැතිනම් ලාභ අපේක්ෂාවෙන් කරන වැඩ වෙන්න පුළුවන්. ඇතැම් විට ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය අපේක්ෂාවෙනුත් ඔවැනි වැඩ කරනවා.

බුද්ධ ධර්මය ගැන සාමාන්‍ය හෝ දැනීමක් ඇති අය ඕවට එකතු වෙන්නේ නැහැ. ප්‍රාථමික මිනිස්සු රවට්ටගෙනයි ඕව කරන්නේ.

ඇතැම් අය මහලුවෙලා මහණ වෙලා යැපෙන්න සිවුරු දාගෙන ඉන්නවා. එවැනි අය දහම විකෘති කරන වැඩ කරනවා. ඇතැමුන් දහම දන්නේ නැතිව බොරු කියනවා.

තමන් රහත්වෙලා කියලා බොරු කියනවා?

මිනිස්සු මුලාවේ දාන්න කුහක ප්‍රතිපත්ති හදනවා. ඕකට කියන්නේ කුහකකම කියලා. ඔය පුද්ගලයෝ හිතේ එකක් තියාගෙන වෙන එකක් පෙන්නනවා. අන්න ඒකටයි කුහකකම කියන්නේ. ඒ කියන්නේ තමන් රහත්වෙලා – බුදුවෙලා කියලා පෙන්නනවා. හිතේ තියෙන්නේ හම්බ කර ගැනීම. එහෙමත් නැතිනම් ජනප්‍රියවීමේ අදහස. නැතිනම් මෝඩකම.

බෞද්ධයෝ කොහොමද ඔවැනි කුහකයන් හඳුනාගන්නේ?

ඒකට බුදුදහම හොඳට ඉගෙන ගන්න ඕන. නිර්මල සත්‍ය වූ බුදුදහම ඉගෙන ගන්න ඕන. විශේෂයෙන් සූත්‍ර පිටකය ඉගෙන ගත යුතුයි.

නිර්මල බුදුදහම දැනට ඉගෙන ගන්න ඉන්න හොඳම පුද්ගලයෝ ඉන්නේ අපේ රටේ. මහාචාර්ය හාමුදුරුවරු ඉන්නවා. බුදුදහම උගත් මහාචාර්ය ගිහියොත් ඉන්නවා. ඒ අයගෙන් තමයි නිර්මල දහම දැනගන්න පුළුවන්.

ඔය රහත් ඵලයට පත්වූ උතුමන්ට කුසගින්න, නිදිමත එහෙම දැනෙනවද?
අපොයි ඕව. දැනෙනවා.

එලෙස කුසගින්න දැනුණු වෙලාවට රස භෝජන. වෑංජන ආදිය දුටුවොත් කටට කෙළ එහෙම උනනවා ඇති?

එහෙම කෙළ උනන්න බැහැනේ. සියලු කෙළෙස් ප්‍රහීන කරපු කෙනකුට කෙළ උනන්න විදිහක් නැහැ.
රහතුන් වහන්සේලා, ආහාර ගන්නේ මේ ජීවිතයේ පැවැත්මට, යැපීමට, ලෙඩදුක් නැසීමට ආදී කරුණු මුල් කර ගෙනයි. එහෙම නැතිව තෘෂ්ණාවට නොවේ.

කොහොමත් රහත් වුණත් නැතත් රසය පස්සේ යන එක පැවිද්දකුට වටින්නේ නැහැ.

හදිසියේවත් රහතන්වහන්සේ නමක් ඉදිරියට අලියෙක් කොටියෙක් වගේ දරුණු සතෙක් කඩා පැන්නොත් වෙන අයට වගේම බය දැනෙනවද?

නැහැ. නැහැ. බය දැනෙන්නේ නැහැ. ඔය රහත්වෙලා කියලා අඟවන කෙනකුගේ ඇඟට පොළඟෙක් දාලා බලන්නකෝ. අන්න එතකොට බලාගන්න පුළුවන් එයා රහත් වෙලා ද කියලා.

ඔය කියන විදිහට රහත් උත්තමයට තරහව උපන්දිනෙත් නැහැ?

නැහැ. ඔය අපේ ඇතැම් උපාසක අම්මලා වර්ෂ 2040​ට එන්න තියෙන කුණුහරුපත් දැන් කියනවා. අන්න එහෙම කුණුහරුප ටිකක් කියලා බැලුවොත් එයත් කුණුහරුප කියනවා නම් රහත් වෙලාද නැද්ද කියලා හොඳට හඳුනගන්න පුළුවන්.

දෑත බදල දෙකක් ගැහුවොත්?

ඔව්. ඔව්. කේන්තියන්න විදිහක් නැහැ. ඒ වගේම රහතන් වහන්සේට කාමාශාව ඇතිවෙන්න විදිහකුත් නැහැ. එයා කෙලෙස් සියල්ල ප්‍රහීන කරලා.

ඇතැම් ස්ථානවල සෝවාන් ඵලයට පත් කරන පාඨමාලා පවත්වනවා. සෝවාන් වූ බවට සහතික පවා දෙනවා?

ඕවට මෝඩ බෞද්ධයෝ මුලාවේ වැටෙනවා. ඒත් බොහොම සුළු පිරිසක් තමයි ඒවට අහුවෙන්නේ. ඒවා බිස්නස්.​ බෞද්ධ ඉතිහාසය මුළුල්ලේම ඔවැනි දේ එනවා යනවා. එහෙත් මූලික බුදු දහම ත්‍රිපිටකයේ තිබෙනවා. එහි තිබෙන්නේ නිවන් මගයි.

සෝවාන් වූ අයකුට කාමාශාවන් ඇතිවෙන්න පුළුවන්කමක් තිබෙනවාද?

ඔව්. සුද්ධෝදන රජතුමා සෝවාන්වෙලා විවාහ ජීවිතය ගතකළා. විශාඛාව සෝවාන් වෙලා විවාහ ජීවිතය ගතකළා.

සෝවාන් ඵලයට පත්වූ අයකුට මමය මාගේය කියන හැඟීම නැති බවයි කියැවෙන්නේ?

තමන්ගේ පංචස්කන්ධය ස්වකීයයි. මගේය, මම වෙමි මගේ ආත්මයයි කියන හැඟීම සෝවාන් වූ අයට නැහැ. සක්ඛාය දිට්ඨීය නැහැ. සක්ඛාය කියන්නේ පංචස්කන්ධය (ඇස, කන, දිව, නාසය, ශරීරය) ස්වකීයයි කියන හැඟීම.

සෝවාන් වූ අයකුට විචිකිච්ඡාවත් නැහැ?

විචිකිච්ඡාව කියන්නේ බුදුන් ගැන, ධර්මය ගැන, සංඝයා ගැන සැක ඇතිවීම. ඔය කතා කරන ඔබ ළඟත් ඒක තියෙනවා. අප කා ළඟත් විචිකිච්ඡාව තිබෙනවා. සියලු සැක දුරුවෙන්නේ නිර්වාණ අවබෝධයෙන්.

විවිධ වෘත සමාදන් වීමත් සෝවාන් වූවකු තුළ නැති බවයි මා අසා තිබෙන්නේ?

සිල්වලින් නිවන් දකින්න බැහැ. අටසිල් සමාදන් වුණ උපාසක අම්මා කෙනෙක් කියනවා නම් මට මේකෙන් නිවන් දකින්න පුළුවන් කියලා. අන්න ඒකත් සීලබ්බත පරාමාසයක්. සීලයෙන් නිවන් දකින්න බැහැ. සමාධියට යන්න ඕන. සමාධියෙනුත් බැහැ. එතැනින් ප්‍රඥාවට යන්න ඕන.

සිල් රැකලා නිවන් දකින්න පුළුවන්නම් මරුනේ. එහෙමනම් අපේ රටේ කාන්තාවෝ බොහෝ දෙනෙක් නිවන් දකියි. සීලයෙන් කරන්නේ කය, වචනය, සංවර කිරීම.

ඔය සීලබ්බත පරාමාස කියන්නේ සීලය ප්‍රමාණ කොට ගැනීමයි. ඒකටම වහල් වීමයි. බෞද්ධ සීලයක් වුණත් ඒකටම වහල් වුණොත් ඒකත් සීලබ්බත පරාමාසයක්. හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ගේ ‘මහරහතන් වහන්සේ’ පොතෙත් මේවා ගැන හොඳට පහදලා දෙනවා.

බුදුදහම ලෙස වැරදි දේ ප්‍රචාරය වෙනවා නම් දැන උගත් භික්ෂූන් වහන්සේලා එවැනි වැරදි නිවැරදි කරන්න ඉදිරියට පැමිණිය යුතු නොවේද?

හාමුදුරුවරුන් බණ කියද්දී මේවා ගැන ඕන තරම් විග්‍රහ කරලා හරි වැරැද්ද පහදා දෙනවා. ඔබ බණ අහනවද කියන්න මම දන්නෙ නැහැ. මම අදත් බණකට යනවා. එතැනදිත් කියන්න ඉන්නේ ඔය ගැන තමයි. ඒ කියන්නේ මෝස්තර බුද්ධාගම ගැන. අපි ඕනතරම් ඒ ගැන කියනවා.

ඔය මොරටුවෙ ඉන්නවා හාමුදුරු නමක් උන්නාන්සේ බුදුදහම විකෘති කරනවට එරෙහිව නඩුත් දාලා.
කවුද ඒ ස්වාමීන් වහන්සේ?

හෑගොඩ විපස්සි කියන්නේ. අන්න නියම හාමුදුරුවරු. එයා නිර්මල බුදුදහම වෙනුවෙන් නඩු කියනවා.

අපේ පුවත්පත සමග ගිය සතියේ දහම් සාකච්ඡාවට සම්බන්ධ වුණේ හෑගොඩ විපස්සි හාමුදුරුවො තමයි?

එහෙමද?

උන්වහන්සේ කියන ඒවා ඇතැම් විට ඔබේ පුවත්පතේ විකෘති කරලා පළ කරලාද දන්නෙ නැහැ. ඔබ පුවත්පතේ ගියවර පළ වූ එම ලිපියේ සඳහන් ආකාරයට සීවලී පිරිත, පිරිත් පොතේ නැහැ තමයි. ඒ වගේම ජල නන්දන පිරිත, වට්ටක පිරිත පිරිත් පොතේ නැහැ. සූත්‍රවල කොහේවත් නැහැ. ඒවා හඳුන්වන්නේ ලංකාවේ නිර්මාණය වෙච්ච පිරිත් ලෙසටයි.

ලංකාවේ වුණත් මේවා ගම්බද දුප්පත් මිනිස්සුන්ගේ විශ්වාස ඇදහිලි බවට පත්වෙලා. දැන් අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතිනවා. පොදු ජනතාව පිළිගන්නවා. ඒ නිසා ඒවට පහර ගහන එක හොඳ නැහැ.
ගියවර සාකච්ඡාවේදී අප සඳහන් කළේ හෑගොඩ විපස්සි හාමුදුරුවෝ කියපු දේ පමණයි. උන්වහන්සේ කිව්ව සීවලී පිරිත, ‌​ඡේවර පිරිත, ජය පිරිත බුදුදහමට අයත් නොවන බව. එයයි අප කීවේ.

සූත්‍ර පිටකයේ කොහේවත් ඔය පිරිත් නැහැ. මමත් කිව්වේ ඒක තමයි. ඒත් අපේ අහිංසක ජනතාව ​අතේ මේවා කාලයක් තිස්සේ තිබෙනවනේ. ඒ ගැනයි අපි සඳහන් කරන්න ඕන.
බුද්ධ ධර්මයයි බුදුදහමයි කියන්නේ දෙකක්. බුද්ධ ධර්මය තිබෙන්නේ ත්‍රිපිටකයේ. බුදු දහම තිබෙන්නේ ගමේ මිනිස්සු අතේ. ඔය දෙක අතර වෙනසක් මෙන්ම සම්බන්ධෙකුත් තිබෙනවා.

ධර්මය විකෘති කරන භික්ෂූන් වහන්සේලා පිටුපස යාමෙන් සාමාන්‍ය බෞද්ධ ජනතාව ලොකු මුලාවක වැටෙනවා?

මේ සමාජයේ මිනිස්සු ඉන්නේ විවිධ බුද්ධි මට්ටම්වල. බුද්ධාගම්කාරයෝ වුණත් එහෙමයි. ඉතා සුළු පිරිසක් තමයි ඔය විකෘතිය පස්සේ යන්නේ. අනෙකුත් ජනතාව පන්සල් කේන්ද්‍ර කර ගනිමින් රටේ සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඔය කොහේ හරි පොඩි තුවාලයක් අල්ලගෙන මුළු ඇඟේම හොරි තියෙනවා කියන්න නරකයි. එවැනි කටයුතු ඔය දෙතුන් දෙනකුගේ වුවමනාවට සිදුවෙන දේවල්. හැම බෞද්ධයම එහෙම නැහැ.

අද බුදු දහම මාර්කට් වෙලා. බුදුදහමත් බිස්නස් එකක් කරගෙන. ඉස්සර තිබුණේ එක බෞද්ධ නාළිකාවයි. ඒක අපේ රටට හොඳටම ප්‍රමාණවත්. දැන් එවැනි නාළිකා පහළොවක් විතර තිබෙනවා.
ඉස්සර ඉරිදා පත්තරවල බෞද්ධ ලිපියක් තිබුණේ නැහැ. දැන් හැම ඉරිදා පත්තරේකම පිටුවක් දෙකක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධාගම දැන් මාර්කට් වෙලා.

බුදුදහම ලෙස අධර්මය මාර්කට් වෙනවා නම් ඒක හරිද?

බුද්ධ ධර්මය වුවත් මාර්කට් විය යුතු නැහැ. මාර්කට් වුණහම බාල බඩු එනවා හොඳ බඩු වගේ. බඩු බාලයි ඒත් හොඳ බඩු වගේ වෙස් වලාගෙන එනවා.

ඇත්තටම බැලුවහම මිනිස්සු රැවටිලා?
රැවටිලා. රැවටිලා. මම දැන් කිව්වේ ඒක තමයි.

තුෂාර උඩවත්ත
ඡායාරූපය – ක්‍රිෂාන් කාරියවසම්