විශේෂාංග

රවී ගෙනා ප්‍රීතිමත් කළුවර

කොළඹ කාක්කන් තම තමන්ගේ ‘ලැගුම් ගස්’ සොයා යන වෙලාවේ, කන්තෝරුවෙන් නික්මුණු මම කැස්බෑව බස්රථයක එල්ලුණෙමි. පාමංකඩ ‘ට්‍රැෆික් එක’ බස් රථයේ පෙම් මුල්ලේ සිටි හිරිමල් වියේ කුරුලු ජෝඩුවට පමණක් ආශීර්වාදයක් වෙද්දී ‘පවුල්කාර කුරුලු කිරිල්ලන්’ වඩ වඩාත් නොසන්සුන් කරමින් තිබිණි. ඒ ඉකුත් බදාදා ය.

දියණිය දිවාසුරැකුමෙන් ගැනීම, කුස්සියට අඩුවැඩිය මිලදී ගැනීම, මහන්නට දුන් සාරි හැට්ටයක් ගැනීම, ඉඩ ලදොත් පමණක් මාස දෙකක් තිස්සේ කපාගන්නට බැරි වූ කොණ්ඩය කපා ගැනීම ආදී වූ ‘අතර මඟ වැඩ ලැයිස්තුවකුත්’, ඊට අමතරව උයා පිහා ගැනීම, ගේ දොර අතුපතුගා ගැනීම, රෙදි සේදීම, දියණියට කවා පොවා නින්දට යැවීම ආදී අනිවාර්ය ‘ගෙදර වැඩ ලැයිස්තුවකුත්’ අබියස මා ද සිටියේ නොසන්සුන්කමින් සහ නොරිස්සුමිනි.

සියල්ලටම වඩා දරුණු වූයේ බස්රිය තුළ තිබුණු අධික උෂ්ණය යි. ‘‘බස් එකෙන් බැස්ස ගමන් හොඳ දොඩම් වීදුරුවක් බොනවා…’’ යි කල්පනා කරන විටත් හන්දියේ ‘ජූස් බාර් එකේ’ වැඩ කරන නෝනාගේ සිනා මුසු මුහුණ මැවි මැවී පෙනුණි.

‘‘පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි…’’ බස් රියේ වාදනය වූ ගීතය මා වැනියන් ටික ටිකක්වත් සන්සුන් කරන්නට ඇත.
‘ට්‍රැෆික් එකේ’ ගාට ගාටා ආ බස් රිය කොහුවල පහු කරන විට ම ‘රාහුගේ කටට’ වැටුණි. මණ්ඩලේ කාලසටහනට අනුව ඒ වෙලාවට ඒ පැත්තට විදුලිය කැපී තිබුණු බැවිනි. අඳුරේ ම ඉදිරියට ඇදුණු බස් රිය පිල්ලෑ කුඹුර පසුකර බොරලැස්ගමුවට ළඟා වන විට, අපි එක්වරම ‘අඳුරින් ආලෝකයට’ පිවිසියෙමු.

බසයෙන් බහින විට කටේ කෙළත් හිඳී තිබුණු මම, ජූස් බාර් එකට ගොඩ වුණේ රුපියල් පනහෙ කොළයක් පසුම්බියෙන් එළියට අදින ගමන් ය. ‘ජූස් බාර් එකේ නෝනා’ගේ මූණ වෙනදා මෙන් එළිය නැත. හරියට එය ද කොහුවල තරම්ම කළුවර විය. ඇය යන්ත්‍රයක් වගේ එක අතකින් ‘රුපියල් පනහේ කොලය’ අදින ගමන් අනික් අතින් ‘දොඩම් වීදුරුව’ තල්ලු කළේ, ‘එපා වාහෙට හොදි බෙදන’ ගානට ය. දොඩම් වීදුරුව ද ‘බිංදුවක්වත්’ හීතල නැත. එමෙන් ම ඇඹුල් ය.

‘‘පැය තුනක් තිස්සෙ ලයිට් නෑ. දැන් තමයි ආවෙ…’’
ඇය හැමෝට ම දෙන්නට සකස් කරගෙන තිබුණු ‘උත්තරය’ මට ද කීවේ කිසිවක් අසන්නටත් කලිනි.
‘‘ඒක තමයි… ඒත් මම මේ බැලුවෙ නෝනගෙ මූණත් එක්ක…’’ මට මගේ වාක්‍යය සම්පූර්ණ කරගන්නට ඉඩ ලැබුණේ නැත. ඇය තවත් ගනුදෙනුකරුවකුට ඔරවමින් ‘ඉතුරු සල්ලි පියවන්නට’ ගියා ය.

දිවාසුරැකුමේ පාලකවරියගේ මූණේ තිබුණේ ද වෙනදා නැති වෙහෙසකි. ළමයින් වැඩියෙන් ම කැමැත්තෙන් සහභාගී වන ‘වීඩියෝ නැරඹීමේ වැඩසටහන’ ද වහා අත්හිටුවන්නට සිදුවී තිබේ. ඒ ද ‘ලයිට් කපන’ නිසා ය. ඉන්පසුව කඩ කිහිපයකට ගිහින් බඩු කිහිපයක් ද මිලදී ගත් මම ‘සාරි හැට්ට මහන’ වාසනා ටේලර්ස් වෙත ගියේ, සිකුරාදා පැවැත්වෙන වැඩසටහනකට අඳින්නට නියමිත සාරි හැට්ටය ගැනීමට ය.

‘‘අනේ මිස් තරහ නැතුව බ්‍රහස්පතින්දා එනවද… මිස්ගෙ වැඩේ තියනවයි කිව්වෙ සිකුරාදනෙ… තාම හැට්ටෙ වැඩ ඉවරකරගන්න බැරි වුණා… දන්නැද්ද ලයිට් කපනවනෙ…’’ මේසය මත රෙදි පොදියක් තබාගෙන හිස කස කසා සිටි ‘වාසනා’ ද මේ ‘උත්සව සමයේ’ තමන්ට ‘අවාසනාව කැඳවන්නට’ හදන ලයිට් කැපිල්ලට දහ අතේ දෙස් තබන්නට විය.
‘‘කීයක් හරි ලාභයක් එන්නෙ අවුරුදු සීසන් එකට. ඒ කාලෙට ම මේ කරුමෙත් පාත් වුණානෙ. එහෙන් රෙදි ගොඩ ගැහිලා. මෙහෙන් මිනිස්සු ඇවිල්ලා ආ පිට හැරිලා යනවා. ලයිට් කැපුවා නැතා වැඩ කරන කට්ටියට පඩිගෙවන්න වෙනවා. කඩ කුලිය ගෙවන්න වෙනවා. යූ.ඇන්.පී. ආණ්ඩුවක් ආවොත් ඉතිං ඔහොම ම තමා…’’ ඇය කියන විදියට මගේ හැට්ටයේ ප්‍රශ්නයට වගකිව යුත්තේ ආණ්ඩුව යි.

ඒ කෙසේවෙතත්, බ්‍රහස්පතින්දා රෑ 8 – 9 වනතුරුත් කන්තෝරුවේ වැඩ කරන්නට නියමිත මම එක්කෝ සිකුරාදාට ‘අලුත් සාරිය’ ඇඳිය යුත්තේ ‘හැට්ටයක් නැතිව’ ය. එසේත් නැත්නම් ‘පරණ සාරියක් ම’ ඇඳගෙන යා යුතු ය. සිකුරාදා තිබෙන ‘වැඩසටහනට’ අඳින්නට ම කියා, දවස් දෙකක් තිස්සේ කඩවල් තුනක් හතරක් පීරා රුපියල් ම හාරදාස් අටසියයකට මිලදී ගත් සාරියෙන් ‘බෙල්ලේ වැල දාගන්නට’ තරම් සිතුනි. අයියෝ සල්ලි…!

ඉන්පසුව මම කෑම කඩේකට ගොඩවී පවුලේ රාත්‍රී භෝජනය පිණිස ආප්ප දුසිමක් ද ඇණවුම් කළෙමි. ඒ නවයට කලින් උයා පිහාගන්නට හැකි වේදෝයි නොවේදෝයි යන ‘සැක පිට’ය.
‘‘නවය ට ලයිට් කැපුවාම බිස්නස් එක ඉවරද…?’’

මම ආප්ප බාසුන්නැහේගෙන් ඇසුවෙමි. ‘‘දෙයියනේ කියල ෂේප් එකේ අයිස් පාරක් ගහනවා…’’ ආප්ප බාසුන්නැහේ එසේ කීවේ මුදලාලිට නෑසෙන්නට ය. ‘රවී ලයිට් කපන විට රජ මඟුල් ආප්ප බාසුන්නැහේට නෙව…’යි මම මට ම කියාගතිමි.
බිල ගෙවන ගමන් කඩේ මුදලාලිගෙන් ද එම ප්‍රශ්නයම ඇසුවෙමි.

‘‘තව ටිකකින් නවය ට ලයිට් කැපුවාම මුදලාලිගෙ බිස්නස් එක ඉවරද…?’’
‘‘ගෑස් ලාම්පුවක් පත්තු කරගන්නවා. ඒ වුණාට මිනිස්සු යන්නෙ එහා පැත්තෙ කඩේට. ඒ ගොල්ලන්ට ජෙනියක් තියනවනෙ. පාඩුයි තමයි ඉතිං. ඒත් මොනව කරන්නද…? අපට විතරක් නෙවෙයි නෙ. මේක මුළු රටටම බලපාන දෙයක්නෙ. ආණ්ඩුව කියලත් මොනව කරන්න ද…?’’

‘කැපුවත් කොළ’ මුදලාලිට අන් අයට මෙන් ආණ්ඩුවට බණින්නට හිතෙන්නේද නැතුවා වාගේ ය.
ආප්පත් අරන් ත්‍රී වීලරයක නැඟී ඉතුරු කෙටි දුර ද ගෙවා දමමින් අපේ ‘කුලී මාළිගාවට’ සපැමිණි මා, ගෙට ගොඩ වූයේ, දොර ඇර හතර වටේටම ‘ලයිට්’ දමාගෙනය. ඒ අවුරුද්දටත් කලින් අප නැති වෙලාවේ ‘නෑගම් ඇවිත්’ තිබුණු ‘සොරුන් පිළිබඳ’ තවමත් නොසන්සිඳුණු සැක සාංකා සහිත වූ බැවිනි. අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් වෙනුවෙන් නගරයෙන් බැහැර ගොස් සිටින සැමියා ගෙදර එන විට එකොළහ පහුවෙතැ’යි කියා තිබූ බැවින්, තව ටිකකින්, මාත් මගේ කුඩා දියණියත් සොර බියේ, මර බියේ කරුවලේ සිටිය යුතුය.

‘‘අහෝ දුකකි… අටට කාලකි… නවය ට ලයිට් කපන්නට කලින් කළ යුතු වැඩ අටෝරාසියකි…!’’
ඒ අල්ල පනල්ලේ එහෙන් මෙහෙන් එන කෝල් කට් කරමින්, ගේ පුරා දුව පැන ඇවිදිමින් ‘මැසිමක් සේ’ වැඩ කරන අතරතුර කෝකටත් කියා ඉටිපන්දමයි ගිනිපෙට්ටියයි ‘සාක්කුවේ’ ලා ගතිමි.
‘‘මේ පාර පඩි ගත්ත ගමන් රී චාර්ජබල් ලයිට් එකක් ගන්න ඕන…’’

‘රී චාර්ජබල් ලයිට් එක’ ලබන මාසේ ගත යුතු බඩු ලැයිස්තුවේ ප්‍රමුඛතම තැනට ආවේ ඒ වෙලාවේය.
ඉන්පසු ගේ දොර බාගෙට අතුපතුගා ගත්තෙමි. දියණියගේ ඇඟ සෝදා ‘කාටූන් චිත්‍රපටයක්’ ඉදිරියෙන් වාඩි කරවූයෙමි. රෙදි ටික ‘වොෂින් මැෂින් එක’ට එබුවෙමි. ලයිට් යන්නට කලින් කළ යුතු ‘ලොකුම වැඩේ’ දියණියට ආප්පයක්වත් කවා ‘බෙහෙත් ටික’ පොවා ගැනීම ය.

‘‘ඔව් මම කෙසේ හෝ නවයට කලින් එය කළෙමි…!’’
දියණියට කවා, බෙහෙත් ටික පොවාගත් මා සිටියේ පස්වනක් ප්‍රීතියෙන් පිනා යමිනි. කවන්නේ නැතිව බෙහෙත් පොවන්නට බැරිය. හරියට බෙහෙත්ටික පොවා නොගතහොත්, රෑට රෑට ඇයට ගැනෙන ‘උණ’ ය සුව කරගත නොහැකි වනු ඇත.
කෙසේ වෙතත් මට නම් එකදු ආප්පයක්වත් කන්නට නොහැකි විය. ඒ තබා දාඩිය පිටින්ම ඇඳුමක් මාරු කරගත්තාට ඇඟපත සෝදාගන්නට නොහැකි විය. වොෂින් මැෂින් එකේ රෙදි ටික බාගෙට සේදී තිබියදී, රූපවාහිනිය සහ ලයිට් සියල්ලම නිවාගෙන හරියටම නවයට ‘අඳුරු නීතිය’ වැටිණි.

‘‘අම්මේ… අම්මේ… අම්මේ…’’
කළුවරට බය වූ දියණිය කෑ ගසමින් හඬද්දී සාක්කුවේ ලාගෙන තිබූ ඉටිපන්දම දල්වාගත් මා මඳ අඳුරේ පය ඔබමින් සාලයට ගියේ ‘නයිටිංගේල්’ මෙනි. අප්පච්චීත් නැති නිවසේ මා සමඟ පමණක් සිටීම බිය ජනක අද්දැකීමක් වූ නිසාවෙන්දෝ දියණිය නොකඩවා ම හඬන්නට පටන් ගත් අතර ඇය නළවාගැනීම වෙනදාට වඩා අපහසු කාරණයක් විය.

සාලයේ උඩ එල්ලුණු පංකාව ද ලයිට් ගිය සැණින් ‘වැඩ වරන්නට’ පටන්ගත් බැවින්, දියණියට පමණක් නොව මට ද දොර ජනෙල් වැසූ නිවහන, නිවහනක් නොව ; පෝරණුවක්’ම විය. ඒ වන විටත් නොකඩවා හඬන දියණිය වඩාගෙන නානකාමරයට ගොස් කකුල් විතරක් සෝදාගත් මා ඇයත් කැටුව නිදන කාමරයට ගියේ ඇයව නළවා නින්දට යවන අදහසිනි.
‘‘කළුවරට බයේ හඬන ඇය නින්දේදී සිහින දකිමින් සිනාසෙනු ඇත…’’ මට සිතුණි.

‘‘සිහිල් වෙතියි සඳ ඉතා
සාවා එහි පැන ගතා
රැසින් අඩක් නොනවතා
සිටී ද ඒ හොඳ සතා…
දොයි දොයි දොයි – බයි බයි බයි
නිදි මව එයි වැළැඳැ ගනියි…’’

දියණිය උකුළේ හොවාගෙන ‘නැළැවිල්ලේ’ කවි කියමින් සිටි මා පිළිබඳ දුකට මගේ ඇඟෙන් නොකඩවා දාඩිය ගැලුවා මිස දියණිය නින්දට ගියේවත්, ඇගේ ඇඬියාව නැවතුනේවත් නැත.

ඉන්පසුව මම දියණිය වඩාගෙන ඉදිරිපස දොර හැරපියා එළියට ගියේ, පවන් රොදක සිසිලස සහ හඳ එළිය හොයාගෙනය.
කොළඹ ඇවිදින්, බොහෝ කලකට පසුව මට රාත්‍රියේ හඳ එළිය නැවත වතාවක් සිත් සේ විඳින්නට හැකි වූයේ එදා ය. එදා එය මටත් මගේ දියණියටත් කාන්තාරයේ දී හමුවූ දියපොදක් විය. දියණිය ද ‘කවියෙන් පමණක්’ අසා තිබූ ‘හඳේ හාවා’ හැබැහින් දැකගත්තේ ද එදාය. නිව්යෝක් නුවරදී අහම්බෙන් හඳ දැක්ක කවියක් ලියූ මහගම සේකරද ඒ වෙලාවේ මගේ මතකයට එබෙමින් සිටියේය.
එසඳ ඒ සඳ කළු වලාවක ඇඳුණු රිදී රේඛාවක්ම විය.

හඳ එළියේදී නැළැවුණු දියණිය ඇඳේ හොවා නිදිකරවන්නට එන ගමන් ජංගම දුරකථනයේ තිරය එළියවනු දුටුවෙමි. ඒ කුමක් හෝ කෙටි පණිවුඩයක් නිසාවෙනි. දුර බැහැර ගමනක් ගොසින් නැවත කොළඹ එන සැමියාගෙන් ලැබෙන පණිවුඩයක් විය යුතු යැයි සිතා, මම මගේ ජංගම දුරකථනය අතට ගත්තෙමි.
එහෙත් එය නිකම්ම නිකං කෙටි පණිවුඩයක් නොවිණි. බරපතළ ‘නිව්ස් ඇලට්’ එකකි.

‘‘සෙනසුරාදා උදේ නවයේ සිට ඉරිදා උදේ නවය දක්වා කොළඹ, දෙහිවල, මහරගම, බොරලැස්ගමුව, කෝට්ටේ, කඩුවෙල, කොලොන්නාව ඇතුළු තදාසන්නයට පැය 24කට වතුර කැපේ. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසන්නේ විදුලිය විසන්ධිකිරීමට සාපේක්ෂව කළයුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එසේ ජලසැපයුම අත්හිටුවීමට සිදුවී ඇති බවයි.’’

හඳ එළියෙන් නිවී සිටි මා නැවතත් පත්තු වී පුපුරන්නට යන බවක් හැඟුණි.
සතියත් ඉවරයි…! සති අන්තයත් ඉවරයි…!!

සුරේඛා සමරසේන.