අතන මෙතන

රම්පොසා – රනිල් හමුව උදේ කෑමකට සිමා වූ හැටි

පසුගිය බ්‍රහස්පතින්දාව ‘අගමැතිවරයාගේ දිනයක්’ විය. ඒ එදින අගමැති රනිල්ට වැඩ අධිකතම දිනයක් වූ බැවිනි. දවස ආරම්භ කරමින් රනිල් මුලින්ම ගියේ නාරාහේන්පිට ශාලිකා පිට්ටනියට ය. ඒ ‘ශාරීරික සුවතාවය’ සඳහා ක්‍රීඩා කරන්නට නම් නොවේ. චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගි බස් රථ ඩිපෝවලට බෙදා දීමේ උත්සවයකට සහභාගි වීමට යි.

ඇමති අර්ජුන හා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වී සිටියහ. කෙසේවෙතත් මෙහිදී අගමැති රනිල් ඇතුළු පිරිස නව බස්රථවලට ගොඩ වී මඳවේලාවක් පිටිය වටා යාමට ද අමතක නොකළේ ය.

ඉන්පසුව රනිල් කෙළින්ම ගියේ කටුනායක ගුවන්තොටුපළට ය. ඒ දකුණු අප්‍රිකානු ජනාධිපති දකුණු අප්‍රිකානු ජනපති රම්පෝසා ඕස්ට්‍රේලියා නවසීලන්ත සංචාරයකින් පසු සිය රට බලා යන අතරතුර පැය 02ක කාලයකට කටුනායක ගුවන්තොටුපළේ විශේෂ ආරාධිතයන්ගේ අංගණයට පැමිණෙන බවට දැනුම් දී තිබුණු හෙයිනි.

මෙහි එන විට අගමැති රනිල්ට ද හොඳටම ‘බඩගිනි වී’ තිබුණු අතර ඔහු ‘රම්පෝසා’ සමග උදේ ආහාර ගැනීමට සහභාගී වූයේ,

‘‘කිරිබත්, ආප්ප, ඉදිආප්ප, පිට්ටු, කැවුම්, කොකිස් ඔක්කොම තියෙනවා… ඔබතුමාට හුරු පුරුදු දකුණු අප්‍රිකානු, බටහිර ආහාරත් තියනවා… එහෙනම් ඉතින් සප්පායම් වෙලා ඉමු…’’ යි කියමිනි.

උදේ ආහාරය බුක්තිවිඳින ගමන්, රම්පෝසා සමඟ මඳ වේලාවක් සාකච්ඡාවේ නිරත වූ රනිල් අනතුරුව යළිත් අරලියගහ මන්දිරයට පැමිණියේ, පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී වීම සඳහා ය.