විශේෂාංග

රනිලුත් බරට බර පූජා කළ තිරුපති දෙවොල් වගතුග

බොහෝ පිරිසකට දෙවියන් බුදුන් සිහිවන්නේ යම් දුකක් හෝ කරදරයක් විපතක් වැනි දෙයක් සිහිවුණු විටය. එවිට ඔවුහු ‘‘හඳහන් බලා’’ අපල උපද්‍රවය කුමක්දැයි විමසා බලති. ඒවායින් නිර්දේශ කෙරෙන ආකාරයට පන්සලට හෝ දේවාලවලට ගොස් බෝධි පූජා හෝ නව ග්‍රහ පූජා ආදිය පවත්වා සෙත් පැතීම්වල යෙදෙති. මේ කාරණා සම්බන්ධයෙන් ලංකාවේ බොහෝම දෙනකුගේ ජනප්‍රියම දේවාලය කතරගම ය. එහෙත් දැන් දැන් ඉන්දියාවේ තිරුපති දේවාලය (තිරුපති කෝවිල) වෙතද යෑමේ රැල්ලක් හට ගෙන තිබෙනු පෙනෙයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීම, මේ සම්බන්ධයෙන් අසන්නට ලැබුණු අලුත්ම සිද්ධියයි.

ඡන්දයක් ළං වන විටදී අපේ රටේ දේශපාලනඥයින් ද, එළඹෙන තීරණාත්මක අවස්ථාවලදී ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් වැනි උදවියද තිරුපති වන්දනාවේ යන්නාහ. තිරුපති වන්දනාවේ අරමුණ තමන්ට සිදු වූ යම් දුක් කරදරයකින්, අපලයකින් සහනයක් ලබා ගැනීම බව කවුරුත් දන්නා කාරණයකි. එහෙත් ඡන්දයක් ළං වන විට දේශපාලනඥයන් කරන තිරුපති වන්දනාව ඊට වඩා වෙනස්ය. ඔවුහු තිරුපති වන්දනාවේ පිහිටෙන් ජයම ප්‍රාර්ථනා කරති.

අපේ රටේ දේශපාලනඥයන් අතරින් වැඩිම වාර ගණනක් තිරුපති වන්දනාවේ ගිය අය අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු කැපී පෙනෙති. මේ දෙදෙනාම ඡන්දයක් ළං වන විට හෝ ඡන්දයක් සඳහා නාම යෝජනා පත්‍ර භාර දෙන්නට පෙරාතුව තිරුපති වන්දනාවේ යති.

ලංකාවෙන් පමණක් නොවේ, ලොව වෙනත් රටවලින් පවා අති විශාල පිරිස් ඇදී එන තිරුපති කෝවිල පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයේ තිරුපති නගරයේය. එය තිරුමාලා කන්ද යැයි ප්‍රකටය. ක්‍රි.ව. 966 දී පමණ බිහිවුණු තිරුපති කෝවිල ඉන්දීය වැසියන් විසින් මහත් බැතියෙන් වැඳුම් කරන පූජනීය ස්ථානයකි.
එහි වැඩ වෙසෙන්නේ විෂ්ණු දෙවියන්ය. එනම්, ඉන්දීය ව්‍යවහාරයේ හැටියට ‘‘ගෝවින්දා සාමි’’ දෙවියන්ය.

තිරුපති දේවාලයට පැමිණෙන බොහෝ පිරිසක් රත්තරං. රිදී, මුතු, මැණික් වැනි වටිනා ද්‍රව්‍ය පූජා කරන අතර තවත් පිරිසක් ලක්‍ෂ ගණනින් මුදල් පරිත්‍යාග කරති. ඇතැම් ඉන්දියානුවන් තම ව්‍යාපාර කරන අතර දිනකට ගෝවින්දා සාමි (විෂ්ණු දෙවියන්) වෙත මුදලක් වෙන්කර මාසිකව එම මුදල් තිරුපති කෝවිලේ ගිණුමට බාර කරති.

තිරුපති කෝවිලෙන් ආශිර්වාද ලබාගැනීමට නිතිපතා ලක්‍ෂ ගණනින් පිරිස් ඇදේ. එහි උස් මිටි හෝ දුප්පත් පෝසත් භේදයක්ද පෙනෙන්නට නැත. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ ද රාජ්‍යතන්ත‍්‍රය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයන් ඉඩක් ලද සැණින් තිරුපති වන්දනාවේ යන බව රහසක් නොවේ. බොහෝ දේශපාලනඥයන්ගේ වාර්ෂික කාලසටහනේ තිරුපති වන්දනාව අනිවාර්ය අංගයකි. දේශපාලනඥයන්ට අමතරව, ව්‍යාපාරිකයන්, නළු නිළියෝ ගායක ගායිකාවෝ, ප‍්‍රභූහු විශාල වශයෙන් තිරුපති වන්දනාවට එක්වෙති.

ප‍්‍රභූන් අතරේ සාමාන්‍ය හා දුප්පත් ජනයා ද තිරුපති වෙත පැමිණ දේව ආශිර්වාදය ලබා ගනිති. කෙසේ වෙතත් තිරුපති කෝවිලට බාර වීමෙන් සිතු දේ සඵල වන බවට දැඩි විශ්වාසයක් ඉන්දීය ජන සමාජයේ මුල්බැස ගෙන තිබේ. එබැවින් රට, ජාති, පළාත් භේදයකින් තොරව කෝවිලට ගොස් භාරවීමට කවුරුත් අමතක නොකරති.

මේ ගෙවෙන්නේ කලියුගයයි. කලියුගයේ දී මතු බුද්ධත්වය පතන විෂ්ණු දෙවියන් ජීවමානව වැඩසිටින තැනක් හැටියට තිරුපති කෝවිල ප‍්‍රසිද්ධව තිබේ. වෛෂ්වන බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව විෂ්ණු දෙවියන් ලෝකයේ අවසන් කාලය ගතකරන්නේ මෙතැනය. මෙතැනට පැමිණ යමෙක් සිය දුක ප‍්‍රකාශ කරන්නේ නම්. බලාපොරොත්තු වන සමෘද්ධිය පතන්නේ නම්, ප‍්‍රශ්න සහ ගැටලුවලට විසඳුම් ඉල්ලන්නේ නම් ලැබීම, දියුණුව පතන්නේ නම්, කීර්තිය, ප‍්‍රශංසාව, ජන ප‍්‍රසාදය ඉල්ලා සිටින්නේ නම්, විෂ්ණු දෙවියන්ගේ කාරුණික අවධානය යොමුවී ආශිර්වාදය උදාවෙන බව පැවසේ.

තිරුපති වටා පිහිටි සප්තගිරි නමින් ප‍්‍රකට කඳු ගැට හතේ විෂ්ණු දෙවියන්ට සබැඳි දේවාල හතක් පිහිටා තිබේ. ඒවායෙහි විෂ්ණු දෙවියන්ට සමීප අයගේ හා ඔවුන්ගේ පාරිභෝගික වස්තු පිහිටා ඇති බව කියැවේ. නන්දි දේවාලය, නීලා දේවාලය, ගරුඬා දේවාලය, ශේෂාගිරි දේවාලය, විෂ්ණු ගිරි දේවාලය, කලියුග විෂ්ණු දෙවොල, හනුමා දේවාලය ඉහත කී දේවාල හතයි. තිරුපති හෙවත් තිරුමාලා කෝවිලේ වාර්ෂිකව උත්සව ගණනාවක් පැවැත්වේ. ඒ මහා විෂ්ණු හෙවත් සිරිනිවාසල බාලාජි නමින් හඳුන්වන දෙවියන්ට පූජෝපහාර වෙනුවෙනි.

තිරුපතිවල පැවැත්වෙන ප‍්‍රධාන ම උත්සවය බ‍්‍රහ්මෝත්සවයයි. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන අතර ඊට මිලියන ගණනක් ජනයා ඒකරාශී වේ. කෝවිලේ වසන්තෝත්සවය මාර්තු, අපේ‍්‍රල් මාසවලත්, තෙසපත්මි උත්සවය පෙබරවාරියේත් උත්සවාකාරයෙන් සැමරේ.

සාමාන්‍ය ජනයා වෙනුවෙන් පවතින සුවිශාල පෝලිම නිසා ඉන්දියාවේ සහ විවිධ රටවලින් එන ප‍්‍රභූන්ට වෙනම වී.අයි.පී. පෝලිමක් පිහිටුවා තිබේ. මේ පෝලිම ඔස්සේ ගොස් රස්තියාදුවකින් තොරව තිරුපති වන්දනා කිරීමේ භාග්‍යයද ලොකු ලොකු ඇත්තන්ට හිමි වේ. තිරුපති එන බොහෝ දේශපාලනඥයෝ පක්‍ෂ නායකයෝ සිය මැතිවරණ ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් බාරහාර වෙති. ජයග‍්‍රහණය කිරීමෙන් පසුව තිරුපති වෙත පැමිණ තම ශරීරයේ බරට හෝ රත්තරන් කාසි පූජාවක් කිරීම සාමාන්‍ය දෙයකි.

ඇතැම් දේශපාලනඥයන් තිරුපති වන්දනාවේ එන්නේ හොර රහසේය. ඔවුහු එහි ඇති පාප විනාශක දිය ඇල්ලෙන් නා පිරිසුදු වෙති. මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ පසු එතෙක් සිදු කළ සියලු පවුවලින් නිදහස් වීමට අවසර ලැබෙන බව ද කියැවේ.

බෞද්ධයන් විශ්වාස කරන ආකාරයට තිරුපති පිහිටා ඇති තිරුමාලා කන්දේ බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක් ඇති බව ද කියැවේ. ඒ පිළිබඳ කතාවේ කියවෙන හැටියට බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරද්දී සප්තභද්‍ර නම් තවුසකු මුණ ගැසී තිබේ. එම තවුසා බුදුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාරා පසුව පැවිදි වීමට අවසර ඉල්ලා ඇත. සප්තභද්‍ර තවුසා බුදුරජාණන් වහන්සේගේ සෙවණේ පැවිද්ද ලබාගත් අතර මෙහි සිට මට වැඳුම් පිදුම් කිරීමට පූජනීය වස්තුවක් ලබා දෙන්නැයි’ බුදුහිමියන්ගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෙහි සිරිපා සලකුණ පිහිටු වූ බව කියැවේ. ඒ අනුව තිරුපති යනු බෞද්ධ උරුමයක් හැටියට ගැනීමේ වරදක් නැත. නමුත් බොහෝ දුරට බෞද්ධයන්ට වඩා ඉන්දීය දෙමළ ජනයා මෙහි යන බව පෙනේ.

තිරුපති පුරාණ කතාවට අනුව මුලින් මෙහි තිබී ඇත්තේ විශාල තුඹසකි. ඉන්දියාවේ තොණ්ඩමාන් නමැති ප‍්‍රාදේශීය පාලකයකුට තිරුපති ස්ථානයට කිරි කළවලින් පූජා පවත්වන්නැයි දේව අණක් ලැබී තිබේ. කිරි පූජාව පවත්වද්දී දේව රූපය මතුවී පෙනෙන්නට වී ඇති අතර, ඔහු ඉතා භක්තිමත්ව පූජා සිදුකොට ගෝපුර ප‍්‍රාකාර සහිතව දේවාලය ඉදිකර තිබේ.

තිරුපති කෝවිලේ දී බොහෝ බැතිමත්හු සිය කොණ්ඩය පවා බූගා තම භක්තිය ප‍්‍රකාශ කරති. බූ ගෑ හිසකේ අලෙවියෙන් පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන හයක ආදායමක් කෝවිලට ලැබෙන බව ප‍්‍රකාශ වේ. මෙසේ කොණ්ඩය කැපීමට ස්ත‍්‍රී, පුරුෂ හෝ බාල, මහලු භේදයක්ද නැත.

විශේෂයෙන් තිරුපති වන්දනාවේ යන සමහර රාජ්‍ය නායකයන් ද හිසකේ කොටසක් හෝ කපා භාරවීමටද අමතක නොකරති. එහෙත් එය අනිවාර්ය දෙයක් නොවේ. තිරුපතිවලදී මෙසේ හිස කේ කැපීමට පුරාණ කතාවක් තිබේ.

යම් අවස්ථාවකදී විෂ්ණු දෙවියන්ට එල්ල වුණු ඊතල පහරකින් දෙවියන්ගේ හිස කෙස් කොටසක් ගැලවී ගොස් තිබේ. මෙය දුටු ගාන්ධර්ව කුමරියක් වන නීලාදේවිය (ඇය වෙනුවෙන් ඉදිකළ කෝවිලක් තිරුපති දෙවොල අසල වෙයි.) තමන්ගේ වරලස කපා ඒවායින් විෂ්ණුගේ කෙස් ගැලවුණු තැන වසා දැමීමට කටයුතු කර තිබේ. නීලා දේවිය කළ උසස් ක‍්‍රියාව සිහි කරමින් බොහෝ බැතිමතුන් තම හිසකේ පූජාව කරන අතර ඒ නිසාම බැතිමතුන් හට විෂ්ණු දෙවියන්ගේ සහ නීලා දේවියගේ ආශිර්වාදය ලැබෙන බවද බැතිමත්තු විශ්වාස කරති.

තිරුපතිවල උත්සව සමයේ රුපියල් බිලියන 25කට අධික මුදලක් එකතු වන බව පැවසේ.
තිරුපති කෝවිල පාලනය වන්නේ සාමාජිකයින් විශාල පිරිසකගේ එකතුවෙන් සෑදුණු සභාවක් මගිනි. එහි සභාපති කිෂ්ණ මූර්ති මහතා පැවසුවේ මේ වනවිට තිරුපති දේවාලය මගින් විශ්ව විද්‍යාල, අනාථ නිවාස, පාසල් සහ රෝහල් රැසක් දේවාල මුදලින් නඩත්තු වෙන බවයි. තිරුපති දේවාලය මුල් කර ගෙන ආන්ද්‍රා ප්‍රාන්තයේ පවුල් 48000 ක් පමණ ජීවත් වන බව ක්‍රිෂ්ණ මූර්ති මහතා පවසයි. ‘‘මේ වනවිට තිරුපති දේවාලය මගින් ආන්දා ප්‍රාන්තයේ ජනයාට අාදායමක් උපයා ගැනීම පිණිස මල් වර්ග වගා කිරීමට ව්‍යාපෘතියක් සකස්කර තිබෙනවා. මල් අක්කර ගණන් ජනයා වගා කරනවා. ඒ මල් විශේෂයෙන් සකස් කළ ලොරි යොදවා දේවාලයෙන් මිලදී ගන්නවා. මෙම ප්‍රාන්තයේ ජනයා එන බැතිමතුන්ට අවශ්‍ය පානීය වතුර බෝතලය පවා සකස් කරලා අාදායමක් ලබා ගන්නවා. මේ වනවිට මැලේසියාව, ලංකාව, ස්විට්සර්ලන්තය, කැනඩාව, සිංගප්පූරුව යන රටවල්වල බැතිමතුන් නිතර පැමිණෙනවා. ලාංකිකයින් දිනකට 150 – 200 අතර පැමිණෙනවා. විදේශිකයන්ට තම ගුවන් අවසර පත්‍රය පෙන්වලා ඉන්දීය රුපියල් 300 ක් ලබා දීලා සහන ක්‍රමයකට යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ එන අයට නොමිලේ ආහාරපාන, සෞඛ්‍ය පහසුකම් හා නවාතැන් ලබා දීමට දේවාල කමිටුව විසින් දිවා රාත්‍රි ක්‍රියා කරනවා. දේවාලයට ලැබෙන පුණ්‍ය ආධාරවලින් විශාල සේවයක් ඉන්දියාවට පමණක් නෙවෙයි විදේශීය රටවල අනාථ නිවාස, විශ්වවිද්‍යාල වෙත පවා ලබා දීම සිදුවෙනවා’’ යැයි ක්‍රිෂ්ණ මූර්ති මහතා පැවසී ය.

තිරුපති වන්දනාවේ යන ලංකිකයන්ට තිරුපති කෝවිලට අමතරව වන්දනා කිරීමට තවත් ස්ථාන කිහිපයක් තිබේ. තිරුපති නගරයට ආසන්නයේ තිබෙන පත්මාවතී (ලක්‍ෂමී) දේවාලය ද වැඳගත හැකි අතර බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල තිබූ ස්ථානය වෙතද ගොස් වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබේ. අන්තිම අසුරයා හා යුද වැදුණු විෂ්ණු දෙවියන් චක්‍රායුධය මවා අසුරයා වැනසූ ස්ථානය ද මෙහි දැක ගත හැකි ය.

තිරුපති කෝවිල 18 වරක් වන්දනාමාන කිරීමෙන් සොයාගත් කරුණු හා අත් දැකීම් ඇසුරෙනි. (විශේෂ ස්තුතිය තිරුපති භාරකාර මණ්ඩපයේ සභාපති ක්‍රිෂ්ණ මුර්ති සාමිතුමා වෙත)

කේ.ඩී. දේවප්‍රිය – කතරගම