අතන මෙතන

රනිල් – මෛත්‍රී නුවරඑළියේ අවුරුදු සැමරූ හැටි

අගමැති රනිල් වික්‍රමසිංහ සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ අවුරුදු සැමරුවේ, නුවරඑළියේ අගමැති නිල නිවසේ ය. නොනගත කාලයේ හෙවත් පුණ්‍යකාලයේ ආගමික වතාවත් කිරීම පිණිස අගමැතිවරයාත් අගමැති බිරිඳත් ගියේ නුවරඑළිය මහගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට ය. ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අගමැතිවරයා සිය නිල නිවසට පැමිණ බිරිද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමග එක්වී අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් කිරි උතුරවා එහි පැමිණ සිටි පිරිස සමඟ අවුරුදු සැමරුවේය.

ඉන් අනතුරුව අගමැති රනිල් නුවරඑළිය නගරයට පා ගමණින් ම පැමිණි අතර නිවාඩුවට නුවර එළි පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසදරෙහි යෙදෙමින් කාලය ගත කළේය. මේ අතර නුවරඑළිය අගමැති නිල නිවස අසලම නිවසක් හිමි හිටපු විදේශ ඇමැතිවරයකු වන රෝහිත බෝගොල්ලාගම ද නගරයේ ඇවිදින්නට පැමිණි සිටි අතර ඔහුට ද නගරයේදී අහම්බෙන් ම අගමැති රනිල්ව මුණගැසුණි.

අවුරුදු දවස් නුවරඑළියේදී ගෙවා දැමූ අගමැතිවරයා ඉකුත් බදාදාවේ නැවතත් කොළඹ පැමිණි අතර ඉන් පසුව සිය නිල රාජකාරි ආරම්භ කරමින් ‘පෝට් සිටියේ වැඩකටයුතු සොයා බලන’ චාරිකාවක නිරත විය. එහි ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටින ‘චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන්’ ද ඊට සහභාගි වූ අතර එහි ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධනේ අගමැතිවරයා ඔවුන්ට ප්‍රශංසා කිරීමට ද අමතක නොකළේ ය.