ගොසිප්

රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට?

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට යෝජනා වී ඇති බව ඔහුගේ සමීපතමයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් තිබූ මෙම තොරතුරේ සත්‍ය අසත්‍යතාව දැන ගැනීම සඳහා කළ විමසීමකදී ජෝන් අමරතුංග කියා සිටියේ එම පුවත නිවැරදි බවයි.

මීළඟ වාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස එම සංවිධානය වෙතින් යෝජනා කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවත් ඔහු කියා සිටියේය. එමෙන්ම එම තනතුර භාර ගැනීම වඩාත් සුදුසු බව තමාගේ පෞද්ගලික අදහස බවත් පැවසූ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ලෝක මට්ටමින් බලපෑම් කළ හැකි එවැනි තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීම රටට ඉමහත් ගෞරවයක් ගෙන දෙන කාරණයක් බවයි.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී ඇත්දැයි කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එවැනි කාරණයක් පිළිබඳ තමන් මේ දක්වා දැනුම්වත් වී නොමැති බවයි.