අතන මෙතන

රනිල්ට පරාක්‍රමබාහු මාරු වුණාද?

සයවැනි පැරකුම්බාවන්ගෙන් පසු මේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම යයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් පසුගිය දා බිංගිරියේ අපනයන සැකසුම් කලාපයකට මුල්ගල තබමින් ප්‍රකාශ කළේය.

සයවැනි පැරකුම්බාවන් වැනි රජවරුන්ගේ නාම කෙතරම් යට ගිහින් තිබෙන්නේ දැයි අපට දැනෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ කතාවෙන් පසු සයවැනි පැරකුම්බාවන් ගැන සොයා ගැනීමටත් මතක් කිරීමටත් තැත් දැරීමෙනි.

සැබවින්ම සයවැනි පැරකුම්බා රජතුමා ගැන අප දන්නේ මොනවාද? රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා සොයා ගෙන තිබෙන්නේ මොනවාද?

අප රාජ වංශයේ රජවරු 182ක් රජකම් කළෝය. ඒ එකසිය අසූ දෙකෙන් දහඅට දෙනෙක්ම පරාක්‍රමබාහුලාය. මේ පරාක්‍රමබාහුලා අට දෙනා අතර නම් දැරූ පරාක්‍රමබාහු වන්නේ ක්‍රි.ව. 1153දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් පළමු පරාක්‍රමබාහුය. ක්‍රියා කලාපය අනුව ඔහු හැඳින්විය යුත්තේ මහා පරාක්‍රමබාහු නමිනි. පරාක්‍රම සමුද්‍රය නම් මහා වැව කළේය. කුඩා වැව් එක් දහස් හාරසිය හැත්තෑවක් කරවූයේය. බිඳුණ වැව් හාරසිය හැට හතක් නැවත ඉදි කළේය. කලා වැවේ සිට අනුරාධපුරයට ජලය ගෙන ගිය ජය ගඟ යළි කරවූයේය. කුඩා ඇළ මාර්ග දහස් ගණනක්ද කරවූයේය. සිරිලක සහලින් ස්වයංපෝෂිත කළ මහා පරාක්‍රම බාහු නරේන්ද්‍රයා අහසින් වැටෙන එක දියබිඳක් ප්‍රයෝජනයට නොගෙන සාගරය වෙත නොයවනුයි සිංහලයාට කීවේය. මහා පරාක්‍රම බාහුය. ගැමුණු, විජයබාහු හා පළවැනි රාජසිංහගේ නම් යුද්ධය හා බැඳී පවතින තරමටම මහා පරාක්‍රමබාහුගේ නම ගොවිතැන කෙරෙහි බැඳී පවතී. එහෙත් රනිල් වික්‍රමසිංහයන්ගේ අවධානය යොමුව ඇත්තේ මේ පරාක්‍රමබාහු ගැන නම් නොවේ.

මහා පරාක්‍රම බාහුගෙන් පසු දෙවන වරට පරාක්‍රමබාහු කෙනෙක් රජවන්නේ ක්‍රි.ව. 1236දීය. තුන්වන පරාක්‍රම බාහු බුද්ධ වර්ෂ 1847දී හතරවන පරාක්‍රම බාහු 1849දීද පස්වන පරාක්‍රමබාහු බුද්ධ වර්ෂ 1894දීද රාජ්‍යත්වයට පත්වූහ. රනිල් වික්‍රමසිංහයන් කියන සයවැනි පරාක්‍රමබාහු රජු රාජාභිෂේකය ලැබුවේ බුද්ධ වර්ෂ 1953දීය. හෙවත් ක්‍රි.ව. 1410දීය. මේ සයවැනි පරාක්‍රම බාහු රජු ගැන මහා වංශයේ එන්නේ අල්ප වූ විස්තරයකි. මහා වංශයේ නම් කරන ආකාරයට ශ්‍රී ජයවර්ධනපුර රාජධානිය හෙවත් කෝට්ටේ රාජධානිය පිහිටු වූයේ 6 වැනි පරාක්‍රමබාහුය. ඔහු කෝට්ටේ දළදාව උදෙසා තුන් මහල් ප්‍රාසාදයක් කරවූ‍ය්ය. දහම් පොත්පත් ලිවීමට ලිපිකරුවන්ට ගම්බිම් දුන්නේය. මහා කඨින පූජා පිංකම් කළේය. දහස් ගණන් සිවුරු පිරිකර පූජා කළේය. ඊළඟට සවෙනි පැරකුම්බාවන් කළ මහා කාර්යය වන්නේ තම මෑණියන්ගේ නමින් පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන පිහිටුවාලීමය.

මේ පිංකම් සහිත විස්තරය හැරෙන්නට සවෙනි පැරකුම්බාවන් කළ වැවක් ඇළක් කර්මාන්තයක් ගොවිතැනක් ගැන මහා වංශයේ සඳහන් වන්නේ නැත.

එහෙත් මහා වංශය ඉතිහාසය පිළිබඳව තතු නිරීක්ෂණය කරන්නට තිබෙන එකම මූලාශ්‍රය නොවේ.
රාජාවලිය විමසන්නකුට මහා වංශයේ නැති රසවත් විස්තරයක් සවෙනි පැරකුම්බාවන් ගැන සොයා ගත හැකිය.

සවෙනි පැරකුම්බාවන් ගැන සඳහන් කිරීමට පෙරාතුව ඒ යුගයේ රටේ තිබූ දේශපාලන තත්ත්වය විස්තර කිරීමත් ඉතා වැදගත්ය. ඒ සවෙනි පැරකුම්බාවන්ගේ යුගය අප ගෙවමින් සිටින යුගය හා සමාන පෙනුමක් ගන්නා නිසාය.

සය වැනි පැරකුම්බාගේ යුගය වන විට ලංකාවේ ප්‍රදේශ තුනක ආධිපතීහු උන්නෝය. ඒ කාලයේ උතුර පාලනය කළේ ආර්යචක්‍රවර්ති නම් දෙමළ රජෙකි. සිංහල රාජධානිය පිහිටුවා තිබුණේ ගම්පොළය. එහි රජව සිටියේ බුවනෙක බාය. නිශ්ශංක අලෙකේෂ්වර නම් බුවනෙකබාහුගේ ප්‍රධාන ඇමැතියා බල සෙනගක් සහිතව කෝට්ටේ පාලනය කරගෙන ගියේය.

ආර්යචක්‍රවර්ති එදා ගම්පොළ රාජධානියේ බුවනෙකබාහුගෙන්ද කෝට්ටේ කඳවුරක් තනා ගෙන සිටි නිශ්ශංක අලකේෂ්වරගෙන්ද අයබදු අය කළේ බලය පෙන්වමිනි. එහෙත් කෝට්ටේ කොටුවක් තනා ගෙන හුන් නිශ්ශංක අලකේෂ්වර උතුරට අයබදු ගෙවීම අත්හිටුවූයේය. එය රාජාවලියේ රසවත්ව මෙසේ විස්තර කරයි.

‘‘ආරියචක්‍රවර්තිගේ සේනාවෙ උඩරටින්ද පහත රටින්ද බලයෙන් අයබදු ගෙන්වන සද එක් දවසක් අලකේෂ්වරයා අයබදුදීම සුදුසු නොවෙතැයි සිතා අවුරුදු ගණනාවකට කන්න වී, පොල්, ලුණු රැස් කර තබාගෙන ආර්යචක්‍රවර්තිගේ බදු ගන්නා උන් එළවා දැමුවේය.

මෙයින් කෝපයට පත් වූ ආර්යචක්‍රවර්තීන් සොළී රටින් දහස් ගණන් ගෙන්වාගෙන කෝට්ටේටත් ගම්වලටත් එකවිට කොටන හැටියට මහ සෙනඟ පිටත් කර එවූහ. එහෙත් අලකේෂ්වර රාත්‍රියේ සොළී වාඩියට එල්ල කළ ප්‍රහාරයෙන් ආර්ය චක්‍රවර්තිගේ සේනාව පැරදී යාපා පටුනට පලා ගියහ. ඒ අනුව සයවැනි පරාක්‍රමබාහු ඉපදීමට ආසන්න කාලයේත් මෑත අතීතයේ සේම උතුරේත් දකුණේත් රාජ්‍ය පාලනයට බලහත්කාරකම් කෙරෙමින් තිබිණ.

එපමණක් නොව එදා චීනයද ලංකාවට මහත් බලපෑමක් කළ අවධියකි. එදා චීනයේ සිට චෙන් හෝ නම් සෙනෙවියා 1409 මෙරටට පැමිණි විට ඔහු නිසි පරිදි රයිගම සිටි වීර අලකේෂ්වර පළි නොගත් නිසා දෙවුන්දර දේවාලයට පඬුරු පුදා ත්‍රි භාෂා ලිපියක් ගාල්ලේ පිහිටුවා ආපසු ගියේය. යළි 1415 ලංකාවට ආ චෙන් හෝ වීර අලකේෂ්වර සමග සටන් කොට ඔහු අත්අඩංගුවට ගෙන චීනයට ගෙන ගියේය. මේ වීර අලකේෂ්වරව වංශකතාවල හඳුන්වන්නේ විජයබාහු නමිනි. අද මේ රටේ සිදුවන්නේ සවෙනි පැරකුම්බාවන්ගේ කාලයේ වූ දේට සමාන දේවල් යැයි සිතමින් අපි රට සහලින් ස්වයංපෝෂණය කිරීමේ කතාව සොයා යමු. මේ කාලයේ සුනේත්‍රා දේවිය (රාජාවලියේ කියන්නේ සුනේත්‍රා දේවිය යනු වීර අලකේෂ්වර හෙවත් විජයබාහුගේ බිරිඳ බවය.) අසරණව තම කුමාරයාත් කැටුව වීදාගම වෙහෙරට ගොස් වීදාගම හිමියන් බැහැ දුටුවෝය. කුමාරයාගේ කේන්දරය බැලූ වීදාගම මහතෙරුන් මේ කුමාරයා ලංකාවට රජ කරන බව දැනගෙන රහසේ හදාවඩා ගැනීමට සතර කෝරලේ රුකුලේ පොල්වත්තේ ගමරාලගේ ගෙදරටත් යකඩ තලන ආචාර්යාගේ ගෙදරටත් යැව්වේය. ඒ ඔහුගේ ජීවිතය කෝට්ටේ රජකරන නිශ්ශංක අලකේෂ්වරගෙන් බේරා ගැනීමටය.

මේ කුමාරයා රෑ ගම ගෙදර නිදයි. දවල්ට ආචාර්යාගේ ගෙදර දරුවන් හා කල් ගෙවයි. මෙබදු කුමාරයෙක් ඉන්නා බව දැනගත් කෝට්ටේ අලකේෂ්වර මේ ගැන විමසා බලන්නට සතර කෝරලේ අාචාරියාගේ ගෙදරට පණිවුඩකාරයෙක් යැවීය. අලකේෂ්වර එවූ පණිවුඩකාරයන්ට පෙනෙන හැටියට අාචාරියා එකල දරුවන්ට තලන පතුවැල ගෙන ඔහුගේ පුතාටත් කුමාරයාටත් එක විට පහර දී හරක් බලාපල්ලායැයි පන්නා දැමීමේය. එකම පතුවැලෙන් ගසා හරක් බලන්නට යයි කියා පැන්නූ හෙයින් මෙහි කුමාරයෙක් නැත. මෙතැන ඉන්නේ අාචාරියාගේ පුතායැයි විශ්වාස කළ පණිවුඩකාරයෝ ආපසු යන්නට ගියහ. පසුව ආචාරියාගේ ගෙදරින් කුමාරයාව වීදාගම පන්සලට ගෙන්වා ගත් වීදාගම මහා තෙරුන් අලකේෂ්වරයන්ට රහසින් කුමාරයාට රයිගම රජකම පවරා ශ්‍රී පරාක්‍රමබාහු යයි නම් තබා සිංහාසනාරූඪ කළහ.

මුලදී රයිගම රජකම් කළ කුමාරයා පසුව කෝට්ටේට ගොස් කෝට්ටේ රජමාලිගා ඉදිකර පළමු රාජධානිය පිහිටුවාලුවේය. මේ සයවන පරාක්‍රම පරාක්‍රම බාහු රජ වූ සැටිය.

කෝට්ටේ රාජධානිය පිහිටු වූ සයවැනි පරාක්‍රමබාහු කුමරා රජවරු දෙන්නෙක් ලංකාවේ සිටිය යුතු නැති බව තේරුම් ගෙන යාපා පටුනේ රජකම් කරන ආර්යචක්‍රවර්ති නෙරපාලීමට සපුමල් කුමරා යාපා පටුනේ යුද්ධයට යැව්වේය. නිල් අශ්වයකු පිට නැගී යාපා පටුනට ගිය සපුමල් කුමාරයා අලකේෂ්වරගේ කොල්ලකාර දෙමළ සේනාව මරා ආර්ය චක්‍රවර්තීන්වත් අසුපිටෙන්වත් අල්ලාගෙන කෝට්ටේට ගෙනැවුත් සයවැනි පරාක්‍රමබාහුට බාර කළේය. එ් සමග ලක්දිව එක්සේසත් කෙරිණ.

ඊළඟට සයවැනි පරාක්‍රමබාහු සොලී රටේ වෙළඳාමට නැවක් යැවූ විට සොළීහු ඒ නැව කොල්ලකෑහ. සොලී රට හෙවත් ඉන්දියාව කියා දෙවන පරාක්‍රම බාහු යට වූයේ නැත. නැව් සිය ගණනක් සොළී රටට පිටත් කරවූ සයවැනි පරාක්‍රමබාහු රජතුමා කළ සුරුවිරුකම රාජාවලියේ මෙසේ විස්තර කරයි.

පරාක්‍රමබාහු රජු තම නැව් කොල්ල කෑ බව අසා වදාරා තම නැව් සිය ගණනක් පිටත් කරවා වීර රාම නම් මලවරාටත් කොටා මරා දමා සොළී රටින් නම් කිහිපයකුත් කොල්ලකාගෙන සොළී රටින් මකුඩ කෝට්ටය කියන ගම් හතරකින් අවුරුදු පතා අයබදු ගෙන්වා ගත්හ.

මේ කිසිවක් සමග නම් අග්‍රාමාත්‍යවරයා සමග පරාක්‍රමබාහු සම වන්නේ නැති බව අපි දකිමු.
එහෙත් මෙතරම් විස්තර තියෙන රාජාජවලියේත් දෙවන පරාක්‍රමබාහු ර සහලින් ස්වයංපෝෂිත කළ පුවතක් නැත.

මේ සියලු පොත්පත්වලින් තොරතුරු හාරමින් පාසලේ දහවැනි ශ්‍රේණියේ ඉතිහාස පොත කරවා ඇත. එම පොතේ හයවන පරාක්‍රමබාහු රජතුමා ඉටු කළ සේවයේ කැපී පෙනෙන කරුණු ලෙස සටහන් කර ඇත්තේ කෝට්ටේ රාජධානිය කිරීම, යාපනය යටත් කර ගැනීම, රට සමෘද්ධි කිරීම ආදී දේය.

මේ ඉතිහාසය පොත කියවන දරුවන් වුව පරාක්‍රමබාහු රට සශ්‍රික කළ බව අගමැතිතුමා කියන විට ඒ ගැන සොයනු ඇත. ඇතැම් විට අප කවුරුත් නොදන්නා කියවා නැති ග්‍රන්ථයක් සෙල්ලිපියක් අගමැතිතුමාට හමුවූවා විය හැකිය. නැතිනම් රජවරුන්ව පෙනෙන ස්වප්නයක් විය හැකිය. රජුන්ට පෙනෙන සිහින අපට පෙනෙනවායැ.