brand logo

රන් කුසලානය නිසා හැමෝම දැනගත් රත්තරන් ළමයි

20 October 2020

සෑම ජයග්‍රහණයක්ම පිටුපස ඇත්තේ දුක් කම්කටොළු මැඳින් දිව ආ මාවතකි. වැටීම්, පසුබෑම් ඔස්සේ ශක්තිමත්ව දෙපයින් සිටගනිමින්, අධිෂ්ඨානශීලීව පැමිණි ගමන්මගේ කූඨප්‍රාප්තිය ලොවට පෙනෙන්නේ ජයග්‍රහණයක් ලෙසිනි. මෙවැනි වූ ජයග්‍රහණයක් පසුගියදා පැවති ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශුරතා අවසන් තරගයේදී හිමි කර ගැනීමට දිරිය දියණියන් පිරිසකට හැකියාව ලැබිණි. වොලිබෝලය කෙරෙහි අසීමිතව පෙම්බැඳි එක් ධෛර්යවන්ත ගුරුවරයකුගේ මගපෙන්වීම ඔස්සේ, මෝදුවන තාරුණ්‍යය කැටිකරගත් ශක්තිමත් යෞවනියන් පිරිසක් විසින් සිය ජන්මයෙන් ලද දරිද්‍රතාවයත්, පරිසරය විසින් ඔවුන්ට උරුම කර දුන් දුෂ්කරතා සමඟ පොරබදමින් සිය අනාගතය ජයගැනීමට වෙර දරනා උත්සාහයේදී තමන් වෙත පැමිණෙන සියලුම බාධාවන් අභියෝගයන් ලෙස සළකමින් එම අභියෝගයන්වලට නිදහසේ දෝලනය වෙමින් ඉහළට ඉපිළෙන අත්පන්දුවට පොළොව පසාරු කරගෙන යන ආකාරයේ වේගවත් ඩෑෂ් ප්‍රහාරයක් එල්ල කරමින් ජාතික වොලිබෝල් පිටිය තුළ ලබා ඇති ජයග්‍රහණයන් අසමසම වන්නකි. මෙම ජයග්‍රහණයන් සඳහා වටිනාකමක් ලබා දීමේ අරමුණින්, ඔවුනගේ අනාගත ජයග්‍රහණයන් සඳහා දිරිය දීමක් වශයෙන් ඩයලොග් ආයතනය සිය මනුසත්කාර මෙහෙයුම ඔස්සේ ඔවුනට දිරිය සැපයීමට පසුගියදා යොමු විය. ඔවුන් නමින් ආණමඩුව මහඋස්වැව රතනපාල විද්‍යාලීය අත්පන්දු කණ්ඩායමයි. පුත්තලම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි එම විද්‍යාලය, කිසිදු ආකාරයේ බලාපොරාත්තුවක් පැළ නොවන භූමියකි. හාත්පස වනයෙන් වට වූ වන අලීන් ගහන එම පරිසරයේ, හෙට දිනය පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගැනීම ද පුදුමයක් බවට පත්වන්නේ එපමණටම එම පරිසරය දුෂ්කරතාවන්ගෙන් ගහණ වී ඇති බැවිනි. නමුත් මෙහි තාරුණ්‍යයේ ගිළිහෙන බලාපොරොත්තු නැවත පුබුදුවාලමින් එම විද්‍යාලයේ ක්‍රීඩා ආචාර්ය අනිල් චන්ද්‍රකුමාර මහතාගේ පුහුණ වීම් කාර්යය යටතේ පාසල් අංශයන්ගෙන් සියලුම අත්පන්දු තරගාවලි ජයග්‍රහණය කරමින්, තමන්ට වඩා පහසුකම් සහිත ප්‍රබල ප්‍රතිවාදී කණ්ඩායම් කිහිප වරක්ම අවසන් මහා තරගවලදී අන්ත පරාජයට පත් කිරීමට මෙම කණ්ඩායම සමත් විය. විශේෂයෙන් මෙවර ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරගයේදී ජ්‍යෙෂ්ඨ ප්‍රතිවාදීන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ඔවුන් ලැබූ අනුශූරතාවය සැමගේ කතාබහට ලක්විය. මෙම පාසලේ පොදු අවශ්‍යතා සහ ක්‍රීඩා අවශ්‍යතා පිළිබඳව සොයා බලා ඔබට කළ හැකි දෙයක් වේ නම් ක්‍රීඩා ආචාර්ය අනිල් චන්ද්‍රකුමාර මහතා අමතන්න 0778857039
 

More News..