විශේෂාංග

රන්වල සංගීතය උගන්වන්න සල්ලි ගත්තේ නෑ

ජන සංගීතය නගාසිටුවීමේ පුරෝගාමී මෙහෙවරක නියැළුණ සංගීතවේදී ලයනල් රන්වලයන් වසර දහසයකට පෙර දිවියෙන් සමුගත්තේ ඩිංගිරි මැණිකේ අමරසිංහ සහ චිරන්ත, සහන් දෙපුතුන් දිවිමග තනි කරමිනි. ලයනල් රන්වල් මහතා හා එදා ගෙවූ දිවියේ මතක අවදි කරමින් ඔහුගේ බිරිඳ ඩිංගිරිමැණිකේ අමරසිංහ මහත්මිය මෙවර ලියගුණ වරුණට එක්වන්නීය.

* අපේම ගෙයක් හදාගෙන පදිංචි වෙනකල් හිටියෙ කුලී ගෙවල්වල
* ලයනල් කවදාවත් සංගීතය උගන්නලා සල්ලි ගත්තෙ නෑ.
* එයා ඈත ගම් අස්සෙ තිබ්බ ජන සංගීතය එකතු කරගත්තා.
* ලයනල් රන්වල කියන්නෙ හරියට වෙලාවට වැඩකරන කෙනෙක්
* එදා මං නින්දෙන් ඇහැරුණේ මහ ඉස්පිරිතාලෙදි
* අදටත් මට දහස්වාරයක් ලයනල් මතක් වෙනවා
* තාප්පෙ වාහනේ වැදිලා තියෙන්නෙ එයාට නින්ද ගිහිල්ලා
* ඇක්සිඩන්ට් එක වෙන්න කලින් දවසෙ මළබෙර එහෙම ගහලයි අලුතින් සිංදුවක් කරලා තියෙන්නේ

* මේ ගෙවෙන්නේ ඔහු නැතුව කීවෙනි අවුරුද්ද ද?
දහසය වැනි අවුරුද්ද. එයා නැතිවුණේ 2002 ඔක්තෝබර් 28 වැනිදා.

* ඔබට ඔහු හමුවුණේ ?
1971 අවුරුද්දෙ. ඒ අපේ යාළු නර්ස් කෙනෙක්ට ආදරය ප්‍රකාශ කරන්න ආව කෙනෙක්ගෙ තනියට ආව යාළුවෙක් විදිහට තමයි ලයනල් මුලින්ම හමුවෙන්නෙ.

* ඊට පස්සෙ ?
අපේ යාළුවා ඒ වෙනකොටත් වෙන කෙනෙක්ගෙ ආදරවන්තිය වෙලා හිටියෙ. ඒත් එදා දැකලා කතා කරපු ලයනල්ගෙයි මගෙයි හිතවත්කම තමයි පසුව ආදර සම්බන්ධයකට පෙරළෙන්නෙ.

* ඒ කාලේ ඔබ වැඩ කළේ ?
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ හෙදියක් විදිහට. ඒ මගේ පළවෙනි පත්වීම.

* ඒ කියන්නෙ ඔබේ ගම්පළාත ?
කොත්මලේ මඩකුඹුර. ගමේ ඉස්කෝලෙන් ශිෂ්‍යත්වෙ පාස්වෙලා ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලෙන් එස්.එස්.සී පාස්වෙලා තමයි හෙද විභාගෙට ලියන්නේ. 1961 ඒ විභාගෙ පාස්වෙලා අවුරුදු තුනක් මහනුවර හෙද විදුහලේ පුහුණුව ලබලා තමයි ජාතික රෝහලට එන්නෙ.

* එතකොට රන්වල මහත්තයා ?
එයාගෙ ගම කළුබෝවිල. පාසල් කීපයකින් ඉගෙනුම ලබලා අවසානෙ ලුම්බිණි විද්‍යාලෙන් එස්.එස්. සී පාස්වෙලා තමයි සංගීත ගුරුපත්වීමක් ලැබිලා තියෙන්නෙ. ඔහුත් පාසල් ගණනාවක වැඩ කරලා මට හමුවෙනකොට හිටියෙ හෝමාගම මහා විද්‍යාලෙ

* ඔබට ඔහු හමුවෙද්දිත් ජනප්‍රිය චරිතයක් ද ?
ඒ කාලේ ලයනල් ගුරුවරයෙක් විතරයි. හැබැයි නාට්‍ය ලියලා ළමයි එක්ක නාට්‍ය කළා. තරගවලටත් ඒ නාට්‍ය ඉදිරිපත් කළා. සමහර නාට්‍ය ජයග්‍රහණයත් කරලා තියෙනවා.

* ඔහොම කාලෙ ගෙවෙද්දි ?
අපි 1974 දි විවාහ වෙනවා. විවාහය ඒ තරම් කල්ගියේ ඒ කාලෙ මම හෙද සොහොයුරියක් වීමේ විභාගය සඳහා සූදානම් වෙමින් හිටියේ. විභාගෙට ලියලා පාස්වෙලා, හෙද සොහොයුරියක් වෙලා තමයි විවාහ වුණේ.

* විවාහයෙන් පස්සෙ ?
අපි නුගේගොඩ විමලාවත්තෙ කුලී ගෙදරක පදිංචියට ගියා. 81 අවුරුද්දෙ අපි තලවතුගොඩින් ගත්ත ඉඩමෙ අපේම ගෙයක් හදාගෙන පදිංචි වෙනකල් හිටියෙ කුලී ගෙවල්වල.

* ඒ කාලෙ ජීවිතේ ගෙවුණෙ ?
අපි දෙන්නම වැඩට ගියා. චිරන්තයි සහනුයි ඉපදුණා. ලයනල් හෝමාගම මහා විද්‍යාලෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ඇවිත් එතනින් කොළඹ ආනන්ද විද්‍යාලෙ සංගීත ගුරුවරයා වෙලා ආවා. එයා විශ්‍රාම ගන්නෙ ආනන්ද විද්‍යාලෙන්.

* එතකොට ඔබ ?
මම එතකොට හිටියෙ පෞද්ගලික රෝහල් සේවයට එකතුවෙලා, ඩර්ඩන්ස් රෝහලේ හෙද සහෝදරියක් විදිහටයි වැඩ කළේ.

* ඔබ රජයේ සේවයෙන් පෞද්ගලික සේවයට යන්නෙ ?
මම රජයේ රෝහල් සේවය කරමින් ඉඳලා අයින් වුණා. ඒ පිටරට රෝහලක රැකියාවකට යන්න

* ඔබ එහෙම රට ගියාම දරුවො.?
මගෙ අක්කා අපේ ගෙදරටම ඇවිත් .මම වගේම දරුවන් බලාගත්තා. ලයනල් කිසිම වෙලාවක දරුවන්ව මග ඇරෙන්න ඉඩ තිබ්බෙ නෑ. එයාගෙ වැඩ අතරෙ දරුවන් ගැන හෙව්වා, බැලුවා

* මොනවද ලයනල් මහත්තයාට ඒ තරමට තිබුණු වැඩ ?
ඉස්කෝලෙ වැඩත් එක්ක ලයනල්ට ඕන වුණා ජන සංගීතය රැක ගන්නත්. ඒ වෙනුවෙන් වැඩ හරියට පටන් ගත්තෙ ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තට පස්සෙයි.

* ඒ කොහොමද ?
අද අපේ ගම පරිශ්‍රයේ ඉස්සර තිබුණෙ ජනකලා කේන්ද්‍රය. ඒ ජන කලා කේන්ද්‍රයේ ලයනල් ජන සංගීත පන්ති කළා. ගායනය සහ වාදනය. හැබැයි ඒ පන්ති ඔක්කොම කළේ නොමිලේ.

* නොමිලේ කිව්වේ ?
ලයනල් කවදාවත් සංගීතය උගන්නලා සල්ලි ගත්තෙ නෑ. එයා ඒ පන්ති සියල්ල කළේ අතින් වියදම් දරාගෙන නිකම්. අපේ රටේ ජන සංගීතයට තැනක් නැතිවේගෙන යනවා කියලා නොමිලෙ හරි ළමයින්ට උගන්නලා ජන සංගීතය රැකගන්න ඕන කිව්වා.

* ජන සංගීතය ගැන ඔහුට ලොකු කැක්කුමක් තිබ්බා ?
ඇත්තටම ඔව්. ලයනල් ජන කලා එකේ පන්ති කළා විතරක් නෙවේ ගෙදරටත් එන්න කියලා ළමයින්ට කියලා දුන්නා. මකුලොළුව මහත්තයයි, ලීලසේන ගුණතිලක වගේ කට්ටිය එක්ක ඈත පළාත්වලට ගිහින් ” ඇහුම් බැලුම්” කියලා සංදර්ශනත් පැවැත්තුවා.

* එතකොට ලයනල් මහත්තයත් කාගෙන්හරි සංගීතය ඉගෙනගත්තද ?
එයා ඩබ්ලිව්. බී. මකුලොළුව මහත්තයගෙන් සංගීතය ඉගෙන ගත්තා. ගායනය. එයා වයලීන් එක තමයි සංගීත භාණ්ඩවලින් වාදනය කළේ. ඒ ඉගෙනගත්ත දේවල් එයා හරියට අධ්‍යයනය කළා.

* ඒ කිව්වේ ?
ඉස්සර අපේ ගමේ එහෙම ගියාම වයසක අයගෙන් කවි අහලා ලියලා එකතුකරගන්නවා. ඒ වගේම ඒවායෙ තාලත් ඔවුන්ගෙන්ම අහගන්නවා. අපේ ගමේ විතරක් නෙවේ තව ඈත ගම්වලට ගිහිල්ලත් ඒ වැඩේ කළා. ඒ විදිහට ලයනල් ඈත ගම් අස්සෙ තිබ්බ ජන සංගීතය එකතු කරගත්තා.

* ඒ කියන්නෙ ඔහු ලංකාව පුරාම ඇවිදලා ඇති ?
ලයනල් ඒ කාලෙ ඈත පළාත්වල ඉස්කෝලවල ගායන සහ නාට්‍ය තරග විනිශ්චයටත් ගියා. ඒ දුෂ්කර පළාත්වලින් දක්ෂ ගායන හැකියා තියෙන අය හම්බ වුණාම කවදාවත් ඒ අය අමතක කළේ නෑ. රූපවාහිනි, ගුවන් විදුලි වැඩසටහන්වලට ඒ ළමයින්වත් ඉදිරිපත් කරලා දක්ෂ ළමයින්ට තැනක් දුන්නා.

* ඔහු විශ්‍රාම ගත්තට පස්සෙ ඔය වැඩ විතරද කළේ ?
ගමන, හෙට ප්‍රමාද වැඩියි ‘හිඟන කොල්ලා’ වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා. ඒ අතරෙ නොගිය ගමන, එක ගෙඩියයි පල ගත්තේ, වැඩිය කඩන නරක ළමයි, බීරි අලි, කාලගෝල වගේ වේදිකා නාට්‍ය කළා වගේම වේදිකා නාට්‍යවලට ගායනයෙන් සහභාගී වුණා. ඒ අතරෙ විශ්‍රාම ගත්තට පස්සෙ අකුරටම කරන රාජකාරියක් තිබුණා. ඒ හැමදාම මාව රෝහලේ රාජකාරියට එක්ක යන එකත් හවසට ආපහු එක්ක එන එකත්.

* ඔබ එතකොට වැඩ කළේ ?
මම රට ඉඳලා ආවෙ අවුරුදු අටකට පස්සෙ. ඒ ඇවිත් ටික කාලෙකින් තමයි ඩර්ඩන්ස් රෝහලේ සේවයට යන්නෙ. ඊටපස්සෙ දිගටම වැඩ කළේ ඩර්ඩන්ස් රෝහලේ. එදා මීට අවුරුදු දාසයකට කලින් ඔක්තෝබර් 22 වැනිදත් ඒ විදිහට එයා මාව උදේ ඇරලලා හවස එක වෙනකොට එක්ක යන්න ආවා.

* ඇත්තටම එදා මොකද වුණේ ?
ඊට කලින් දවසෙ සිංදුවක් කරපු හින්දා පාන්දර එක විතර වෙනකල් නිදිමරලා තිබ්බා. ඒත් අර මාව ගෙනියන එක රාජකාරියක් කරගෙන හිටපු හින්දා එයා උදේ නැගිටලා පුරුදු විදිහට මාව රෝහලට එක්කරගෙනත් ගියා.

* ඊට පස්සෙ ?
හවස එක වෙනකොට හැමදාම මගේ වැඩ ඉවරවෙනවා. එයා හරියට වෙලාවට එතෙන්ට එනවා. ලයනල් වෙලාවට වැඩකරන කෙනෙක්. ඉස්සරත් ඒ වගෙයි. අපි යාළුවෙලා වාහනයක් නැතුව හිටපු කාලෙ එයා බස් එකෙන් එද්දි වුණත් හරියට කියපු වෙලාවට එන කෙනෙක්.

* ඉතින් එදා එහෙම වෙලාවට ඇවිල්ලා ?
මාව එක්කගෙන ගෙදර එනවා. මට එක පුරුද්දක් තියෙනවා, වාහනේට නැගලා ඉඳගත්ත ගමන් නින්ද යනවා.ආයෙ ඒ නින්ද ඇහැරෙන්නෙ ගේ ළඟට ආවම. ඒ හින්දා එදා වුණේ මොකද්ද කියලා මං දන්නෙ නෑ. ඒත් එදා මං නින්දෙන් ඇහැරුණේ මහ ඉස්පිරිතාලෙදි.

* ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?
ගෙදරට යන්න විනාඩි පහක් දහයක් තියෙද්දි වෑන් එක ගිහිල්ලා තලවතුගොඩ හරියෙදි තාප්පෙක වැදිලා. මම කිසිම දෙයක් දන්නෙ නෑ. මගෙ කකුල් කැඩිලා. තුවාල වෙලා ලේ ගිහිල්ලා.සිහිය නැතිවෙලා ඉඳලා තියෙන්නේ. හැබැයි ලයනල් හොඳට කතා කරලා ඉඳලා තියෙනවා. අමාරුවක් පෙන්නලාම නෑ.

* ඉතින් ඊට පස්සේ ?
අපිව අරන් ගිහින් තියෙන්නේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශෙට. මට සිහිය ආවම තමයි දන්නේ වෑන් එක හැප්පිලා කියලා. මං ඇහුවෙ ලයනල් කෝ කියලා. පුතාලා කිව්වා ‘ තාත්තා ඉන්නවා. තාත්තට එහෙම අමාරුවක් නෑ හොඳට කතාකරලා ඉන්නවා’ කියලා. වෙලා තියෙන්නෙ ලයනල්ට නින්ද ගිහින් තමයි වාහනේ එහෙම තාප්පෙ වදින්නේ.

* ජාතික රෝහලේ ප්‍රතිකාර ලබද්දි ?
මගෙ කැඩුණු කකුලට ප්ලාස්ටර් එක දාලා. ඒ නිසා මට යන්න ඕන වුණත් ලයනල් බලන්න යන්න විදිහක් තිබ්බෙ නෑ. දවස් දෙකකට විතර පස්සෙ ලයනල්ට අමාරුවෙලා තියෙනවා. අනතුරින් හානිවෙලා තියෙන්නෙ ලයනල්ගෙ කොඳු ඇට පේළියට. එයාව රෝහලට ගෙනැවිත් තියෙන ඉරියව්වත් වැරදි ඉරියව්වක් කියලයි වෛද්‍යවරු කිව්වෙ.

* ඒ කිව්වේ ?
ඒක කවුරුත් හිතාමතා කරපු දෙයක් නෙවේ. ලයනල් අමාරුවක් පෙන්නුවේ නැති හින්දා කට්ටිය හිතන්න ඇත්තෙ අමාරුම ලෙඩා මම කියලයි. ඉතින් ලයනල්ව වාහනේක ඉන්දවගෙනයි රෝහලට අරන් ගිහින් තියෙන්නේ. ඒ අරන්ගිය වැරදි ඉරියව්ව ගොඩක් නරකට බලපාලා තියෙනවා කියලයි වෛද්‍යවරු කිව්වෙ.

* හරිම කනගාටුදායක සිද්ධියක් නෙ ?
අපිටත් ඒක හිතාගන්න බෑ. එයාට අමාරු වුණාට පස්සෙ මාව එකපාරක් එයාව බලන්න එක්කගෙන ගියා. බලාන හිටියා විතරයි, කතා කරන්න බෑ. ඊට පස්සෙ මාව එයා බලන්න එක්ක ගියෙ නෑ. එහෙම අමාරු තත්ත්වෙන් දවස් 22 ක් ඉඳලා එයා නොවැම්බර් 13 වැනිදා යන්න ගියා.

* එහෙම තත්ත්වයක් ඇතිවෙයි කියලා ඔබලාව දැනුවත් කර තිබුණා ?
කියලා තිබුණෙ බලාපොරොත්තු තියාගන්න අමාරුයි කියලා. මම රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ වැඩකරද්දි අනන්තවත් රෝගීන් නැතිවෙනවා . ඒකෙන් ජීවිතේ අනිත්‍යය දැකලා තියෙනවා. ඒත් තමන්ට ඒ දේ වුණාම කොහොමවත් දරාගන්න බෑ.

* ඉතින් ඔබ ඒ සිදුවීම දරාගත්තේ ?
කියන්න බැරිතරම් දුකක් , වේදනාවක්, කම්පනයක් වුණා. මගෙ දරුවො මාව තනි කළේ නෑ. මගේ අක්කලා අපේ නෑදෑයෝ ඔක්කොම මාත් එක්ක හිටියා. ටික ටික හිත හදාගත්තත් අදටත් මට දහස්වාරයක් ලයනල් මතක්වෙනවා.

* ඔය රිය අනතුර වෙන්න කලින් දවසෙ කරපු සිංදුවට මොකද වුණේ ?
ඒක කළේ මොනවටද, කාටද කියලාවත් ඊට පස්සෙ සිංදුව ගියාද කියලවත් මට මතකයක් නෑ. ඒත් මං පස්සෙ තමයි දන්නෙ ‘මගේ බුදු අප්පච්චි’ කියලා මී හරකුන්ට ලියපු ඒ සින්දුව ලයනල් එදා කරලා තියෙන්නේ මළ බෙර එහෙම ගහලා කියලා.

* ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි?
මගේ අසනීප කටයුතුත් හොඳවෙලා අවුරුදු දෙකක් විතර ගෙදර ඉන්න කොට ලයනල්ගෙ ගෝලයෙක් වුණ ඩර්ඩන්ස් රෝහලේ ඩිරෙක්ටර් මට කිව්වා ආපහු වැඩට එන්න කියලා. රාජකාරියේ යෙදෙනකොට හිත ටිකක් හරි යයි කියලා මටත් හිතුණ නිසා ආයෙත් වැඩට යන්න ගත්තා.

* ජීවිතේ ඔහොම ගෙවිලා යනකොට ?
මතකයේ හැම තැනම ලයනල් හිටියා. තාමත් එහෙමයි. ඉස්සර මම උදේ උයනකොට ලයනල් කුස්සියට වෙලා ඉන්නවා. සුළු සුළු ආධාර කරනවා කියලා මට හැමදාම බත් කොළේ එළලා දෙන එක කරන්නේ. ඒවගේමයි එයා එක්ක ට්‍රිප් යන්න කවුරුත් කැමතියි. හරි විනෝදයි. විහිළු කරනවා වගේමයි කේන්ති යනකොටත්. ලයනල්ට ලොකුම කේන්තිය යන්නෙ ගෝලයෝ හරියට වෙලාවට පුහුණුවීම් වලට එන්නෙ නැතිකොටයි.

* ඔය වගේ තවත් විශේෂ හුරුපුරුදු තිබ්බද ?
ඒ කාලේ ලයනල් ඉඳලා හිටලා ඩ්‍රින්ක්ස් ගත්තා. සහන් ඉස්කෝලේ යනකාලේ දවසක් කිව්වා ‘ තාත්තේ බොන එක නෙවෙයි නොබොන එකයි හපන්කම . ඒ හින්දා මීටපස්සෙ කවදාවත් බොන්න එපා කියලා. ලයනල් බීම නැවැත්තුවා. පුතාට වුණ පොරොන්දුව නැතිවෙනකල් කැඩුවෙ නෑ.

* ලයනල් රන්වල නැතිවෙන්නෙ රන්වල පදනම හොඳටම ජනප්‍රිය වෙලා තිබ්බ කාලෙක ?
ලයනල් ‘රන්වල පදනම’ හදන්න හරියට මහන්සි වුණා. එයා පන්ති කරන කාලෙමයි කණ්ඩායම හදන්නෙ.ඒ කාලෙ ගුවන් විදුලියෙ, රූපවාහිනියෙ මල් මල් වාරම්, ළමා ගීත වගේ වැඩසටහන් වලින් අපේ කණ්ඩායමේ ළමයිට තැනක් ඒ කාලේ ආවා. ඒ ළමයිගෙන් තමයි කණ්ඩායම හැදුණේ

* එතකොට ඔය කණ්ඩායමෙන් අලුත් නිර්මාණත් බිහිවුණා?
මේ අවුරුදු කාලේ, කෙලි පොඩ්ඩි ගෙට වීලා, පාන් කිරිත්ති පොල් අඹරනවා, අහසෙ ඉන්නවලු පොළොවේ ඉන්නවලු වගේ ගීත අලුතෙන් 20-25 ක් කරලා තියෙනවා. ඒ වගේම ලයනල්ට ඒ කාලේ සම්මානෙකුත් ලැබිලා තියෙනවා, ජන සංගීතය වෙනුවෙන් කරපු සේවයට.

* රන්වල දරුවො ඒ කාලෙ තාත්තගෙ ජන සංගීතයට එකතුවෙලා හිටියද ?
සහන් නම් ඒ කාලේ මේ කණ්ඩායමට එච්චර එකතුවුණේ නෑ. චිරන්ත තමයි වැඩිපුරම තාත්තගෙ ජන සංගීතයට කැමැත්තෙන් හිටියෙ. ලයනල් නැතිවුණාට පස්සෙ ඒක වෙනස්වෙලා සහන්, රන්වල පදනමට එකතුවුණා.

* එහෙම අදහස වෙනස් කරලා සහන්, රන්වල පදනමට සම්බන්ධවෙන්නේ ?
තාත්තා නැතිවුණාට පස්සෙ තාත්තා රැකගෙන ආව දේ නැතිවෙන්න නොදී කරන එක වගකීමක් කියලා හිතලයි සහන් රන්වල පදනම බාර අරන් කරන්නේ. නැත්තම් සහන් ඉගෙන ගත්තේ මීට වඩා සම්පූර්ණ වෙනස් විෂයක් වුණ ව්‍යාපාර කළමනාකරණය. තාත්තගෙ බලාපොරොත්තුවට සහන්ගෙන් සාධාරණයක් වුණා කියලා අද හොඳටම පේනවා.

* ඔබ තවමත් රැකියාවේ යෙදෙනවද ?
දැන් මට අවුරුදු 74 ක්. මම රස්සාවෙන් අයින් වෙන්නෙ 2016 අන්තිමට. මට වැඩ කරන්න පුළුවන් මුළු කාලෙම මං වැඩ කළා. ඇත්තටම වයසට ගියත් වැඩ කරන්න පුළුවන් නම් ඕන කෙනෙක් වැඩ කරන්න ඕන. වැඩ නොකර ඉන්නකොටයි ලෙඩ්ඩු වෙන්නෙ.

* දැන් ගෙදරට වෙලා මොකද කරන්නෙ ?
චිරන්තයි සහනුයි දෙන්නම විවාහ වෙලා ඉන්නෙ. චිරන්තටයි – අසංකාටයි දුවෙක් ඉන්නවා. සහන්ටයි මෙලනිටයි පුතෙක් ඉන්නවා. ඒ ගොල්ලො එක්ක ඉන්නකොට මට ලයනල් මතක්වෙනවා. එයා හරි ආසයි පොඩි ළමයිට. අනේ එයා හිටියානම් කියලා මට හිතෙනව එතකොට.

* දරුවන්ගෙ ඇසුර ඔබේ ලෝකේ හුදකලාව මකනවා ඇති ?
මං ඉන්නෙ සහන් ළඟ. පුතාලා දෙන්නගෙම ගෙවල් තියෙන්නෙ එක ළඟ. මේ දවස්වල එක්තැන්වෙලා ඉන්න අපේ අක්කව මං බලාගන්නවා. එයා තමයි මං රට ඉන්න කාලෙ පුතාලා දෙන්නව බලා ගත්තෙත්. ජීවිතේ ඔහොමයි. අද දරුවොත්, දරුවන්ගෙ දරුවොත් ගැන හිතලා මේ කාලේ ගෙවා දානවා.

බියංකා නානායක්කාර.