කතුවැකි

රන්ජන් පුතා නාවා ගෙට ගැනීම

එක්සත් ජාතික පක්ෂයේ නි​යෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පසුගිය සඳුදා (02) ජාතික සමගි ජන බලවේගයට මුල පිරුවේය. මේ බලවේගය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් යැයි කිය වුණත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක නවීන් දිසානායක වැනි පක්ෂයේ ප්‍රධානීන් ඊට සහභාගි වී සිටියේ නැත. එසේ වුවත් එම පක්ෂයේ හිටපු සභාපති කබීර් හෂීම්, හිටපු මහ ලේකම්වරයකු වූ තිස්ස අත්තනායක හා මෑත කාලීනව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු බවට පත් වූ මංගල සමරවීර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියත් කැපී පෙනුණේ වෙනත් පිරිසකි. ඒ ජාතික හෙළ උරුමය, රිෂාර්ඩ් බදුර්දීන්ගේ මහජන කොංග්‍රසය, මුස්ලිම් කොංග්‍රසය වැනි සුළු පක්ෂවල නියෝජිතයන්ය. දකින අයට සිතුණේ ඔවුන් පැමිණ ඇත්තේ සජිත්ගේ සහයට නොව සජිත් පැමිණ ඇත්තේ එම පක්ෂවල වැඩපිළිවෙළක් සඳහා බවය.

මේ සියලු පක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ පක්ෂ හා සංවිධානයන්ය. ඒ නිසා සජිත් ප්‍රේමදාසට එම පක්ෂ සමග සන්ධානයකට යෑමට ප්‍රශ්නයක් තිබිය නොහැකිය. ප්‍රශ්නය ඇත්තේ මේ වන විට විනය විරෝධී හා සදාචාර විරෝධී ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ සාමාජිකත්වය පවා අහිමිව සිටින රන්ජන් රාමනායක වැනි අය පවා සමගි ජාතික බලවේගයේ ආරම්භක රැස්වීමට පැමිණීමය. රන්ජන් රාමනායක රැස්වීමට පැමිණි අවස්ථාවේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හැසිරුණේ ‘‘දැන් සියල්ල හරි’’ යැයි කියන්නාක් මෙනි.

රන්ජන් රාමනායක නීතිය ඉදිරියේ නිවැරදිකරුවකු වීමට ඉඩ තිබේ. එහෙත් මහජන අධිකරණය හමුවේ ඔහුට කිසි දිනෙක නිවැරදිකරුවකු වීමට ඉඩක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය.

සමගි ජන බලවේගයේ සමාරම්භක රැස්වීම අමතමින් සජිත් ප්‍රේමදාස මෙලෙස ප්‍රකාශ කළේ ය.

‘‘මේ සන්ධානය පොදුජන මතයට මුල්තැන දෙන සන්ධානයක්. අප යන්නේ නව දර්ශනයක් හා නව චින්තනයක් සහිත සුපිරිසුදු චරිතවත් ගමනක්.’’

දැන් මේ කියන අන්දමට සජිත් මුල් වී හදා ඇති සන්ධානය ජනමනසට මුල්තැන දෙන සන්ධානයක් නම්, ජනතාවගේ පිළිකුලට හා දෝෂ දර්ශනයට ලක්ව සිටින රන්ජන් රාමනායක වැනි දේශපාලන අහම්බයක්, විකෘතියක් තමන්ගේ ගමනේ ගාමමික බලවේගයක් බවට පත් කර ගන්නේ කෙසේද? එසේ කරන්නේ නම් ඉන් කියැවෙන්නේ සජිත්ගේ නව බලවේගය ජන මතයට පිටුපා රන්ජන්ගේ සියලු ක්‍රියා අනුමත කරන බවද?

රන්ජන් රාමනායක විනිසුරුවරුන්ට, පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමැතුම් ලබා දී නඩු කටයුතු සම්බන්ධයෙන් විමසීම පැහැදිලිවම නඩුවල තීන්දු කෙරෙහි බලපෑමකි. ඇමැතිවරයකු ලෙස රන්ජන්ට එසේ නඩු කටයුතුවලට මැදිහත්වීමට හැකි බව තිබුණත් සාමාන්‍ය පුද්ගලයකුට එසේ කිරීමට හැකියාවක් නැත. යම් හෙයකින් සාමාන්‍ය පුද්ගලයකු ලෙස කතා කළේ නම් වහාම ඔහුට දඬුවම් විඳීමට සිදුවන බවට කිසිදු සැකයක් නැත.

මේ කාරණය කෙසේ වෙතත් රන්ජන් කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය ඔහුගේ දුරකථන ඇමතුම් මගින් මොනවට පැහැදිලි වී තිබේ. තම දියණියක් වැනි කාන්තාවකට කියන කුණු කතාවල සිට මේ සියලු දුරකථන ඇමතුම් පටිගත කිරීම නීතිය හමුවේ වැරැද්දක් විය නොහැකි නමුත් අත්‍යන්තයෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවකි. අපට නම් සිතෙන්නේ එය මානසික රෝගයක් බවය.

තමන් පිරිසුදු, චරිතවත් ගමනක් යන්නට සූදානම් වන්නේ එවැනි අය සමගද යන්න ගැන සජිත් පමණක් නොව ඔහු සමග එක්ව සිටින චම්පික රණවක, රාවුෆ් හකීම්, රිෂාර්ඩ් බදුර්දීන් වැනි අයද ජනතාවට පිළිතුරු දිය යුතුය. එපමණක් නොව සජිත් සමග එක්ව සිටින ස්ත්‍රීවාදිනියක් වන ඉනෝකා සත්‍යාංගනී මෙන්ම මිනිසුන්ගේ පෞද්ගලිකත්වය උකසට තබමින් දුරකථන සංවාද පටිගත කිරීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි සජිත්ට සහය දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයද අනෙකුත් දන්නා නොදන්නා සංවිධානද රටට පැහැදිලි කළ යුතුව තිබේ. ඇතැම් වටෙක ඉනෝකලා, රන්ජන් තම සන්ධානයට පිළිගන්නේ කොල්ලන් නාවා ගෙට ගත් විට සියලු දේ පිරිසුදු වන්නේ යැයි කියන ගැමි කියමනට අනුව විය හැකිය.

දුරකථන සංවාද පටිගත කිරීම හෙළිදරව් වීම හා එකී සංවාද නිසා තමන්ගේ ජුගුප්සාජනක චරිත ලක්ෂණ හෙළිදරව් වීමෙන් ආතක් පාතක් නොමැතිව සිටි රන්ජන්ට නම් සමගි ජන බලවේගය හොඳ අම්බලමක් විය හැකිය. එහෙත් රන්ජන් වැනි පාරාජිකා වූ දේශපාලන චරිත ඉඹලා පිළිගන්නට තරම් සජිත් ප්‍රේමදාස සහ ඔහු සමග සිටින චම්පික වැනි අයත් බංකොළොත්ද?

ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහක හෝ එල්ලෙන්නේ යැයි කියමනක් තිබේ. දැන් පේන හැටියට සජිත්ද එල්ලී තිබෙන්නේ පිදුරු ගහකය. මින් කියැවෙන්නේ සජිත්ලා – බලය වෙනුවෙන් ඕනෑම පාදඩ චරිතයක් සමග වුවත් එක්වීමට සූදානම් බවය. එසේ නැතහොත් ජනතාව මෝඩයන් බවය.

කෙසේ වුවත් මේ දේශපාලන ඔට්ටු සෙල්ලම සජිත්ලාට, චම්පිකලාට, මංගලාට හොඳට පුරුදු සෙල්ලමකි. ඔවුන් 2015 දී ගැසුවේද මෙවැනිම හෙට ගැන නොසිතා අද ගැන පමණක් සිතන කෙසේ හෝ බලය ලබා ගැනීමේ ගේමකි. එහි පව් ගෙවන්නට සිදු වූයේ රටට හා ජනතාවටය.