විශේෂාංග

රන්ජන්ගේ හඬපට හමුවුණෙත් ත්‍රීවීලරයකින්

ලංකාවේ වැඩිම මනුෂ්‍ය ඝාතන සිදුවන්නේ ඉඩම් ආරවුල් නිසා බවට ප්‍රවෘත්තියක් පසුගියදා පළදරව් විය. මනුෂ්‍ය ඝාතනවල දෙවැනි තැන හිමිවී ඇත්තේ අනියම් ප්‍රේම සබඳතාවලටය.

තෙවැන්න මත්ද්‍රව්‍ය හා මත්පැන් නිසා සිදුවන ආරවුල් ලෙස වර්ගීකරණයට ලක්වී ඇත. අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය මෙම දත්ත සොයා ගැනීමට පාදක කරගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධව බන්ධනාගා ර ගතව සිටින 1500ක පමණ සිරකරුවන් සමග සාකච්ඡාකි. මෙම අධිකාරිය පවසන්නේ මිනීමැරුමකදී වැරදිකරුවකු කිරීමට වසර 20කට වඩා කාලයක් ගතවිය හැකි බවය. 1996.11.05 පෑලියගොඩ වූ මනුෂ්‍ය ඝාතනයකට සැකකරු වරදකරු කර දඬුවම් නියම කොට ඇත්තේ 2018.07.17 වැනි දිනය. ගත වූ කාලය වසර 22කි.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය මෙවැනිම මිනීමැරුම් නඩුවල තීන්දු ප්‍රකාශ කිරීමට වසර 20කට වඩා ගිය නඩු තීන්දු කිහිපයක්ම උදාහරණ සේ ගෙනහැර දක්වා ඇත.

මෙම අධිකාරියට ‘ත්‍රිරෝද රථ’ ආශ්‍රිත ගම්බද මිනීමැරුම් අධීක්ෂණය නොවීම සිතාගත නොහැකි කරුණකි. හයරයක් යනවා කියා ත්‍රිරෝදයක ගමන් කරන විට රියැදුරු මරා ත්‍රිරෝද රථය පැහැරගෙන යෑම, ෆිනෑන්ස් ඇරියස් වාහනය ඉස්සීමට එන සීසර් චණ්ඩියා සමග ගැටී සීසර් හෝ වාහන හිමිකරු ඝාතනයට ලක්වීම, ත්‍රිරෝද නැවතුමකට අලුත් ත්‍රිරෝදයක් ගාල්කර ගැනීමට යෑමේදී ඇතිවන ආරවුල්වලින් වූ මනුෂ්‍ය ඝාතන මෙම අධිකාරියට පෙනුණේ නැත. ඊටත් වඩා ත්‍රිරෝද රථයක ෆිනෑන්ස් ගෙවා ගැනීමට නොහැකිව දිවිනසා ගත් උදවිය, තමන්ට ජීවත් වීමට තිබූ ත්‍රිරෝද රථය සීසර්ලා පැහැරගෙන යාම නිසා දිවි නසාගත්තා මෙන්ම ඊටත් වඩා ත්‍රිරෝද රථයක ෆිනෑන්ස් එකක ගැරන්ටියට අත්සන් කොට එය ඇරියස් වූ විට ක්‍රිබ් එකට නම යෑම නිසා මේ ලෝතලයේ කිසිදු බැංකුවකින් ණයක් ගත නොහැකි වීම නිසා දිවිනසා ගත් පුද්ගලයන්ද ඕනෑ තරම්ය. මේ සියල්ල අතරේ ලංකාවේ යම් අධිකාරියක් නියාමනය කොට දත්ත වාර්තාවක් සපයන්නේ නම් එය අනාගතයට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.

ත්‍රිරෝද රථය අද අප සමාජයේ වැඩිම කතාබහට ලක්වන වාහනය ලෙස විග්‍රහ කළහොත් වඩාත් නිවැරදි වනු ඇත. ලංකාවේ ත්‍රිරෝද රථ ජනප්‍රිය වීම ආරම්භ වන්නේ 1977 විවෘත ආර්ථිකයත් සමගය. බොහෝ දෙනා සිතා සිටින්නේ මේ ත්‍රිරෝද රථ ලංකාවට ආවේ ජේ.ආර්. ජයවර්ධනගේ ‘ධර්මිෂ්ට සමාජයේ’ ආගමනයත් සමග බවය. ලංකාවේ ත්‍රීවීල් ඉතිහාසය සොයන විට එය 1960ද ඉක්මවා යන්නකි. එහෙත් ඒ ත්‍රිරෝද රථ ඉතාලියේ නිෂ්පාදිත ඒවාය. රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුව බණ්ඩාරනායක මහතාගේ අවමඟුල ගැන එකල නිපදවා ඇති කළු සුදු චිත්‍රපටවල එදා කොළඹ දිවූ ත්‍රිරෝද රථ පැහැදිලිව දැකිය හැකිය.

1977 බලයට පත් හයෙන් පහක බලයක් තිබූ යූඇන්පිය මෙරට ත්‍රිරෝද රථ ජනප්‍රිය කරන්නට පූර්ණ අනුග්‍රහයක් දැක්වූයේ ඊට අවුරුදු 40කට පමණ පසු. එනම් දෙදහසෙන් පසු යුගයේදී බිහිවන ආණ්ඩුවලට මේ ඉන්දියන් ටකරන් ත්‍රිරෝද රථ මහා හිසරදයක් වනු ඇතැයි කීයටවත් නොසිතුවා විය යුතුය. එකල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපටයක ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරකුගේ කතාවකි. ත්‍රිරෝද රියැදුරා හයර් දුවා හොඳ ජීවන තත්ත්වයක් ගතකරන අතර චිත්‍රපටය අවසානයේ පෙන්වන්නේ එම රියැදුරා සවස් ජාමයට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හදාරන අයුරුය. විශ්වවිද්‍යාලය අසල ත්‍රිරෝද රථය නවතා රියැදුරා විශ්වවිද්‍යාලයට පියමනින තැනින් චිත්‍රපටය නිමවන අතර ත්‍රිරෝද රථය නිසා අතමිට සරු ජීවිතයක් ගතකළ හැකි බවය. එමෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනපති යුගයේ රජයේ වියදම් අඩු කිරීමට ත්‍රිරෝද රථ යොදා ගත හැකි බව තහවුරු කිරීමට ප්‍රේමදාස ජනපතිවරයා ත්‍රිරෝද රථයෙන් උත්සව අවස්ථාවන්ට සහභාගි වූ අවස්ථාවල ඡායාරූප අදත් ඩී.ආර්. විජේවර්ධන පුස්තකාලයේ ඇත.

ජවිපේ දේශප්‍රේමී යුගයේ ප්‍රබල සටන් පාඨයක් වූයේ ඉන්දියන් යටත්විජිතවාදයට, ව්‍යාප්තවාදයට එරෙහිවය. එදා කෙතරම් ඉන්දියන් විරෝධයක් දේශප්‍රේමීන් ගොඩනැගුවාද කිවහොත් ඉන්දියාවෙන් ගෙනා ජයශ්‍රී මහාබෝධිය කපා නැවත ඉන්දියාවට පටවන ‘යුනුස්ගේ’ කාටූනයක් පවා පළවිය. මේ කියන ඉන්දියන් යටත්විජිතවාදයටත්, ව්‍යාප්තවාදයටත් වඩා භායනක ඉන්දියන් ආනයනයක් වූයේ ඉන්දියන් ත්‍රීවීල්ය. 1977 වනවිට ලංකාවේ වෙළෙඳපොළේ වූයේ ලැම්බ්‍රේටා නම් ඉතාලි ත්‍රිරෝද රථයත්, ඩයිනට්සු නම් ජපන් ත්‍රිරෝද රථයන්ය.

හැත්තෑව දශකයේ ඉන්දියන් ත්‍රිරෝද ලංකාවට එන්නේ රු. 12,000කටය. එහි අද මිල රුපියල් අට ලක්ෂයකටත් වැඩිය. මුල්ම ත්‍රිරෝද ලියාපදිංචිය වුණේ 9 ශ්‍රී ලෙස වන අතර පිටුපස රෝද දෙකත්, ඇන්ජිමත් සම්බන්ධ වී තිබුණේ පිටතටත් පෙනෙන තරමේ චේන් එකකිනි. එවකට ලංකාවේ තිබුණේ රජයේ නිගමනය යටතේ වූ මොරිස් මයිනර් ටැක්සියය. ඒවායේ මීටරය අනිවාර්ය විය. ටැක්සියේ උඩ කොටස කහ පාට වූ අතර, යට කොටස කළු පාට වූ කාකි සූට් එකකින් ටැක්සි රියැදුරා සැරසී සිටියේය. ඒවා කුලී රථ ලෙස රතු පැහැති නොම්මරයකින් යුතු වූ අතර ඕනෑම පොට්ටයකුට වුවද මේ ගමන් කරන්නේ කුලී රථයකැයි දුර තියා හඳුනාගත හැකි විය.

අලුතින් කුලී රථ සේවයට හැත්තෑව දශකය අගභාගයේ එක්වූ ත්‍රිරෝද හයර් දිවීමේදී අත්වින්දේ චන්ද්‍රිකා මැඩම්ගේ භාෂාවෙන් කිවහොත් ‘වල්බූරු’ නිදහසකි. හිතෙන හිතෙන අඩු ගණන්වලට දිවීම නිසා අන්තිමට ලංකාවේ මොරිස් මයිනර් ටැක්සි ව්‍යාපාර යනඑනමං නැතිවී බොහෝ රථ කඩ නාඩාර්ලට විකුණන්නට සිදුවිය.

ඊළඟට එන්නේ රැල්ලට ත්‍රීවීල් දුවන යුගයයි. රජයේ සේවකයන් පවා වන්දි ගෙන එම මුදලින් ත්‍රිරෝද රථයක් මිලදීගෙන දුවන්නට පටන් ගන්නේ ‘හරි නිදහස් රස්සාව’ යැයි කියමිනි. ඉන්දියන් යටත්විජිතවාදයට වඩා ඉන්දියන් ත්‍රිරෝද රථ භයානක විය. එය මෙරට මුළු ශ්‍රම බළකායම ඩැහැ ගන්නේ ඉන්දියාවෙන්, චීනෙන් ශ්‍රමිකයන් ලංකාවට ගෙනෙන තරම් සාමාජයීය විප්ලවයක් කරමිනි. ගොවිතැන් කළ උදවිය, ටයිල් බාස්ලා, මේසන් බාස්ලා, වඩුබාස්ලා මෙන්ම විවිධ යන්ත්‍ර ක්‍රියාකරුවන්, තම ආයතන ප්‍රධානීන් සමග ඕනෑම ආරවුලක් ඇතිකරගන්නේ රැකියාව දමා ගසා විත් ත්‍රිරෝදයක් එළවන බවට තර්ජනය කරමිනි.

අවසානයේ සියල්ල උඩුයටිකුරු විය. දැන් එළවද්දී කිරි කපපු උදවිය, තේ දලු කඩපු උදවිය, ආප්ප, කොත්තු බාස්ලා, මේසන්ලා, වඩුවෝ තියා මේසන් වැඩකට අත්උදව් දෙන්න, ගෙදරක තීන්ත ටිකක් ගාගන්නට කම්කරුවකු නැති විය. වයස දහඅට පිරෙන්නට පෙර ත්‍රීවීල් ලයිසන් ගන්නා ගැටවරයාත් ‘ආර්ථික ස්වාධීනත්වය’ ලබා අධ්‍යාපනය පසෙකලා වයස යන්තම් දහනවය විස්ස වනවිට දෙදරු පියකු වන අවස්ථාද විරල නොවන තරමට තත්ත්වය බරපතළ වූ බැවින් ‘අබුද්දස්ස කාලේ’ යැයි හිත සනසා ගන්නට පොදු ජනතාවට සිදුවිය.

එදා ත්‍රීවීල් රියැදුරන් හම්බ කළේ තම පවුලටය. එහෙත් ඔවුන් අද දවස පුරා කඹුරා මුළු මුදලම පූජා කරන්නේ ෆිනෑන්ස් කොම්පැනියටය.

ලංකාවේ අධිකරණ පද්ධතිය විශ්ලේෂණය කළොත් ඉඩම් නඩු පරදනු ඇත්තේ ත්‍රීවීල් සම්බන්ධ නඩුය. ගිය සතියේ පුවත්පත්වල තිබුණ ත්‍රීවීල් සම්බන්ධ ප්‍රවෘත්ති 17ක් තිබිණි. රන්ජන්ගේ හඬපටය දුන් ත්‍රීවීල් රියැදුරාට දෙන බව කී ලක්ෂ 10 ත්‍යාගයද ඒ අතර විය.

පසුගියදා ඇමැති අමරවීර හමුවූ ත්‍රිරෝද රථ වෘත්තිකයන් පවසා ඇත්තේ ලංකාවේ ලක්ෂ 30ක් ත්‍රිරෝද රථවලින් ජීවත්වන බවය. දැනට ලක්ෂ 12ක් ත්‍රීවීල් ලියාපදිංචිව ඇති අතර ප්‍රවාහන සේවාවන් පවත්වන්නේ එයින් අට ලක්ෂයකි. පළාත් මට්ටමින් ත්‍රිරෝද නියාමන අධිකාරියක් පිහිටුවීම මෙම කරුණට හේතු විය.

මේ අතර ඇමැති අමරවීරට ත්‍රිරෝද රථ සංගමයක් චෝදනා එල්ල කරමින් කියන්නේ ඇමැතිතුමා ත්‍රිරෝදවලින් මුදල් උපයා ගන්නා මගඩියකට සැරසෙන බවය. ඔවුන් කියන්නේ ඇමැතිවරයාගේ අමාත්‍යාංශය නිල ඇඳුමක් රියැදුරන්ට විකිණීමට සහ ගාස්තුවක් අයකර ත්‍රිරෝද ලියාපදිංචියට සැරසෙන බවය.

අපේ රටේ මේ වටිනා ශ්‍රම බළකාය රැක ගැනීමට, විශේෂයෙන් තරුණ පරම්පරාව අධ්‍යාපනයෙන් දුරස් වීම වැළැක්වීමට වරක් යෝජනා වූයේ වයස 40ට අඩු අයට ත්‍රිරෝද ලයිසන් දීම අත්හිටුවීමය. ඉන්පසු එම සීමාව වයස 35 බවට පත්විය. මහින්ද යුග, මෛත්‍රි යුග පසුකොට ගෝඨාභය යුගය ආවත් මේ මොන හත්ඉලව්වක්වත් තවම සිදුවූයේ නැති බැවින් තුන් රෝද රථවල අවනඩුවලට අපට පිහිටට ඇත්තේ තුන් සරණදැයි අසන්නට සිදුව තිබේ.

වජිර ලියනගේ