විශේෂාංග

රණසිංහ ප්‍රේමදාස සමග තොරණ ගැසූ හැටි

අත්සන නොමැතිව චිත්‍රය කාගේ දැයි සොයාගත හැකි අනන්‍යතාවක් ඇති චිත්‍ර ශිල්පියෙක් නම් ජයසිරි සේමගේය. ඩී. බී. ධනපාලයන් යටතේ චිත්‍ර ශිල්පියකු ලෙස ලංකාදීප හා දවස පුවත්පත්වලට පිවිසි සේමගේ ගැන මේ අසන්නට යන්නේ චිත්‍ර කලාව ගැන නම් නොවේ. මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමීපම චිත්‍ර ශිල්පියා වූයේ ජයසිරි සේමගේය. කිසිදු පුවත්පතකට තමන් ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග කටයුතු කළ සමීප ආකාරය එළිදරව් නොකළ ඔහු මේ ආර්. ප්‍රේමදාස නම් චරිතය ගැන කතා කරන ප්‍රථම විග්‍රහයයි.’

ආර්. ප්‍රේමදාස නම් චරිතය ඔබ මුලින්ම හඳුනාගන්නේ කුමන යුගයේද?
මම ටයිම්ස් ලංකාදීපයට ගියේ 1958 දී. දවස පත්තරේට බැඳුනේ 1962 දී. දවස කාර්යාලය තිබුණු කොළඹ මිහිඳු මාවතේ ඉඳන් පේන තෙක් මානයේ තමයි සුචරිතය තිබුණේ. එතුමාගේ වැඩවල ඔය කියන කාලෙත් පුදුම සැලසුම් සහගත බවක් තිබුණා. ආර්. ප්‍රේමදාස කියන්නේ පුදුම දක්ෂ ලේඛකයෙක්. ඒ දවස්වලත් පත්තර කන්තෝරුවලට ආවා, ලිපි පළ කරගන්න. ප්‍රේමදාස මහත්තයාගේ අම්මා මීමන ප්‍රේමතිලකගේ ගමේ. මීමනගේ වොක්ස්වැගන් කාර් එකේ තමයි ප්‍රේමදාස මහත්තයා වනාන්තර නරඹන්න ගියේ.

ප්‍රේමදාස නම් ප්‍රබල දේශපාලන චරිතය එතරම් සමීපව ආශ්‍රය කරලත් ඇයි ඒ ගැන කවදාවත් පත්තරයකට වත් නොකිව්වේ?
ප්‍රේමදාස ගුණ සමරු කාලවලට මම දැකලා තියෙනවා විවිධ අය පුවත්පත්වල ලිපි පළ කරනවා. ඔය කාටත් වඩා අණ බෙර නොගැහුවට මම ප්‍රේමදාස මහත්තයත් එක්ක සමීපව කටයුතු කරලා තියෙනවා. ගම් උදාව විතරක් නෙවෙයි ඒ පවුලේ බොහෝ පෞද්ගලික කටයුතුවලදී ‘කලාව’ පැත්ත ප්‍රේමදාස මහත්තයා භාරදුන්නේ මට තමයි.

ප්‍රේමදාස මහත්තයා නාගරික මන්ත්‍රී යුගයේ සිට ඔහු තුළ තිබුණ ‘නායකත්වයේ’ ලක්ෂණ මොනවාද?
දක්ෂයන් හඳුන ගැනීමේ පුදුම හැකියාවක් තිබුණා. අවුරුදු පහකට කලින් එක් වතාවක් දැක්ක පුද්ගලයෙක් වුණත් අවුරුදු පහකට පස්සේ දැක්කත් නම කියලා කතා කරන්න පුළුවන් පුදුම ස්මරණ ශක්තියක් තිබුණා. ඒ මුල්ම කාලේ උදේ 3 ට නැගිටලා පත්තර ඔක්කෝම කියවලා සමහර වැදගත් ලිපි කපලා එකතු කරන පුරුද්දක් තිබුණා. ඕනම ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට නමක් තියන පුරුද්දක් තිබුණා. ඔය ‘ජනසවිය’, ‘ජනහමුව’, ‘ගම් උදාව වගේ නම් ඒවට හොඳ උදාහරණ.

ගම්උදාව ආරම්භයේදීම එහි පිවිසුම් දොරටුවේ දර්ශනීය තොරණ නිර්මාණයේ මූලික අදහස ප්‍රේමදාස මහත්තයාගේද?
නෑ… නෑ.. ඒ අදහස මගේ. ගම් උදාව කියලා ප්‍රදර්ශනයක් කරන්න යනවා කියලා මටත් සම්බන්ධ වෙන්න කිව්වා. මම එතකොට ‘දවසේ’ වැඩ. අපේ පෞරාණික ප්‍රෞඪත්වය පෙන්නුම් කරන විදිහේ දැවැන්ත තොරණක ස්කෙච් එකක් අරන් මම සුචරිතේට ගියා. ඒක දැකලා ප්‍රේමදාස මහත්තයාගේ හිතට තොරණ ඇල්ලුවා.

ප්‍රේමදාස මහත්තයා ඔබට කතා කළේ කොහොමද?
මට කතා කරන්නේ ‘ජයසිරි’ කියලා. 77 මහ මැතිවරණයට කලින් ප්‍රේමදාස චරිතය ගැන කෙනෙක් පොතක් සැලසුම් කරලා තිබුණා. ‘සුවඳ හමන මලක්’ කියලා. ඒකේ කවරෙත් ‘ජයසිරිට’ භාර දෙන්න කියලා තමයි කියල තිබුණේ.

උදාගම් තොරණ වැනි දැවැන්ත කාර්යයක් කරන්න ඔබ යටතේ සේවකයන් කී දෙනෙක් සේවය කළාද?
මට යූඩීඒ එකේ තැනක් දුන්නා වැඩකරගෙන යන්න. මං යටතේ චිත්‍ර ශිල්පීන් 15 කට වඩා වැඩ කළා. වඩුවෝ, කැටයම් ශිල්පියෝ, රූප අඹන ශිල්පියෝ, ඊට අමතරව, එතකොට බල්බ්වලින් කරන වැඩට තවත් සේවක පිරිසක් හිටියා. 1982 ඉඳන් 1993 මැයි 1 වැනිදා ප්‍රේමදාස මහත්තයා ඝාතනය කරනකම්ම අවුරුදු 11 ක් තිස්සේ අපි දවස් 365 ම කළේ ‘ගම් උදාව’ කටයුතු.

එතකොට අරලියගහ මැදුර ඉස්සර ප්‍රේමදාස මහත්තයා අගමැති කාලේ ගහපු තොරණ?
ඒක ගැහුවේ 1978 ඉඳන් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙච්ච 1988 වෙනකම් අතීතයට අවුරුදු 10 ක්. ගම්උදා වැඩකරන ගමන් අරලියගහ මැදුර ඉදිරිපිට තොරණ භාරදුන්නේත් මටම තමයි.

ප්‍රේමදාස මහත්තයා ගැන තියෙන ප්‍රධාන චෝදනාවක් නම් ඉංජිනේරුවෝ කියපුවා ගණන් ගන්නේ නැහැ. සමහර කෙළින් තියෙන කණු බලලා ඇදයි කියලා අලුතින් දාන්න නියෝග කරනවා කියලා. ප්‍රේමදාස මහත්තයා එක්ක තොරණ ගහනකොට ඔබටත් එවන් අත්දැකීම් තියෙනවද?
මට නම් ඔහොම ඉරණමක් අත්වුණේ නැහැ. මම ඇඳපු ස්කෙච් එකක්වත් වෙනස් කළේ නැහැ. සමහර දවසට ගම් උදාව ළං වෙනකොට උදේ තුනට විතර මොන ආරක්ෂකයෙක්වත් නැතිව තනියෙන් වැඩපළට වාහනේ එලවන් එනවා. සුදු ජටාවක් ඔළුවේ බැඳගෙන. එතකොට උදේට නාලා ඉවරයි. එතකොට අපි තේ බිබී හිටියොත් මොන ලොකුකමක්වත් නැහැ තියෙන කෝප්පෙකින් තේකකුත් බීලයි යන්නේ.

ඔය තොරන්වල ඇඳපු සැලසුම් අනුමත කරනකොට ප්‍රේමදාස මහත්තයා ළඟ හිටපු උදවිය කව්ද?
සිරිසේන කුරේ, එවන්ස් කුරේ වගේ අය තමයි හිටියේ.

ප්‍රේමදාස ඝාතනයෙන් පස්සේ එවන්ස් කුරේ එංගලන්තේ ඉඳන් ප්‍රේමදාස චරිතය රචනා කළා නේද?
ඒ ප්‍රේමදාස මහත්තයා ඝාතනයට කළාට පස්සෙනේ. ප්‍රේමදාස මහත්තයා ජීවතුන් අතර ඉන්නකොට ජීවිත කතාව ලියන්න තෝරාගෙන හිටියේ වජිරගේ තාත්තා ගුණදාස ලියනගේව. චරිත කතාවක් ලියන්න ඒ පුද්ගලයාට සමීප වෙන්න ඕන. නැත්නම් ඒ චරිත කතාව අසාර්ථක වෙනවා කියලා ‘ගුණේ’ හැම තිස්සෙම කිව්වා.

ගම් උදාව ප්‍රදර්ශනයක් වුණාට බොහෝ දෙනා ඒකට චෝදනා කළේ සැණකෙළියක් කියලා නේද? ඊටත් වඩා එල්ල වුණු චෝදනාවක් නේද ප්‍රේමදාස මහත්තයාගේ උපන්දිනෙන් පටන් ගත්ත ගම් උදාව ඉවර කළේ හේමා ප්‍රේමදාසගේ උපන් දිනෙන් කියන එක?
ඔය කවුරුවත් ප්‍රේමදාස මහත්තයා කරපු සේවය ගැන කතා කරන්නේ නැහැ. ගම් උදාවෙන් කී දෙනෙක් ජීවත් වුණාද? ඔය ‘සොත්ති උපාලි’ කියන චරිතය බිහි වෙන්නෙත් ගම් උදාවට තණකොළ පිඩැලි සප්ලයි කරලා තමයි.

ගම් උදාව වැඩ පටන් ගත්තට පස්සේ ඔබ පුවත්පත් කලාවෙන් ඉවත් වුණාද?
ඔව් කරගන්න බැරි තරන් වැඩ වැඩි වුණාම මම දවස කොම්පැනියෙන් අයින් වුණා.

ඔබේ පුවත්පත් දිවියේ සමකාලීනයන් කව්ද?
ජී. ඇස්. මාස්ටර් අපේ ගුරෙක්. මොටාගෙදර වනිගරත්න, වටරැක ප්‍රේමදාස මගේ සමකාලීනයන්. පෑලියගොඩ දයානන්ද වගේම දැන් ලංකාදීප කාටූන් අඳින ‘දාස’ත් දවසේ වැඩකරපු අය. මහානාම දිසානායක, පාලිත විදානගමාච්චි, පෙරමුණේ තිලක, දිගොඩ පියදාස, පියල් වික්‍රමසිංහ, ඩේවිඩ් කරුණාරත්න, චන්ද්‍රරත්න මානවසිංහ, ගුණදාස ලියනගේ අපි ඔක්කෝම එක කට්ටියක් වගේ වැඩ කළේ. මේ අය අතරින් අද ඉන්නේ ආතර් යූ අමරසේනත්, චන්ද්‍රසේන කිරිවත්තුඩුවත් විතරයි.

ඔබ පත්තර කලාවෙන් අස්වුණා කියලා ප්‍රේමදාස මහත්තයා දැන ගත්තාද?
එයැයිට ඒ ගැන නිච්චියක් නැතිව ඇති. මොකද රිවිරැසේ මම ඇඳපු ‘ගුරු ගෝල වෙනස’ කාටූන් එක මම අස්වෙලත් දිගටම ඇන්දා.

ප්‍රේමදාස මහත්තයාගේ සුචරිතේ, අරලියගහ මැදුරෙ, විජේරාම පාරේ ගෙදර එහෙම වැඩත් කරන්නැති නේද?
එතුමා කවදාක්වත් නිකං වැඩ කරගත්තේ නෑ. ඒ හැම වැඩකටම ගෙව්වා. ඔය සුචරිතේ, අරලිය වලව්වේ වගේම විජේරාම පාරේ ගෙදරත් මා ලවා චිත්‍ර, මූර්ති කරවා ගත්තා. ඒවට මට හොඳට ගෙව්වා.

සාමාන්‍යයෙන් ප්‍රේමදාස මහත්තයා එක්ක වැඩකරපු අය එතුමගෙන් ගෙවල්, කඩ වගේ දේවල් ගත්තා. ඔබ මොනවද ගත්තේ?
මම කිසිම ගෙයක්, කඩයක් තියා එතුමගෙන් ටොපියක්වත් ගත්තේ නෑ. එතුමව යන්තන් අඳුරගත්ත අය පවා ගෙවල්, කඩ ගත්තා. මම ආත්ම ගෞරවයක් තියෙන කලාකාරයෙක්. පත්වෙන හැම ආණ්ඩුවක්ම කලාකාරයන්ට ගෙවල් කඩ දෙන්න බැඳිලා නැහැ. අපේ වෘත්තීය ගෞරවය තියාගන්න අපි දැනගන්න ඕන. ඔය වැඩ එකක්වත් අපි නිකම් කළේ නෑ. අදත් ආත්ම ගෞරවයක් ඇතිව ජීවත් වෙන්නේ ඒ සල්ලි නිසි ලෙස කළමනාකරණය කළ නිසා.

ප්‍රේමදාස මහත්තයා ජනපති වෙච්චි වෙලේ මතක ඇති සිද්ධි එහෙම තියෙනවද?
ජනපති හැටියට දිවුරුම් දීලා පස්සේ ප්‍රථම කැබිනට් මණ්ඩලය පත් කළාම කැබිනට් මණ්ඩලයේ සාමූහික ඡායාරූපය ගන්නකොට මම හිටියා. එතැන මැඩම් ඇවිල්ලා ඉඳගත්තා. ඡායාරූපයේ ඉන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ අය විතරයි කිව්වම එතැන ආරවුලක් ඇති වුණා. අන්තිමට එතැන හිටපු මොළ කාරයෙක් ප්‍රේමදාස ජනපති තාම ආව නැති නිසා මැඩම්ව විතරක් තනියෙන් තියලා පින්තූරයක් ගමු, ඒක පස්සේ ගන්න සාමූහික ඡායාරූපයට බස්සන්නම් කියලා ඔක්කෝම පුටු ටික හිස් කරලා පින්තූරයක් අරගෙන අාරවුල බේර ගත්තා.

ප්‍රේමදාස මහත්තයා අන්තිමට අරලියගහ මැදුරේදී හමුවුණේ කවද්ද?
අනූතුනේ සිංහල අවුරුද්දට බුලත් දෙන්න තමයි ගියේ.

ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණ දවස මතකද?
එදා මැයි දවසක්නේ. මම උදේ 3 ට සුචරිතයට ගියා. ගම්උදාව මහියංගණයේ තොරණෙ ‘ස්කෙච්’ එක අනුමත කර ගන්න. එතකොට විශාල ගාඩ් එකක් තිබුණා. ඒ වෙලේ ඒ උදේ පාන්දරත් කෝල් එකක් ආවා මැයි දිනේට යන්න එපා කියලා. මං හිතන්නේ දුව ‘දුලංජලිගෙන්’. එතුමා මං හිතන්නේ විශේෂ ප්‍රකාශයක් කරන්න හිටියේ. දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේත් මම නිතරම සුචරිතයට ගියා. දෝෂාභියෝගය එතුමා ගණන් ගත්තේ නැහැ. දෝෂාභියෝග වෙලේ කිව්වා මං හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක් කියලා.

ප්‍රේමදාස මහත්තයාගේ ඝාතනය වුණ වෙලේ ඔබ කොහෙද හිටියේ?
ඒ මැයි පළමුවැනිදා මාව මහියංගණ ගම් උදා භූමියට පිටත් කරලා ඇරියා. 11 ට විතර මහියංගණයට කතා කරලා විස්තර ඇහුවා. එතුමා ගම් උදාවට ගහපු තොරන්වලින් ආසම එක ‘කතරගම ගම් උදාවට’ නිර්මාණය කරපු එක. ජයසිරි අපි කතරගමට වැඩිය හොඳ තොරණක් මහියංගණයේ හදමු කියලා එතුමා අන්තිමට කිව්වා. ඒත් දවල් ප්‍රේමදාස මහත්තයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා කියලා ආරංචි වුණා. කොළඹට කතා කරලා ඇහුවම කිව්වා ලෑන්ඩ් කෘෂර් එකේ නැගලා ප්‍රේමදාස මහත්තයා සුචරිතයට ගියා කියලා. ඒත් හවස තුන වෙනකොට විතර දැනගත්තා එතුමා ඝාතනය වුණා කියලා. මට එතුමා මියගියාට වඩා වේදනාවක් ඇති වුණේ ගෙවල්, කඩ, ප්‍රතිලාභ ලබපු පුද්ගලයන් ප්‍රේමදාස ඝාතනයේ ප්‍රීතියට රතිඤ්ඤා පත්තු කරපු එක.

වජිර ලියනගේ