කතුවැකි

රට හදන ඉගෙනුමක් දෙන්නෙ කොහොමද?

විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශයන් වෙනස් කළ යුතු බව ජනාධිපතිවරයා මෙරට විශ්වවිද්‍යාල බලධාරින්ට යෝජනා කර තිබේ. විශ්වවිද්‍යාල කුලපති, උපකුලපති හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරින් හමු වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ කාලීන අවශ්‍යතාවලට අනුකූලව විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා වෙනස් විය යුතු බවය.

ජනාධිපතිවරයාගේ මේ යෝජනාව ඉතාම කලෝචිතය. අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය යල්පැන ඇති බවට කලෙක සිටම කියැවෙන බැවිනි. එසේ වුවත් මෙම යෝජනාව ඉදිරිපත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් නොව විශ්වවිද්‍යාල බලධාරින් විසින් බව අපගේ වැටහීමය. ඔවුන් විසින් ආණ්ඩුවට කළ යුතු යෝජනාවක් – ආණ්ඩුව විසින් ඔවුන්ට යෝජනා කිරීම මගින් අප රටේ උසස් අධ්‍යාපනයේ තරම වටහාගත හැකිය.

අපේ රටේ දැන් විශ්වවිද්‍යාල කියූ සැණින් සිහියට එන්නේ උද්ඝෝෂණ, පෙළපාළි, පොලිස් පහරදීම් හා වැඩ වර්ජන වැනි කාරණාය. රටක විශ්වවිද්‍යාලයක් යනු ඒ රටට පමණක් නොව සමස්ත ලෝකයටම නව දැනුම සපයන මධ්‍යස්ථානය. අපේ විශ්වවිද්‍යාල ඒ තත්ත්වයට පත් නොවීම ගැන සියලු දෙනාගේ චෝදනාව එල්ල වන්නේ සිසුන්ටය.

මෙරට විශ්වවිද්‍යාලවල තත්ත්වය පිරිහීමට සිසුන්ද වගකිව යුතු බවට සැකයක් නැත. එහෙත් සිසුන් පමණක් නොව අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයාගේ සිට විශ්වවිද්‍යාල බලධාරින් හා ආචාර්යවරුන්ද ඒ පමණටම ඊට වගකිව යුතුය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විදේශ ප්‍රතිපත්ති වැනි කාරණා ගැන පවා උද්ඝෝෂණය කරන, විරෝධතා දක්වන විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම සඳහා අරගල කරනු අප දැක නැත. ඔවුන් කඳුළු ගෑස් කමින් ඔසවාගෙන යන පුවරුවල අධ්‍යාපනය ගුණාත්මක කරව් කියා කවදාවත් අප දැක නැත. අලුත් දැනුම ඉල්ලා අරගල නොකරන නමුත් ශිෂ්‍යයන් අලුත් දැනුම ගෙන එන උත්සාහයන්ට විරුද්ධවන අවස්ථා නම් අප දැක තිබේ. නව පාඨමාලා ඇති කරන්නට ගන්නා උත්සාහයන් හෝ කිසියම් වෙනසක් කරන්න ගන්නා සෑම උත්සාහයක් දෙසම සිසුන් බලන්නේ සැකයෙනි. වෘත්තිය පාදක කරගත් විෂය මාලා හඳුන්වා දෙන්නට උත්සාහ කළ බොහෝ අවස්ථාවල ශිෂ්‍ය සංගම් කීවේ ඒවාට උපාධි දීම උපාධි තත්ත්වයට ගැළපෙන්නේ නැති බවය. නැතිනම් නිදහස් අධ්‍යාපනයට කෙරෙන බලපෑමක් බවය. ශිෂ්‍යයන් එවැනි පටු හැඟීමකින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේද ඔවුන්ගේ ගුරුවරුන්ය. විවෘත මනසකින් යුත් මිනිසුන් නිර්මාණය කිරීමට ගුරුවරුන් හා ඔවුන්ගේ අධ්‍යාපනය අසමත්ව ඇති බැවිනි.

දැන් විශ්වවිද්‍යාලවල ඇත්තේ ද පාසල්වල මෙන්ම කටපාඩම් අධ්‍යාපන ක්‍රමයක් යැයි චෝදනාවක් පවතින්නේ කලෙක සිටය. විශ්වවිද්‍යාල නව දැනුම සොයන ස්ථානයක් නොව පාඩම් පිටපත් කරන ස්ථානයක් බවට පත්ව තිබේ. ගුරුවරයාගේ පාඩමද ඇතැම් විටෙක ඔහු ශිෂ්‍යයකුව සිටියදී ලියාගත් පාඩමක් විය හැකිය. විශ්වවිද්‍යාල ආසන්නයේ ෆොටෝ කොපි කඩවල ආදායම ඉහළ ගොස් තිබෙන්නේ මේ නිසාය.

දැනුම පරණ වීමට ප්‍රධාන හේතුව වන්නේ පර්‌යේෂණ නොමැති වීමය. පර්‌යේෂණ කළ යුත්තේ සිසුන් මිස ගුරුවරුන් නොවේ. අපේ රටේ විශ්වවිද්‍යාලවල එවැනි පර්‌යේෂණ සිදුවන්නේද? ඇතැම් විටෙක විද්‍යා අංශවල ඉඳහිට හෝ පර්‌යේෂණ සිදුවිය හැකි වුවත්, අනෙකුත් අංශවල සිදුව තිබෙන නව පර්‌යේෂණ මොනවාද? පර්‌යේෂණ නොකිරීමට නිදහසට ඉදිරිපත් කරන්නේ අවශ්‍ය ප්‍රතිපාදන නැතැයි යන්නය. එහෙත් ප්‍රතිපාදන නොමැති නම් ඒවා සපයා ගැනීමත්, සපයා දීමත් සරසවි බලධාරින්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේද වගකීමකි. නමුත් එවැනි දේ වෙනුවෙන් මහන්සි වීම කරදරකාරී කටයුත්තකි. ඊට වඩා අපේ ආචාර්යවරු කැමැති දේශනයක් – කියවා ගෙදර යන්නය.

ගුරුවරුන් නව දැනුම සොයන්නට උනන්දු නොවෙනවා පමණක් නොව සිසුන් නව දැනුම සොයන්නටද කැමැති නැත. විභාගයට පිළිතුරු ලිවිය යුත්තේ ගුරුවරයා පිටපත් කර දුන් දේශනයන්ගෙන් පමණකි. ශිෂ්‍යයා පොතක්පතක් කියවා ලබාගත් දැනුමකින් පිළිතුරු ලිවීම විභාගය අසමත් වීමට හේතුවක් වීමට පුළුවන. උපාධි පිරිනැමීමේදී පන්ති සාමාර්ථ ලැබෙන්නේ කෙසේ දැයි ප්‍රසිද්ධ රහසකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනසක් සිදුවන්නේ නම් මේවාද වෙනස් විය යුතුය. එසේ නොවනතාක් විවෘත මනසකින් යුත් තුලනාත්මක දැනුමකින් පිරි පුරවැසියන් බිහි කිරීමට නොහැකි වනු ඇත.

විශ්වවිද්‍යාල විෂය නිර්දේශ අලුත් කරන්නා සේම අධ්‍යාපන ප්‍රතිපත්තියක්ද අවශ්‍යව ඇති බව ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල බලධාරින් සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කොට තිබේ. ඇත්ත වශයෙන්ම පළමුවෙන් සිදුවිය යුත්තේ ද අධ්‍යාපන ප්‍රතිපත්තියේ සීමාවන් ලකුණු කර ගැනීමය. අලුතෙන් හඳුන්වාදිය යුතු පාඨමාලා මොනවාද? ප්‍රතිසංස්කරණය විය යුතු පාඨමාලා මොනවාද? යනාදී කරුණු තීරණය විය යුත්තේ ඒ අනුවය. අපේ ඇතැම් සරසවියක නව පාඨමාලා ආරම්භ නොවන්නා සේම සිසුන් නැතත් තිබෙන පාඨමාලා නැවැත්වීමටද සූදානමක් නැත. එසේ කළහොත් ආචාර්ය මහාචාර්යවරුන්ට ගෙදර යන්නට සිදුවන බැවිනි.

රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ රටේ සංවර්ධන ඉලක්කයන්ට සමපාතවය. තවත් වසර පහකින් හෝ දහයකින් අපේ රටට වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයන් කොපමණ අවශ්‍ය වේද යන්න ගැන අපට අදහසක් තිබේද? තවමත් ඉංග්‍රීසි භාෂාවට වඳිමින් සිටින අප ලෝක ප්‍රවණතාවනට අනුව ඉගෙන ගත යුත්තේ කුමන භාෂාවදැයි තීරණය කර තිබේද?

රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේලා ප්‍රමුඛ කාර්යයක් විශ්වවිද්‍යාල වෙත පැවරේ. එහෙත් එසේ වන්නේ රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී විශ්වවිද්‍යාල දායකත්වය ලබා ගන්නේ නම් පමණය. රටේ පාසල් අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒකමිතියකින් යුතුව පවත්වාගෙන යා හැක්කේ එවිටය. එසේ කළ යුත්තේ ජාතික සංවර්ධන අවශ්‍යතාවලට අනුකූලවය. නමුත් දැනට අපේ රටේ පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ජාතික සංවර්ධන අවශ්‍යතා ගමන් කරන්නේ සමාන්තර රේකා තුනක් ඔස්සේය.