කතුවැකි

රට වෙනුවෙන් යුතුකම් ඉටු කරමු

කොරෝනා වෛරසය හේතුවෙන් මාස දෙකක කාලයක් අඛණ්ඩව ඇඳිරි නීතියට යටත්ව තිබූ කොළඹ – ගම්පහ දිස්ත්‍රික්ක දෙකද අද සිට ඉන් නිදහස් වේ. මේ අනුව දැන් දිවයිනේ කිසිදු ස්ථානයකට දිවා කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වසංගතය පැතිරීම පාලනය කර ඇතැයි යන සෞඛ්‍ය නිර්දේශ මතය. මේ අනුව අද සිට රටේ සෑම තැනකම දෛනික කටයුතු ආරම්භ කෙරෙනු ඇත. එසේ වුවත් තවදුරටත් කොරෝනා වෛරසයෙන් බේරී සිටින්නේ කෙසේද යන්න ගැන අවධානයෙන් සිටීම අප කාගේත් වගකීමකි.

කොරෝනා වසංගතය කෙමෙන් පහව යන තත්ත්වයක් තුළ අප කා වෙතත් පැවරෙන වගකීමක් සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගිය ඉරිදා නිවේදනයක් නිකුත් කර තිබිණ. පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලාංකික අප සැමට ඇත්තේ එකම විකල්පයක් බවය. ඒ ශ්‍රී ලංකාව ගොඩ ගැනීම බවත්, අගමැතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබිණ.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ලෝක ආර්ථිකයම අඩපණ වී තිබේ. ජගත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට පශ්චාත් කොරෝනා ආර්ථික අවපාතය 1930 දශකයේ ඇති වූ ලෝක ආර්ථික අවපාතයට සමාන වනු ඇත.

ජර්මනිය, චීනය, ඇමරිකාව වැනි ශක්තිමත් ආර්ථිකයන් ඇති රටවලට පවා මෙහි අඩුවැඩි වශයෙන් විපාක විඳීමට සිදුවනු ඇතැයි කියැවේ. එවැනි තත්ත්වයක් තුළ අප වැනි රටක ආර්ථිකයකට ඇතිවිය හැකි බලපෑම ඉතා බරපතළය. 2015 න් පසු රටේ ආර්ථිකයේ ඇති වූ පසුබෑම මෙම බරපතළකම දෙගුණ තෙගුණ කර තිබේ.

2014 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් හඳුනාගෙන තිබිණ. 2010 – 2014 අතර කාලයේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7 යි දශම 4 කි. එහෙත් 2015 දී සියයට පහක් වූ එම අගය 2019 දී වාර්තා වූයේ සියයට දෙකයි දශම තුනක් ලෙසය.

කොරෝනා වසංගතය විසින් පහර වැදී ඇත්තේ එතරම් දුර්වලව තිබූ ආර්ථිකයකටය. මෙය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකි. විදේශ ඉපයීම්ද, ආනයන ආදායම්ද දේශීය බදු ආදායම ආදී වශයෙන් මේ වන විට ආණ්ඩුවේ ආදායම් බරපතළ ලෙස අඩු වී තිබේ. රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යන අතරේම කොරෝනා පාලනය වෙනුවෙන් අමතර පිරිවැයක් දරන්නටත්, කොරෝනා නිසා ආදායම් අහිමි වූ ජනතාවට සහන සැලසීමටද සිදුව ඇත්තේ එසේ තිබියදීය.

ඇත්ත වශයෙන්ම අප මෙන්ම සෑම රටක්ම මුහුණ දෙන සැබෑ අභියෝගය ඇත්තේ කොරෝනා වසංගතය පාලනය තුළ නොව කොරෝනා නිසා අඩපණ වූ කඩාවැටුණු තම තමන්ගේ ආර්ථිකයන් යථාවත් කර ගැනීම තුළය. අප මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද යන්න අපි සියලු දෙනා මේ අවස්ථාවේ කල්පනා කළ යුතු කාරණයකි. මේ අභියෝගයට මුහුණ දීම ආණ්ඩුවේ වගකීමක් පමණක් යැයි කල්පනා කළහොත් අප රටක් ලෙස පරාජයට පත්වීම වළක්වනු නොහැකි වනු ඇත.

රටකට කුමන අභියෝගයකට මුහුණ දීමට සිදු වුවත් එහිදී පෙරමුණ ගත යුත්තේද, ඒ සඳහා ජනතාව පෙළ ගැස්විය යුත්තේද පවතින ආණ්ඩුව විසිනි. එය ආණ්ඩුවේ වගකීම වුවත් ආණ්ඩුවට ඒ වගකීම ඉටු කළ හැක්කේ ජනතා සහාය ලැබුණහොත් පමණකි. ජනතා සහාය ලබා ගැනීමට ආණ්ඩුව කළ යුතු මූලිකම කාරණාව නම් තමන් පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ගොඩ නැගීමය. යුද්ධය ජය ගැනීමට හැකි බවට වූ විශ්වාසයත්, ඒ හරහා ලැබුණු ජනතා සහායත් තිස් වසරක යුද්ධය ජය ගැනීමට විශාල පිටිවහලක් වූ බව නොරහසකි.

කොරෝනා වසංගතයෙන් පසු රටේ ආර්ථිකය ගොඩනැංවිය හැකි බවට ජනතා විශ්වාසය ගොඩනැංවීම ආණ්ඩුවේ වගකීමකි. කොරෝනා පාලනයට ගත් ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රතිඵල මත ආණ්ඩුව ඒ වගකීමද ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ජනතාව ලෙස අපට මෙහිදී කරන්නට ඇත්තේ කුමක්ද? කොරෝනා වසංගතය තිබියදීම ආණ්ඩුව රජයේ සේවකයන්ට වැටුප් දීමනා ගෙවූ අතර දිළිඳු ජනතාවට දීමනාවක් ගෙවීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් පෞද්ගලික අංශයේ වැටුප් කප්පාදු කිරීම් හා රැකියා අහිමි වීම් ගැන දුක් ගැනවිලි ඇහෙන්නට පටන් ගෙන තිබේ. එසේම රාජ්‍ය සේවයේද අතිකාල දීමනා ප්‍රමාද වීම ගැන තැන තැන විරෝධතාවන්ද වාර්තා වී තිබේ. එවැනි තත්ත්ත්වයක් තුළ ජනතාව ආර්ථික අර්බුදයට මුහුණ දීමට ආණ්ඩුවට සහය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිද? අතිකාල දීමනා දිනයක් දෙකක් ප්‍රමාද වූ සැණින් විරෝධතා මතු වීමෙන් පෙනී යන්නේ අප තවමත් මේ අර්බුදය මනා ලෙස වටහාගෙන නොමැති බවද? එසේ නම් ඒ බව ජනතාවට අවබෝධ කරදීම ආණ්ඩුව සතු වගකීමකි.

කෙසේ වුවත් අප සියලු දෙනා විශේෂයෙන්ම රාජ්‍ය සේවය අපගෙන්ම විමසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ​අප මේ දක්වා අපගේ සේවාවන් කොයිතරම් දුරට කාර්යක්ෂමව, ඵලදායීව ඉටු කර තිබේද යන්නය. අපේ රාජ්‍ය සේවය කුසීත, උදාසීන, ඵලදායීතාවයෙන් අඩු එකක් බවට රාජ්‍ය නායකයන් පවා චෝදනා කළ අවස්ථා තිබේ. අප මේ කාරණය මතු කරන්නේ ඒ නිසාම නොව රාජ්‍ය සේවයේ නඩත්තුව සඳහා වැය කරන මුදලද සැලකිල්ලට ගනිමිනි.

මේ වන විට රජයේ සේවකයන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත. මේ අයගේ වැටුප්, දීමනා හා විශ්‍රාම වැටුප් සඳහා වසරකට රුපියල් මිලියන දසදහසක් හෙවත් ට්‍රිලියනයක මුදලක් වැය කෙරේ. මිලියන දසදහසක් හෙවත් ට්‍රිලියනයක් යනු සමස්ත රාජ්‍ය ආදායමෙන් අඩකි.

මේ අනුව රටේ සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවයට පැවරෙන වගකීම සුළුපටු නැත. මේ අභියෝගාත්මක අවස්ථාවේ ඔවුන්ට රට වෙනුවෙන් කළ හැකි හොඳම හා වටිනාම සේවය වන්නේ තමන් වෙනුවෙන් රටේ සියලු දෙනා වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා දීමය.