කතුවැකි

රට විවෘත කරන්න පුළුවන්ද?

රටේ කටයුතු අද සිට යථා තත්ත්වයට පත්වනු ඇතැයි වාර්තා වී තිබුණත් එය එසේම වනු ඇත්ද යන්න සැක සහිතය. අද සිට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රාජකාරි යම් සීමාවන්ට යටත්ව ආරම්භ වීමට නියමිතව තිබිණ. ඒ සඳහාත්, රාජකාරි කිරීමේදීත් අනුගමනය කළ යුතු නියමයන් අඩංගු ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය සති අන්තයේය. එහෙත් ඊයේ (10 වැනිදා) ඉරිදා සවස් වනතුරුත් එම ගැසට් නිවේදනය නිකුත්ව තිබුණේ නැත. මේ නිසා අද සිට වැඩ කටයුතු කරගෙන යා යුත්තේ කෙසේදැයි ආයතන ප්‍රධානීන්ට මෙන්ම කාර්ය මණ්ඩලවලටද අදහසක් නැත. මේ වන විට ගැසට් නිවේදනය නිකුත්ව තිබුණේ වුවත් එහි සඳහන් නියමයන් සන්නිවේදනය වීමටත් ඊට අනුව අවශ්‍ය පියවර ගැනීමටත් තවත් දින දෙක තුනක්වත් අවශ්‍ය වනු ඇත.

මේ කියන ගැසට් නිවේදනය සති අන්තයේ කියූ අන්දමට නිකුත්ව තිබුණේ වුවත් අද සිට රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකිය. රජයේ හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩලවලින් සියයට 20 ක් ගෙන්වීමට තීරණය කළත් ඔවුන්ගේ ප්‍රවාහන ප්‍රශ්නය විසඳී නොමැති නිසාය.

දුම්රිය සේවය මේ වන විට වාර ප්‍රවේශ පත්‍ර හිමි අය ලියාපදිංචි කර ගැනීමේ වැඩ සටහනක් අරඹා තිබේ. එහෙත් එලෙස ලියාපදිංචි වූ අයට තමන්ට අවශ්‍ය වේලාවට යන්නට දුම්රියක් ලැබෙන්නේ නැත. ඔවුන් යා යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කරන දුම්රියකය. ඒ වේලාවට ගොස් රාජකාරි කරන්නට ඔවුන්ගේ ආයතන ඉඩ දෙන්නේ නම් ප්‍රශ්නයක් නැත.

රජයේ වේවා, පෞද්ගලික වේවා කාටත් දුම්රිය නොමැති නම් විකල්පය ලංගම බස් රථය පමණකි. දුරස්ථ භාවය තබාගෙන මගීන් ප්‍රවාහනය කිරීමට නම් කිසියම් සහනාධාරයක් දෙන්නැයි පෞද්ගලික බස් රථ හිමියන් කළ ඉල්ලීමට ආණ්ඩුවෙන් මෙතෙක් පිළිතුරක් නැත.

ඊළඟට මතුවන්නේ රාජ්‍ය වේවා, පෞද්ගලික ​වේවා කාර්යාල කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව සකස් කරගැනීමේ අභියෝගයයි. කාර්යාල ආරම්භ කිරීමේ නියාමනයන් මේ ලියන මොහොත වන විටත් නිකුත් වී නැත. එහෙත් කොතැනත් තිබිය යුතු අවම සෞඛ්‍ය අවශ්‍යතා වන විෂබීජහරණය, සමාජ දුරස්ථභාවය තබා ගැනීම සඳහා කාර්යාල සකස් කොට තිබේද? එකී අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහාද දින කිහිපයක් අවශ්‍ය වනු ඇත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ආයතන ප්‍රධානීන්ට ලැබිය යුතුය.

මේ සියලු අපහසුතා මධ්‍යයේ හෝ කාර්යාල විවෘත කෙරුණත් ඵලක් තිබේදැයි සිතෙන්නේ සාමාන්‍ය ජනතාවට තවදුරටත් නිවසින් එළියට බැසීමට තහංචි පැනවී තිබෙන බැවිනි. තවත් සති දෙකක් යනතෙක් සාමාන්‍ය ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවා සැපයීමෙන් වළකින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. එසේ නම් සේවා ලබා ගන්නා ජනතාව නොමැතිව කාර්යාල විවෘත කිරීමෙන් ඵලක් තිබේදැයි කල්පනා කළ යුතුය.

මේ වන විට අප රටේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ සාපේක්ෂ අඩුවක් පෙන්නුම් කරන බවක් දක්නට තිබේ. ලෝකයේ අපට වඩා ආසාදිතයන් සහ මරණ වාර්තා වූ ඇතැම් රටවල් පනවා තිබූ යම් යම් සීමාවන් ලිහිල් කරන්නට පටන්ගෙන ඇත. ඒ අනුව යමින් අපද සමාජ තහංචි ලිහිල් කළ යුතු බව ඇතැමකුගේ අදහසය. එසේ වුවත් අපගේ අදහස නම් වෙනත් රටක් කළ දෙයක් ඒ ආකාරයටම කරන්නට අපට නොහැකි බවය.

කොරෝනාවට ගොදුරු වූ බටහිර රටවල් බොහෝමයක් මේ වන විට සමාජ තහංචි ලිහිල් කරමින් සිටින බව සැබෑවකි. එසේම මේ රටවල් අප රට මෙන් කොරෝනා පාලනයට ඇඳිරි නීතිය පැනවීමට පියවර නොගත් බවද සත්‍යයකි. ඇඳිරි නීතිය පැනවීමට පියවර නොගත් නමුත් මේ රටවල් පැනවූ යම් යම් සීමාවන් අකුරටම ක්‍රියාත්මක විය. ඒ, ඒ රටවල හැටිය. ඉන්දියාව ඇඳිරි නීතිය නොපැණවූ නමුත් ජනතාව පාලනය කිරීමට සිදුවූයේ පොලිසිය ලවා පහර දීමෙනි. ඒ නිසා කොරෝනා වෛරසයේ විපාක අප හැමටම සමාන නමුත් ඊට මුහුණ දීමට සිදුව තිබෙන්නේ රටේත්, ජනතාවගේත් හැටියටය. දේසේ හැටියට බාසේ කියා කියමනක් තිබේ.

මේ තත්ත්වය මත කොරෝනා වසංගතය මුළුමනින්ම තුරන් කරන තෙක් වුවත් රට වසා තැබීමට සෞඛ්‍ය අංශ අකමැති නොවනු ඇත. එසේ වුවත් ඒ දවස එනතෙක් සිටින්නට ජනතාවට හැකියාවක් නැත. එසේම කිසිදු ආදායමක් නොලබන තත්ත්වයක ජනතා සුබසාධනය සලසමින්, ණය බරද උසුලමින් රට ගෙන යන්නට ආණ්ඩුවටද හැකියාවක් නැත. කොරෝනා නිසා ආර්ථිකයට සිදුව ඇති පාඩුවේ නියම ප්‍රතිඵල අත්විඳින්නට ආණ්ඩුවට සිදුවනු ඇත්තේ රට පෙර පරිදි යථා තත්ත්වයට පත්වූ පසුය.

මේ අර්බුදයට මුහුණ දිය යුත්තේ කෙසේද යන පිළිතුර සොයාගත යුත්තේ ආණ්ඩුව විසිනි. එහෙත් ඒ පිළිතුර සාර්ථක වනු ඇත්තේ ජනතාවගේ සහය ඊට ලැබුණහොත් පමණකි. දීර්ඝ කාලයක් ඇඳිරිනීතිය පනවා තිබූ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කද අද සිට ඉන් නිදහස්ව තිබේ. සීමාසහිතකම් ඇතත් ඇඳිරිනීතිය පවතින කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලද මහජන සේවා ආරම්භ කිරීමට අවසර ලැබී තිබේ. ආණ්ඩුව මේ පියවර ගන්නේ මතුවිය හැකි අවදානම නොදැන නොවේ. ඒ අවදානම පහකළ හැක්කේ ජනතාවටය.

අද සිට රටේ කටයුතු ආරම්භ වුවත් ඒ තත්ත්වය කොරෝනා එන්නට පෙර තිබූ තත්ත්වයට පත්වන්නට තවත් කලක් ගතවනු ඇත. එතෙක් යම් යම් දුෂ්කරතාවන් විඳීමට අප සියලු දෙනාට සිදුවනු ඇත.