කතුවැකි

රට වැසීමද, වැනසීමද?

පසුගිය සිකුරාදා රාත්‍රියේ ජනතාව ඇමැතූ ජනාධිපතිවරයා රට වැසීම නිසා ආණ්ඩුවට මෙන්ම රටට සිදුවිය හැකි දේ ගැන පැහැදිලි කර දුන්නේය. එහෙත් ඒ වන විටත් දින දහයකට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ තීරණය ප්‍රකාශයට පත් වී අවසන්ය. ජනාධිපතිවරයා සිය ජාතිය ඇමැතීමේදී පෙන්වා දුන් ආකාරයට මෙරට ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය සටහන් වී ඇත්තේ කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ රට වසා දැමූ කාල සීමාවේය. රට වසා දැමීම රටේ ආනයන – අපනයන ආර්ථිකයට පමණක් නොව මාස් පඩි නොලබන, සුළු ව්‍යාපාරිකයාගේ සිට දෛනික වැටුපට සේවය කරන කම්කරුවා දක්වා විශාල පිරිසකගේ ආර්ථිකය බිඳ දමන තීරණයක් බව ජනාධිපතිවරයා ගිය සතියේ කැබිනට් මණ්ඩලයටද පැහැදිලි කර දී තිබුණේය.

එසේ තිබියදී හදිසියේම සිකුරාදා රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නට තීරණය කරන්නට ඇත්තේ හැම දෙනාම රට වැසිය යුතු යැයි බල කිරීම නිසා විය හැකිය. වෛද්‍ය සංගම්, විපක්ෂයේ පක්ෂ පමණක් නොව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පවා මතය වූයේ රට වැසිය යුතු බවය. අවසානයේ මහනායක හිමිවරුන්ද ඉල්ලා සිටියේ රට වසන ලෙසය.

රට වැසීමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවේ මේ සියලු දෙනාගේ ඉල්ලීම් හා බලකිරීම් මත නම් එම තීරණයෙන් අපේක්ෂා කළ තත්ත්වය ළඟා කර ගැනීමටත්, ඒ නිසා රටටත්, ජනතාවටත් සිදුවන ආර්ථික හානි අවම කර ගැනීමටත් දායක වීමේ වගකීමක් මේ සියලු දෙනාටම තිබේ.

රට වැසීමෙන් අපේක්ෂා කරන්නේ කොවිඩ් වසංගතය තවදුරටත් රට තුළ පැතිරීම පාලනය කිරීමය. ඒ සඳහා නීති පැනවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මහජන විනයද අවශ්‍ය බව අපි නොයෙක්වර පෙන්වා දී ඇත්තෙමු. එහෙත් රට වසන ලෙසට කාරුණික ඉල්ලීම් මෙන්ම වර්ජන තර්ජනද, එල්ල කළ කිසිවකු ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් නොකිරීම කනගාටුවට කරුණකි. ගරුතර මහා නායක හිමිවරුනි, ඔබ වහන්සේලා තවමත් ඒ සඳහා ප්‍රමාද නැත.

රට වැසිය යුතු බවට ආණ්ඩුවට බල කළ සියලු දෙනාගේ මතය වූයේ එසේ නොකර රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට අන් මගක් නොමැති බවය. එහෙත් මේ ඉල්ලීම කළ ඇතැමුන්ගේ ඇත්ත අරමුණ රට වැසීමද, නැතහොත් රට වැනසීම දැයි සැක සිතෙන්නේ ඉන් පසුව ඔවුන් කියන කරන දෑ අනුවය.

කිසිම රටක් සියයට සියයක්ම වසා දැමිය නොහැකිය. මේ වන විට ලෝකයේ කිසිම රටක් දිගු කාලීනව අගුළු දැමීම් කරන්නේ ද නැත. ඒ රටවල ජනතාව ඉල්ලා සිටින්නේ රටවල් අගුළු නොදමන ලෙසය. රට අගුළු දැමීම නිසා ඔස්ට්‍රේලියාවේ ජනතාව මේ වන විට වීදි බැස සිටිති.

කොවිඩ් නිසා සංචරණ සීමා ඇතුළුව යම් යම් සීමා කිරීම් පැනවිය හැකි නමුත්, රටේ ප්‍රධාන නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට අපට නොව දියුණුවන රටවලට පවා නොහැකිය. රට රටවල් තනි තනිව නිෂ්පාදන නැවැත්වීම නිසා ලෝකයේම භාණ්ඩ හා සේවා සැපයුම අඩාළ විය හැකි නිසාය.

අප රට සම්බන්ධයෙන් ගත් විට අපේ ප්‍රධාන ආදායම් මාර්ග වන සංචාරක කර්මාන්තය දැන් ආදායමක් උපදවන්නේම නැත. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉපැයීම්ද අඩාළ වී තිබේ. අපට දැනට ඉතිරිව ඇත්තේ අපනයන කර්මාන්ත පමණකි. රටේ විදේශ සංචිත හිඟ වී ඇති මොහොතක, අපනයන ආදායමද අහිමි වුවහොත් ජනතාවට මිය යන්නට සිදුවනු ඇත්තේ කොවිඩ් ආසාදනය වීම නිසා නොව වෙනත් රෝග සඳහා ඖෂධ නොමැතිව හා කන්නට නොමැතිව හාමතේය.

නිරෝධායන නීතිය යටතේ ඇඟලුම් කම්හල්, ආයෝජන මණ්ඩලය යටතේ ඇති කම්හල් ඇතුළුව රටේ සියලුම කම්හල් ද වසා දැමිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ දැන් කියන්නේ රටත් ජනතාවත් ඒ තත්ත්වයට පත් කරන්නටද?

ඇඟලුම් කම්හල් වේවා, වෙනත් කම්හලක් වේවා නිෂ්පාදන කටයුතු කරගෙන යෑමේදී එම සේවකයන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වීමේ අවදානමක් තිබෙන බව සත්‍යයකි. කම්හල් සේවකයන් පමණක් නොව මේ වන විට​ වෛද්‍යවරුන්, ඇතුළුව සෞඛ්‍ය සේවකයන්ද, පොලිස් නිලධාරීන්ද පමණක් නොව පාර්ලිමේන්තු සේවකයන් හා මන්ත්‍රිවරුන් පවා ආසාදිතයෝ වී සිටිති. කම්හල් සේවකයන් ආසාදිතයන් වීම වැළැක්වීමට, එම කම්හල් වසා දැමිය යුතු නම් සෞඛ්‍ය සේවකයන් ආසාදිතයන් නොවීමට වෛද්‍ය හෙද සේවා අත්හිටුවිය යුතුය. පොලිසිය, හමුදාව ආසාදිත වීම වළක්වාගත හැක්කේ ඔවුන් රාජකාරි නොකර සිටීමෙනි. පාර්ලිමේන්තුව රැස් නොවී තිබුණහොත් මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු සේවකයන් කොවිඩ් වයිරසයෙන් බේරාගත හැකිය. එහෙත් කම්හල් වැසිය යුතු යැයි කියන ජවිපෙ පාර්ලිමේන්තුව වැසිය යුතු යැයි කියනවා අපට ඇසී නැත.

කොවිඩ් වයිරසයේ ස්වභාවය අනුව ඉන් බේරී සිටීම නම් අප කළ යුතුතේ දොර ජනෙල් වසා ගෙන නිවසට වී සිටීමය. අප කවුරුත් සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්ෂක විධික්‍රම අනුගමනය කරමින් දෛනික කටයුතුවල නිරත වන්නේ, අප කිසිවකුටත් කොවිඩ් අවසන් වන තෙක් නිවාසවලට වී සිටීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති නිසාය. කම්හල් තම නිෂ්පාදන සේවා කරගෙන යන්නේද එම පදනමිනි.

ජවිපෙ සියලු කම්හල් වසා දැමිය යුතු යැයි කියන්නේ එම සේවකයන් ගැන පතල මහා කරුණාවෙන් නම් ඒ කරුණාව මෙරට ගුරුවරුන්, කම්කරුවන් හා සිසුන් සම්බන්ධයෙන්ද තිබිය යුතුය. එසේ තිබෙන්නේ නම් ඔවුන් පසුගිය දිනවල රටපුරා විවිධ හේතු මත උද්ඝෝෂණ, පෙළපාළි සංවිධානය කරන්නේ නැත. කොවිඩ් අවදානමක් තිබියදී ඔවුන් මෙම විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය කළේ එහි අවශ්‍යතාවක් තිබූ නිසා විය හැකිය. එසේ නම් කොවිඩ් අවදානමක් තිබියදී කම්හල් විවෘතව පවතින්නේද එවැනිම මඟ හැර යා නොහැකි අවශ්‍යතාවක් නිසා යැයි ජවිපෙ නොදන්නවා යැයි අප සිතන්නේ නැත. නිරෝධායන ඇඳිරි නීතිය යටතේ කම්හල් සියල්ලද වසා දැමිය යුතු බවට ඔවුන් කරන බලපෑම අවංක එකක් ලෙස අප නොදකින්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් රට වැසීම නොවැසීම ගැන ජනතා විමුක්ති පෙරමුණ වේවා, වෙනත් පක්ෂයක් හෝ කණ්ඩායමක් වේවා නගන චෝදනාවන්ට පදනමක් තිබුණත් නැතත් ඒවා නිසා ජන මනසේ කැලඹීමක් ඇති වීම වැළැක්විය නොහැකිය. ඇඳිරි නීතිය හෝ කොවිඩ් පාලනය සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග විශ්වාස නොකරන්නේ හෝ හිතාමතාම නීතිය උල්ලංඝනය කරන්නට ජනතාව පොළඹවන්නට මෙම තත්ත්වයද හේතුවකි.

මෙම තත්ත්වය වළක්වා ගත හැක්කේ අවශ්‍ය තීරණ අවශ්‍ය මොහොතේ ගැනීමත්, ගනු ලබන තීරණ ඊට පදනම් වූ සාධක වෙනස් නොවන්නේ නම් වෙනස් නොකිරීමෙන් මිස අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන්නා සේ තීරණ ගැනීමෙන් හා උදේ ගන්නා තීරණ හවස වෙනස් කිරීමෙන් නොවන බව ආණ්ඩුවද තේරුම්ගත යුතුය.