අතන මෙතන

රට රැකුමට ගුවනින් බීජ බෝම්බ හෙළීමේ මෙහෙයුම

වනාන්තරවල සැඟවී සිටිමින් වියට්කොං ගරිල්ලන් එල්ල කළ ප්‍රහාරවලින් බේරීමට ඇමරිකානු හමුදා පහරදුන්නේ ගහකොළටය.

රසායනික ප්‍රහාරයකින් ගස්වල කොළ බිම හෙළා සතුරා ඇති තැන් සොයාගැනීම එසේ ගස්වලට පහරදීමේ අරමුණ විය. ඒජන්ට් ඔරෙන්ජ් නමැති රසායනික ද්‍රව්‍ය ගුවනින් හෙළා වර්ග කිලෝමීටර් තිස්එක්දහසක වනාන්තර විනාශ කරන්නට ඇමරිකානු හමුදාවන් කටයුතු කළහ. මේ හේතුවෙන් වනාන්තරවල වන වගාකිරීම පවා පසුකාලීනව අසීරු විය. මෙය මෙම ප්‍රහාරයෙන් එදා ලොව පුරා කතාබහට ලක් කළ මාතෘකාවක් වූයේ ඉන් සිදුවූ පරිසර හානියේ තරම නිසාය.

එදා එම වියට්නාම ප්‍රහාරවලින් වසර තිහකට පසුව ඇමරිකාවේ ඇලබාමාහි ඇමරිකානු ගුවන් විශ්වවිද්‍යාලයේදී එහි පුහුණු පාඨමාලාවන් හැදෑරීමට ගොස් සිටි ශ්‍රී ලාංකික නිලධාරියකු එහි පුවත්පතක පළ වී තිබූ අපූරු කාටුනයක් දුටුවේය. මෙම නිලධාරියා එම විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කලාව හා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන්නට ගිය පළමු ලාංකිකයාද වූයේය. ඔහුට එහිදී දුටු කාටුනයේ තිබුණේ ඇමරිකානු හමුදා වියට්නාමයට ඒජන්ට් ඔරේන්ජ් රසායනය ගුවනින් හෙළීම සම්බන්ධවය. ගුවනින් බීජ පැළ හෙළුවානම් පරිසරයම රැකෙන අයුරු එම කාටුනයේ අපූරු සිත් ගන්නා අයුරින් සටහන් වී තිබිණි.

ගුවනින් පැළ හෙළනු වෙනුවට බීජ වර්ග සකස් කර ගුවනින් බිමට දැමුවහොත් පරිසරය රැකගත හැකි නොවේදැයි එදා එම නිලධාරියාගේ කල්පනාවට ආවේය.

සුදර්ශන පතිරණ නම් වූ මෙම ශ්‍රී ලාංකික නිලධාරියා ඇලබාමා ගුවන් විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කලාව හා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා මෙරටට එන්නේ එම පාඨමාලාව නිමකළ පළමු ශ්‍රී ලාංකික ගුවන් හමුදා නිලධාරියා ලෙසිනි.

ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසුව තමන් ඇමරිකාවේදී දුටු කාටුනය සිහියට නැගුණි. ඒ අනුව එදා තමන්ට සිතුණ දේ ඇසුරින් ඔහු මෙහෙයුමක් සැලසුම් කළේය. ඒ ගුවනින් බීජ බෝම්බ හෙළීමේ මෙහෙයුමයි.

වෙනදා ගුවන් හමුදාව ගුවනින් බිමට හෙළුවේ කිලෝ පන්සියයේ, දහසේ බෝම්බය. නැතිනම් බැරල් බෝම්බය.

ඊළාම් යුද ඉතිහාසය පුරාවට උතුරු, නැගෙනහිර ජනතාවට මෙම බෝම්බ භීතිය ගෙන දුන්නක්ම විය.

සතුරු ඉලක්ක කරා ගුවන් හමුදා ප්‍රහාරක යානා පියාසර කරද්දී එදා උතුරේ ජනතාව බිය වූහ. ගුවනින් බැරල් බෝම්බ හෙළමින් ඇරඹී ගුවන් හමුදා ප්‍රහාරක වෙඩි බලය මිග්, කෆීර්, එෆ් 7 ජෙට් යානා දක්වා ව්‍යාප්ත විය. ප්‍රභාකරන්ගේ බළකොටු අබියසත් ගුවනින් වැටුණු බෝම්බ පුපුරා ගියේය.

කොටින්ගේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරය වන්නියම භීතියට පත්කළ ප්‍රහාර මාලාවේ සාර්ථකම ප්‍රහාරයක් විය.

කිලිනොච්චි, තිරුවිආරුහි රත්නපුරම් ගමේ තමිල් සෙල්වම්ගේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැතියේ සිවිල් වැසියන්ගේ නිවාස අතරේය. එවකට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක තම නියමුවන්ගේ දක්ෂතාවය තේරුම්ගෙන නිවැරදි ​ඉලක්කය සොයා යන්නට කෆිර් යානා තුනක් හා මිග්27 යානා තුනක් ප්‍රහාරයට යෙදව්වේය. සිවිල් වැසියන්ගේ නිවාස බේරමින් 2007 නොවැම්බර් 2 වැනිදා වන්නි කොටි අඩවියේ පහළටම පැමිණ ඉලක්කය සපුරාගත්තේ ගුවන් නියමුවන්ගේ දක්ෂතාවය නිසාය.

ප්‍රහාරක ජෙට් යානාවල වෙඩි බලය උතුරු, නැගෙනහිර ජනතාවට අරුමයක් නොවූයේ යුද ඉතිහාසය පුරා ලද අත්දැකීම් නිසාය.

ඊළාම් යුද්ධය නිමාවී එකළොස් වසරක් ගතවෙද්දී ගුවන් හමුදාවට අලුත්ම මෙහෙයුම සූදානම් කරන්නේ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණය. ඒ අනුව ඉලක්කය ගුවනින් නැගෙනහිරට බෝම්බ හෙළීමය. ඒත් මෙවර හෙළන්නේ ගම්බිම් පිටින් විනාශවන සතුරු නාශක බෝම්බ නොව ගුවන් හමුදාවේම නිෂ්පාදිත අමුතුම තාලයේ බෝම්බයකි. එය පරිසරය රකින්නට සකසන බීජ බෝම්බය.

එම ව්‍යාපෘතියට මුල් වූ ආකාරය ගැන වත්මන් ගුවන් හමුදාපති ධුරය හොබවන ඔහු කියන්නේ මෙවැනි කතාවකි.

අපි ගුවනේ පියාසර කරන හැම මොහතකදීම දැක්ක දෙයක් තමයි වනාන්තර කැපීමෙන් සිදුවී ඇති සහ සිදුවන විනාශය. කැලෑ කැපීම, හේන් එළිකිරීම්, නීතිවිරෝධි ලෙස ගස් කැපීම් සියල්ල අපි ගුවනින් නිරීක්ෂණය කරලා පොලිසියට තොරතුරු දීලා වැටලීම් කළා. නමුත් පෙරළපු ගස් ටික යළි පැළවෙන්නේ නැහැ. මේ වන විනාශය උ​ඩින් දැකලා මම හිටපු ගුවන් හමුදාපතිට එදා මේ යෝජනාව කළා.

මෙම ව්‍යාපෘතිය ඇරඹීමට තමන්ට මේ සංකල්පය පහළ කළ කාටුනය ගැනද හමුදාපතිවරයා ආවර්ජනය කරන්නේය.

‘ඇමරිකාව වියට්නාමවල යුද්ධයේදී කැලෑවලට ගුවනින් විශාල විනාශයක් කළා. සතුරන්ට ඉන්න බැරිවෙන්න උඩින් ‘ඒජන්ට් ඔරේන්ජ්’ ගහලා පරිසර විනාශයක් කරලා තිබුණා. පස්සේ ඒකට ලස්සනට කාටුන් එකක් ඇඳලා තිබුණා. ඒ වෙනුවට පැළ දැම්මනම් කැලේ තව ටිකක් හැදෙනවා කියලා. කාටුන් එක දැකලා තමයි මම හිතුවේ උඩින් දාන බෝම්බ හැඩයට පොඩියට පැළ ඇට කැලෑවට දැම්මොත් පැළවෙයි නේද කියලා.

මෙහිදී ගුවන් හමුදාව තෝරාගත්තේ එක් එක් කලාපවලට ආවේණික බීජ වර්ගය. කුඹුක්, මී, බුළු, මාර, සියඹලා ඇහැල ඇතුළු වනාන්තරවලට අවශ්‍ය වන ආකාරයට බීජ තෝරා ගැනීම පැවැරුණේ ගුවන් හමුදා කෘෂි ඒකකයටය. ගුවන් හමුදා කෘෂි ඒකකයේ අණදෙන්නා වූ ගුවන් කොමදෝරු සුහර්ෂි ප්‍රනාන්දු යටතේ මෙම මෙහෙයුම් ඇරඹිණි.

‘අපි වනජීවි එකත් එක්ක කතා කරගෙන අම්පාරේ පළමු ව්‍යාපෘතිය කරන්න සැලසුම් කළා. ඒ අනුව තමයි ප්‍රදේශයට ආවේණික ගස්වල බීජ තෝරා ගත්තේ. ගුවනින් බීජ හෙළීමෙන් ව්‍යාපෘතිය සාර්ථක නොවන බව එතැනදී තේරුම් ගත්තා.

බීජ නිකරුණේ ගුවනින් හෙළීමට වඩා බීජ බෝම්බ ලෙස සැකසීම සාර්ථක බව පර්‌යේෂණවලදී හෙළි විය. කොම්පෝස්ට් ගුළිවලින් ටෙනිස් බෝලයක ආකාරයට සකසා එය මැදට බීජ දැමීම සැලසුම විය.

ඉන්පසු එම බීජ බෝම්බ වැසි වැටෙන කාලය ඉලක්ක කර වනාන්තරවලට දැමීම ඊළඟ ඉලක්කය විය.

අම්පාර, රනෝරාව රක්ෂිතය, පළමු නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් භූමිය විය. අක්කර හයක ප්‍රදේශයකට ගුවනින් බීජ පන්දහසක් හෙළුවේය.

දෙවැනි අදියරේදී ලාහුගල රක්ෂිතයට බීජ බෝම්බ හැටදහසක් හෙළුවේය.

තුන්වැනි අදියර ලෙසින් ඉකුත් දෙසැම්බර් 16දා බීජ බෝම්බ තිස්දහසක් ලාහුගල කිතුලාන රක්ෂිතයට හෙළුවේය. මෙම කාරණයට යොදා ගන්නේ ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවයි. ඒ අනුව මේ වන විට අක්කර විසිපහකට මෙම බීජ බෝම්බ හෙළා තිබේ.

‘අපි බීජ බෝම්බ භූමියට අතහැරලා නිකම් හිටියේ නැහැ. මාස අටක් දහයක් යනතුරු එම බීජ පැළවෙන ආකාරය ගොඩබිමින් ගිය ගුවන් භට කණ්ඩායම් නිරීක්ෂණය කළා.’ ඔහු කියයි. එසේම සෑම බීජ බෝම්බයක්ම අංක ගත කර පැළවෙන ආකාරය දත්ත ගත කළේය.

මෙහෙයුමේ ඉලක්කය වුණේ ලංකාවේ වන ඝනත්වය වැඩිකිරීමය. අපි ගුවනින් පියාසර කරන හැම මෙහෙයුමකදී වන විනාශයන් අපි නිරන්තරයෙන් දැක්කා. කැලෑ කැපීම්, හේන් එළිකිරීම් නිරන්තරයෙන් දකින්න වුණා. අපි පොලිසිය දැනුවත් කරලා ඒවාට වැටලීම් කළා. විශාල පරිසර හානිය දැකලා තමයි වනාන්තරවලට යළි ජීවය දෙන්න සැලසුම් කළේ’ යැයි ගුවන් හමුදාපතිවරයා කියන්නේය.

විනාශ වූ වනාන්තරවලට ගොඩබිමින් ළඟාවන්නට නොහැකි තැන්වලදී ගුවනින් ගොස් බීජ නෙළීම මේ අනුව ඉතා සාර්ථක විය. මෙම මෙහෙයුමෙන් ලද සාර්ථකත්වය නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට තවත් අභියෝගයක් භාරදුන්නේය.

රට පුරා සිදුවන වන විනාශයෙන් ගුවනින් නිරීක්ෂණය කර ගුවන් හමුදාව ලබාදුන් දත්ත අනුව පසුගිය වසරේ වැඩිම වන විනාශය වාර්තා වූයේ උතුරු, නැගෙනහිරින්ය. වාර්තා සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා උපදෙස් දෙන්නේ උතුරු, නැගෙනහිරට ආවේණික ශාකවර්ග ඇට යොදාගනිමින් බීජ බෝම්බ හෙළන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටය.

ගුවන් හමුදාව දැන් උතුරු නැගෙනහිර ගුවනේ අරඹන්නට යන්නේ ජනතාවට නිදහසේ හුස්ම ගන්නට පරිසරයක් හදන මෙහෙයුමකි. එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි. ලබන මාර්තුවේදී ගුවන් හමුදා සංවත්සරය සමරන්නට සූදානම් වන්නේ උතුරු නැගෙනහිර ජනතාව සමගය. ඒ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් පරිසරයට බීජ බෝම්බ හැත්තෑදහසක් එක් කරමින්ය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා –