කතුවැකි

රට නංවන අධ්‍යාපනයකට මග පාදමු…

කුමන මට්ටමේ අධ්‍යාපනයක් ලබා දුන්නත් එය අවසානයේ උපාධිධාරියකුට රැකියාවක් සොයාගත නොහැකි නම් එම අධ්‍යාපනයෙන් ඵලක් නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ. මේ නිසා රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා උපාධිධාරීන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතුව ඇතැයි විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදාය. අප මෙම ප්‍රකාශය වැදගත් කොට සලකන්නේ එය රටේ මුල්පුරවැසියා කළ නිසාම නොව මේ අවස්ථාවේ අවධානය යොමු කළම යුතු කාරණා ගණනාවකට ප්‍රවේශය සලසා දෙන බැවිනි.

කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකය මුළුමනින්ම යළි ගොඩනැංවීමට සිදුව තිබේ. එහිදී මෙතෙක් පැවැති ආර්ථික රටාව වෙනුවට දේශීය අනන්‍යතාව සහිත එහෙත් ගෝලීය ආර්ථික තත්ත්වයන් තුළ පැවතිය හැකි ආර්ථික රටාවක් සුදුසු බව බොහෝදෙනාගේ අදහසය. කුමන ආර්ථික රටාවක් අනුගමනය කළද රටක් සංවර්ධනය කිරීමේ මුල් අඩිතාලම වන්නේ ඒ රටේ අධ්‍යාපනයයි. මේ නිසා අප රටක් ලෙස අපේ ආර්ථිකයේ වෙනස්කම් කරන්නට අදහස් කරන්නේ නම් ඊ​ට සමගාමීව අධ්‍යාපනයේද විශාල වෙනසක් සිදුවිය යුතුව තිබේ.

අප දේශීය ආර්ථිකයට මුල්තැන දෙන්නේ නම් අනිවාර්යයෙන්ම අපගේ අධ්‍යාපන ක්‍රමයද එම ඉලක්කය සපුරා ගනු සඳහා අරමුණු ගත එකක් විය යුතුමය. මේ සඳහා විශේෂයෙන්ම කුසලතා වර්ධනය පමණක් නොව ආකල්ප වර්ධනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

අප රටේ දැනට පවතින අධ්‍යාපනයේ ගැටලු ගණනාවකි. ප්‍රධානම ප්‍රශ්නය වන්නේ අධ්‍යාපනය රටේ සංවර්ධන ඉලක්ක සමග සමපාත නොවීමය. මේ නිසා සෑම දරුවකුටම උසස් අධ්‍යාපන අවස්ථා අහිමිය. අවස්ථාව ලැබෙන අයටද රැකියා අවස්ථා අවිනිශ්චිතය. මේ නිසා ප්‍රාථමික පන්තිවල සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වාම අධ්‍යාපනය යනු හුදු තරගයක් පමණක් බවට පත්ව ඇත. ආකල්ප වර්ධනයට තබා කුසලතා වර්ධනයටද ඒ තුළ ඉඩක් නැත.

රටේ දරුවන් විශාල ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම මෙරට අධ්‍යාපනයේ තරම පෙන්නුම් කරන කදිම සාධකයකි. මෙහි ඇති ඛේදවාචකය වන්නේ මෙරට අවස්ථාවක් ​නොමැතිකම හෝ අධ්‍යාපනය ගුණාත්මක පිරිහීම නිසා හෝ විදේශ ගතවන අපේ දරුවන් ඒ රටවලදී ගුණාත්මක අධ්‍යාපනයක් ලබන්නේ ද යන්නය. අනෙක් අතට ඒ රටවලදී ලබන අධ්‍යාපනය අප රටේ සංවර්ධන ඉලක්ක වෙත යෑමේදී කොයි තරම් දුරට ප්‍රයෝජනවත් වන්නේ ද යන්නය.

කෙසේ වෙතත් – කොරෝනා වසංගතය නිසා විදේශ අධ්‍යාපනය සඳහා ගිය මෙරට සිසුන් පත්වූ තත්ත්වය හේතුකොටගෙන ඉදිරියේදී තම දරුවන් විදේශයන්ට යැවීම ගැන මෙරට දෙමාපියන් දෙවරක් සිතනු ඇත. මේ නිසා උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව විදේශයන් වෙත ඇදී ගිය විශාල මුදලක් මේ රටේම ඉතිරි කර ගැනීමටද අපට අවස්ථාව හිමිවනු ඇත.

එහෙත් විදේශයන්ට නොයා මෙරට රැඳෙන දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නේ කෙසේද? මේ නිසා මෙරට අධ්‍යාපන තරගය තවත් තියුණු වනු ඇත්ද? මෙරට අධ්‍යාපන ක්‍රමය ගැන කලකිරී සිටින දෙමාපියන් තම දරුවන්ට මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නට සූදානම්ද?

මේ සියලු ප්‍රශ්න විසින් මෙරට අධ්‍යාපන ක්‍රමය දේශීයව පමණක් නොව ගෝලීයවද ඉල්ලුමක් ඇති දෙයක් බවට පත් කිරීමට අපට අවස්ථාව හිමිකරදී තිබේ. මෙහිදී අපගේ අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කළ යුතු වැදගත් කාරණයක් ඇත. මහල් ගොඩනැගිලි ඉදිකළ පමණින් අධ්‍යාපන තත්ත්වය ඉහළ නොයන බවය.

පාසල් හෝ විශ්වවිද්‍යාල වැඩිකළ පමණින් රටක අධ්‍යාපනය දියුණු වන්නේ නැත. එසේම රටේ ජනාධිපතිවරයා කියූ පමණින් විශ්වවිද්‍යාල තුළ නව පාඨමාලා ආරම්භ කිරීම හෝ බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩිකිරීමද මේ ප්‍රශ්නවලට විසඳුම් වන්නේ නැත. ඇත්තෙන්ම විධිමත් සැලසුමකින් තොරව එසේ කිරීම පවතින අර්බුදය උග්‍ර කිරීමට හේතුවක් වන්නටද ඉඩ තිබේ.

උපාධියක් යනු රැකියාවක් ලැබීමට සුදුසුකමක් බවත්, රැකියාවක් දීම ආණ්ඩුවක වගකීම බවටත් ඇති ආකල්පය වෙනස්වනතෙක් අධ්‍යාපනයේ සැබෑ අරමුණු ඉටුවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම දුෂ්කර කටයුත්තකි. එහෙත් එය දුෂ්කර වන්නේ රටේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන හෝ නොගැළපෙන උපාධිධාරීන් බිහිකරන තෙක්ය. ආරම්භයේදී උපාධි පාඨමාලා සකස්විය යුත්තේ දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළ ඉලක්ක මතය. අද අපේ ඇතැම් උපාධි පාඨමාලා විෂය නිර්දේශ දශකයකින්වත් සංශෝධනය වී තිබේද යන්න සැක සහිතය. ඇතැම් පාඨමාලා පවත්වන්නේ ආචාර්යවරුන්ගේ රැකියා අහිමිවීම වළක්වා ගැනීම සඳහාය.

අපේ අධ්‍යාපනයේ මූලික අවශ්‍යතාව රටේ සංවර්ධනය වුවද ඒ සඳහා අපේ මේ දූපතෙන් පමණක් දැනුම සපයා ගත නොහැකිය. දැනුම දේශසීමා මායිම් ඉක්මවන්නක් වන නමුත් අප ඒ විශ්ව දැනුම ලබා ගන්නේ කෙසේද? අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විදේශයන්හිදී පශ්චාද් උපාධි හැදෑරීමට අවස්ථාව ඇතත්, ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල ඒ අවස්ථාව හිමිවන්නේ කීයෙන් කී දෙනාටද? අපට ඒ අවස්ථාවන් ලබාගත නොහැකිද?

අපේ සිසුන් විදේශ විද්‍යාලවෙත යොමු වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙරට උපාධියට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නොමැතිකමය. විදේශ විද්‍යාල සමග හුවමාරු වැඩසටහන් මගින් හෝ ඒ දැනුම ලබාගත හැකිනම් අපගේ උපාධි සහතිකය ලෝකයේ ඕනෑම රටක පිළිගැනීමට ලක්වන තත්ත්වයට පත් කළ හැකි නොවේද?

කෙසේ වෙතත් මේ කිසිවක් පවතින ක්‍රමයට පැලැස්තර ලෙස එක් කිරීම ප්‍රශ්නයට විසඳුම නොවෙනු ඇත. ජාතික සංවර්ධනය ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සිදුකෙරෙන පූර්ණ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයකිනි. ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත රටේම ආකල්ප වෙනසක්ද සිදුවිය යුතුය.