විශේෂාංග

රට ගලවා ගන්න දියනාගෙන නායකයෙක් එයි ?  

රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන සම්මතයට අනුව ඔහු හැඳින්වෙනුයේ ‘දියසේන කුමාරයා’ යනුවෙනි. විශේෂයෙන් බුදු සසුනේ පිරිහීම් ලක්ෂණ දුටු විට අදත් වැඩිහිටියෝ එය මුළුමනින් දුරලිය හැකි මෙම ‘දියසේන ඇබෑර්තුව’ පිළිබඳව කතාබස් කරති.

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි යටත්විජිතයක් බවට පත්වීමෙන් පසු මෙරට ජන විඥානය බටහිරට නතුවීම දේශීයත්වයේ ගෙල සිඳලීමක් සේ සැලකූ අනගාරික ධර්මපාලතුමන් ඇතුළු එවක ජාතික නායකයෝ සිංහලයන් හට අනතුරු ඇඟවීම පිණිසද මෙම දියසේන කුමාර සංකල්පය යොදා ගත් බව පෙනේ.

‘‘උඹලා, උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරා දමන්න මේ කළු සුද්දන්ට හැකි බව මතක තියාගනිල්ලා.’’

1926 වසරේ අනගාරික ධර්මපාලතුමන් විසින් කරන ලදැයි පැවැසෙන ඉහත සඳහන් ප්‍රකාශය මෑතකාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම මගින් රටපුරා ප්‍රචලිත වීමත් සමග මෙම ‘‘දියසේන කුමාරයා’’ පිළිබඳව නව පරපුර තුළ පවා උනන්දුවක් හටගෙන තිබේ. එමෙන්ම එතුමන්ගේ එම ප්‍රකාශයෙන් තහවුරු වන තවත් සත්‍යයක් නම් දියසේන කුමාරයා එවක සමාජයේ නිල නොලත් ජාතික අපේක්ෂාවක්ව තිබූ බවයි.

මෙම දියසේන යන නම මුල්වරට මෙරට ජන සමාජයට පිවිසෙනුයේ දෙවන රාජසිංහ රාජ්‍ය සමයෙහිදී රචනා කරන ලද බවක් පෙනෙන ‘සුමන සූත්‍රය’ නම් ලේඛනයකිනි. සූත්‍ර පිටකයට අයත් සූත්‍රයක් සේ හැඟවීම පිණිස ‘‘ඒවං මේ සුතං ඒතං සමයං භගවා’’ යනුවෙන් ඇරඹෙන එම සූත්‍රයේ ඊළඟට පැවැසෙනුයේ ‘‘සුමනකූටං දිවාගුහං භගවන්තෝ දේසිතං සුමන සුත්තංති’’ යන වදනය. එහෙත් ඉන්පසුව පාලි භාෂාව පසෙක දමා අව්‍යක්ත සිංහලයෙන් ලියැවී ඇති මෙම ලේඛනයේ බුදුන්ගේ ලංකාගමනයේ සිට ලන්දේසි ආක්‍රමණය තෙක් තොරතුරු සැකෙවින් දක්වා ඇත. ඒ අනුව සූත්‍රය එවක ජනතාව තුළ රට දැය සමය බබුළුවා දීමට ඉදිරිපත් වන දියසේන නම් කුමරකු පිළිබඳව ජනතා හදවත් තුළ නව බලාපොරොත්තු දැල්වීමට ඇටවූ අමුතුම ‘සූත්තරයක්’ බව පෙනේ.

එහෙත්, එම සුමන සූත්‍රයේ සඳහන් අන්දමට දියසේන යනු කුමාරයකු නොව රජ කෙනෙකි. එමෙන්ම ඔහු ඉන්දියානුවකු විනා අඩුම තරමින් ශ්‍රී ලාංකිකයකුවත් නොවේ. දස දහස් ගණන් සේනාව පිරිවරා දහතුන් වසරක් දස දහසක් දඹදිවට රජකම් කොට ඔහු ලක්දිව මහබටුතොටට ගොඩ බසිනුයේ දඹදිව සේනාවක්ද සමගිනි. ඉන්පසුව අප රටේ අනුරාධපුරය කෙරෙහි ඇල්මක් ඇති කරගනු ලබන දියසේන රජු එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට (දාගැබ්හි) කොත් පලඳවා විසි දෙවසරක් මෙහි රාජ්‍ය කොට කළුරිය කරන බව එම සූත්‍රයෙහි සඳහන් වෙයි. කෙසේ හෝ අපට වැටහෙන අන්දමට මෙය ඉන්දියානුවන්ගේ සංක්‍රමණයකි.

දියසේන නමින් කුමාරයකු හෙවත් රජ කෙනකු පිළිබඳ සුමන සූත්‍රයට එක් කරන ලද්දේ ඒ වනවිට මහනුවර ජන සමාජයේ පැතිර තිබූ යම් විශ්වාසයක් බවත් එහි මූලබීජය කෝට්ටේ යුගයේදී ලියැවුණු ‘පැරකුම්බා සිරිත’ නම් කාව්‍ය සංග්‍රහයෙහි ඇති බවත් ඒ පිළිබඳව කරනු ලබන විමසුම්වලදී පෙනී යයි.

කෝට්ටේ රජ කළ ප්‍රබලතම නරපතියාණන් වූ හයවන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1402-1467) උදෙසා ලියන ලද ප්‍රශස්ති කාව්‍යය වන පැරකුම්බා සිරිතේ කර්තෘවරයා පවා අවිනිශ්චිතය.

‘‘කියග මගිය එනු කොහි සිට?’’ යනුවෙන් ඇරඹෙන එහි 116 වන පද්‍යය ශ්‍රීපාදය වැඳ ආපසු එන මගියකු සහ අතරමගදී හමුවන බමුණකු අතර ඇතිවන දෙබසක් ලෙසින් ලියැවී තිබේ. එහිදී එම මගියා බමුණාට පවසනුයේ බුද්ධ වර්ෂයෙන් වසර දෙදහස් පන්සියයක් සපිරෙන තැන ලෝක නායක රජකු (රජකු එතියි දිය නා) පැමිණෙන බව සමන් සුරිඳුන් ප්‍රකාශ කළ බවත් ඒ ලෝක නායකයා ඒ වනවිට කෝට්ටේ රජ කරන සයවන පරාක්‍රමබාහු (පැරකුම් රජ මෙදිනා) බවත්ය. ඒ අනුව නූතන ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිවහොත් මෙය පැරකුම් රජු ‘පිම්බීමට’ ප්‍රබන්ධය කරන ලද්දක් සේ යමෙකුට හැඟී යා හැක.
නමුදු ඉන් මනාව පැහැදිලි වන කරුණක් නම් පැරකුම්බා සිරිතෙහි සඳහන් වනයේ ලෝක නායක රජකු පිළිබඳව මිස දියසේන නම් ‘කුමාරයකු’ පිළිබඳව නොවන බවය. නමුදු එම රජතුමා පිළිබඳ සංකල්පය එවක සමාජයේ ජනප්‍රිය ව්‍යවහාරයේදී දියසේන නමින් හඳුන්වන ‘කුමාරයකු’ බවට පත්ව තිබේ.

ඒ කෙසේ වුව මෙම දියසේන කුමාර කතාවෙහි එන දඹදිවින් පැමිණි කොටස ජනතාවට එතරම් හිතකර නොවූ නිසාදෝ ඔහු අප රටේම උපදින බව සඳහන් ප්‍රවාද පසුකාලීනව ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇත. ඒ අනුව ප්‍රබන්ධ වුණු කාව්‍ය මගින් දියසේන කුමරු උපදින නැකත, ඔහු හඳුනාගත හැකි ලක්ෂණ පවා රමණීය ලෙස විස්තර කොට තිබේ. එය එවක බුදු සසුනේ පරිහානිය නමැති දරුණු නියඟයෙන් බැට කමින් සිටි අප රටේ බෞද්ධයන්ගේ නෙත ගැටුණු මහා මේඝ වලාවක් වූ බවට සැක නැත.

නුවර කලාවියෙන් හමුවූ පැරණි කඩඉම් පොතක දියසේන කුමරුන් පිළිබඳව සඳහන් විස්තරයකට අනුව මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා කොත් පලඳවන දිනට කොහේ සිටියද දෙවියන් දියසේන කුමරුන් එහි කැඳවන වග ප්‍රකාශ වී තිබේ.

එහෙත් 1877 වසරේ ප්‍රතිසංස්කරණය ඇරඹූ මහියංගණ ස්තූපයේ කොත් පැලඳීමක් 1890 වසරේ සිදු කරන ලද මුත් ඇතැමුන් අපේක්ෂා කළ පරිදි දියසේන කුමරුවන් එහි පැමිණි බවක් වාර්තා නොවේ. එසේම 1907 වසරේ ඇතිවූ බරපතළ සුළඟකින් මහියංගණ ස්තූපයේ කොත ගිලිහී දාගැබට හානි වූ අතර 1929 වසරේ යළි එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමට එවක 1931 වසරේ පිහිටුවූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය හෙබවූ ඩී. එස්. සේනානායක මහතා ඉදිරිපත් විය. මහියංගණය ඔහු විසින් අරඹන ලද මිනිපේ යෝජනා ක්‍රමය ආසන්නයේ පිහිටි අතර එවක පිහිටුවා ගත් මහියංගණ විහාර සංවර්ධන සමිතියේ සභාපති ධුරයද සේනානායකයන් විසින්ම හොබවන ලදී.

‘‘හරි, දැනුයිනේ අපිට තේරුණේ දියසේන කුමාරයා කියන්නේ අපේ ඩී. ඇස්. මහත්තයාට නේන්නම්. ඩී කියන්නේ ‘දිය’, එස් කියන්නේ ‘සේන’. ඔය යස අගේට ගැළපෙන්නේ.’’ එවක මිනිපේ ගැමියෝ එසේ සැනසුම් සුසුම් හෙලූහ. ඒ කෙසේ හෝ ඩී. එස්. සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය අරඹන මහියංගණ සෑයේ කොත් පැලඳවීම 1961 වසරේ සැප්තැම්බර් 21 වැනි දින ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායකයන් විසින් සිදුකරන ලද මුත් දෙවියන් ඔය කියන දියසේන කුමාරයා ඒ උත්සවයටවත් එක්කළ බවක් දැනගන්නට නැත.

මේ අතර ඉංග්‍රීසි යටත්විජිත සමය සිංහලකම සහ බෞද්ධකම මුල් කරගත් නව ජාතික පුනරුද ව්‍යාපාරයක් පිළිබඳ සුබ සිහින මෙරට බොහෝ දෙනකුගේ සිත් සතන්වලින් මෝදු වෙමින් තිබිණ.

ඒ සඳහා එයට පුරෝගාමීත්වය දුන් පිරිස් කෙතරම් උපායශීලී වූයේද යත් 1938 මෙරට හටගත් භූමි කම්පාව දියසේන කුමාරයාගේ උප්පත්තිය මුල්කොට සිදුවූ මිහිකත කම්පා වීමක් සේ අර්ථ ගැන්වීමට ප්‍රකට ලේඛක පියදාස සිරිසේන සූරීහු සමත් වූහ. එමෙන්ම ඒ වනවිට අප රටේ ජාතික තලයේ යම් යම් විප්ලවීය මං සලකුණු තැබූ යුග පුරුෂයන් හට පවා දියසේන නම පටබැඳුණු අතර ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර සහ ශ්‍රී ලාංකීය සමාජවාදයේ පියා නමින් හැඳින්වෙන පිලිප් ගුණවර්ධන ආදී ජාතික වීරයන්ද ඒ අතර විය.

පැරකුම්බා සිරිත කෘතියෙහි සඳහන් වූ අන්දමට එම ලෝක පාලන රජු බිහිවනුයේ බුද්ධ වර්ෂයෙන් වසර දෙදහස් පන්සියයක් ඇවෑමෙන් නම් එහි ව්‍යවහාරික වර්ෂය වන්නේ 1956 වසරය. එමෙන්ම ශ්‍රී ලාංකීය සිංහලකම සහ බෞද්ධකම පදනම් කරගත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයන් ඔස්සේ මෙරට නවතම විප්ලවයක් කළ හැකි බවට ජනමතයක් ගොඩනැගූ එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා බුද්ධ වර්ෂයෙන් වසර දෙදහස් පන්සියයක් ඇවෑමෙන් බිහිවන දියසේන කුමාරයා ලෙසින් හඳුන්වා දෙන්නට ඔහුට හිතවත් දේශපාලන කණ්ඩායම් උත්සුක වූ අතර ඔවුන් අතුරින් කැලණිය රජමහා විහාරීය භික්ෂු පරපුර ප්‍රමුඛ වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. එහෙත් එවක බොහෝ දෙනකු අපේක්ෂා කළ පරිදිම 1956 බලයට පත් බණ්ඩාරනායක මහතා එම වසරේ වෙසක් පුන් පොහෝ දින නිදහස් චතුරශ්‍රයේදී කළ කතාවකින් පළකොට සිටියේ අමුතුම අදහසකි. එනම් දියසේන කුමාරයා තමන් නොව මෙම පොදුජන විප්ලවයට දායක වූ රටේ ජනතාව බවකි. ‘‘බණ්ඩාරනායක මහත්තයා ඡන්දේ එනකම් ඔය ගැන කියන්න කෙළ පොඩ්ඩක්වත් නොහැලුවේ ඇයි?’’ පිරිසක් අසා සිටියහ.

මේ හැරුණු කොට සමාජ කරළියේ දියසේන කුමාරයා තමන් බව කියා පෙනී සිටීමෙන් ජනතාවට විකට රසයක් ගෙන දුන් ප්‍රසිද්ධ පුද්ගලයෝද එවක සිටියහ. වාසල අදිකාරීන්ගේ සිංහරාජ නන්දිමිත්‍ර සිල්වා හෙවත් ‘‘ටිප්ටොප් සිල්වා’’ නමැති දන්තාලේප ව්‍යාපාරිකයා ඔවුන් අතරින් විශේෂ වූවෙකි. එහෙත් ඔහුගේ එම දියසේන කතාව දන්තාලේප අලෙවිය පිළිබිඹු කළ ප්‍රචාරක ගුණ්ඩුවකැයි සමහරු කීහ.

එදා මෙදා තුර දියසේන කුමාරයාගේ පහළ වීමෙන් ඒකාන්ත ලෙසම අප රට යළි සුඛිත මුදිත වෙතැයි විශ්වාස කරන පිරිස් විසින් ගොඩ නගා ගත් සංවිධානද තිබේ. කළුතර ප්‍රදේශයේ එවැනි සංවිධානයකට සම්බන්ධ වී සිටි වලස්මුල්ල ප්‍රදේශයේ ෂෙල්ටන් නම් තරුණයකු සුදර්ශ නමැති ආධ්‍යාත්මික නමකින් පෙනී සිටිමින් තම ආධ්‍යාත්මික සංවර්ධනය ඉහළ මට්ටමට නංවාගනු පිණිස සිරිපා හිමයේ භාවනා කරමින් සිටින අතර මිනිස් වාසයෙන් තොර ඉසව්වකදී නියුමෝනියාව වැලඳීමෙන් මරුමුවට පත්විය. ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගයේ ඇහැලකණුව අද්දර වැටී තිබූ ඔහුගේ මළසිරුර එවක ශ්‍රීපාදස්ථානය මුර කළ තිස්ස කුමාරට හමුවන විට එම තරුණයා මියගොස් දින තුන හතරක්ම ඉක්ම ගොස් තිබිණ.

මේ අතර අද මෙන් ව්‍යාප්ත සහ සංකීර්ණ මාධ්‍ය ජාලයක් නොතිබූ හතළිහේ, පනහේ සහ හැටේ දශකවල රටේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබුණු දියසේන කුමාර උප්පත්තීන් ලුණු ඇඹුල් සහිතව වාර්තා කිරීමට එවක පුවත්පත් කතුවරු පසුබට නොවූහ.

ඒ සිදුවීම් අතරින් ප්‍රධාන සිදුවීම වාර්තා වූයේ දකුණු පළාතේ මිද්දෙණියට නුදුරු වෑකඳවල, අබකොළවැව නම් ග්‍රාමයෙනි. එහි කන්දේගෙදර නමින් හැඳින්වුණු නිවසේ විසූ දිළිඳු ගොවි පවුලක උපන් උභයසිංහ ආරච්චිගේ ජයතිලක නම් පවුලේ දෙවන දරුවා නිසැක ලෙස දියසේන කුමාරයා බව ජනතාවට ඒත්තු යන පුවත් මාධ්‍ය මගින් පළවිය. දරුවාගේ ශරීරයෙන් රැස් විහිදීම, සබන්, පියර ආදී උපකරණ සේම නිවසට වුවමනා හාල්, පිටි, සීනි ආදී ද්‍රව්‍ය ඉබේ පහළවීම, කොතරම් පාවිච්චි කළත් නිවසේ භූමිතෙල් බෝතලය අඩු නොවී තිබීම ඒ හාස්කම් අතුරින් කිහිපයක්ය. මෙම අබකොළවැව දියසේන කුමාරයා සම්බන්ධ ප්‍රසිද්ධිය කෙතරම් දුර-දිග යන ලද්දේද කිවහොත් ඔහුගේ උපතින් මඳ කලක් යත්ම දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දහස් ගණන් ජනී ජනයා සිරුරින් විහිදන රැස් හා ඒ අසිරිමත් කුමරුන් දැක ගැනීම පිණිස අබකොළවැවට සේන්දු වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ කදක් ආපසු හරවා ගැනීමටවත් නොහැකි අඩි පාරක්ව තිබූ අබකොළවැව පාර ඉතා ඉක්මනින් වාහන යන මට්ටම දක්වා සකස් වීමය.

මේ අතර මෙම දියසේන කුමාරයා වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ඉදිරිපත් වූ පිට පළාත්වලින් පැමිණි ඇතැම් පිරිස් දියසේන කුමරුන් උදෙසා සම්මාදම් එකතු කරන්නට වූයේ අඩුම තරමින් ඔහුගේ මාපියන්ගෙන් එවන් විමසීමක් පවා නොකරමිනි.
මේ අතර තංගල්ලේ ව්‍යාපාරිකයකු විසින් දියසේන කුමරාගේ ඉඳුල් කට ගෑම මුල් කොට දින හතක පරිත්‍රාණ ධර්ම දේශනයක් සංවිධානය කොට තිබිණ. එවක සය හැවිරිදි දරුවකු වශයෙන් එම පින්කමට එක්වූ විශ්‍රාමික පිරුවන් ආචාර්යවරයකු සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන සමර අබකොළවැව මහතා පවසනුයේ වැඩිහිටියකු විසින් තමන් ඔසවා වෙනත් තැනකට ගෙන නොගියේ නම් එදින රැස්වූ ජනතාවට තමන් තැලී පොඩිවී මිය යාමට පවා ඉඩ තිබුණු බවකි. එමෙන්ම එම දියසේන කුමර උපත තවත් පිරිසකට පසුව ජාවාරම් උල්පතක් වූ බව පෙනේ.

ඒ කෙසේ හෝ ළදරු වියෙන් ළමා වියට එළැඹුණු දියසේන කුමරා නමින් හඳුනා ගත් ජයතිලක දරුවා සුවඳ පැණින් නැහැවීමට සහ සුවඳ දුම් පිදීමට උනන්දු වූ දියසේන අනුගාමිකයෝ අඩුම තරමින් එම දරුවා පාසලකට ඇතුළු කිරීමටවත් ඔහුගේ මාපියන්ට ඉඩ නොදුන්හ. ඒ මහෞෂධ පඬිතුමන්ට සමාන ඥාන සම්භාරයක් සහිත මේ කුමරුවන් පාසලක හෝඩියේ පන්තියට ඇතුළු කිරීම ඔහුගේ බුද්ධියට කරන බලවත් අවමානයක් බව පවසමිනි. එම බලපෑම් නිසා ඔහුගේ දෙමාපියන් සතු වූ හිමිකම් පවා කෙමෙන් අවප්‍රමාණ විණි.

නමුදු පාසල වෙනුවට ළාබාල වියේ සිට පන්සල ඇසුරු කිරීම ඇසුරු කිරීම නිසා පොත-පත කියැවීමට තරම් දැනුමක් ලබාගෙන ‘කුමාරයා’ යන නමින් ගම්මුන් හඳුන්වන ලද මුත් මෙම ජයතිලක දරුවා කෙරෙන් කිසිදු විශේෂ ආනුභාවයක් පළ නොවිණි.
මෙම තත්ත්වය මත තමන් උපන් මොහොතේ සිට ළමා විය පුරාම රටෙහි පවත්නා මිථ්‍යා විශ්වාසයක් මුල් කොට තමන් ප්‍රබල සමාජ අපයෝජනයකට ලක්වූ බව මෙම දරුවාට කෙමෙන් වැටහෙන්නට ඇත. ඒ අනුව ළමා වියෙන් තරුණ වියට එළැඹුණු ජයතිලක මෙම අපරිණත අන්ධභූත සමාජ ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාකාරී මෙහෙවරට එක්වූ බව පෙනේ.

කෙසේ හෝ එහි අවසන් ප්‍රතිඵලය වූයේ අප රටේ මේ දක්වා බිහිවූ රට පිළිගත් අවසන් දියසේන කුමාරයා වශයෙන් හැඳින්වුණු ඔහු 1988-89 භීෂණ සමයේ තමන් සමීපයේ තිබූ බෝම්බයක් පිපිරීමෙන් මරුමුවට පත්වීමය.

අද ඔහු හෝ ඔහුගේ ආදරණීය මව ජීවතුන් අතර නැත. මෙම ජයතිලක දියසේන කුමාරයාගේ පියා තවමත් ජීවතුන් අතරය. නමුත් එම දියසේන කුමාර කතාව දැන් එම පියාණන්ට වහකදුරු මෙනි. එහෙත් ගම්මුන් විසින් පුංචි මහත්තයා යනුවෙන් හඳුන්වන ඔහුගේ නම මුලට ‘කුමාර’ යන කොටසක්ද යොදා හැඳින්වීමට අදටත් අබකොළවැව ගැමියන් පසුබට නොවනුයේ අපගේ ජන සමාජයට සැබෑ විමුක්තියක් උදාකර දිය නොහැකිව අකාලයේ මරු වැලඳ ගත් ජයතිලක දියසේන කුමාරයාට අනියමින් දක්වන උපහාරයක් ලෙසිනැයි මට සිතේ.

තිලක් සේනාසිංහ