විශේෂාංග

රට ඉදලා එන ලාංකිකයන්ට දාන කොන්දේසි සංචාරකයන්ට දාන්න බැහැ

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වසර ගණනාවක සිට රටේ පුවත් මවන චරිතයක් බවට පත්ව සිටින්නේය. ඔහු මේ දිනවල යළිත් කතාබහට ලක්ව ඇත්තේ ඔහුගේ මැදිහත් වීමෙන් ලංකාවට ගෙනා යුක්රේන සංචාරකයන් නිසාය. මේ ඒ ගැන ඔහු සමග සති අග අරුණ කළ සාකච්ඡාවකි.

ඔබේ සම්බන්ධීකරණයෙන් ඇරැඹුණු විදෙස් සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට දැන් දින දහයකට වඩා ගත වෙලා. එහි ප්‍රගතිය මොන වගේද?

මේ වෙනකොට පස්වැනි ගුවන් යානයත් ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ නවසියකට ආසන් පිරිසක් ඇවිල්ලා. අපි බලාපොරොත්තු වුණු ආකාරයට සංචාරකයන් එනවා. ප්‍රශ්නයක් ඇතිවුණු නිසා එක ගුවන් යානයක් විතරක් අවලංගු වුණා. මුලින් වුණු පොරොන්දුමත තමයි ඒ මිනිස්සු එන්නේ. ඒ කියන්නේ යාල සිද්ධියට කලින් ඒ රටට දීපු පොරොන්දු මත තමයි ඔවුන් එන්නේ. නමුත් දැන් මේ කියන තුන්වැනි පී.සී.ආර්. පරීක්ෂණය සහ හෝටලයෙන් පිටතට ඔවුන්ට යෑමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. සංචාරක මණ්ඩලය පොරොන්දු වුණා ඒවා විසඳනවා කියලා. නමුත් මේ වෙනතුරු විසඳුමක් ලැබිලා නැහැ.

මොකක්ද මේ සිද්ධ වුණු අවුල? සංචාරක සංවර්ධන අධිකාරිය කියනවා සංචාරකයෝ ඔවුන්ගේ මාර්ගෝපදේශ අනුගමනය කළේ නැහැ කියලා.

සංචාරක අධිකාරිය මාර්ගෝපදේශ හදලා තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක එකතු වෙලා. ඇත්තටම ඒවා හදන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය. හැබැයි මෙතන මූලික වෙලා තියෙන්නේ සංචාරක අධිකාරිය. ඒක දැන් මාස ගාණක් හදනවා, වෙනස් කරනවා. ඒ මාර්ගෝපදේශ සකස් කළ යුත්තේ සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා. එහෙම සංචාරක හිතකාමී මාර්ගෝපදේශ නැත්නම් අපි වාණිජ ගුවන්යානා වෙනුවෙන් ගුවන්තොටුපොළ විවෘත කරලා වැඩක් නැහැ. නියමු ව්‍යාපෘතියේදී ඒ මාර්ගෝපදේශ අදාළ නැහැ කියන එකඟතාවයට තමයි මුලින් ආවේ. ඔවුන්ගේ මාර්ගෝපදේශවලට අනුව සංචාරකයන් දින දාහතරක් නිරෝධායනය විය යුතුයි. ඊට පස්සේ හෝටලයෙන් එළියට යා යුත්තේ දැඩි කොන්දේසි මත. නමුත් රුසියානු සංචාරකයන් එන්නේ දින දහයකට, නැත්නම් දාහතරකට. මේගොල්ලෝ සංචාරකයන්ට දීලා තියෙන්නේ මේ රටට එන ශ්‍රී ලාංකිකයන්ට දීලා තියෙන මාර්ගෝපදේශම තමයි. එහෙම කරන්න බැහැ. මොකද ලාංකිකයන් මේ මොහොතේ ඕනෙම කොන්දේසියකට යටත් වෙලා ලංකාවට එනවා. ඒ අයට සති දෙකක් නිරෝධායනය වෙන එක ගැටලුවක් නැහැ. නමුත් ඒ කොන්දේසි සංචාරකයන්ට අදාළ කරන්න බැහැ කියන සරල කාරණය මේවා හදන අයට තේරෙන්නේ නැහැ.

වැඩසටහන ආරම්භ කරන්න කලින් මේ පිළිබඳව එකඟතාවලට ආවේ නැද්ද?

නියාමන අදියරේදී අපිට සංචාරකයෝ අරගෙන යන්න ස්ථාන දොළහක් දුන්නා. ඒවයේදී ඇති වෙන ප්‍රශ්න හඳුනගෙන ඒවට විසඳුම් නිර්මාණය කරන්න තමයි එකඟ වුණේ. පී.සී.ආර්. එකක් කරලා බුබුලක් විදිහට ඒ ස්ථානවලට යන්න අපිට අවසර ලැබුණා. හැබැයි තනියම යන්න අවසර දුන්නේ නැහැ. මෙතනදී ආමි එකත් එක්ක අදාළ ස්ථානවලට ගිහින් ඒ විදිහටම ආපහු එනවා. හෝටලය ඇතුළේ තියෙන බුබුල ​කොතැනකදීවත් කැඩෙන්නෙ නැහැ.

නමුත් සංචාරක බුබුල ඇතුළෙත් මාර්ගෝපදේශ අනුගමනය කළේ නැහැ කියලයි චෝදනාව ආවේ?

මූලිකම චෝදනාව වුණේ මුහුණු ආවරණ දැම්මේ නැහැ කියන එක. හැබැයි මේ සංචාරකයන් එක පවුලක්. ඒ මිනිස්සු එකටම ඉන්න අය. ඒ නිසා මාස්ක් එක දැම්මේ නැහැ කියලයි ඒ අය කිව්වේ. නමුත් ඉදිරියේ දී එහෙමවත් වෙන්නෙ නැහැ. අපි මාස්ක් දාන්නම කියනවා. අනිත් එක අපි මෙතැනදි උපදෙස් ලබාදීල තිබුණේ ජීප් රථ රියැදුරන්ට නෙමෙයි. ආමි එකට. මොකද ඔවුන් ආවේ ආමි හෝටලේ ඉඳල නිසා. ජීප් සංගමයට තමයි කිව්වේ ජීප් විසිපහක් දෙන්න කියලා. පහුගිය අප්‍රේල් මැයි වෙනකොටම සෑම හෝටලේකටම මාර්ගෝපදේශ දීලා තිබුණා කොහොමද වැඩ කළ යුත්තේ කියලා. අපි දැනුවත් කරලා තිබුණ විදිහට රියැදුරොත් අපේ බුබුලට ඇතුළු වෙන්න ඕනේ. අපි කලින් සියලු දෙනා දැනුවත් කරලා තිබුණා. මේ අය නිරෝධායනය කළයුතුයි කියලා. ඒවා ලිඛිතව දැනුවත් කරපු දේවල්.

ජනමාධ්‍යවලින් මේක පත්තු කළේ නැත්නම් මිසක්. මේ විදේශිකයන් සෆාරියට සහභාගි වෙලා හරිම සතුටින් ඇවිත් තිබුණේ. ඒ අය අලියා, කොටියා, වලහා කියන සියලුම සත්තු දැකලා. එදා අනූ ගාණක් සංචාරකයන් ගිහින් තිබුණා. ඊළඟ දවසේ තවත් පිරිසක් යන්න හිටියා. නමුත් දැන් ඒ සියල්ලම නතර වෙලා. ඇත්තටම මේ මාර්ගෝපදේශවලට නෙමෙයි නියමු ව්‍යාපෘතියේදී අපි එකඟ වුණේ. ඒ ගැන සංචාරක මණ්ඩල​යේ සභාපතිතුමිය මීඩියාවලට බොරු කියන්න පුළුවන්. නමුත් අපි කරපු සාකච්ඡා වාර්තාවල ඒවා තියෙනවා. ඒක එහෙම නෙමෙයි නම් හමුදාව සංචාරකයන්ව අරගෙන යන්නේ නැහැනේ.

එතකොට දැන් සංචාරකයන්ගෙ සියලුම ගමන් නතර කරලද තියෙන්නේ? ඔවුන් හෝටලයෙන් පිටතට යන්නෙ නැද්ද?

මේ ප්‍රශ්නෙ නිසා සියලුම ගමන් නතර කරන්න සිද්ධ වුණා. සංචාරක මණ්ඩලය දැන් සෙල්ලම කරනනේ සංචාරකයන් එක්ක. මේ ප්‍රශ්නෙ නිසා ඊට පහුවෙනිදා සංචාරකයන් විසි එකක් ආපහු ගියා. ඒ නිසා රණ්ඩුවෙච්ච අය. බයටයි ගියේ. ඒගොල්ලෝ අපිට චෝදනා කරනවා. මේක අපේ සංවිධානය කිරීමේ දුර්වලකමක් නෙමෙයි. සමහර පුද්ගලයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා සිදුවූ දෙයක්.

ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්නෙ සංචාරක මණ්ඩලයේ සභාපතිතුමියගේ වැඩසහන නම් කිසිම සංචාරකයෙක් ගේන්න මම නම් ඉදිරියට සැලසුම් කරන්නේ නැහැ. මේ ගහන්නෙ මට නෙමෙයි. මේ රටට එන සංචාරකයන්ට. සංචාරක ව්‍යාපාරයට. සීගිරිය, දඹුල්ල, පේරාදෙණිය, මින්නේරිය, හෝර්ටන්තැන්න, සිංහරාජ වගේ ස්ථාන දොළහක් මේ සංචාරකයන්ට පෙන්නන්නයි අපි සැලසුම් කරලා තිබුණේ. ඒ ගමන් සියල්ල මේ අය කඩාකප්පල් කළා. දැන් කියනවනේ එයාලව දැනුවත් කළේ නැහැ කියල හරිම සරලයි. අපි දෙසැම්බර් දාසය සියලුම පාර්ශ්ව දැනුවත් කරල තියෙනවා. සියලුම සැලසුම් අපි ලබාදීල තියෙනවා. සටහන් නොකරපු එකම දේ සංවාරය කරන දිනය පමණයි. තමන් පිරිසුදුයි කියන්නම ඕනේ නම් බොරුම කියන්න ඕනෙ නම් ඒ සැලසුම් දැක්කේ නැහැ කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒ තොරතුරු සභාපතිනියට පමණක් නෙමෙයි. සියලුම පාර්ශ්වවලට යවලයි තියෙන්නේ. ඒ ලියුම් ගියේ නැත්නම් යාල සෆාරි වෙනුවෙන් අපිව පිළිගන්නේ කොහොමද? දළදා මාලිගාවෙන් සැලසුමක් හදලා අපිට එවල තියෙන්නේ. කොහොමද? සීගිරිය අපිට වෙලාව වෙන් කළා කියල ඒ ආයතන අපිට දැනුම් දෙන්නේ කොහොමද?

අනිත් එක සංචාරක මණ්ඩලය ඒ තොරතුරු සෙවිය යුතු නැහැ. ඒ අය කළ යුත්තේ සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම. නම් ලිස්ට් එක යවන එකයි. මොන කඩෙන්ද කන්නේ කියන එක හොයන එක නෙමෙයි. සංචාරක මණ්ඩලයේ කාර්යභාරය.

ඔබ ඔහොම කිව්වට ජනාධිපතිවරයා, විෂය භාර ඇමැතිවරයා කොවිඩ් වැළැක්වීමේ මධ්‍යස්ථානය යන සියලුම ඉහළ අධිකාරින්වල සහයෝගය ඔබට තියෙනවා. එහෙනම් කොහොමද මේ එක අයතනයක් විසින් මේ වැඩසටහන කඩාකප්පල් කරන්නේ?

ඔබත් එක්ක එතැනදී මම එකඟයි. අපිට ඉහළම දේශපාලන අධිකාරියේ අනුමැතිය ලැබුණ නිසානෙ මේ වැඩසටහන ආරම්භ කරන්න හැකියාව ලැබුණේ. නමුත් එහෙම තියෙද්දී සංචාරක මණ්ඩලයේ සභාපතිනියගේ අදහස් ඔක්කොම ජනමාධයේ ප්‍රචාරය වෙනව නම් අපි කොහෙද ඉන්නෙ කියල මට නම් තේරෙන්නේ නැහැ. මේකෙන් විනාශ කරන්නේ උදයංගව නෙමෙයි. අපි අමාරුවෙන් ඇරපු දොර, අපි මේ එන මිනිස්සුන්ව සන්තෝස කරලයි යවන්න ඕන. නමුත් දැන් සංචාරකයො ආපහු යන්නේ තරහා වෙලා.

දැන් ඔය සැලසුම් කරල තියෙන තැන්වලට සංචාරකයෝ ගෙනියන එක තහනම් කරලද තියෙන්නෙ?

තහනම් කරලා නැහැ. නමුත් ගෙනිහින් අවදානමක් ගන්න අපිට බැහැ. මොකද මෙච්චර සූදානම් කරල ගෙනිච්ච යාල ගමන කඩාකප්පල් කෙරෙව්වා. නම් අපිට තවත් අවදානමක් ගන්න බැහැ. මොකද යාල කැලේ ගේට්ටුව ගාවට වෙලා මීඩියාවල කට්ටිය බලාගෙන හිටිය කියල අපි හිත්නේ නැහැ. තිස්සමහාරාමෙ ඉඳල කොච්චර දුරද? ඒ නිසා පැහැදිලිව පේනවා මේක සැලසුම් කරල කරපු වැඩක් කියලා.

කලින් කිව්වේ අපි තොරතුරු දැන්නුවේ නැහැ කියලනෙ. දැන් අපි ඉදිරි තොරතුරු ගැන නැවත දන්වල තියෙනවා. එහෙම දන්වලත් දවස් කීයක් ගතවෙලාද? නමුත් කිසිම උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ කියන එකෙන් ඒ අයගේ සංවිධාන ව්‍යුහය දුර්වලයි කියලනෙ පේන්නේ. ලියුමක් දාලා දවස් දහයක් ගිහිල්ල උත්තර එනකම් සංචාරකයෝ බලාගෙන ඉන්නෙ නැහැනෙ. සමහර සංචරකයො බැණ බැණ යන්නේ. තේ තියෙන රටකට ඇවිත් තේ පැකට් එකක්වත් ගන්න අපිට ඉඩ දුන්නේ නැහැ කියලා.

මේ සංචාරකයො අතරින් කොවිඩ් ආසාදිතයෝ කිහිප දෙනෙක් හමුවුණා. මුලින් හතක් කියල පස්සේ පස්දෙනෙක් කියල කිව්වා. ඔබ කියල තිබුණා දෙදෙනයි කියලා. ගාණ කීය වුණත් මේ අය පීසීආර්. පරීක්ෂණවලට ලක්වෙලා නෙමෙයිද ලංකාවට ආවෙ?

මේ අය ලංකාවට එන්න කලින් පැය අනූහයකට කලින් පීසීආර්. පරීක්ෂණ අනිවාර්යයෙන් කරනවා. ඒ රටේ අනුමත සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් තමයි පරීක්ෂණ කරල තියෙන්නේ. ඒ වාර්තා නැතුව ඒ රටින් පිටවෙන්න දෙන්නේ නැහැ. ලංකාවට විතරක් නෙවෙයි යුරෝපයේ අනිත් රටවලටත් ඒ නීතිය ක්‍රියාත්මකයි. ඒ වාර්තා ඉදිරිපත් කරපු සංචාරකයො දෙන්නෙකුට මේ පිරිසත් එක්ක ලංකාවට එන්න අවසර ලබාදීල තිබුණෙත් නැහැ. ඒ අය සියලුම මුදල් ගෙවල තිබුණෙ. අනිත් එක මේ සංචාරකයන්ගෙන් ගොඩක් අය කලින් වයිරසය ආසානය වෙලා සුව වෙච්ච කට්ටිය. ඒ නිසා ඒ අයගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය තියෙනවා. අනිත් එක ඒ අය මේක සලකන්නේ බොහොම සාමාන්‍ය ලෙඩක් විදිහට.

විපක්ෂයෙන් නැගෙන ප්‍රධානතම චෝදනාව තමයි ඔබ ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙක් වීම නිසා මේ වැඩසටහන හරහා මුදල් උපයගන්න සියලුම පහසුකම් සලසල දුන්නා කියන එක. ඔබ ඊට පිළිතුරු දෙන්නේ කොහොමද?

– රාජ්‍ය නායකයා ඥාතියා බව ඇත්ත. ඒක එහෙම වීම මට සතුටක්. ඒනිසා ඇතිවුණු විශ්වාසය මත මට මේ වැඩසටහනට අවසර ලැබුණා කියන එක රහසක් නෙමෙයි. නමුත් මෙතැන බිස්නස් එකක් නැහැ. මොකද සංචාරක කර්මාන්තයේ ගොඩක් අංශ ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික අංශයෙන්. කවුරුහරි කියනවනම් ගජ මිතුරන්ට මොනවහරි දුන්නා කියලා ඒක සම්පූර්ණ වැරදියි. මොකද පෞද්ගලික අංශය කරන දේට සම්බන්ධය හදල දීම පමණයි අපි කළේ.

ලෝකෙ රටවල් මෙච්චර තියෙද්දී ශ්‍රී ලංකාවටත් වඩා ආර්ථික වර්ධන වේගය අතින් පහළ, කොවිඩ් ආසාදිත සහ මරණ වැඩි යුක්රේනයෙන්ම සංචාරකයෝ ගේනවා කියලා තමයි තවත් චෝදනාවක් එල්ල වෙන්නේ?

ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වැඩියි කියන එක ගැන තර්කයක් නැහැ. හැබැයි අපි ගේන්නේ ආසාදිතයෝ නෙමෙයි. ඒ නිසා තමයි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නේ. එතකොට අපිට එන්නෙ ආසාදනය වීමේ සම්භාවිතාව අඩුම අය. අද වෙනකොට සංචාරකයන් හයසිය හැට හතරක් ඇවිත් තියෙනවා. ඒ අතරින් දෙන්නටයි කොවිඩ් ආසාදනය වෙලා තියෙන්නේ. හැබැයි අපි ලංකාවේ අහඹු ලෙස නාගරික ප්‍රදේශයක පුද්ගලයන් හයසිය හැට හතරක් අරගෙන පී.සී.ආර්. කළොත් එතන ආසාදිතයන් දෙන්නෙකුට වඩා හමුවීමේ සම්භාවිතාව වැඩියි. එහෙම බැලුවොත් යුක්රේනයෙන් එන අයට වඩා අපේ අය අනතුරුදායකයි.

ඒ වගේම යුක්රේනය කියන්නේ දුප්පත් රටක් කියලා කියනවා. හැබැයි ඉන්දියාවෙත් දුප්පත් අය ඉන්නවා. නමුත් අද මාලදිවයිනේ දෙවැනි වැඩිම සංචාරක පිරිස විදිහට ඉන්නෙ ඉන්දියානුවන්. යුක්රේනයේ අය හත්වෙනි නැත. නමුත් ලාංකිකයන්ට මාලදිවයිනේ හෙ​හෝටල්වල සති දෙක තුන ඉන්න බැහැනේ. මොකද ඒ හෝටලයක් මේ කාලේ ඩොලර් හයසීයක් විතර වෙනවා. ඒ වගේ දවස් දහයක් කියන්නේ ඩොලර් හයදාහක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ දහයක්. දුප්පත් අය යුක්රේනයේ ඉන්නවා ඇති. ඒකපුද්ගල ආදායම අඩුයි කියන එක නම් මම පිළිගන්නේ නැහැ. නමුත් ලංකාවට එන්නේ මුදල් තියෙන අය කියන එක ගැන කිසිම තර්කයක් නැහැනේ.

නයන තරංග ගමගේ
ඡායාරූප – ඒෂාන් දසනායක