කතුවැකි

රටේ ආර්ථිකය පාලනය කරන්නේ කවුද?

ලංකා ඉන්දීය තෙල් හෙවත් ලංකා IOC සමාගම පසුගිය ඉරිදා සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩිකොට තිබේ. මේ මිල වැඩිවීම වැඩි දෙනකු බරපතළ කාරණයක් ලෙස නොසලකා හරින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවමත් මිල වැඩිකොට නොමැති නිසා විය හැකිය. වැඩි මිලට IOC ඉන්ධන ලබා ගැනීමට අකැමැති අයට ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන ලබාගත හැකිය. එසේ වුවත් IOC ඉන්ධන මිල වැඩි කිරීම හුදෙක් ඉන්ධන මිල වැඩි කිරීමකට වඩා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යළි සිතා බැලීමට අවස්ථාවක් උදාකර දී ඇති බව අපගේ අදහසය.

IOC සමාගමේ ඉන්ධන මිල වැඩි කිරීම එම සමාගමේ තීරණයක් බවත්, ඒ ගැන ආණ්ඩුවට කළ හැකි දෙයක් නොමැති බවත් ඛනිජ තෙල් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කොට තිබේ. එසේ වුවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ ඉන්ධන මිල අඩු වැඩි කිරීමේ අවසන් බලධරයා විෂය භාර අමාත්‍යවරයා බවය. ඔවුන් කියන ආකාරයට වර්ෂ 2003 දී ඉන්ධන බෙදා හැරීම පෞද්ගලික අංශයට පවරන අවස්ථාවේ අත්සන් කළ ගිවිසුමට අනුව ඉන්ධන මිල නියාමන කොමිසමක් හා මිල පාලකවරයකු තවමත් පත් කර නැත. ඒ පත් කිරීම සිදුවන තෙක් ඉන්ධන මිල පිළිබඳ බලධරයා වන්නේ අමාත්‍යවරයාය.

මෙයින් ඇත්ත කුමක් වුවත් යථාර්ථය වන්නේ ඉන්දීය තෙල් සමාගමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මිල වැඩි කිරීමට හැකියාවක් පවතින බවය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහයක්ද මෙම සමාගමට ලබා දී තිබේ. ලෝක ඉන්ධන මිල පහත බැස ඇති මේ අවස්ථාවේ ඉන්ධන සංචිත වැඩි කර ගැනීම සඳහා එම තෙල් ටැංකි කිහිපයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව කළ ඉල්ලීමට තවමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. කැමැති අවස්ථාවක තෙල් මිල වැඩි කිරීමටත්, තෙල් ටැංකි නොදී සිටීමටත් ඔවුන්ට අයිතිය ලැබී ඇත්තේ අපේ ආණ්ඩුව හා එම සමාගම අත්සන් කළ ගිවිසුමිනි. එසේ නම් වරද ඇත්තේ ඉන්දීය තෙල් සමාගමේද, ඔවුන්ට එතරම් අධිකාරී බලයක් ලබාදෙමින් ගිවිසුමක් අත්සන් කිරීමේද?

සිරි සැප දෙන්නේ යැයි කියූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ආණ්ඩුව ව්‍යාපාර කිරීම සුදුසු නැත. ඒ අනුව රටක පාර්ලිමේන්තුව හැර අනෙක් ඕනෑම දෙයක් පෞද්ගලික අංශයට පැවරීමට හැකිය. මේ ප්‍රතිපත්තිය යටතේ විදේශ ආයෝජකයන් ඉඹලා පිළිගත යුතුය. 1977 විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වන්නට පටන් ගත් දා සිට අප රටේ ක්‍රියාත්මක වූයේ ද මෙවන් ප්‍රතිපත්තියකි. ඒ අනුව ඉන්ධන, විදුලිය, වරාය, විදුලි සංදේශ සේවා, අධ්‍යාපන, බැංකු, රක්ෂණ, ගුවන් සේවා ආදී වශයෙන් ඊනියා පෞද්ගලිකකරණයට ලක් නොවූ ක්ෂේත්‍රයක් නැත. මේ තත්ත්වය වෙනස් කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවට අදහසක් හෝ පහල වූයේ 2005-2015 අතර මහින්ද රාජපක්ෂ පාලනයේදී පමණය.

දැන් යළිත් වරක් ජාතික ආර්ථිකයක අවශ්‍යතාව සාකච්ඡාවට බඳුන් වෙන්නට පටන්ගෙන තිබේ. එසේ වුවත් ඉන්ධන, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා පවා පෞද්ගලික අංශයේ පාලනයට යටත් කරමින් ජාතික ආර්ථිකයක් ​ගොඩනැංවිය නොහැකිය. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයක් ගොඩනංවන්නේ නම් අධ්‍යාපනය වැනි මිනිසුන්ගේ ඔළු හදන ක්ෂේත්‍රවල පවා පෞද්ගලික අංශයේ මැදිහත් වීම ගැන යළි සිතා බැලීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

ඉන්ධන වැනි ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක පමණක් නොව සහල් වැනි මෙරට නිපදවන භාණ්ඩයක් පවා මිල පාලනය කිරීමට ආණ්ඩුවට අද නොහැකි වී ඇත්තේ පෞද්ගලිකකරණයට පින්සිදුවන්නටය. ආණ්ඩුව පසුගිය දිනවල පරිප්පු, සැමන් හා සීනිවලට උපරිම සිල්ලර මිලක් නියම කළේ මේ වසංගත සමයේ ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන අදහසිනි. එහෙත් ඉන් සිදු වූයේ ජනතාවට සහනයක් ලැබීම නොව වෙළෙඳපොළේ මේ භාණ්ඩ වැඩි මිලට හෝ මිලදී ගන්නට නොමැති වීමය. මේ නිසා පැනවූ පාලන මිල ඉවත් කරන්නට ආණ්ඩුවට සිදු විය.

සියලුම සහල් වර්ගවලට පාලන මිලක් ක්‍රියාත්මක වුවත් මේ වන විට සහල් තොග වෙළෙඳපොළට මුදා හැරෙන්නේ ද එකී පාලන මිලද ඉක්මවූ මිලකටය. මේ නිසා සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම අත්හරින තත්ත්වයක් උදා වී තිබේ. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ආණ්ඩුවට වී මිලදී ගැනීමට හා සහල් බෙදා හැරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති නිසාය. අද මෙරට සහල් වෙළෙඳාමේ ඒකාධිකාරය දරන්නේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසිනි. ඔවුන්ට ඊට අවස්ථාව සලසා දී ඇත්තේ පැවති හා පවතින ආණ්ඩුව විසිනි.

විදේශීය ආයෝජකයන් සම්බන්ධයෙන් මේ කාරණය වඩාත් බරපතළ වන්නේ ඒ හරහා රටේ මුදල් විදේශයන් වෙත ඇදී යන්නා සේම ඇතැම් ක්ෂේත්‍රවල දී ජාතික ආරක්ෂාව පවා තර්ජනයකට ලක් විය හැකි හෙයිනි. පසුගිය පාලන සමයේ MCC ගිවිසුම සම්බන්ධයෙන් රට තුළ බලවත් විරෝධයක් එල්ල වූයේ ආර්ථික කාරණාවලට වඩා ඒ හරහා ජාතික ආරක්ෂාව අනතුරකට ලක්වන්නේය යන සැකය මතය.

කෙසේ වුවත් අපට රටක් ලෙස විදේශ ආයෝජන හෝ පෞද්ගලික ආයෝජන මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකි බවද අප පිළිගත යුතුය. කළ යුතුව ඇත්තේ මෙවන් ආයෝජනවලදී රටට වාසි සහගත ලෙස තීරණ ගැනීමය. මේ දක්වා දේශීය හා විදේශීය ආයෝජන වෙනුවෙන් අත්සන් කර ඇති ගිවිසුම් ගෙන ඇති තීරණ යළි විමර්ශනයට ලක් කර අවශ්‍ය සංශෝධන එක් කර ගැනීමට තවමත් අප ප්‍රමාද නැත. ඇතැම් විටෙක එසේ කිරීමට හැකියාවක් නැති විය හැකිය. එහෙත් මින් ඉදිරියට හෝ ගිවිසුම්වලට එළැඹීමේදී පෞද්ගලික ව්‍යවසායකයන්ට අවස්ථාව ලබාදීමේදී ව්‍යාපාරික අරමුණු පමණක් නොව ජාතික අරමුණුවලටද ප්‍රමුඛත්වය දීමට වගබලා ගත යුතුය.