කතුවැකි

රටට හොරෙන් එම්සීසී ගිවිසුමට අත්සන් කර ඇත්තේ ඇයි?

පසුගිය යහපාලන ආණ්ඩුව රටට හොරෙන් සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘති ගිවිසුම හෙවත් එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ ආකාරය සාධක සහිතව දැන් හෙළිදරව් වී තිබේ. එම්.සී.සී. ගිවිසුම සමාලෝචනය සඳහා පත්කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් අතර මේ වනවිට එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර ඇත. මෙම කමිටු වාර්තාවෙන් හෙළිදරව්වන බරපතළම කාරණය නම් පසුගිය යහපාලන ආණ්ඩුව රටට නොදන්වා එම්.සී.සී. ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවය. තවදුරටත් යහපාලන ආණ්ඩුව පැවතියේ නම් මේ වනවිට සම්පූර්ණ ගිවිසුමට අත්සන් තබා අවසන් වන්නට ඉඩ තිබිණ.

යහපාලන ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ආරම්භයේ සිටම කටයුතු කළේ වංචනික ආකාරයටය. මෙම ව්‍යාපෘතියට අදාළ කාර්යාලයක් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පවතිවන බවට අනාවරණය වූ විට ආණ්ඩුව කීවේ එය අසත්‍යයක් බවය. ගිවිසුම නිසා රටේ ස්වාධිපත්‍ය පවා අභියෝගයට ලක්වන බවට චෝදනා නැගෙනවිට ආණ්ඩුව කියා සිටියේ ඒවා විපක්ෂයේ හිතලු බවය. එසේම මෙම ගිවිසුමට අත්සන් තබා නොමැති බවද යහපාලන ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව රටට කළ මේ වංචාව පමණක් නොව ගිවිසුම නිසා රටට විය හැකි විනාශය ගැන නැගුණු චෝදනාද සත්‍ය බව දැන් තහවුරු වී තිබේ. යම් හෙයකින් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා පනතක් බවට පත්ව තිබුණේ නම් ඊට එරෙහිව කිසිවක් කළ නොහැකි බව ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාව පෙන්වාදී තිබේ. එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමකි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමට පියවර ගත් ආණ්ඩුවක්, මේ ආකාරයට පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක්වන ලෙස කටයුතු කිරීම තේරුම් ගන්නේ කෙසේද? 19 වැනි සංශෝධනයත් හුදෙක් ඔවුන්ගේ බල ව්‍යාපෘතියක් මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනයක් සඳහා ගෙනඑන ලද්දක් නොවන බවට තවත් සාක්ෂි කුමටද?

යහපාලන ආණ්ඩුව ඇත්තටම පාර්ලිමේන්තුව බලාත්මක කිරීමට අවශ්‍ය වූයේනම් කළ යුතුව තිබුණේ එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අනුමැතිය ලබා ගැනීමය. ​මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ බව අප දන්නා නමුත්, කැබිනට් මණ්ඩලයට හෝ ඉදිරිපත් වූයේදැයි අප දන්නේ නැත. ඒ බව කිව යුත්තේ යහපාලන කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන්ය. මේ ආකාරයේ රටට තීරණාත්මකව බලපාන ගිවිසුම්වලට රටට හොරෙන් අත්සන් කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවල ලක්ෂණයකි. 1987- ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාව සමග සාම ගිවිසුමකට අත්සන් තැබුවේ කැබිනට් මණ්ඩලයට හෝ නොදන්වාය. ඒ හරහා රටට අත්වූ විනාශය කොතරම්ද? මෙම ගිවිසුම තුළින් බිහිවූ පළාත් සභා අදටත් අපේ දේශපාලනය තුළ පිළිලයකි. 2002 වසරේ එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ කොටි ත්‍රස්තවාදීන් සමග සටන් විරාම ගිවිසුම අත්සන් කළේද මේ ආකාරයටය. මේ ගිවිසුම හරහා කොටි සංවිධානයට දේශසීමා පවා ලකුණු කර දුන් අතර යුද්ධය ජය නොගන්නට අදටත් එය වලංගු ගිවිසුමක් වන්නට ඉඩ තිබුණි.

පසුගිය යහපාලන ආණ්ඩුව රටට හොරෙන් අත්සන් කර ඇති එම්.සී.සී. ගිවිසුමද ඉහත සඳහන් ගිවිසුම්වලට සමානව හෝ ඇතැම් විට ඊටත් වඩා බරපතළ ගිවිසුමකි. යහපාලන ආණ්ඩුව එම ගිවිසුම සම්බන්ධයෙන් රටට කළ වංචාව දැන් හෙළිවී ඇතත්, ගිවිසුම නිසා රටට විය හැකි හානිය තුරන්වී ඇතැයි කිව නොහැක. දැනටමත් ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති තත්ත්වයක් තුළ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් තිබේදැයි අපි නොදනිමු. දෙරටක් අතර අත්සන් තබන ගිවිසුමක් ආණ්ඩුවක් මාරුවූ පමණින් බල රහිත නොවන බැවිනි.

මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල ඩොලර් මිලියන 480කි. ඉන් කොටසක් දැනටමත් ලැබී ඇති බව ලලිතසිරි ගුණරුවන් කමිටුව කියතත්, ඇමරිකාව කියන්නේ මුදල් ගනුදෙනුවක් සිදුව නැති බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ඉන් පැහැදිලි වන්නේ ගිවිසුම මුදල් ගනුදෙනු සිදුවන තරමට ක්‍රියාත්මක වී තිබූ බවය. මුදල් ගනුදෙනු සිදුව ඇති බවට ගුණරුවන් කමිටුව කියන කාරණය ප්‍රතික්ෂේප කළත්, ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කළ බව ඇතුළු අනෙකුත් කාරණා ඇමරිකාව ප්‍රතික්ෂේප කරන්නේද නැත. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය ලැබෙනතෙක් ඊට අදාළ කටයුතු අත්හිටුවා ඇතැයිද මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කොට තිබේ. ඉන් කියැවෙන්නේ ඇමරිකාව තවමත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගතව සිටින බවය.

මේ සියලු කාරණා, සැලකිල්ලට ගත්විට පෙනී යන්නේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ඇටවූ එම්.සී.සී. උගුලක ආණ්ඩුව සිරවී සිටින බවය. කිසිසේත්ම මෙම ගිවිසුම ක්‍රියාත්මක නොකරන බව ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර සහතිකවී තිබේ. එසේ වුවත් ඊට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැදගත් බව අපගේ අදහසය. පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ කෙරෙන සාකච්ඡාවක් තුළින් රටට ඒ ගැන වඩා හොඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. රටකට ආධාර කිරීමේදී ඒ රටේ, මානව හිමිකම් වාර්තා, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සොයා බලන ඇමරිකාව රටට හොරෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නට යහපාලන ආණ්ඩුවට ඉඩ දුන්නේ මන්දැයි යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට ජනතාව ඉන් අවකාශයක් ලැබෙනු ඇත. ඉන්පසු අවශ්‍ය නම් එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ජනමත විමසීමක් හෝ කළ හැකිය. රටේ බහුතරය මෙම ගිවිසුමට අකමැති වුවහොත් ගිවිසුමෙන් ඒක පාර්ශ්විකව ඉවත්වීමට වුවත් ආණ්ඩුවට ඉඩ ලැබෙනු ඇත. ජනතා පරමාධිපත්‍ය සියල්ලට ඉහළින් සිටින බැවිණි.