කතුවැකි

රටට වැඩක් ඇති රාජ්‍ය සේවයක් උදෙසා

තමන්ට රැකියා දෙන්නැයි ආණ්ඩුවට බල කෙරෙන උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ කිහිපයක්වත් වසරකට වරදින්නේම නැත. මේ සියලු දෙනා ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ රැකියාය. ඉන් කියැවෙන්නේ රාජ්‍ය නායකයාගේ සිට සමස්ත සමාජයෙන්ම ඇනුම් බැණුම් ඇසූවත් රාජ්‍ය සේවයට ඇති ඉල්ලුම තවමත් අඩු වී නොමැති බවය. මෙරට පෞද්ගලික අංශය පුළුල් වෙමින් ඇතැයි කියතත් තවමත් වැඩිම ඉල්ලුම ඇත්තේ රාජ්‍ය සේවයටය.

රාජ්‍ය සේවයට ඇති මේ ඉල්ලුම දේශපාලකයන්ට හොඳ ඡන්ද ගුණ්ඩුවකි. ඔවුන් පොරොන්දු වන්නේ ලක්ෂ ගණනින් රැකියා ලබා දීමටය. ලක්ෂ ගණන කෙසේ වෙතත් වසර කීපයකට වරක් හෝ ආණ්ඩුවේ රැකියා දෙන්නට පවතින ආණ්ඩු අමතක කරන්නේ නැත. මේ නිසා වැඩක් ඇතත් නැතත් අපේ රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යාව ලක්ෂ 14 -15 ක් පමණ ප්‍රමාණයකට ප්‍රසාරණය වී තිබේ.

රාජ්‍ය සේවය ප්‍රසාරණය වී ඇති මේ ප්‍රමාණයට සාපේක්ෂව එහි ඵලදායිතාවක් තිබේද යන්න විවාදිත කරුණකි. රාජ්‍ය නායකයා පවා කියන්නේ රාජ්‍ය සේවය දූෂිත බවය. පොදු ජනතාව කියන්නේ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වී ඇති අතර එය අකාර්යක්ෂම බවය. මේ කියන කාරණාවල කිසියම් සත්‍යයක් ඇතත් රාජ්‍ය සේවයට සාධාරණ විනිශ්චයක් දිය හැක්කේ රාජ්‍ය සේවය අද පවතින තත්ත්වයට හේතු නිවැරදිව අවබෝධ කරගතහොත් පමණය.

රාජ්‍ය සේවය අතීතයේ සැලකුණේ ඉතාමත් ගෞරවනීය රැකියා ක්ෂේත්‍රයක් ලෙසය. එකල රජයේ සේවයේ පහළම මට්ටමේ රැකියාවක නිරතව සිටින්නාට පවා සමාජයේ කිසියම් වැදගත්කමක් හිමිව තිබූ අතර රජයේ සේවකයන්ද තම රාජකාරියේ නිරත වූයේ ඒ වැදගත්කමට වටිනාකමක් එක් කරමිනි. අවංකව, කාර්යක්ෂමව හා ඍජු ලෙසය.

මේ ගෞරවනීය තත්ත්වය වෙනස් වී රජයේ සේවකයා අපතයකු, දේශපාලනයේ යටත්වැසියකු බවට පත්වීම ආරම්භ වූයේ 80 දශකය ආරම්භයත් සමගය. දිස්ත්‍රික්කයක ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ ආණ්ඩුවේ ඒජන්ත හෙවත් දිසාපතිවරයාගේ භූමිකාව ඇමැතිවරුන් නොවූ දිසා ඇමැතිවරුන් යැයි අලුතෙන් නම් කළ දේශපාලකයන් යටතට පත් වූ අතර දිසාපතිවරයා ඔහුගේ ලේකම්වරයාගේ තත්ත්වයට පත් විය.

තොග ගණනින් දේශපාලන අනුගාමිකයන් රාජ්‍ය සේවයට ඇතුළු කර ගැනීම ආරම්භ වූයේද ඒ යුගයේය. ග්‍රාම සේවා වසම් මට්ටමින් වගා නිලධාරී නම් තනතුරක් නිර්මාණය වූ අතර අනිවාර්යයෙන්ම ඊට පත් කෙරුණේ ආණ්ඩුවේ හිතවතුන්ය. එහිදී අධ්‍යාපන සුදුසුකම් නොතැකූ අතර පසුව මේ වගා නිලධාරීන් ග්‍රාම නිලධාරින් බවට පත් කෙරිණ. පොලිස් උප සේවයද මේ අන්දමට සුදුසුකම් නොතකා තම දේශපාලන හිතවතුන්ට රැකියා දීමට ආරම්භ වූ ව්‍යාපෘතියකි. එක් ජනාධිපතිවරයකු ගුරු භූමිකාව හෑල්ලු කරමින් ජනසවිලාභීන්ට රුපියල් දහසකට ගුරු පත්වීම් දුන්නේය.

එදා මෙදා තුර රාජ්‍ය සේවයේ තිබූ අභිමානය, කීර්තිය මෙන්ම ශක්තියද බිඳ දැමූ තීරණාත්මක අවස්ථාව වූයේ 1980 ජූලි වැඩ වර්ජනයයි. මෙහිදී අසූදහසක පමණ පිරිසක් එක රැයින් සේවයෙන් නෙරපා හැරිණ. මේ නිසා පළපුරුද්ද හා අත්දැකීම් ඇති පරිණත රාජ්‍ය සේවකයන් අති විශාල පිරිසක් රාජ්‍ය සේවයට අහිමි වූ අතර සුදුසුකම් විමසීමකින් තොරව පුරප්පාඩු සඳහා බඳවා ගැනුණේ දේශපාලන අනුගාමිකයන්ය. ඉන්පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් තමන්ගේ පැවැත්ම සඳහා මේ තත්ත්වය පවත්වාගෙන ගිය අතර මේ වන විට එය හුදෙක් රැකියා උත්පාදනය කරන යන්ත්‍රයක්, රටට බරක් බවට පත්ව ඇත.

අතීතයේ සෑම කෙනකුගේම සිහිනය වූයේ ආණ්ඩුවේ රස්සාවකි. ඊට ප්‍රධාන හේතුව වූයේ රජයේ සේවකයන්ට හිමි වූ විශ්‍රාම වැටුපය. එසේ වුවද, මේ වන විට රජයේ සේවකයන්ට එයද අහිමි වී තිබේ. තවදුරටත් රජයේ සේවයට ඉල්ලුමක් ඇත්තේ එහි ඇති ආකර්ෂණීයභාවය නිසා නොව රටේ ආර්ථිකය, අවශ්‍ය තරමට රැකියා නිෂ්පාදනය කරන්නට අසමත් වීම නිසාය. යම් හෙයකින් පෞද්ගලික අංශයේ පුළුල් වීම සිදුවුවහොත් ආණ්ඩුවේ රස්සා සඳහා විදේශයන්ගෙන් මිනිසුන් ගෙන්වීමට සිදුවනු ඇත. දැනටමත් රාජ්‍ය පරිපාලන සේවය, ගුරු සේවය ආදී රැකියාවල බහුතරය කාන්තාවන් බවට පත්ව ඇත්තේ මේ නිසාය.

රජයේ සේවයේ කුමන අංශයක් ගත්තද, ප්‍රශ්න පිරී ගොසිනි. සුලබම ප්‍රශ්නය වන්නේ වැටුප් විෂමතාවය. ඡන්ද ලබා ගන්නට දහසින් බැඳි පියලි දෙන බව කියතත් ඒ පොරොන්දු ඉටුවන්නේ මූලික වැටුපට එල්ලමිනි. උසස්වීම් ක්‍රමවේද ද අවුල් සහගතය. උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගෙන ඇතත් ඔවුන්ගේ සේවා ස්ථිර නැත. ඇතැම් තැනක ඔවුනට කරන්නට නියමිත රාජකාරියක්ද නැත. මේ නිසා රජයේ සේවකයෝ සිටින්නේ මහත් වූ අතෘප්තියකිනි. කලකිරීමකිනි. ඔවුන්ගෙන් ප්‍රශස්ත සේවයක් අපේක්ෂා කිරීම ඔවුනට කරණ අසාධාරණයකි. දේශපාලකයන් විසින් නිර්මාණය කරන ලද මේ ක්‍රමය තුළ ඔවුන්ද ‘වින්දිතයන්’ බවට පත්ව සිටින බැවිනි.

රාජ්‍ය සේවය පත්ව ඇති මේ තත්ත්වය විසඳීම සඳහා ඇතැමුන් යෝජනා කරන්නේ රාජ්‍ය සේවය හැකිතරම් හකුළා දමා පෞද්ගලික අංශය පුළුල් කිරීමය.

නමුත් ඇත්තෙන්ම මේ රට සංවර්ධනය කිරීමට යමකු අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බව කිව යුතුය. එහිදී රාජ්‍ය අංශයේ රැකියා සුරක්ෂිතභාවය අංක එකය. රාජ්‍ය අංශයේ එක් එක් ශ්‍රේණි අතර ඇති වැටුප් විෂමතා, උසස්වීම් ප්‍රශ්න, සුදුස්සනට සුදුසු තැන නොලැබීම ආදිය නිවැරදි විය යුතුය.

රාජ්‍ය සේවකයන්ගෙන් ප්‍රශස්ත සේවයක් ලබා ගැනීමට බලපාන්නා වූ වැදගත්ම කාරණයක් තිබේ. එනම් රාජ්‍ය සේවය දේශපාලනයෙන් ස්වාධීන කිරීමය. එසේම දේශපාලකයන්ගේ තීන්දු තීරණවලට රජයේ සේවකයන්ට වන්දි ගෙවීමට සිදුවීම වළක්වාලීමය. මැත කාලීනව රජයේ සේවකයා අකර්මණ්‍ය කරන්නට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේ දේශපාලකයාගේ තීන්දු සඳහා ලොකු කුඩා භේදයකින් තොරව රජයේ සේවකයාට වන්දි ගෙවීමට සිදුවීමය.