කතුවැකි

රටට ඕනෑ බන්ධනාගාර වැඩි කරනවාට වඩා එහි සිටින පිරිස අඩු කිරීමය

දකුණු පළාතේ පාසල් එකසිය පනස් පහක් මේ වන විට වසා දමා ඇතැයි අප පුවත්පත ඊයේ (16 වැනිදා) වාර්තා කොට තිබිණ. පාසලක් වැසෙන විට බන්ධනාගාරයක් විවෘත වන්නේ යැයි කියමනක් ඇතත් අපේ රටේ නම් අලුතෙන් බන්ධනාගාර විවෘත වන බවක් දැන ගන්නට නැත. එහෙත් වසා දැමූ බන්ධනාගාර යළි විවෘත කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගතව තිබේ. ඊට හේතුව බන්ධනාගාරවලට දැරිය නොහැකි තරමට සිරකරුවන් හා සැකකරුවන්ගේ ප්‍රමාණය ඉහළ යෑමය.

පසුගිය සිකුරාදා අප පුවත්පතේ මුල් පුවතින් වාර්තා කළ අන්දමට මේ වන විට මෙරට බන්ධනාගාරවල සිටිය හැකි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් සිටිති. ඒ අනුව රඳවා තැබිය හැකි ප්‍රමාණය එකොළොස් දහසක් පමණ වුවත්, පසුගිය සිකරාදා වන විට මෙරට බන්ධනාගාරවල සිටින ප්‍රමාණය තිස්දහස ඉක්මවා තිබුණි. අද වන විට මේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙන්නට ද පුළුවන. මේ ආකාරයට බන්ධනාගාර පිරී ඉතිරී යෑම නිසා වසා දමා ඇති බෝගම්බර බන්ධනාගාරය යළි පවරා ගැනීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

රටක බන්ධනාගාර පිරී ඉතිරී යෑම සිදුවිය හැක්කේ මූලික හේතු දෙකක් නිසාය. අපරාධ වැඩිවීම හා ඒ අපරාධ මැඬලන මෙහෙයුම් ඉහළ යෑමය. අපේ රටේදී නම් ඊට බලපාන තවත් හේතු තිබේ. රටේ බන්ධනාගාරවල සිටින පිරිස ඉසිලිය නොහැකි තරමට ඉහළ ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට මේ දිනවල දිගින් දිගටම සිදු කෙරෙන පොලිස් මෙහෙයුම් නිසාය. දැනට බන්ධනාගාරවල සිටින පිරිසෙන් වැඩිම පිරිස මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන් වීමෙන් එම කාරණය සනාථ වේ.

මේ අන්දමට මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්​ගේ සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අපේ පොලිසිය මහදැනමුත්තාගේ ක්‍රමයට කටයුතු කිරීම නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරම කළ එකාද, මත්ද්‍රව්‍ය භාවිත කළ එකාද යන දෙදෙනාටම නඩු ගොනු කෙරෙන්නේ එකම නීතිය යටතේය. මේ ක්‍රමය වෙනස් විය යුතුව ඇතැයි බන්ධනාගාර විෂය භාර ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද ප්‍රකාශ කොට තිබේ. ඇය යෝජනා කරන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන අය අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනය කිරීම කළ හැකි බවය. එසේ කළ හැකි නම් බන්ධනාගාරවල තදබදය මෙතරම් ඉහළ නොයනු ඇත.

හැකිතරම් නඩු ගොනු කිරීමට පොලිසියේ ඇති ප්‍රියතාවය හෝ ඕනෑකමද, බන්ධනාගාරවල සිටින පිරිස ඉහළ යන්නට හේතුවකි. මේ දිනවල පොලිසිය වැඩි කැමැත්තක් දක්වන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු ලබා ගන්නටය. ඒ සඳහා පොලිසියම මත්ද්‍රව්‍ය දමන අවස්ථාද ඇතැයි කියැවේ.

දැනට බන්ධනාගාරවල සිටින ප්‍රමාණය තිස් දහසද ඉක්මවා ඇතත්, ඉන් වැඩි පිරිස වැරදිකරුවන් වී දඬුවම් නියම වූවන් නොව සැකකරුවන්ය. මේ ප්‍රමාණය විසිතුන් දහසකට ආසන්නය. මේ අතර අභියාචනා ඉදිරිපත් කර ඇති අය මෙන්ම කිසිදු නඩුවක් ගොනුකොට නොමැති අයද සිටිති.

මේ අනුව අපේ අධිකරණ ක්‍රියාදාමයේ ඇති ප්‍රමාදය බන්ධනාගාරවල තදබදය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බව පැහැදිලිය. අපේ අධිකරණයේ කුමන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් වුවද, අදහාගත නොහැකි ප්‍රමාදයක් ඇතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු ප්‍රමාදයට බලපාන තවත් හේතුවක් තිබේ. ඒ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා ලැබීමට ඇති ප්‍රමාදයයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකදී රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනිවාර්යය වේ.

ඔක්කොම කුණු බේරුවල බොක්කට යැයි කීවා සේ මේ සියලු කාරණාවල බර දරන්නට සිදුව ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටය. එකොළොස් දහසක් රකින්නට සිටින පිරිසකට තිස්දහසක් රකින්නට සිදුවූ විට බන්ධනාගාර තුළ සිදුවන දේ ගැන පුදුම වන්නට දෙයක් නැත. ඇමැතිනියම කියන ආකාරයට දැනට පවතින තත්ත්වය මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට තවත් නිලධාරින් දෙදහසකවත් පිරිසක් බඳවාගත යුතුය.

බන්ධනාගාරය යනු විශෝධනාගාර විය යුතු වුවත් අපේ රටේ නම් බන්ධනාගාර යනු අපරාධකරුවන්ගේ තිඹිරි ගෙදර වැනිය. පාතාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය බන්ධනාගාරය බව ආරක්ෂක ලේකම්වරයා ද පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණි. අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් මිනිසුන් බන්ධනාගාරවල ගාල් කර තැබීම නිසා ඇතිවන මේ සමාජ ප්‍රශ්නවලට අමතරව දහස් ගණන් රඳවාගෙන සිටීමට අති විශාල මුදලක් වැය කිරීමටද සිදුව තිබේ. මේ වැය කරන ජනතාවගේ මුදලින් සමාජයට කිසිදු යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. බන්ධනාගාරවල සිටින පිරිස දිනෙන් දින වැඩිවන විට මේ වැය බරද ඉහළ යන අතර රැඳවූවන් වැඩිවීමට පිළියමක් ලෙස තව තවත් නිලධාරින් බඳවා ගැනීමෙන්ද සිදුවන්නේ ඒ වැය බර තවත් ඉහළ යෑමය.

මේ නිසා බන්ධනාගාරගත වන අයගෙන් සමාජයට යම් යම් ආර්ථික දායකත්වයක් ලබාගත නොහැකි දැයි ඇතමෙක් ප්‍රශ්න කරති. මෙය මෙම ප්‍රශ්නය දෙස වෙනස්ම ආකාරයකින් බැලීමකි. එහෙත් එය කොතරම් දුරට ප්‍රායෝගික දැයි විමසා බැලිය යුතුය. අපේ රටේ බන්ධනාගාරවල වැඩියෙන් සිටින්නේ සිරකරුවන් නොව සැකකරුවන්ය. සැකකරුවන් කිසියම් කාර්යයක නිරත කරවීමට අපට නීතිමය ප්‍රතිපාදනයක් නැත.

සිරකරුවන් වුවත් ආර්ථික වශයෙන් ලාභ උපයන සේවයක යෙදවීම කොයිතරම් දුරට සදාචාර සම්පන්න දැයි ප්‍රශ්නයක් මතුවිය හැක. නිසි වැටුප් නොගෙවා, නිසි පහසුකම් හා වෘත්තීය අයිතීන් නොදී නිෂ්පාදනය කරවන භාණ්ඩ සැලකෙන්නේ ආචාරධාර්මික නොවන භාණ්ඩ ලෙසය. සිරකරුවකුට තෝරා ගැනීමකට හිමිකමක් නොමැති තත්ත්වය තුළ ඔවුන්ගෙන් සේවා ලබා ගැනීම වඩා ළං වන්නේ සේවකයකුගේ තත්ත්වයට වඩා වහලකුගේ තත්ත්වයකටය.

කෙසේ වෙතත් ඇතැම් රටවල මෙන් සුළු වැරදිකරුවන් ප්‍රජා සේවයේ යෙදවීම හෝ එළිමහන් සිර කඳවුරු සංකල්පය වැඩි වශයෙන් භාවිතයට ගැනීම තුළින් සිරකරුවන්ගෙන් සමාජයට කිසියම් හෝ දායකත්වයක් ලබාගත හැකි වනු ඇත.

කෙසේ වෙතත් අපට කීමට ඇත්තේ අප පිළියම් සෙවිය යුත්තේ බන්ධනාගාරවල පිරිස් වැඩිවීම කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්නට නොව බන්ධනාගාරවල සිටින ප්‍රමාණය අඩුකර ගන්නේ කෙසේද යන්න සොයා ගැනීමටය. අපේ රටේ බන්ධනාගාරවල පිරිස් වැඩි වුවත් බටහිර ඇතැම් රටක බන්ධනාගාරවල ඉන්නේ සිටිය හැකි ප්‍රමාණයටත් අඩුවෙනි. කුමන හේතු මත හෝ කිසියම් සමාජයක බන්ධනාගාරගතවන පිරිස වැඩි වන්නේ නම් ඉන් අදහස් වන්නේ එහි සමාජ දියුණුවේ ප්‍රමාදයක් ඇති බවය.