brand logo

රජුන් තැනූ බැසිල් විසිල් නැතිව ගෙදර ගියේ ඇයි ?

12 June 2022

රජුන් තනන්නා’ ලෙස දේශපාලන රඟමඩලේ දී හැඳින් වූ බැසිල් රාජපක්ෂ අන්තිමේ දී මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේය. බැසිල් ඉල්ලා අස් වූයේ මේ ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ඔහු බවට එල්ල වූ චෝදනාව නිසාද. එසේ නැතිනම් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රි ධුරයක් දැරීම අහෝසි කරන වගන්තියක්ද ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුහුණ දීමට නොහැකිව ආරක්ෂිත පියවරක් නිසාද. බසිල් ගැන දන්නා අය නම් කියන්නේ ඔහු ඉල්ලා අස්වූයේ මේ කාරණා නිසා නොවන බවය. බැසිල් මෙරට දැන් ඉන්න පරිණතම දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ තරමටම පැරැණි ඉතිහාසයක් හිමි අයෙකි. මහින්ද වේදිකාවේ රඟපෑ අතර බැසිල් කවදත් පුරුදුව සිටියේ තිරෙන් පිටුපස වැඩ කිරීමටය. 1970 දශකයේ ශ්‍රීලනිප තරුණ සංවිධානයේ තනතුරු දෙකකට මහින්දත් බැසිලුත් තරග කළ අතර මහින්ද පරාජද වී බැසිල් ඡන්දෙන් දිනා තරුණ සංගමයට තේරී පත්වූයේය. ශ්‍රී ලංකා දේශපාලනය සේම යූ.එන්.පී. දේශපාලනයද බැසිල්ට හොඳට පුරුදුය.

ජේ.ආර්. යුගයේ දී එජාපයෙන් ඡන්දය ඉල්ලා ගාමිණී දිසානායක සෙවණේ දේශපාලනය හැදෑරූ බැසිල් රාජපක්ෂ දේශපාලන නූල් සූත්තර කලාව ප්‍රගුණ කළ අයෙක් ලෙස බොහෝ ප්‍රසිද්ධය. එබැවින් මේ මොහොතේ ඔහු ඉල්ලා අස් වූයේ ඊළඟ සැලසුමට ලක ලෑස්ති වන්නට බව බැසිල් ගැන දන්නා අයගේ තක්සේරුවය.

යුද කලාවේ හැමවිටම කියැවෙන කතාවක් වන්නේ දක්ෂ සෙනවියන් හැමවිටම යුද්ධ නොකරන බවය. තමාට ජයගත නොහැකි අවාසිදායක සටන් බිම්වලදී හතුරා සමග සටන් කර ඉදිරියට යාමට දක්ෂ සෙනවියෝ කල්පනා නොකරති. එවැනි අවස්ථාවලදී ඔවුන් කරන්නේ සේනා සංවිධානය කිරීමට පසුබැස, විවේක ගෙන යළිත් වරක් මනා ලෙස සූදානම් වී, කල්යල් බලා, සතුරා දුර්වල වූ විගස පහර දීම ඇරැඹීමය. මක්නිසාද යත් යුද කලාවේදී උපක්‍රමශීලීව පසුබැසීම පරාජයක් ලෙස නිර්වචනය නොකරන නිසාය. දශක ගණනාවක් දේශපාලන සටන් කලාව ප්‍රගුණ කර ඇති බැසිල් රාජපක්ෂ ද මේ මොහොතේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ එවැනි දෙයක් බව බැලූ බැල්මට පෙනෙන්නේය. විපක්ෂයේ අය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ අයද බැසිල්ගේ නූල් සූත්තර කලාවට බය බව ප්‍රකට රහසකි. එබැවින් බැසිල් දේශපාලනයෙන් ඈත් කර තබන්නට ඔහුගේ පසමිතුරෝ 19 වැනි සංශෝධනයට ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රි දුරයක් දැරිය නොහැකි බවට වගන්තියක්ද දැම්මේය. ඒ හේතුවෙන් ඔහුට වසර කිපයක් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වී සිටීමටද සිද්ධ වූවේය.

එනමුත් වැඩි කලක් නොගොස් ඔහු අළු දූලි මතින් නැගී සිටි ෆිනික්ස් පක්ෂියා මෙන් යළි කරළියට ආවේ සිය මන්ත්‍රි කණ්ඩායම ලවා 20 වැනි සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කර ගනිමිනි. එම සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රි ධුරයක් දැරිය නොහැකි බවට 19 තිබූ වගන්තිය නිශේධනය කෙරුණි. ඉක්බිතිව ඔහු රෝමය ජයගත් සීසර් ලෙස මැති සබයට ආවේය.

එනමුත් ඔහු පාර්ලිමේන්තුවට ගොස් මාස එකළොහක් ගත වන විට සීසර්ට පිටුපසින් පිහියෙන් ඇණ මරා දැමූ බෲටස්ලා තමාගේ පිටුපසින් ද බිහි වෙමින් තිබෙන බව ඔහුගේ දේශපාලන ඉවට දැනී තිබේ. 21 සම්මත වුවහොත් බැසිල් කොහොමත් ගෙදරය. එනමුත් 21 සම්මත වෙනවාද නොවෙනවාදැයි තවමත් පැහැදිලි චිත්‍රයක් නැති පසුබිමක ඔහු ඉල්ලා අස් වූයේ ඇයි. ඒ කතාව ඇරඹෙන්නේ විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමගය. එය කරළියට පැමිණීමත් සමග බැසිල් කඳවුරේ සාමාජිකයෝ කලබල වූහ. පොහොට්ටුවේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් කියා සිටියේ ‘මේ වෙලාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැඩක් නැහැ. බඩු මිල අඩු කරන්න, ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නැති කරන්න" යනුවෙනි. මාධ්‍යයට ඔහු කියූ කාරණාව බැසිල් කඳවුරේ මන්ත්‍රිවරු ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමටද ගෙන ගියහ. ‘‘ද්විත්ව පුරවැසිභාවය නැති කරන්න. ජනපතිගේ බලතල අඩු කරන්න සංශෝධන අවශ්‍ය නැහැ.’’ ඔවුහු කීහ. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට විරුද්ධ විය. ‘‘මගේ දැනුවත් වීම මත තමයි විසි එක ගේන්නේ’’ ජනාධිපතිවරයා කීවේය. කෙසේ වෙතත් බැසිල් කඳවුරේ පිරිස දිගින් දිගටම සිය විරෝධය පළ කළත් විසඳුමක් නොලැබුණු නිසා අගමැති රනිල් වික්‍රමසිංහ හමු වීමට තීන්දු කළහ. බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහ අගමැතිවරයා අතර මෙතෙක් කල් රහසිගත සාකච්ඡා පැවැත්වුණේ ව්‍යාපාරික තිරු නඩේසන්ගේ නිවසේදීය. රාජපක්ෂ පවුලේ කිට්ටු ඥාතියෙක් වන තිරු රනිල් සමගද බොහෝ හොඳය. 2015 බල පෙරළියේදී මහින්ද හා රනිල් අතර කපුවා වූවේත් තිරු නඩේසන්ය. කෙසේ නමුදු මෙවර සාකච්ඡාව පැවැත්වූයේ තිරුගේ ගෙදර නොව අගමැති කාර්යාලයේදීය. බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සමග මන්ත්‍රිවරු දහ හතර දෙනෙක් ඊට එක් වූහ. මාතෘකාව වූයේ විසි එක ගැනය. අගමැතිවරයා පුළුල් ලෙස පැහැදිලි කිරීමත් කළේය. ‘‘හරි මම විසි එකට සහයෝගය දෙනවා.’’ බැසිල් රාජපක්ෂ පොරොන්දු වූයේය. ඒ පොරොන්දුවෙන් නොනවැතුණු ඔහු ද්විත්ව පුරවැසි භාවය පිළිබඳවද විමසීය. ඒ තමන්ට මන්ත්‍රි ධුරය අතහැර ගෙදර යන්නට වේදැයි දැන ගැනීමටය. අගමැතිවරයා ප්‍රකාශ කළේ ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් යනුවෙනි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුවද පොහොට්ටු කාර්යාලයේ තව තවත් සාකච්ඡා පැවැත්විණි. අගමැතිවරයා ඇතුළු පිරිස විසි එක ගැන දිගින් දිගටම වැඩ කළේය. විසි එක් වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට මෙන්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම වැළැක්වීමට බැසිල් කඳවුර දිගින් දිගටම විවිධ උපක්‍රම භාවිත කළහ. ඊට බිය වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවට පිවිස ඇමැති තනතුරු ගත් හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර අගමැති හමු වී තවත් සාකච්ඡාවක්ද කළහ. ඒ බැසිල් එලවීමේ සටනට ඔවුන්ද දායකත්වය ලබා දී තිබූ බැවිනි. මේ කඳවුරට බැසිල් විරෝධීන් වන හිටපු ඇමැතිවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ දහයක්ද එක් වූහ. එම පක්ෂ නායකයන්ද කියා සිටියේ විසි එක අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයද එය විය.

කෙසේ නමුදු 21 වැනි සංශෝධනය සම්මත වුවහොත් අහිමි වන්නට තිබුණේ බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රි ධුරය පමණක් නොවේ. දේශපාලන ආරංචි මාර්ග අනුව මේ වන විට ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු නව දෙනෙක් සිටිති. ඩයනා ගමගේ, ජීවන් තොන්ඩමාන්, සුරේන් රාඝවන් ඇතුළු පිරිසත් ඊට අයත්ය. සෙසු පිරිස උතුර හා නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රිවරුය. මේ වන විට ඩයනා ගමගේගේ ද්විත්ව පුරවැසිකම ගැන දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. ලංකාවට අමතරව ඇයට පුරවැසිකම හිමි වී ඇති බව පැවසෙන්නේ එංගලන්තයේය.

මේ අතරේ අවසන් වරට පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ද සරත් වීරසේකර මන්ත්‍රිවරයා විසි එක් වැනි සංශෝධනයට එරෙහිව අදහස් පළ කරද්දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා කියා සිටියේ ‘‘රට ගැන සිතා අපි තීන්දු තීරණ ගත යුතු බවයි. එම නිසා විසි එක ඉදිරිපත් කළ යුතු බව කීවේය. මේ ආකාරයට විවිධ මතවාද ඉදිරිපත් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙනි. ‘‘මම මන්ත්‍රිකමින් අයින් වෙනවා. නමුත් දේශපාලනය කරනවා.’’ ඔහු කීවේය. නමුත් මන්ත්‍රිවරයාගේ සමීපතමයන් ඉල්ලා සිටියේ තවදුරටත් මන්ත්‍රිකමේ රැඳී සිටිමින් දේශපාලනය කළ යුතු බවයි. පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස තවදුරටත් ඔහු දේශපාලනය කිරීමට මෙහි දී පොරොන්දු විය. බැසිල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට නම් හතරක් කතා බහට ලක් විය. ඒ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, පොහෝට්ටුවේ පාලන ලේකම් රේනුක පෙරේරා, බැසිල්ගේ සමීපතවම සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සහ දකුණු පළාත් ආණ්ඩුකාර වීලි ගමගගේ යන අයගේ නම් යෝජනා විය. එහෙත් වැඩි බර තිබුණේ ධම්මික පෙරේරාටය. බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා හා ධම්මික පෙරේරා අතර පැය තුනක පමණ කාලයක් සාකච්ඡාවක් පැවැති බව සඳහන්ය. එහෙත් එය සනාථ කිරීමට කිසිදු කරුණක් හෙළි වී නොමැත. කෙසේ වෙතත් ව්‍යාපාරික ධම්මික පෙරේරා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සමීපව කටයුතු කළ අයෙකි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පුතුන් සමගද ධම්මික පෙරේරා සමීපව කටයුතු කළ බව නොරහසකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් කඳවුරේ මන්ත්‍රිවරුන් අතරද කතා බහ කෙරුණේ ධම්මික පෙරේරා මන්ත්‍රි ධුරය භාරගන්නා බවකි.

ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් වීම සඳහා බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව බලා ගියේ බ්‍රහස්පතින්දා උදෑසනය. ඊට පෙර මන්ත්‍රිවරයාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව ගියේ තනියමය. වෙනදා දෙදෙනා එකට ඇමරිකාව බලා පිටත්ව ගියත් ඇය තනියම යාමද දේශපාලනඥයන් අතරේ කතාබහට ලක් විය. මන්ත්‍රිධුරයෙන් ඉවත් වීමට පාර්ලිමේන්තු පැමිණි බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ නිල කාමරයට පැමිණ ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන්නේය.

වෙනදා බැසිල් රාජපක්ෂ පිරිවරාගෙන සිටි මන්ත්‍රිවරු එතැන සිටියේ නැත. බැසිල්ගේ ඥාති පුත් නිපුන රණවක ඇතුළු නවක මන්ත්‍රිවරු රැසක් සිටියහ. ප්‍රසන්න රණතුංග වැනි ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාද එතැන සිටියේ නැත. ඔබතුමා මොකද අයින් වෙන්නේ? පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විමසුවේය. ‘‘මම ජනාධිපතිවරු දෙන්නෙක් හැදුවා. අගමැතිවරු හැදුවා. නමුත් හැමදාම නරක ටික එන්නෙ මට. මම දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නැහැ. මන්ත්‍රිකමෙන් පමණයි ඉවත් වෙන්නේ. බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියන විට සියලු දෙනා සිනාසුනාහ. ‘‘මහ ලේකම්තුමා මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්න දෙස බලන්න’’ ඔහු ඉල්ලීමක්ද කළේය. ඉන් පසු බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පොහෝට්ටු කාර්යාලයට ගියේ මාධ්‍ය හමුවට සහභාගි වීම සඳහාය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු පිළිතුරු දුන්නේ ඇතැම් විට සිනහසෙමිනි. ඇතැම් විට තරහ ගොසිනි. තමා නියෝජනය කළ ආණ්ඩුව අසාර්ථක වූවා නම් එහි වගකීම පොහෝට්ටුවට ඡන්දය දුන් අයත් වගකිව යුතු බවය. මේ අතර පොහොට්ටු කාර්යාලයේදී මන්ත්‍රිවරු ඉදිරි වැඩපිළිවෙළ ගැනද හිටපු මන්ත්‍රිවරයා ගෙන් විමසූහ. ‘‘මම ටික කලකට ඇමරිකාවේ යනවා. ගිහින් ඇවිත් පොහෝට්ටුව ශක්තිමත් කරනවා.’’ ඔහු කීවේ අනාගත අපේක්ෂාවද ප්‍රකාශ කරමිනි. බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහද දැනුවත් කළේය. ‘‘ඔයා අයින් වෙනවානම් විශ්වාසවන්ත කෙනෙක් දාන්න.’’ රනිල් ඔහුට දුන් උපදේශය විය. සිය තීරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාද දැනුවත් කිරීමට අමතක කළේ නැත. ඒ වනතුරු බැසිල් අස්වන බව ඔහු දැන සිටියේ නැත. නමුත් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේ බැසිල්ගේ ඉල්ලා අස්වීම ඔහු කිසිම ආකාරයකින් බලාපොරොත්තු නොවූ බවය. ‘‘ඔයා ඔහොම ප්‍රශ්නවලින් පැනලා යන්න එපා. ගොල්ෆේස් එකට කොල්ලො එකතු වුණා කියලා දේශපාලනය කරන එක නතර කරන්න එපා. තවදුරටත් මන්ත්‍රි ධුරයේ ඉන්න.’’ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළත් බැසිල් සිය තීරණය රිවස් කිරීමට කැමැති වූයේ නැත. දැන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඉවත් වී අවසානය. ඊළඟට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට පත් වන පුද්ගලයා ගැන කතා බහක් ඇති වී තිබේ. ධම්මික පෙරේරා නම් කිරීමට පොහොාට්ටුව තීරණය කර ඇත්තේ බැසිල්ගේද ආශිර්වාදය මැදය. ඔහු වෙනුවෙන් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයද ජනපතිවරයා සූදානම් කර ඇත. ධම්මික පෙරේරා බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රිවරයා නිර්මාණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සාමාජිකත්වය ගිය සිකුරාදා (10 වැනිදා) ලබා ගත්තේය. ඔහුට ඇමැති ධුරයේ දිවුරුම් දීමට හැකිවනු ඇත්තේ පොහොට්ටුවේ මහ ලේකම්වරයාගේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමට යැවූ ඔහුගේ නම එම කොමිසම ගැසට් කිරීමෙන් පසුවය. මේ අතරේ ධම්මික පෙරේරාගේ දේශපාලන සම්ප්‍රාප්තිය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහගෙන් අගමැති කාර්යාල නිලධාරීන් කරුණු විමසූහ. ‘‘කලබල වෙන්න එපා’’ ඔහුගේ පිළිතුර විය. උදයජීව ඒකනායක
 

More News..