විශේෂාංග

රජරට තවත් ඉපැරණි පුදබිමක් සොයා ගිය ගමනක් (Photos)

සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා බුදු සසුනට එක් වූ ස්ථානය සහ විහාර මහා දේවිය දස මහා යෝධයන්ට ආධ්‍යාත්මික ශක්තිය එක්කළ ස්ථානය මෙන්ම දිවයිනේ විශාලතම නාඋයන සහ අක්කර දෙසීයකට පමණ වැඩි විහාර ආරාම සංකීර්ණ පිහිටි මෙතෙක් වනගතව තිබු පෞරාණික ඓතිහාසික සිද්ධස්ථානයක් හෙළිදරව් කිරීමට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසී පිරිසක් 20 දින සමත්වූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ‍ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල් වෙහෙර ප්‍රදේශයේ කහල්ල රක්ෂිතයේ කදු බැවුමේ සිට කදු මුදුන දක්වා මෙම ඉපැරැණි ගොඩනැඟිලි සහ ගොඩනැගිලි සංඝාවාස වෙහෙර විහාර සෙල්ලිපි පිහිටා තිබේ.

උපුල් වෙහෙර රජමහා විහාරාධිපති පලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දාගම ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ දැනුම්දීම පරිදි දඹුල්ල “ලයන් හාට්” තරුණ සංවිධානය උපුල් වෙහෙර රජමහා විහාරස්ථ දායක සභාවේ පිරිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපුල් වෙහෙර කාර්යාලයේ නිලධාරීන් ගල්කිරියාගම පොලිසියේ නිලධාරින් මෙන්ම මානේරුව විදුහලේ සිසු දරු දැරියන් පිරිසක් එක්ව මෙම ඓතිහාසික වූ ඉපැරණි වැදගත්කමකින් යුත් ස්ථානය හෙළිපෙහෙළි කොට සමස්ත ජනතාවට එම ස්ථානවලට ලඟාවීමට හැකි වන පරිදි සුද්ධ පවිත්‍ර කොට සංඝාවාස චෛත්‍යරාජයානන් වහන්සේලා නොසිදෙන ජල උල්පත් ඉපැරණි නටබුන් රැසක් වෙත ගමන් කිරීමට හැකිවන පරිදි පරිසරය සුද්ධ පවිත්‍ර කොට දෙස් විදෙස් ජනතාවට මෙම ඓතිහාසික ස්ථානය දැක බලා ගන්නට වැඳපුදා ගන්නට හැකිවන පරිදි සුද්ද පවිත්‍ර කිරීම මෙන්ම රටට අනාවරණය කිරීම සිදු කළහ.

විහාරාධිපති දාගම ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කණ්ඩායම උපුල් වෙහෙර රජමහා විහාරස්ථානයේ සිට කිලෝමීටර එකහමාරක් පමණ කහල්ල රක්ෂිත කඳු මුදුනේ පිහිටා ඇති සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා වන උප්පලා සහ බෝධි යන දෙදෙනා තෙරණියන් බවට පත්ව රහතුන් වහන්සේලාගේ ධාතු තැන්පත් කොට ඉදිකරන ලද බවට ජනප්‍රවාදයේ සඳහන් වන උත්තරා බෝධි වෙහෙර වහන්සේ සොයා ගියහ. එමෙන්ම මෙහි පුරාවිද්‍යා භූමියේ දුටුගැමුණු රජතුමන්ගේ දසමහයෝධයන් හට විහාර මහා දේවිය විසින් ආධ්‍යාත්මික ගුණ වගාව ප්‍රගුණ කිරීම සඳහා මෙන්ම මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දීම සඳහා යොදාගත් විහාර ආරාම නටබුන් සොයා ගැනීම ද විශේෂත්වයකි.

මෙම භුමියේ නොසිදෙන ජල උල්පතක් එමෙන්ම එහි ශේෂත්වය වන්නේ බැමිනිටිසාය කාලයේ ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ නෑවීම සඳහා මෙම ස්ථානයෙන් ජලය රැගෙන ගිය බව ජනප්‍රවාදයේ සඳහන් ඇතැයි දාගම ධම්මාලංකාර නාහිමියෝ පවසති. මෙම ස්ථානයේ පිහිටි සෙල්ලිපියක සඳහන්ව ඇත්තේ වලගම්බා රජු සමයේ ඇමතිවරයෙකු විසින් මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කොට අවට වැව් සාදා ජනතාවට ලබාදී එම වැව් වලින් ලැබෙන ආදායම මෙහි පිහිටි රජ මහා විහාරස්ථානයට ගෙවිය යුතු බව සඳහන්ව ඇති බවද දාගම ධම්මාලංකාර හිමියෝ පවසති.

මෙතෙක් දිවයිනේ හමුවූ ඉපැරණි නා ගස් ලක්ෂයකට අධික විශාල වනයක් මැද මෙම ස්ථානය පිහිටීම ද විශේෂත්වයකි. එමෙන්ම මෙම වනය මැද ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ ස්ථාන රැසක් ද පවතී .තවමත් එහි විවිධ හාස්කම් පවතින බව ප්‍රදේශවාසීහු කියති. දඹුල්ල “ලයන්හාට්” තරුණ සංවිධානයේ සභාපති ඩබ්ලිව්.ජී . ප්‍රේමසිරි මහතා ඇතුළු කණ්ඩායම මෙම සහ අනෙකුත් ගමේ පිරිස එක්ව මෙම ස්ථානය ජනගත කිරීම සඳහා අවැසි මං මාවත් හෙළි කිරීම පුරාවිද්‍යා ස්ථාන දැක බලා ගැනීම සඳහා හෙළි පෙහෙළි කිරීම මෙන්ම එවැනි ස්ථාන හඳුනා ගැනීම සඳහා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සිදු කිරීම විශේෂත්වයකි.

මෙම ස්ථානය දෙස් විදෙස් ඕනෑම අයෙකුට දැක බලා ගැනීමට මෙන්ම ආධ්‍යාත්මික සුවය ලබාගැනීම සඳහා ද ඉවහල් වනු ඇතැයි තරුණ සංවිධානයේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ ය. මෙම ස්ථානය මෙතෙක් කලක් ගම්මුන් පමණක් මෙන්ම විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ පමණක් ආරක්ෂා කරමින් සිටි බවත් එහෙත් මෙම ස්ථානය දැක බලාගැනීම වැඳ පුදා ගැනීම ආරක්ෂා කර ගැනීම සමස්ත ජනතාවගේම වගකීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඓතිහාසික ස්ථානයේ භාරකාර ව කටයුතු කරන පුජ්‍ය දාගම ධම්මාලංකාර නාහිමියන් මෙහි ඇති පුරාවිද්‍යාත්මක ඓතිහාසික වැදගත්කම පිළිබඳවත් මෙහි පිහිටීම පිළිබඳව මෙසේ අදහස් පළ කළහ. “මේ ස්ථානයේ පිහිටලා තියෙන චෛත්‍යය රාජයාණන් වහන්සේ අවස්ථා 18කදී නිදන් හොරුන්ගෙන් විනාශ වෙන්න ගත්තා. හැබැයි මේ හැම අවස්ථාවක්ම කන්ද පහල සිටි අපට ජනතාවට පෙන්නුම් කළා. එක තමයි මෙහි තියෙන විශේෂ හාස්කම වෙන්නේ මේ ස්ථානය ආරක්ෂා කරන්න උදව් කරනවා නම් ඇත්තටම නිවන් දකින්න තරම් පිනක් කියලා තමයි හිතෙන්නේ.”

“මේ භූමියේ පුරාවට විශාල ගොඩනැඟිලි සංඝාවාස දහයක් පහළොවක් පමණ අතර නටබුන් පවතිනවා. මේ ස්ථානය සඳහන් වෙන්නේ විහාර මහා දේවිය දසමහා යෝධයන් සහ එළාර පැරද්ද වීම සඳහා යුද වැදීමට පැමිණිමහා සේනාවට ආධ්‍යාත්මික ශක්තිය ලබා දුන්නේ මෙි ස්ථානය කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ”.

” ඒ වගේම තමයි මේ ස්ථානයේ රහතන් වහන්සේලා විශාල වශයෙන් වැඩ සිටි බවටත් සඳහන් වෙනවා ඉහල පහල චෛත්‍යය දෙකක් පවතිනවා. ඒ වගේම කිලෝමීටර එකහමාරක් කන්ද උඩට නැග්ගහම ඒ උඩ විශාල චෛත්‍යයක් තිනවා . සීගිරි කාශ්‍යප රජතුමාගේ දියණියන් දෙදෙනා වෙනුවෙන් ඉදිකළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. උත්පලා සහ බෝධි යන තෙරණියන් දෙදෙනා වෙනුවෙන් මෙම සෑය ඉදි කළ බවත් තමයි කියැවෙන්නේ. ඒ වගේම තමයි මේ අවට තියෙන නටබුන් කොච්චරක්ද කියලා හොයාගන්න බැහැ වන වැදිලා තියෙන්නේ

” ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් මේ ස්ථානයේ පුද පූජා පැවැත් වූ ඓතිහාසික සාධක රැසක් පවතිනවා. බුදුරජාණන් වහන්සේලා හතර නමක් බුදුවීම සඳහා පිහිටවූ නා ගස් ලක්ෂ ගණනාවක් මෙහි පවතිනවා අතිවිශාල නා ගස් වල වයස කොපමණද කියලා වත් හිතා ගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි මෙහි විශේෂත්වය වෙන්නේ වර්ෂාව නැති ඕනෑම කාලයක මෙම වෙහෙර පිහිටි ස්ථානයට ගිහිල්ලා පුදපූජා පවත්වලා වැස්ස වහින්න කියලා කන්නලව් කළහම අපිට එතනින් එන්න බැහැ වර්ෂාව ලැබෙනවා. ඒක ඉතාම හාස්කම් තියෙන සිද්ධියක් මේ කහල්ල කන්දට නගින බොහෝ දෙනා මෙහි තියෙන නුගයේ පඬුරු ගැට ගහලා තමයි යන්නේ ඒ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ නා වනයට ඇතුළු වෙනවා කියලා එනිසා මෙහි ඓතිහාසික තොරතුරු රැසක් පවතිනවා .හැබැයි මේ ඔක්කොම ඓතිහාසික නටබුන් පොළොව යට වුණා සේ තවමත් යට වෙලා තියෙන්නේ.”

“බොහෝ දෙනෙක් සීගිරි කාශ්‍යප රජතුමා ගැන කතා කලාට රජතුමාගේ දියණියන් දෙදෙනා තෙරණියන් බවට පත් වෙලා මාර්ගඵල ලබාගත් ස්ථාන පිළිබඳව දන්නේ නැහැ. දිවයිනේ සුවිශේෂී වූ ස්ථානයක් කියලයි අපි මේ ස්ථානය හිතන්නේ මොකද මෙම ස්ථානයේ තිබෙන ජල උල්පත් තවමත් ඒ ආකාරයෙන් ම පවතිනවා. විශාල ගල් කණු සෙල්ලිපි කිසිම කෙනෙක් නිසියාකාර ගවේශනයක් සිද්ධ කරලා නැහැ. ගමේ මිනිස්සු මේක ආරක්ෂා කරගෙන හිටියා තවදුරටත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ස්ථානය ගවේෂණය කරලා සොයාබැලීමක් සිද්ධ කරන්න කියලා. ඒ වගේම රට වටේ ඉන්න අපේ බෞද්ධ අබෞද්ධ ලක්වාසී සියලු දෙනාටම ආරාධනා කරනවා දිවයිනේ විශාලතම නාඋයන ඒවගේම සීගිරි කාශ්යප රජු ගේ දියණියන් දෙදෙනාගේ ෛත්‍යරාජයානන් වහන්සේලා එවගේම විහාර මහා දේවිය රහතුන් වහන්සේලා උදෙසා කළ පුද පූජා කළ ස්ථාන දසමහා යෝධයන්ට ධ්‍යාත්මික ශක්තිය ලබාදුන් ස්ථානය දැක බලාගන්න එන්න කියලා.”

මෙම ස්ථානයට ලඟාවීමට ඇති ගමන් මාර්ගය වන්නේ ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ පලාගල ආඩියාගල හතරමං හන්දියෙන් පොල්පිතිගම මාර්ගයේ කිලෝමීටර් දහයක් පමණ ගමන් කරන විට උපුල් වෙහෙර රජමහා විහාරස්ථානයහමුවෙයි . එතැන් සිට තම වාහන නවතා පාගමනින් විහාර ආරාම නටඹුන් පැරණි චෛත්‍යය නොසිදෙන ජල උල්පත පැරණි ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා කළ නා බෝධිය එමෙන්ම සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් තෙරණියන් බවට පත් ව වැඩ විසූ විහාර ආරාම ය විහාර මහා දේවිය දසමහා සේනාව වෙනුවෙන් අධ්‍යාත්මික ශක්තිය ලබාදුන් ස්ථානය ඉපැරණි නාගස් මණ්ඩිය විවිධ ගණයේ සංඝාවාස හෝ ගොඩනැගිලි වල නටබුන් දැක බලා ගනිමින් කිලෝමීටර් එකහමාරක් පමණ නා ගස් සෙවණේ කඳු මුදුන තරණය කළ යුතුය.

එම කඳු මුදුනට ගිය පසු උත්පලා හා බෝධී තෙරණියන් කරවූ බව කියන උත්පලා බෝධි වෙහෙර වහන්සේ ගේ නටබුන් දැක බලා ගැනීමට හැකියාව ලැබේ.නිදහන් සොරුන්ගෙන් එය අවස්ථා 18 කදී හානි කොට ඇති බව විහාරාධිපති හිමියෝ කියති . එම වෙහෙර ආසන්නයට ගිය කල එක් පසෙකින් සීගිරි රාජධානිය අනෙක් පසෙන් දඹදෙණිය රාජධානිය අනෙක් පසෙන් අනුරාධපුර රාජධානිය අනෙක් පසින් විජිතපුර අනෙක් පසෙකින් ඓතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාරය සංකීරණය ආදී සියල්ල දර්ශනය වීම ද විශේෂත්වයකි.

පසුව වෙහෙර වැඳපුදාගෙන බස්නාහිර ප්‍රදේශයෙන් නැවත ලක්ෂයකට අධික නා ගස් වලින් පිරි කුඩා නා මණ්ඩිය මහා නා මණ්ඩිය රජුගේ සොහොන යන ස්ථානය නමින් ප්‍රදේශවාසීන් හඳුන්වන ප්‍රදේශය හරහා ප්‍රධාන මළුවට පිවිසීමට හැකිය. මෙම ගමනට ගල්කිරියාගම පොලිසියේ පොලිස් සැරයන් එල් .එච් .එන් ද සිල්වා පොලිස් කොස්තාපල් ඩී .එම් .එස් .දිසානායක ,දායක සබාවේ ලේකම් ජේ .එම් .හේරත් මුදියන්සේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්වුහ.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස