අතන මෙතන

රජයේ මිලට වඩා වැඩි මිලට පෞද්ගලික වෙළෙඳුන්ට වී විකුණති

වි අලෙවි මණ්ඩලය ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මධ්‍යස්ථාන විවෘතකර සතියක් පමණ ගතවී ඇතැත් මේ වනතෙක් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.

යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භවී ඇති හෙයින් රජයේ සහතික මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් මේ වනවිට විවෘත කර ඇතැයි ඒ මහතා කීය.

එයට හේතුව රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගේ වී මිලදී ගැනීම යැයිද හෙතෙම පැවැසීය.

ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රජයේ සහතික මිල වන රුපියල් 50 බැගින් මිලදී ගන්නා බවත් එක් ගොවියෙකුගෙන් වි අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන්නේ කිලෝ 5000ක උපරිම වී ප්‍රමාණයක් බවද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා කීය.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය නිසා තෙතමනය සහිතවී රජයේ සහතික මිලට වඩා අඩුවෙන් පෞද්ගලික වෙළෙඳුන්ට විකිණීමට බොහෝ ගොවීන් පෙළැඹී සිටින බවත් වී අලෙවි මණ්ඩලය බලා පොරොත්තුවන තෙතමනය සියයට 14ට තිබෙන ප්‍රමිතියෙන් යුත් වී තමන් සතුව නැතැයිද ගොවි ජනතාව කියා සිටිති.

මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගාව කීඩෑ හානියට ගොදුරුවීම නිසා අපේක්‍ෂිත වී අස්වනු නොලැබුණු බව ගොවීහු ප්‍රකාශ කළහ.

කේ.ජී.කරුණාරත්න