පිනි පලස

රඟපාපු තත්පර පහෙන් ලංකාවම දැනගත්තා

ඇය මේ දිනවල බොහෝ ජනප්‍රියයි. අනුහස්ගේ ආදරය ඇයට ලැබෙයිද කියලා බොහෝ දෙනා කුතුහලයෙන් ඉන්නේ. අනුහස්ගේ ආදරය නොලැබුණත් ජනප්‍රිය නළුවා ලෙස රයිගම් සම්මාන උළෙලේ අනුහස්ට අයිති සම්මානය වේදිකාවට ඇවිත් ලබාගත්තේ ඇය. කව්ද ඇයට මේ අයිතිය දුන්නේ? අපි මේ ප්‍රශ්නය ඇහුවේ නෙත්මි නිශෙල්කා රොෂෙල් රොජර්ස්ගෙන්.

‘‘එදා අනුහස් උන්නේ ඩ්‍රීම් ස්ටාර් අවසාන තරගය නිවේදනය කරමින්. ඉතින් ලංකාවේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ඔහු වෙනුවෙන් මම අරගත්තා. ඇත්තටම මම සම්මානයක් අරගත්තා තරමටම සතුටක් මට දැනුණේ. මොකද මම දෙවැනි ඉනිමේ රඟපාන්න කලින් ගොඩාක් කැමැත්තෙන් ඒ නාට්‍යය බැලුවා. අනුහස්ගේ රඟපෑමට කැමැත්තෙන් උන්නා. අවසානයේ ඔහුට හිමි සම්මානයත් මගේ අතින් ගන්න ලැබීමත් ලොකු වාසනාවක්.’’
නෙත්මි කිව්වේ උතුරා ගිය සතුටකින්. දෛවය හරිම පුදුමාකාර දේවල් මේ ආකාරයට සිද්ධ කරන කොට නෙත්මි රොෂෙල් මේ දක්වා පැමිණි ගමන් මග සිහිපත් කළා.

‘‘මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම ඩාන්සින්වලට ලොකු කැමැත්තක් තිබුණා. එතනින් පස්සේ බෝමිරිය සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්නකොටත් බාහිර හැම දේකටම ඉදිරිපත් වුණා. අම්මයි, තාත්තයි ආගම් දෙකක උන්න නිසා දහම් පාසලයි, පල්ලියයි දෙකටම ගියා. එතනත් හැම දේකටම ඉදිරිපත් වුණා. මම හිතන්නේ ඒ හැකියාව තමා මේ ගමන එන්න ලොකු ශක්තියක් වුණේ.’’

රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයක් යනකොට ඇයට පලඳන රත්තරන් ඔටුන්න දැක්ක දවසේ ඒ ඔටුන්නට ලොකු ආශාවක් ඇතිවුණා. කවදා හරි මටත් ඔටුන්නක් පලඳින්න ඇත්නම් කියන සිතිවිල්ල මුලින්ම හදවතට ඇතුළු වුණේ එදා.

‘‘හැබැයි ඉස්කෝලේ කාලේ එවන් අවස්ථාවලට ඉඩකඩ නොලැබුණේ ඉගෙනීමේ පැත්ත ගැන වැඩියෙන් හිතන්න වෙච්ච නිසා. සාමාන්‍ය පෙළ කරන කොට බාහිර දේවල්වලින් හොඳටම ඈත්වුණා. මාව බතලයෙක් වගේ මහත් වෙලා. අවුරුදු කුමාරි හීනය අත්හැරලා කැම්පස් යන්න A තුනක් ලබාගත්තා.

ජයවර්ධනපුර කැම්පස් එකට ඇතුළු වුණාට පස්සේ තමා ආයෙමත් මගේ පරණ සිහින අලුත් වෙන්න අරගත්තේ. රූපවාහිනියේ 2019 අවුරුදු කුමරිය තරගයට අයැදුම්පත් කතා කරනකොට විශ්වවිද්‍යාලයේ නවක වදය කාලසීමාවේ උන්නේ. නවක වදය වැඩිවෙයි කියලා ඉල්ලුම් කරන්න බයයි. නමුත් අවසානයේ හැමෝටම හොරෙන් අයැදුම්පතක් දැම්මා.
තිස්සමහාරාමයේ අවසාන තරගය නිසා කවුරුත් දන්නේ නැහැ. අවසානයේ අවුරුදු කුමාරි ලෙස මම අභිෂේක ලබනකොට දැනගෙන උන්නේ අපේ පවුලේ කීපදෙනා විතරයි. මම පුංචි කාලේ ඉඳලා කැමැත්තෙන් උන්න ඔටුන්න හිස මත පැලඳෙනකොට දරාගන්න බැරි තරමේ සතුටක් දැනුණා. හීන මේ තරම් ලස්සනයි නේද කියලා මට දැනුණේ එදා.

අවුරුදු කුමාරි වුණාට පස්සේ ගමේ අය වගේම කැම්පස් එකේ අයගෙනුත් ඉතා ඉහළ ප්‍රශංසාවක් ලැබුණා. තාත්තා අවුරුදු කුමාරිට ඉදිරිපත් වෙන්න අවසර දුන්නට මෙතනින් පස්සේ හැම දෙයක්ම තහනම් කියන නියෝගයත් එදාම දැම්මා.

අවුරුදු කුමාරි වෙලා රූපවාහිනියේ පළවෙනි වැඩ සටහනට ගියාම රඟපාන්න පළවෙනි ආරාධනාව ලැබුණා. සක්කාරං ටෙලි නාට්‍යයේ ගැමි අහිංසක චරිතයක් මුලින්ම ලැබුණේ. ඇත්තටම ඒක අභියෝගාත්මක චරිතයක් නිසාමයි රඟපාන්න භාරගත්තේ. සමහර විට අක්ෂාගේ චරිතය මුලින් ලැබුණා නම් එය මට අභියෝගයක් නෙමේ. මොකද මගේ ජීවිතෙත් ආක්ෂගේ ජීවිතේට සමාන නිසා.

ඊට පස්සේ රාවණ එකේ සුපර්ණිකාගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණා. ඒක අහිංසක චරිතයක්. සතියේ දවස් පහේ නපුරු ආක්ෂා වෙලා සති අන්තයේ අහිංසක සුපර්ණික වුණා.
කොච්චර අවස්ථාවන් ලැබුණත් කැම්පස් එක ඇතුළේ කොයි අවස්ථාවකවත් මම නිළියක් වෙන්න ගියේ නැහැ. හරිම සාමාන්‍ය ආකාරයට අනිත් ළමයි එක්ක කටයුතු කළා. ඒක නිසා කැම්පස් එක ඇතුළෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.

දෙවැනි ඉනිමට සම්බන්ධ වීමට ලැබීම තමා මගේ ජීවිතේ හොඳම අවස්ථාව හැටියට දකින්නේ. ඒකත් වුණේ හරිම අහම්බෙන්. චාමිකා මෙන්ඩිස් මාව දැකලා මට කතා කළා.

‘‘නංගි, හොඳ කැරැක්ටර් එකක් තියෙනවා, ඔයාට ගැළපෙනවා. ඇවිත් බලන්න.’’
දෙවැනි ඉනිම කිව්වාම ඇත්තටම මට මාර සතුටුයි. මොකද දෙවැනි ඉනිම මුල් කාලේ ඉඳන්ම මම බැලුවා. සමල්කාගේ නංගි හැටියට රඟපාන්න ලැබුණ අවස්ථාව මම හිමිකර ගත්තා.
අද කතා කළා, පහුවදා රඟපෑවා. සති අන්තයේ මම දෙවැනි ඉනිමේ රඟපානවා සාලේ ඉඳන් බලන්න අවස්ථාව ලැබුණා. ජීවිතේ බොහෝ දේවල් හරිම වාසනාවන්ත විදියට මගේ ළඟට ආවා. ආක්ෂා කියන්නෙත් ඒ වෙලවේ මට වාසනාව ගෙනාපු චරිතයක්නේ.

මුලින්ම මට රඟපාන්න තිබුණේ වාහනෙන් බැහැලා කාර්යාලයට එන දර්ශනයක්. තත්පර ගාණක චරිතයකින් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වුණා. මම හිතන්නේ දෙවැනි ඉනිමේ රඟපාන ඕන කෙනෙක් අනිවාර්යයෙන්ම ජනප්‍රිය වෙනවා. මොකද කොච්චර දොස් කිව්වත් ඒක තමා ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම නරඹන නාට්‍යය. දැන් දෙවැනි ඉනිමේ කොටස් 200 කට වඩා රඟපාලා තියෙනවා. මම හිතනවා බොහෝ දෙනා අතරේ මගේ චරිතය කතා බහ කරනවා කියලා. ආක්ෂා කියන චරිතයේ සමානකම් තිබුණත් කවදාකවත් මම ක්ලබ් ගිය කෙනෙක් නෙමේ. මත්පැන් බීලා නැහැ. විදේශගත වෙලා නැහැ. නමුත් මම මගේ චරිතයට ආරූඪ වෙලා එය කළා කියලා විශ්වාස කනවා. මොකද මට එය සමාජයෙන්ම අහන්න දකින්න ලැබුණු නිසා.

මගේ නපුරු චරිතය නිසා මහ පාරේදීත් ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහලා තියෙනවා. ඒ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. අපි සිරිපාදේ ගිහින් කන්ද බහිමින් උන්නේ. තෙරපිලා මගේ කකුල ලොක් වෙලා තිබුණේ. එතකොට අයියලා කට්ටියක් අන්න ආක්ෂා ඉන්නවා කියලා මාව පෙන්නුවා. ඒ අයට ඕන වුණේ මාත් එක්ක සෙල්ෆියක් ගහන්න. නමුත් මට තිබුණ අපහසුව හා වේදනාව හින්දා අහක බලාගත්තා.

‘‘ඔය පේනවා නේද ඒකිගේ අහංකාරකම… ඇත්තටමත් එහෙම තමා…’’
ඔය විදියට අනන්තවත් බැණුම් අහලා තියෙනවා. දවසක් මම ආච්චිව එක්කගෙන ක්ලිනික් ගියා.

‘‘අන්න අර නපුරු කෙල්ල ඇවිත්.’’

එක්කෙනෙක් කියනකොට ආච්චිට කේන්ති ගියා. ආච්චි මට පුදුම ආදරෙයි. මගේ කෙල්ල නපුරු නැහැ කියලා ආච්චි එතන ඉන්න අය එක්ක රණ්ඩුවට ගියා.

ආක්ෂා නිසා ඔය වගේ අලකලංචි බොහොමයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් දෙවැනි ඉනිමට තියෙන කැමැත්ත දවසින් දවස වැඩිවෙනවා. මොකද ඒ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ මම ඒ චරිතය සාර්ථකව කරන නිසා කියලා දන්නවා.ඇත්තටම දෙවැනි ඉනිම දැන් මගේ රස්සාව වෙලා.

මේ දවස්වල කැම්පස් නිවාඩු නිසා රඟපානවට අමතරව වෙන කරන්න දෙයක් නැහැ. කොහොමත් කැම්පස් පටන් ගන්නකම් ආශාවෙන් ඉන්නේ.

හැම දෙයක්ම තනියම කරගන්න නිතරම උත්සාහ කරනවා. කැම්පස් එකට තනියම ස්කූටියෙන් යන ගමන හරි සුන්දරයි. ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා කොල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ගෙවන ජීවිතේට මම දැන් ලෝභ වෙලා.

ජීවිතේ ගැන සමහර වෙලාවට පුදුම හිතෙනවා. මුලින්ම හිතාගෙන උන්නේ ඩාන්සර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ගුවන් සේවිකාවක් වෙන්න. අන්තිමට කලාවට පයින් ගහලා කොමර්ස් කරලා විශ්වවිද්‍යාලයට ඇවිත් මාර්කටින් කරනවා. හැබැයි කලාව මාව අත්හැරියේ නැහැ. හිතේ කොනක තිබුණ පුංචි උණක් නිසා අද රටම දන්න නිළියක් වෙලා. දෛවය ගෙනාපු දුර නම් හිතාගන්න බැහැ. අනාගතේ රඟපාන ගමන් මගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමත් අටයි පහේ ජොබ්වලට මම කැමැති නැහැ.
මගේ කැමතිම විනෝදාංශය සතුන් ඇතිකිරීම. බල්ලෝ හත් දෙනකුයි, පූසෝ හතර දෙනකුයි මගේ පාළුව මකනවා. උන් එක්ක මගේ පුදුමාකාර බැඳීමක් තියෙන්නේ.

ටෙලි නාට්‍යයක රූපගත කිරීමකට සහභාගි වෙලා එනකොට පාරෙ දාලා ගිය බලු පැටියෙක් මම ගෙදරට අරගෙන ආවා. ඒ තමා මගේ පළවෙනි බව්වා. ඊට පස්සේ පාරේ දාලා ගිය බල්ලෝ එක දිගට අරගෙන එන්න ගත්තා. තාත්තා තමා මට උදව් කරන්නේ. සින්ඩි, වින්ඩි අපේ පවුලේ සාමාජිකයෝ තරමටම ළංවුණා. තාත්තවයි, දුවවයි එළියට දානවා කියන විධානය අම්මා දෙනකොට ගෙදර බල්ලන්ගෙන්, පූසන්ගෙන් පිිරිලා. දැන් උන් තමා මගේ හොඳම යාළුවෝ.
පොත් කියවන්නත් හුඟාක් කැමතියි. ෂර්ලොක්ස් හෝම් කතා තමා කියවීමට රුචිය ඇති කළේ. ඉඩක් ලැබෙන වෙලාවට හින්දි චිත්‍රපට බලනවා. සනම් තෙරි කියන චිත්‍රපටය හැම වෙලාවෙම මතකයේ තියෙන අමතක නොවන චිත්‍රපටයක්.

හැම දවසක්ම ජීවිතයේ අමතක නොවන දවසක් කරගන්න උත්සාහ කරනවා. දෙවැනි ඉනිමේ කොච්චි කාපු දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද අනුහස් මාව රැවැට්ටුවා වගේම අපේ සෙට් එකේ අයත් මාව රවට්ටලා කොච්චි කැවෙව්වා. එදා නම් මම හොඳටම ඇඬුවා.

ගෙවුණු ජීවිතය ගැන කියන්න මහා ලොකු කතන්දරයක් නැහැ. මොකද තාම රඟපාලා තියෙන්නේ ඉතා සීමිත චරිත කීපයක් විතරයි. දෙවැනි ඉනිමේ රඟපාන නිසා වෙනත් නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් මේ අවුරුදු දෙකටම දෙවැනි ඉනිම නිසා ලැබුණ දේ විශාලයි. පුංචි මට ඒක හිතාගන්න බැරි දෙයක්. මේ ලැබුණ හැම දේකින්ම තවත් නිහතමානී වෙන්න උත්සාහ කරනවා. රූපවාහිනිය තුළ නිළිය කියන චරිතයත්, විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යාව කියන චරිතයත් සමබර කරගෙන ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ උත්සාහය අනාගතයේ ලොකු තැනකට මාව අරගෙන යයි. එක දවසක් පුංචි කාලේ ඔටුනු පලඳින අවුරුදු කුමාරිකාවක් දැකලා ඒ සතුට අත් වින්දා. අවුරුදු පහළොවකට පස්සේ ඒ සතුට මම ඇත්තටම වින්දා. ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. නොහිතපු මොහොතක හිතාගන්න බැරි දෙවල් ලැබෙනවා. ඒක තමා මම දැක්ක ජීවිතයේ අරුමය.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර