ක්‍රීඩා

රංගන බංග්ලාදේශ කණ්ඩායමට ගිය හේතුව හෙළිකරයි

මටත් චන්දිකට වුණ දේ වෙයිද?

මේ වන විට බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රජ ගමනක යෙදෙයි. ලොව සුපිරි යැයි සම්මත ප්‍රතිවාදී බළමුළු පවා කඩා විසුරුවාහරිමින් ඔවුන් සිය ඉලක්කය වෙත යන ගමනේදී ඔවුන්ගේ ‘බර අවිය’ බවට පත්ව ඇත්තේ දඟපන්දුවයි. මේ දඟපන්දු බළඇණියට ගුරුහරුකම් දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකි. ඒ ලොව බිහිවූ ශ්‍රේෂ්ඨම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ය. ලෝක කුසලානයක් අබියස බංග්ලාදේශයට ලබාදුන් මේ ජයග්‍රාහී උත්තේජනය හමුවේ ක්‍රිකට් උන්මාදනීය එම දේශයේ ජාතික වීරයෙක් වන තරමටම ඇගයුම් ලබන රංගන හේරත්, එරටින් මෙරටට පැමිණ ගෙවන දවස් කිහිපයක් වූ කෙටි නිවාඩුව අතරතුර ‘සති අග අරුණ’ පාඨකයන් වෙනුවෙන් මෙසේ පිළිසඳරකට එක්විය.

රංගන හේරත් ජාත්‍යන්තර පිටියෙන් සමුගෙන ඉතාම ඉක්මනින් ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වීමට වටපිටාව සකස් වු‌ණේ කොහොමද?

මම ටෙස්ට් පිටියෙන් සමුගෙන මේ නොවැම්බර් මාසයට අවුරුදු තුනක් වෙන්න එනවා. ඊට පස්සේ මම පුහුණුකරු අදියර දෙක සහ තුනට අදාළ විභාග කළා. ඒ වගේම මම ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ උපදේශන පුහුණකරුවෙක් හැටියට කටයුතු කළා. ඊට පසුව කළම්බු කිංග්ස් කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු හැටියට කටයුතු කරන්න ලැබුණා. ඒත් එක්කම තමයි බංග්ලාදේශයේ දඟපන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණේ.

සිම්බාබ්වේ සංචාරයෙන් ආරම්භ කරපු, බංග්ලාදේශය සමග ඔබගේ ගමනෙදි නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සමගත් ජයග්‍රාහී ප්‍රතිඵල ලබාදීලා ඔබ මේ වන විට අපරාජිත පුහුණුකරුවෙක්. අනික දැන් ඔවුන් තමන්ගේ තණතිලි සකසන්නේ පෙරටත් වඩා දඟපන්දු යවන්නන්ට වාසි වන ලෙසින්. ඒ කියන්නේ ඔවුන් මේ වන විට සිය දඟ පන්දු හැකියාව ගැන උපරිම විශ්වාසයක් තබා සිටින මොහොතක්. දඟපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් බංග්ලාදේශයට ඔබ ඒ ආත්ම විශ්වාසය දුන්නේ කොහොමද? මොකක්ද ඒකේ රහස?

මම හිතන්නේ සිම්බාබ්වේ සංචාරයේදී මටනම් ලොකුවට පුහුණුකරුවෙක් හැටියට දෙයක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද මම කෙලින්ම කණ්ඩායම සමග එක් වුණේ සිම්බාබ්වේ සංචාරයට නිසා.හැබැයි එතැනදි මම දැකපු දෙයක් තිබෙනවා. ඒ තමයි ඒ ඒ ක්‍රීඩකයන්ගේ රාජකාරිය මොකක්ද, ඒ අයගේ හැකියාව මොකක්ද කියන එක විශේෂයෙන් ඔවුන් හඳුනාගෙන හිටියා. කණ්ඩායමේ වටිනාකම සහ ක්‍රීඩකයාගේ වටිනාකම කියන ඒ හැමදෙයක් එක්කම ඔවුන්ට ජයග්‍රහණය කරන්න ඕනේ කියන අධිෂ්ඨානය තිබුණා. ඒක තමයි මම ඔවුන්ගෙන් විශේෂයෙන්ම දැක්කේ. ඔස්ට්‍රේලියාව සමග තරගාවලියක් ඔවුන් කවදාවත් ජයග්‍රහණය කරලා තිබුණේ නෑ. විශේෂයෙන් ඒ තරගාවලිය 4-1කින් ජය ගත්තා. ඒකෙත් මම හිතන්නේ කණ්ඩායමක් හැටියටත්, පෞද්ගලිකවත් ඔවුන් හොඳ මානසිකත්වයක හිටියා තරගාවලිය ජය ගන්න. ඔවුන් හැම වෙලේම තමන්ගේ රට, කණ්ඩායම ගැන ලොකු විශ්වාසයකින් තමයි හැම තරගාවලියක්ම ක්‍රීඩා කළේ. ඒ විශ්වාසය තහවුරු කරන්නයි මම සහාය වුණේ.

ඔබ එහෙම කිව්වත් ඒ ජයග්‍රහණවලින් පසුව ක්‍රීඩකයන් ඔබව ලොකු ඇගයීමකට ලක්කළා. ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් ලෙසින් ඔවුන් ඔබ ගැන සඳහන් කළා.

මම ක්‍රීඩා කරලා විශ්‍රාම අරන් අවුරුදු තුනක් වගේ කාලයක් ඇතුළත මට තේරුණ දෙයක් තිබුණා. ඒ තමයි නූතන ක්‍රිකට් ක්‍රීඩාවේදී උපායමාර්ගිකව සහ මානසිකත්වය පැත්තෙන් තරගයකට යද්දි සහ තරගයට පෙර සූදානම් වෙන්නේ කොහොමද කියන එක. මම හිතන විදිහට ඒක තමයි මගෙන් ඔවුන්ට ලැබුණ ලොකුම උදව්ව. ඔවුන් ඒ හැමවිටකම ඒ දේ උපයෝගී කරගත්තා. ඒ නිසා වෙන්න ඕනේ ඔවුන් මාව ඒ විදිහට ඇගයූවේ.

බංග්ලාදේශය සමග වැඩ කරද්දි ශකිබ් අල් හසන් වගේ චරිත සමග කටයුතු කිරීම පහසු දෙයක් නෙමෙයි කියලයි කලින් එහි හිටපු පුහුණුකරුවෝ කිව්වේ. ඒ වගේම ක්‍රීඩකයන් හැටියට ඔවුන් ඔබේ සමකාලීනයන්. එවැනි අයට පුහුණු උපදෙස් දීම තරමක් අභියෝගාත්මක කාර්යයක් නෙවෙයිද?

මෙතැනදි මගේ තත්ත්වය එයට වඩා වෙනස්. විශේෂයෙන්ම මම ශකීබ් (අල් හසන්), ටමීම් (ටමීම් ඉක්බාල්), මුෂ්ෆීක් (මුෂ්ෆිකාර් රහීම්), මහදුල්ලා එක්ක එකට ක්‍රීඩා කරලා තිබීම ඔවුන් සමග පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කිරීමේදී ධනාත්මක තත්ත්වයක් වුණා. මේ වෙනකම් ඔවුන් සමග කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඔවුන් එක්ක ඉතාමත් හොඳ සන්නිවේදනයක් සමගින් කටයුතු සිදු කරනවා.

ලංකාව වගේම බංග්ලාදේශයත් සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වීමෙන් පසුවයි මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට එන්න සිදුවන්නේ. එයට තියෙන සූදානම?

ලබන 03 වැනිදා තමයි මමත් නැවත බංග්ලාදේශයට යන්නේ. ඒ ගියාම අපිට පුහුණුවීම් කරන්න දවස් පහක හයක කාලයක් තියෙනවා. පුහුණු තරග දෙකක් පමණ තිබෙනවා. ඒ අතරින් එකක් අපේ ජාතික කණ්ඩායම (ශ්‍රී ලංකාවේ) සමග පැවැත්වෙනවා. ඕමාන්වල තමයි අපි පුහුණුවීම් කරන්නේ. නමුත් වැඩි තරග සංඛ්‍යාවක් සහභාගි වෙන්න තියෙන්නේ ඩුබායි, අබුඩාබි සහ සාර්ජාවල. ඒවායේ තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තව කටයුතු යෙදෙයි.

ඔබ විසින් පෙන්වන වත්මන් සාර්ථකත්වය හේතුවෙන් අනාගතයේදී ඔබට ලංකාවෙන් ඇරයුමක් ආවොත්. විශේෂයෙන්ම මහේල ජයවර්ධන, අවිශ්ක ගුණවර්ධන පුහුණුකරුවන් වශයෙන් කැපී පෙනෙමින් සිටින අවදියක සමකාලීනයෝ සමගින් ලංකාවේ පුහුණුකාරීත්වයකට අවස්ථාව යෙදුණොත්?

බංග්ලාදේශ කණ්ඩායමට සම්බන්ධ වෙන්න කලින්, ලංකාවේ පුහුණු කටයුත්තක් සමග සම්බන්ධ වෙනවද කියන එක ගැන යම්කිසි සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. අන්තිමට ඒ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ. එතකොට තමයි බංග්ලාදේශයෙන් අවස්ථාවක් ලැබුණේ. ඒ ලැබුණ අවස්ථාවෙන් මම ප්‍රයෝජනය ගත්තා. පුහුණුකරුවෙක් හැටියට ඕනෑම කෙනෙක් බලන්නේ ලැබෙන අවස්ථා ගැන. මෙතැනදි මට බංග්ලාදේශයෙන් ලැබුණු අවස්ථාව මම පාවිච්චි කළා කිව්වොත් ඒක හරි.

ඔබ ඔය කියන විදිහට ලංකාව ඔබට නිසි තැන ලබාදීමට තරම් අවබෝධයක නොසිටියත්, දඟපන්දු පුහුණුකරු තනතුර වෙනුවෙන් සලකා බැලූ සයිඩ් අජ්මාල් වැනි දක්ෂයන්වත් පසෙකට කරමින් බංග්ලාදේශය ඒ වගකීම ඔබට පවරනවා. එසේ වෙන්න, ඒ කියන්නේ ලංකාව නොදුටු බංග්ලාදේශය දුටු ඔබේ විශේෂ සුදුසුකම වුණේ කුමක්ද?

මේ තෝරා ගැනීමේදී සයිඩ් අජ්මාල්ගේ නම තිබුණා. තව ඉන්දියාවේ සයිරජ් බහුතුරේගේ නම තිබුණා. නමුත් මම නූතන ක්‍රිකට් ක්‍රීඩාවෙන් මෑතකදි විශ්‍රාම ගිය කෙනෙක්. නූතන ක්‍රිකට් රටාව ගැන අත්දැකීමක් සහිත පුහුණුකරුවෙකුයි ඔවුන් බලාපොරොත්තු වුණේ. මම හිතන්නේ මගේ විශේෂ සුදුසුකම වෙන්න ඇත්තේ ඒකයි.

බංග්ලාදේශය සමග ඔබේ කොන්ත්‍රාත්තුව ලෝක කුසලාන දක්වා පමණක්ද?

දැනට මගේ කොන්ත්‍රාත්තුව අත්සන් කරලා තියෙන්නේ මේ ලෝක කුසලාන තරගාවලිය දක්වා පමණයි.

එතැනින් එහාටත් ඔවුන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවාද?

ඒ සම්බන්ධයෙන් මේ වෙනකම් සාකච්ඡාවක් කරලා නැහැ.

එවැනි අවස්ථාවක ලංකාවෙන් සහ බංග්ලාදේශයෙන් යන කණ්ඩායම් දෙකෙන්ම එකවර ඇරයුමක් ලැබුණොත් ඔබේ තේරීම කරගන්නේ….

තමන් කරන කාර්යභාරයට වටිනාකමක් තියෙනවා. මීළඟ අවස්ථාවකදී, ඒ ලැබෙන වටිනාකමත් එක්ක අපි බලන්න ඕනේ. ඒ වගේම මේ ලැබුණු අවස්ථාව ගැනත් මම බංග්ලාදේශයට ස්තුතිවන්ත වෙනවා.

බංග්ලාදේශය සමග පුහුණුකාරිත්වය දීර්ඝ වෙනවා කියලා අපි හිතමු. ඉදිරියේදී බංග්ලාදේශයට ලංකාවේ සත්කාරය සහිත ටෙස්ට් තරගාවලියක් යෙදිලා තියෙනවා. මෙවැනි අවස්ථාවක බංගලාදේ්‍ශයත් එක්ක එකතුවෙලා ලංකාව සමග තරගයක යෙදෙන්න ඔබට සිදුවෙනවා. එවැනි මානසිකත්වයක් කළමනාකරණය කරගන්නේ කොහොමද?

වෙන රටකට ගිහිල්ලා පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන කොට තමන් ක්‍රීඩා කරපු රට, තමන් ක්‍රීඩා කළ කණ්ඩායම එක්ක අනිවාර්යයෙන් ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. මම හැමවෙලේම මගේ රටට මූලිකත්වය දෙනවා. නමුත් ඔය කියන ආකාරයේ අවස්ථාවකදී මගේ ඉලක්කය කුමක්ද, මම මොනයම් දෙයක් එක්කද බැඳිලා ඉන්නේ කියන කාරණාව සැලකිල්ලට ගන්න වෙනවා.

තමන්ට පැවරුණු කාර්යභාරයට මූලිකත්වය දීලා වැඩකරන්න හිත හදාගන්න වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු කළත්, බංග්ලාදේශ කණ්ඩායමට පුහුණු කළත්, වෙන කණ්ඩායමකට පුහුණු කළත් එය එසේමයි. මොකද මගේ යම්කිසි දැනුමක් හෝ මම ගැන තියෙන විශ්වාසය නිසානේ ඒ අය මාව පුහුණුකරුවෙක් හැටියට තෝරාගෙන තියෙන්නේ. මම ඒකට සියයට සියයක් ඒ සාධාරණය කළ යුතුයි.

හතුරුසිංහ බංග්ලාදේශයේදී අතිසාර්ථක වුණා. ලංකාවට ඇවිල්ලා ඒ ගොඩනගා ගත්ත දේත් ලංකාව ඇතුලෙදි දියවෙලා ගියා. මේක අනාගතයෙදි රංගන හේරත්ගේ ඉරණම වෙන්නත් පුළුවන්ද?

ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි ක්‍රීඩා කරන කොට අපි කැමැතිම දේවල් අපිට වෙලා නැහැනේ. මම ක්‍රීඩා කරන කාලේ ගත්තොත් 1999 සිට 2009 දක්වා මුල් අවුරුදු 10ක කාලයේ කණ්ඩායමට එනවා යනවා. එනවා යනවා. ස්ථාවර තැනක් නැහැ. ඒවගේ කාලයක් තිබුණා. ඒවා ක්‍රිකට් ක්‍රීඩාවේ එන අභියෝග. ඒවා පුහුණුකරුවෙකුට වුණත් වෙන්න පුළුවන්. මම බලන්න ඕනේ මට ඒ ලැබෙන අවස්ථාව කොහොමද භාවිත කරන්නේ කොහොමද කියන එක විතරයි. එහෙම නැත්නම් මටත් චන්දිකට වුණ දේ වෙයිද, එහෙම නැත්නම් තව කෙනෙක්ට වෙන දේ වෙයිද කියලා මගේ පාලනයක් නැති දේවල් ගැන වදවෙන්නේ නැහැ. මට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි මම හිතන්නේ.

පසුගිය දිනවල ඔබ ප්‍රවීණයන් සමග එකතුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේදී ඒ විඳගත් අත්දැකීම ගැන කිව්වොත්?

නැවතත් සචින්, බ්‍රයන් ලාරා, ශෙවාග් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඒ වගේ ගොඩක් අය එක්ක ක්‍රීඩා කරන්න ලැබීම අලුත් අත්දැකීමක් වුණා. විශ්‍රාම ගත්තාට පසුවත් නැවත ක්‍රීඩා කිරීමට ලැබීම ගැන හොඳයි කියලා හිතුණා. ඒ වගේම ඒ තරගාවලියට ප්‍රේක්ෂකයන්ගෙත් විශාල ආකර්ෂණයක් තිබුණා.

ආබාධයක් හෝ තිබියදී නෙමෙයි ඔබ විශ්‍රාම ගත්තේ. මේ විදිහට ලෙජන්ඩ්ස් පිලේ ක්‍රීඩා කරද්දි හිතුණේ නැද්ද තවත් අවුරුද්දක් හෝ දෙකක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරානම් හොඳයි කියලා?

කොයි මොහොතකවත් මම එහෙම හිතුවේ නැහැ. මම ඒ තීරණය ගත්තේ හරිම වෙලාවේ කියලා තමයි මම හිතුවේ. සමුගන්න කාලෙදි ශාරීරික යෝග්‍යතාවයේ ගැටලුවක් තිබුණු නැති එක ඇත්ත. නමුත් එයට කලින් මගේ දනිස් දෙක ඔපරේෂන් කරලා තිබුණා. ඒ වගේ දේවල් සලකා බලලා තමයි මම විශ්‍රාම යන්න තීරණය කළේ.

ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට සෑහෙන කාලයක් හිටියා. හැබැයි අද ශ්‍රී ලංකා කණ්ඩායමේ එහෙම විශේෂ ජ්‍යෙෂ්ඨයෙක් කියලා නැහැ. හැමෝම ඉන්නේ සම වයසේ වගේ අය. එහෙම කණ්ඩායමක් ගැන ඔබේ මතය?

කණ්ඩායමක් හැදෙනකොට සාමාන්‍යයෙන් අලුත් ක්‍රීඩකයෝ ඉන්න ඕනේ වගේම අත්දැකීම් තියෙන ක්‍රීඩකයොත් ඉන්න ඕනේ කියන එක තමයි මගේ විශ්වාසය. අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ ඉන්න කොට, තරගයක පීඩනය වැඩි අවස්ථාවක තීන්දු තීරණ ගැනීමේදී ඒ ලබාගෙන ඇති අත්දැකීම් වැදගත් වෙනවා. එතැනදි ක්‍රිකට් වැඩියෙන් ක්‍රීඩා කරලා තියෙන කෙනාට ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දීලා ඔවුන්ට යම්තාක් දුරට අත්දැකීම් තියෙනවා. ඒ නිසා අත්දැකීම් තියෙන අය කණ්ඩායමේ සිටිය යුතුයි කියලා මම හිතනවා.

ජාත්‍යන්තර අත්දැකීම් සහිත පුහුණුකරුවෙක් හැටියට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලලා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔබ දෙන දැනමුතුකම කුමක්ද?

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මම දකින දේ තමයි හැමවෙලේම අපි විශ්වාස කරන්න ඕනේ රටක් හැටියට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. එතැනදි වැදගත්ම දේ තමයි ක්‍රීඩකයන්ට තමන් ගැන විශ්වාසය තියෙන්නේ ඕනේ මට මේ දේ කරන්න පුළුවන් කියන එක ගැන. ඒ වගේම පුහුණුකරුවන්ට විශ්වාසය තියෙන්නේ ඕනේ තමන්ගේ ක්‍රීඩකයන්ට මේ දේ කරන්න පුළුවන් කියන එක. අපි කරන හැමදේම සියයට සියයක් හරියන්නේ නැහැ. ඒකේ අනිවාර්යයෙන්ම අසමත්වීම් එනවා. එතකොට එතැන තියෙන ලොකුම කාර්ය තමයි කොහොමද ඒ අයව දිරිගන්වන්නේ කියන එක. ඒක කණ්ඩායම ඇතුළේ තියෙන එකක් විතරක් නෙමෙයි. ඒක තේරීම් කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ප්‍රේක්ෂකයා ගත්තත් ඒ හැමෝටම ඒ විශ්වාසය තියෙන්න ඕනේ. මේ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවාය කියන හැඟීමෙන් ඔවුන්ව දිරිගන්වන්න ඕනේ. මම හැමවෙලේම දකින දේ තමයි කණ්ඩායමක් අසාර්ථක වූ පළියට ඒ කණ්ඩායම අවතක්සේරු කළ යුතු නැහැ කියන එක. අපි එතැනින් කොහොමද ඔළුව උස්සන්නේ කියන එක තමයි බලන්න ඕනේ. මේ අවස්ථාවේ නම් අපේ කණ්ඩායම ඒ තත්ත්වයේ ඉන්නවා කියලා දකිනවා. දකුණු අප්‍රිකාව සමග එක්දින තරගාවලිය දිනුවා, ඉන්දියාව එක්ක දිනුවා. ජයග්‍රාහී මානසිකත්වය තියෙනවාය කියලා පේනවා. ඒ විශ්වාසයෙන් යුතුව මේ විදිහට දස්කම් දැක්වුවොත් ඉදිරි ලෝක කුසලානෙදි පවා ලංකාවට ලොකු ගමනක් තිබෙනවා.

අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙළාගත් දැවැන්ත සමාජ මාධ්‍ය හැසිරීමක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස? ඔබත් සාමාජ මාධ්‍ය භාවිත කරනවාද?

ඕනෙම දෙයක දෙපැත්තක් තියෙනවා. ඒක කොයි විදිහටද අපි හසුරවන්නේ කියන එක මතයි එය තීරණය වෙන්නේ. ට්විටර් ගිණුමක්, ෆේස්බුක් ගිණුමක් මමත් පාවිච්චි කරනවා. නමුත් අපි බලන්න ඕනේ ඒ දේවල් මොන විදිහටද, මොන අවස්ථාවටද අපි භාවිත කරන්නේ කියලා. සමාජ මාධ්‍ය කියන එකේ මම වැරැද්දක් දකින්නේ නැහැ. තමන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ.

ඔබට පසුගිය කාලය තම මවුරටෙන් බැහැරවෙලා ඉන්න වුණා විතරක් නෙමෙයි, ඒ රටේදිත් ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ තවදුරටත් හුදෙකලා වෙන්න සිද්ද වුණා. ඒ මානසිකත්වය ගැන යමක් කීවොත්..

ඒක ඇත්තටම අලුත්ම අත්දැකීමක් වුණා මටත්. නමුත් මම යන්න කලින් අවස්ථා දෙක තුනකදීම මම ජෛව ආරක්ෂණ බුබුළ යටතේ කටයුතු කරලා තිබුණා. විශේෂයෙන්ම ලෙජන්ඩ්ස් විස්සයි විස්ස තරගාවලිය ක්‍රීඩා කරද්දි සහ එල්.පී.එල්. තරගාවලියේදී ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ ඉන්න සිදුවුණා. අපි සාමාන්‍ය තරගාවලියක් ක්‍රීඩා කරනවාට වඩා මේ තත්ත්වය වෙනස්. නමුත් අපි හැම වෙලේම හිතන්න ඕනේ මොකක්ද අපේ අරමුණ, ඇයි අපි එතැනට ගිහිල්ලා ඉන්නේ කියන එක. ඒ ගැන වැඩිපුර කල්පනා කරලා වැඩ කළොත් ජෛව ආරක්ෂණ බුබුළකට වුණත් තමන්ට මානසිකව හැඩගැහෙන්න, දරගාන්න අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ කාලේ ලොකුම අභියෝගය. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ට තමන්ගේ පවුලේ අය එක්කවත් සම්බන්ධ වෙන්න බැරි අවස්ථාවක් තියෙන්නේ. ඒක අලුත්ම අභියෝගයක්. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ අභියෝගය භාර ගන්නම වෙනවා.

රංගන හේරත් කියන්නේ කවදාවත් බැණුම් අහපු නැති, විවේචනය වෙච්ච නැති හරි ආදරණීය චරිතයක්. එවැනි චරිතයක් ගොඩනැගෙන්නේ කොහොමද?

ඒකට මම මෙහෙම උත්තර දෙන්නම්. මට මෙහෙම සම්මුඛ සාකච්ඡාවකට වුණත් ආරාධනා කරන්නේ ක්‍රිකට් කියන ක්‍රීඩාව නිසානේ. ඒක තමයි ඇත්ත කතාව. මම ඒ ක්‍රීඩාවට සහ ඒකට ආදරය කරනවා ගරු කරනවා. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති මං සම්බන්ධයෙන් ඔය කියපු ගුණාංග ගැන කතා කරන්න හේතු වුණේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ