විශේෂාංග

යුරෝපයේ ප්‍රියතම රතු වතුර ගත්තේ මළ මිනී වලින්

පිළිකාවට අමූර් පොතු

2014 වසරේදී අග්න්‍යාශ පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා භාවිත කළ හැකි පෞරාණික ඖෂධයක් සොයා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. එනම්, ‘අමූර්’ ය. සහස්‍ර ගණනාවක් තිස්සේ චීන ජාතිකයන් අමූර් ගසෙහි (ෆෙලෝඩෙන්ඩ්‍රන් අමුරෙන්ස්) පොතු වේදනා නාශකයක් ලෙස භාවිත කර තිබිණි. ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින්ද සොයා ගනු ලැබූ පරිදි අමූර් පොතු නිස්සාරණයෙන් පිළිකා වර්ධනය වන මාර්ග අවහිර කළ හැකි ය.

ඖෂධය ශරීරයට ඇතුළු වූ පසු ෆයිබ්‍රොටික් පටක හරහා පිළිකා වර්ධනය වීම වැළැක්වේ. අමූර් ගසෙහි ගෙඩිය වටා ඇති කැළැල්ද මේ සඳහා වැදගත් වගකීමක් ඉටු කරන බව පෙනේ. මෙම ගෙඩි වර්ගය විසින් ශරීරයේ පැතිර පවතින අහිතකර එන්සයිම මර්දනය කරන අතර එමගින් පිළිකා රෝගීන් හට දැනෙන දැවිල්ල ගතිය අඩු කරන බව පර්යේෂකයෝ සොයා ගත්හ.

මමී තම්බා ගත් තෙල්

මධ්‍යකාලීන යුගයේ විසූ වෛද්‍යවරු ආදි යුගයේදී මමිගත කරන ලද පුරාණ ඊජිප්තු සිරුරු සිය වෛද්‍ය පර්යේෂණ සඳහා භාවිත කිරීමට පටන් ගත්හ. නිදසුනක් වශයෙන්, 1424 වසරේදී කයිරෝවේ බලධාරීහු පිරිසක්, කවුරුන් හෝ විසින් වධහිංසා පමුණුවන ලද පුද්ගලයන්ගේ මළසිරුරු කිහිපයක් හා සොහොන්වලින් ඉවත් කර ගන්නා ලද මමි සිරුරු කිහිපයක් සොයා ගත්හ. විශේෂයෙන් එම මමි උණු වතුරේ තම්බාගෙන තිබූ අතර එහිදී මතුපිටට නැගුණු තෙල් එකතු කරගෙන තිබෙන බව පෙනිණි. තවදුරටත් සොයා බැලීමේ දී මෙලෙස එකතු කර ගන්නා ලද තෙල්, බර අනුව සියයක් රන් කැබලි 25 ගණනේ යුරෝපීයයන් වෙත විකුණා තිබිණි. අදාළ වෙළෙඳාමෙහි යෙදී තිබූ මිනිසුන්ගෙන් බොහොමයක් සිරගත කෙරිණි. කෙසේ වුවත් මළසිරුරුවලින් ලබා ගන්නා ලද තෙල් මිළට ගෙන තිබුණේ යුරෝපීය වෛද්‍යවරුන් පිරිසක් බව සැඟවිය නොහැකි විය.

1580 ගණන්වල, ෂේක්ස්පියර්ගේ කාලයේදී ඊජිප්තුවේ සංචාරය කළ එක් බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු පවසා තිබුණේ ඔහුට කයිරෝ නුවර පිරමිඩයක තිබී සම්පූර්ණයෙන්ම රෙදි ගලවා ඉවත් කරන ලද අමු මමියක් දැක ගැනීමට ලැබුණු බවයි. මේ පිළිබඳ බලධාරීන් දැන සිටියාද? නැද්ද? යන්න සැක සහි ය.

තවද ඒ කාලයේදීම බ්‍රිතාන්‍ය වෙළෙඳ නාවිකයකු වූ ජෝන් සැන්ඩර්සන් නමැත්තා රාත්තල් හයසියයකට අධික බරකින් යුත් මමි සිරුරු කිහිපයක් සිය නැවට පටවා ගැනීමට උත්සාහ කිරීමේදී හසු වී තිබිණි.

17 වැනි ශතවර්ෂයේ අගභාගයේදී වෛද්‍ය විද්‍යාව සඳහා මමි සිරුරු යුරෝපයට ගෙන ඒම වඩාත් අපහසු විය. ඒ අනුව ඊජිප්තුවේ වෙළෙන්දෝ යුරෝපීය ඉල්ලුම සපුරාලීම සඳහා මියගිය ලාදුරු රෝගීන්ගේ, යාචකයන්ගේ හෝ ඔටුවන්ගේ මස් පුලුස්සා ‘ව්‍යාජ මමි’ බවට පත් කළහ. එයද හසුවූ තැන ඔවුහු කැනරි දූපත්වලින් ‘ගුවාන්ච් මමී’ (ගුවාන්ච් ප්‍රදේශයේ මමිගත කරන ලද සිරුරු) කොල්ල කෑහ.

රතු බෙහෙත්

අද අප නොයෙක් සුළු සුළු රෝගාබාධ සඳහා පාට පාට පැණි වර්ග බොන්නාක් සේ ආදි යුගයේ ජනතාවද වර්ණවත් පැණි බීමට ඇබ්බැහිව සිටි බව පෙනේ. එයිනුත් ඔවුන් වඩාත් ආශා කර තිබුණේ රතු පැහැ බෙහෙත් වතුර පානය කිරීමටයි. එනමුත් එම ඖෂධ සෑදීම වෙනුවෙන් වෛද්‍යවරුන් භාවිත කර තිබුණේ පිළිකුල් සහගත උපක්‍රමයකි.

වඩා රතු පැහැගත් සම ඇති මිනිසෙක් මියගිය පසු ඔහුගේ මිනී වළ සොයා ගත යුතුය. අදාළ පුද්ගලයා සියලු ශරීරාංගවලින් සම්පූර්ණ, කැළැල් නොමැති, නැවුම්, වයස අවුරුදු විසිහතරක පමණ පුද්ගලයකු විය යුතු අතර, ඔහු කිසිදු රෝගයක් වැලඳීමෙන් නොව හදිසි අනතුරකින් මියගිය පුද්ගලයකු විය යුතුය. දෙවනුව මළ සිරුර ගොඩ ගෙන, එය දිවා රෑ දෙකෙහි සඳ කිරණවලට නිරාවරණය වීමට තැබිය යුතුය. ඉන්පසුව අදාළ මළසිරුරේ මාංශ පේශි කපා, සුවඳ ලාටු කුඩු සහ කෝමාරිකා ස්වල්පයක් වත් කර එය පොඟවා, මෙළෙක් වීමට ඉඩ හැරිය යුතුය. අනතුරුව සිරුර වියළී යන තෙක් ඉතා වියළි හා සෙවණ සහිත ස්ථානයක එල්ලා තැබිය යුතුය. මේ සියල්ල නිවැරදි ව සිදු වූ කල එල්ලා තිබෙන මළසිරුර දිගේ රතු පැහැති දියරයක් වෑස්සෙනු දැකිය හැකිය. ජනතාව ආශා කළ රතු බෙහෙත් වතුර ලෙස යොදා ගැනුණේ මේවායි.

මතභේදාත්මක වෛද්‍ය ප්‍රතිසංස්කරණවාදියකු වන පැරසෙල්සස්ගේ (ක්‍රි.ව. 1541) අනුගාමිකයන් අතර මෙම වට්ටෝරුව වඩාත් ජනප්‍රිය විය. ඔහුගේ අනුගාමිකයන්ගෙන් බොහෝ දෙනෙක් අදාළ මිනී බෙහෙත් වතුර විකිණීමෙන්ම අතිශයින් බලවත් වූහ. එකල බ්‍රිතාන්‍ය රජය විසින් උග්‍ර පැරසෙල්සියානුවාදියෙකු වූ ශ්‍රීමත් තියඩෝර් ටර්කෙට් ඩි මයර්න් (1573-1655) නමැති වෛද්‍යවරයා නිවැරදිම ‘යුරෝපීය වෛද්‍යවරයා’ ලෙසින් නම් කර තිබිණි. ඔහුගේ දීර්ඝකාලීන වෘත්තීය ජීවිතය තුළ ඔහු සිවු වන හෙන්රි, එළිසබෙත් රැජිනගේ රාජ්‍ය ලේකම් වූ රොබට් සිසිල්, පළමුවැනි ජේම්ස්, ජෝන් ඩොන්, පළමුවැනි චාල්ස්, දෙවැනි චාල්ස් සහ ඔලිවර් ක්‍රොම්වෙල් ආදීන් හට මෙම මිනී වතුර භාවිතයෙන් ප්‍රතිකාර කර තිබිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි