Uncategorized

යුනියන් ඇෂුවරන්ස් සමාගම COVID-19 පිළිබඳව දැනුවත් කිරීමේ‘ආරක්ෂාවේ වගකීම ඉටුකරමු’ වැඩසටහන දායක වෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ‘ඉටුකම’ එක්ව ආරම්භ කරන ලද, COVID-19 රෝගය සහ ඉන් ආරක්ෂා වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් ‘ආරක්ෂාවේ වගකීම ඉටුකරමු’ වැඩසටහනට දායක වීමට තමන්ට අවස්ථාව ලැබුණු බවත්, එය තමන් ලද ගෞරවයක් බවත් යුනියන් ඇෂුවරන්ස් සමාගම නිවේදනය කරයි. COVID-19 රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, එහි පැතිරීම පාලනය කර, මෙම වසංගත තත්ත්වය මගින් රටටත් ජනතාවටත් ඇතිවන බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.

වසංගත තත්ත්වයන් මර්ධනය කිරීමේ උත්සාහයන් වලදී ජනතාව දැනුවත් කිරීම සහ ඒ ඔස්සේ ඔවුන්ගේ ආකල්ප හා හැසිරීම් රටාවන් වෙනස් කිරීම කෙතරම් වැදගත්ද යන්න විවිධ පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. එලෙස ජනතාව දැනුවත් කිරීමට නම්, විධිමත් හා පුළුල් මහජන සෞඛ්‍ය දැනුවත් කිරීම් වැඩසටහන් සංවිධානය කිරීම අත්‍යවශ්‍ය වේ.

පසුගිය ඔක්තෝබර් 19 වැනි දින, ‘ආරක්ෂාවේ වගකීම ඉටුකරමු’ යන තේමාව යටතේ, තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාව තහවුරු කිරීමට දායක වීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ විය. මූලික වශයෙන් ඩිජිටල් මාධ්‍ය වැඩසටහනක් වන මෙහිදී, සාම්ප්‍රදායික රූපවාහිනී නාලිකා සහ බාහිර ප්‍රචාරණ මාධ්‍ය වල දායකත්වය සමගින් වීඩියෝ දර්ශන සහ තොරතුරු මාලාවක් ප්‍රචාරණය කෙරේ.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “COVID-19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහන් වලට අපගේ පූර්ණ සහයෝගය හිමිවෙනවා. මේ මොහොතේ කළ යුතු වැදගත්ම දෙය වන්නේ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම බව පැහැදිලියි. වගකීම් සහගත සමාගමක් ලෙස, මේ ජාතික මෙහෙවරට දායක වීම අපගේ වගකීමක් කියා අප සිතනවා. මේ පණිවිඩය රට පුරාම ව්‍යාප්ත කරමින්, COVID-19 රෝගය සමාජය තුළ පැතිරීමට ඇති ඉඩකඩ මෙන්ම එවැනි තත්ත්වයකින් රටට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම අපගේ ඉලක්කයයි.”

ශ්වසන මාර්ගය ආශ්‍රිත අනෙකුත් රෝග තත්ත්වයන් මෙන්ම COVID-19 රෝගය පාලනය කිරීමටද මහජන සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන අතිශයින් වැදගත් වේ. රෝගී වූ විට නිවසෙන් පිටතට නොයා සිටීම, කහින විට හෝ කිවිසුම් යවන විට නවන ලද වැළමිට හෝ ටිෂූ කඩදාසියක් මගින් මුඛය හා නාසය ආවරණය කරගැනීම, පාවිච්චි කරන ලද ටිෂූ කඩදාසි ප්‍රවේශම් සහගත ලෙස බැහැර කිරීම, සබන් හා ජලය යොදා හොඳින් දෑත් සේදීම, නිතර ස්පර්ශ කරනු ලබන භාණ්ඩ හා මතුපිටවල් නිතිපතා විෂබීජහරණය

කිරීම වැනි ක්‍රියාමාර්ග මෙහිදී ප්‍රධාන තැනක් ගනී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන තුළදී මෙවැනි පුරුදු අනුගමනය කරමින් තමන් ආරක්ෂා වන අතරම, අන් අයගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වගකීම් සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙනු ඇත.