කතුවැකි

යුද හමුදාව ඉන්නේ නීතියට උඩින්ද?

යුද හමුදාවේ ඉහළම නිලධාරියකු වන ජීවී නිලධාරින් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සවස් වන විටත් කිසිදු පරීක්ෂණයක් සිදුව තිබුණේ නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර නොගතහොත් වෘත්තීය අරගලයකට පිවිසෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයන් අනතුරු අඟවා තිබේ. අප දකින ආකාරයට මෙම සිදුවීම යුද හමුදා නිලධාරින් පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කිරීම හෝ පරුෂ වචනයෙන් බැණ වැදීමට වඩා බරපතළ කාරණයක් මෙම සිදුවීම පිටුපස සැඟව තිබේ.

තොරතුරු වාර්තාවන ආකාරයට සිදුවීමට මුල් වී ඇත්තේ හබරණ වන උද්‍යානයෙන් අලි පැටවෙක් සොරකම් කිරීමේ සූදානමක් ඇති බවට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසියකදීය. අලි පැටව් සොරකම සිදුවිය හැකි බවට වාර්තා වූ ස්ථාන කිහිපයකම යුද හමුදා භට පිරිස් පසුගිය දිනවල සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ. යුද හමුදාව අලි පැටව් සොරකමට සම්බන්ධ යැයි අප කියන්නේ නැත. එහෙත් අනුරාධපුර 21 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද රත්නායක ප්‍රමුඛ භට පිරිස කටයුතු කර ඇත්තේ ඒ පිළිබඳ සැකයක් ඇතිවන පරිදිය.

අලි පැටව් ජාවාරම පසුගිය කාලයක් තිස්සේ මෙරට සිදු වූ අපරාධයකි. ඒවාට සම්බන්ධ වූයේ නමගිය අපරාධකරුවන් නොව සමාජයේ ප්‍රභූන්, ධනවතුන්ය. ඇතැම් බෞද්ධ භික්ෂූන්ද ඊට සම්බන්ධ වී සිටියේය. අලි ජාවාරමෙන් ධනවත් වූ අයද සිටිති. හබරණ සිදුවීම සත්‍යයක් නම් දැන් යළිත් එම අපරාධකාරී ජාවාරම ආරම්භ වී තිබේ. ඒ ගැන වෙනම සොයා බැලිය යුතුය. ඒ සඳහා හමුදා නිලධාරින් පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීම යටපත් කරන්නට ඉඩ නොදී ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුමය.

පළමු වරට මෙරටදී උපත ලද නිවුන් අලි පැටවුන් දෙදෙනා සිටින්නේ හබරණ වන උද්‍යානයේය. අලි ජාවාරම්කරුවන්ගේ ඉලක්කය වන්නට ඇත්තේ එම පැටවුන් දෙදෙනාම හෝ එක් අයකු විය හැකි යැයිද සැකයක් මතුව තිබේ. පසුගිය වසරේ අලි ඇතුන් 327 දෙනකු මියගොස් ඇති අතර මේ වසරේ මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 158 කි. දුම්රියේ හැපීම වැනි කාරණාද මෙම මරණවලට හේතු වී ඇති නමුත්, අලි පැටව් සොරකම් කරන අපරාධකාරයන්ද මෙම මරණවලට වගකිව යුතුය. අලි මව හෝ රැ‌ළේ වැඩිහිටි අලි මරා දමා හෝ පලවා නොහැර අලි පැටවකු පැහැරගෙන යා නොහැකි නිසාය.

කවුරු අලි සොරකම් කළත් මේ දක්වා යුද හමුදාවට එම චෝදනාව එල්ල වී තිබුණේ නැත. මේ නිසා හිටපු සෙනෙවියකු වූ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම යුද හමුදාපතිවරයාද මේ ගැන වහාම සොයා බැලිය යුතුය. චෝදනාව එල්ල වී ඇත්තේ සාමාන්‍ය සේවකයකු හෝ සුළු නිලධාරියකුට නොව යුද හමුදාවේ ඉහළම නිලයක් වන මේජර් ජෙනරාල් නිලයේ සිටින නිලධාරියකුටය.

මෙම චෝදනාව සත්‍ය හෝ අසත්‍ය වුවත් චූදිත මේජර් ජෙනරාල්වරයා හැසිරී ඇත්තේ තමන්ගේ නිලයට ගැළපෙන ආකාරයට නොව, ඇඟේ තරමට මොළය වැඩී නැති පාතාලයකු ලෙසිනි. ඔහුගේ එම අම්බරු හැසිරීමෙන් පසුත් තමන් වරදක් කළ බව පිළිගන්නේ නැත. ඔහු කියන ආකාරයට වනජීවී නිලධාරින්ට හමුදා නිලධාරින් නවත්වා ප්‍රශ්න කිරීමට අයිතියක් නැත. එම පදනම මත ඔහුද, වනජීවී නිලධාරින්ට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබේ.

යුද හමුදාවේ මේජර් ජෙනරාල් නිලයේ සිටින නිලධාරියකුට මෙරට නීතිය ගැන දැනුමක්, අවබෝධයක් නැතැයි පිළිගන්නේ කෙසේද? වනජීවී නිලධාරින්ට සැක සහිත ඕනෑම තැනකදී, ඕනෑම කෙනකු ප්‍රශ්න කිරීමට, පරීක්ෂා කිරීමට බලය ඇත. කිසිවකු ඔවුන්ගේ රාජකාරියට බාධා කරන්නේ නම් වරෙන්තුවකින් තොරව ඔහුව අත්අඩංගුවට ගැනීමේ බලයද ඔවුන් සතුය.

මෙ රට තිස්වසරක යුද්ධයෙන් නිදහස් කර ගැනීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් යුද හමුදාව කෙරෙහි ගෞරවයක් අදටත් කා තුළත් තිබේ. කොරෝනා වසංගතයෙන් රටත් ජාතියත් නිදහස් කර ගැනීමටද ඔවුහු අගනා සේවයක් ඉටු කරමින් සිටිති. හෙට දවසේත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් නොව ඕනෑම ස්වභාවික ව්‍යසනයකදී පවා යුද හමුදාව පෙරට එන බවට කිසිවකුට සැකයක්ද නැත. එසේ වුවත් යුද හමුදාවද රටේ පොදු නීතියට යටත් බව යුද හමුදාවේ ඉහළ සිට පහළට සියලු දෙනා සිහිතබා ගත යුතුය.

තරුණියක මරණයෙන් බේරාගත්තේ නමුත් ඒ නාමයෙන් කිසිවකුට ඇයව දූෂණය කරන්නට වරමක් හිමි වන්නේ නැත. නමුත් හබරණ සිදුවීමෙන් පෙනී යන්නේ තමන් රටේ පොදු නීතියට අවනත නොවන බව සිතන හමුදා නිලධාරින්ද ශ්‍රී ලංකා යුද හමුදාව තුළ සිටින බවය.

යුද හමුදාවේ බහුතරයක් විනයගරුකව, නීතිගරුකව, තම රාජකාරිය පමණක් නොව සාමාන්‍ය ජීවිතය පවා ගත කරමින් සිටින නමුත් නීතිය නොසලකා ඊට පිටින් කටයුතු කරන හමුදා සෙබළුන් මහා මාර්ගවලදී පවා දකින්නට ලැබේ. රටපුරා මත්පැන් අලෙවිසල් වසා තිබියදී අනුරාධපුරයේ සතොස ගබඩාවෙන් මත්පැන් තොගයක් රැගෙන ගියේද හමුදා නිලධාරින් පිරිසකි. නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදටත් පරීක්ෂණයක් නැත. වරදකරුවන්ට ගත් පියවරක් නැත.

හමුදා නිලධාරින්ගේ මෙවන් අත්තනෝමතික ක්‍රියාවන් ගැන නිහඬව සිටියහොත් යුද හමුදාවද, පොලිස් දෙපාර්තමේන්තුවේ තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් නෑසූ කන්ව සිටීමෙන් සිදුවිය හැකි ලොකුම හානිය වන්නේ යුද හමුදාවට රටේ නීතියට ඉහළින් කටයුතු කළ හැකි බවට සමස්ත යුද හමුදාව තුළ වැරදි වැටහීමක් ඇති වීමය. මේජර් ජෙනරාල්වරුන්ට නීතියට පිටින් ඕනෑම දෙයක් කළ හැකි නම් අපට නරකදැයි සාමාන්‍ය සෙබළුන් සිතීමට පෙලඹුණහොත් කුමක් සිදුවනු ඇත්ද?

අනෙක් අතට දිගින් දිගටම යුද හමුදාවේ ඉහළම නිලයන් පවා රටේ පොදු නීතිය නොතකා කටයුතු කළත්, ඔවුන්ට එරෙහිව පියවර නොගතහොත් සියල්ල සිදුවන්නේ ඉහළම හමුදා නායකත්වයේ අනුදැනුම මත යැයි ජනතාව සිතන්නට ඉඩ තිබේ. ඒ අනුව රටේ ඇත්තේ හමුදා නීතියක් යැයි ජනතාව තුළ කුතුහලයක් ඇති වීමද වළක්වන්නට බැරිවනු ඇත.