විශේෂාංග

යුද හමුදාවෙන් ගොවි හමුදාවක්

යුද්ධය පැවැති කාලයේ රට්ටු කතා වුණේ කොමාන්ඩෝ විශේෂ බළකා, සිංහ, ගැමුණු, ගජබා, විජයබා, වැනි පාබළ රෙජිමේන්තුවල දස්කම් ගැනය. ඔවුන් පා ගමනේ ගොස් සතුරාට පහර දෙද්දී කාලතුවක්කු සන්නාහ සන්නද්ධ බළකා, කොටින්ට බර අවිවලින් පහර දුන්නෝය. සිවු වැනි ඊළාම් යුද්ධය යන අතරේ ඒ සැණින් ගොස් පහරදීමට යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව ඇරඹුණේය. යුද්ධය අවසන් වී දස වසක් ගත වනවිට මේ සියලු රෙජිමේන්තු දැන් සිටින්නේ විවේක සුවයෙනි. ඒ ඔවුන්ට තවදුරටත් සටන් කරන්නට සතුරන් නැති බැවිනි.

එනමුත් දැන් රට පුරා තැනින් තැන බිහි වෙමින් සිටින අලුත් සතුරකු මර්දනය කිරීමට යුද හමුදාව ගිය සතියේ සීරුවෙන් සිටගත්තේය. ඒ සතුරා බඩගිනි සතුරාය. එම සතුරාට ජාති, ආගම්, භේදයක් නැත්තේය. උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර කියා වෙනසක් නැත්තේය. මේ සතුරාට මුහුණ දීමට යුද හමුදාව ආරම්භ කළ රෙජිමේන්තුව කෘෂිකර්ම හා පශු සම්පත් බළකායයි.

1970 වසරට ප්‍රථමයෙන්ද අපේ රටේ ගොවි හමුදාව නමින් සුවිශේෂී හමුදා සේනාංකයක් තිබුණි. රජරට ගොවි ජනපද පිහිටුවීමේදී මෙම ගොවි හමුදාව විසින් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කර ඇත්තේය. ගොවි හමුදාවේ සෙබළු කාකි කොට කලිසම්වලින් සැරසී සිටි අතර එහි සෙබළුන් කළේ ඩෝසර් හා යන්ත්‍රසූත්‍රවලින් කළ නොහැකි තැන්වල ඇළවේලි කැපීම කැලෑ එළිකිරීම ගොවිබිම් සැකසීම ආදියයි. ගොවි හමුදාවයැයි කීවත් මෙම හමුදාව එකල තිබූ හමුදාවට නම් අයත් වූයේ නැත.

ඒත් පසුගිය 07 වැනිදා ස්ථාපිත කළ කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය එදා පැවති ගොවි හමුදාව මෙන් නොව ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ක්‍රියාත්මකවීම සුවිශේෂත්වයකි.

මෙම බළකායේ නිර්මාතෘවරයා වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අරමු​ණින් යුතුවය.

වැව් ප්‍රතිසංස්කරණය, පොදුපහසුකම් සංවර්ධනය, නාගරික අලංකරණය, මාර්ග ඉදිකිරීම, පැළ රෝපණය, ව්‍යායාම මංතීරු ඉදිකිරීම, විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් හමුදාවට පැවරුණ වගකීම් අතරේ විය. අලුතින් ආරම්භ කළ කෘෂිකර්ම හා පශු සම්පත් බළකායට යුද හමුදාවේ හැකියාවන් විදහා දක්වමින් ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයට උරදීමේ විශේෂ වගකීමක් පැවරී ඇත්තේය.

මේ සඳහා මුලපිරුණේ යුද හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව ඇරඹී ‘‘තුරු මිතුරු නව රටක්’’ ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතිය යටතේ මූලිකව ඇර​ඹුණේ වගා කළ හැකි පුරන් වූ කුඹුරු හා අත්හැර දමන ලද වගා බිම් යළි වගාකිරීමයි. ඒ සඳහා යුද හමුදාව සතු ඉඩම් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉඩම්ද තෝරා ගැනුණි.

නවීන තාක්ෂණය හා දැනුම උපයෝගී කර ගනිමින් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීම මගින් කෘෂි ව්‍යවසායකයන් ලෙස ගොවීන් සවිබල ගැන්වීම මෙහිදී අරමුණු වූ බව මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කඳනආරච්චි පෙන්වා දෙන්නේය.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ ජනරාල් ලෙසින් මෙම භාරදූර කාර්යය පැවරී ඇත්තේ යුද හමුදා සේවා බළකායේ කර්නල් සේනා විධායක මේජර්​ ජෙනරාල් ඉන්ද්‍රජිත් කඳනආරච්චිටය.

කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීමට රටපුරා සිටින ගොවි ජනතාව ජාලගත කර අවශ්‍ය සම්පත් දායකත්වය දී එමගින් ඔවුන් රටේ කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික අවශ්‍යතාවට පෙලඹවීම ඉලක්කය බව මේජර් ​ජෙනරාල් කඳනආරච්චි පෙන්වා දෙන්නේය.

මෙහිදී දිවයින පුරා විසිරුණු ක්‍රමවත් කෘෂිකාර්මික උපාය මාර්ගික සැලැස්මක් ක්‍රියාවට නැංවුණේය. රටෙහි ආහාර අවශ්‍යතාව සපුරාලීමට උරදෙන අතරේ අනාගත ආහාර සුරක්ෂිතතාව සඳහා යාන්ත්‍රණයක් සැකසීම යුද හමුදාපතිවරයා මෙම බළකායට පැවරූ ඉලක්කය විය.

මෙම නව බළකාය ඇරඹීමට සත් මසකට පෙර යුද හමුදාපතිවරයා පැවරූ ඉලක්කය කරා යමින් මුලින්ම ඇරඹුණේ සහලින් රට ස්වයංපෝෂිත කරවන වැඩසටහනයි. ඒ යටතේ ඇරඹි සහල් නිෂ්පාදන වැඩසටහන දේශීය සහල්වලට මෙන්ම කාබනික වගාවට මුල් තැන දෙමින් ආරම්භ විය.

පුරන් කුඹුරු ඇතුළු අක්කර දහස් ගණනක කුඹුරු අස්වැද්දීමට කටයුතු යෙදුණේ මූලික පියවර වශයෙනි. බත්තරමුල්ල ත්‍රිවිධ හමුදා මූලස්ථානය ආසන්නයේ වූ අත්හැර දමන ලද කුඹුරුයාය සරුසාර වන්නෙත් තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියේ ආරම්භයක් ලෙසිනි.

ප්‍රාථමික තත්ත්වයේ තිබූ යුද හමුදාව සතු කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලම්කුලම්, ගල්කන්ද හා පලටුපාල ගොවිපොළවල් පණ ගන්වන්නේ මෙම ව්‍යාපෘතිය යටතේය. එම ගොවිපොළවලට අවශ්‍ය නවීන පහසුකම් සපයාලමින් ඵලදායී ගොවිපොළ පහක් බවට පත්වන්නේ ඒ සමගම තවත් ගොවිපොළ හතරක්ද බිහිවන්නේය. ඒ බලල්ල, නිරාවිය, ආඩියාපුලියන්කුලම්, කොහිලවගුරවත්ත ගොවිපොළවල්ය.

සහල් නිෂපාදන වැඩසටහනින් පසුව අක්කර දහසක පොල්වගා කිරීම ගොවි හමුදාව ඇරඹී ව්‍යාපෘතියකි. එම අක්කර දහසේ පොල් වගා ව්‍යාපෘතියට මුල පුරමින් දැනටමත් අක්කර තුන්සියයක පොල් පැළ දහනව දහසක් සිටුවා අවසන්ය. කන්දකාඩු, මැණික්ෆාම්, වේල්ලක්කුලම්හි අක්කර දහසක ව්‍යාපෘතිය අවසන් කළ පසුව රටේ පොල් හිඟයට අනාගත විසඳුමක් ලබාදී වෙළෙඳපොළ අවශ්‍යතාව ජයගැනීමටද හැකියාව නුදුරේදී ලැබෙන්නේය.

මෙම නව බළකාය මීළඟට අත ගසන්නේ රටේ ඇති කහ හිඟයට විසඳුමක් දෙන ව්‍යාපෘතියටය. කහ පැළ ලක්ෂයක් වගා කර බීජ කහ නිෂ්පාදන ව්‍යාපෘතියක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය සමග අරඹන්නේ ඒ සඳහාය. රට පුරා ඇති කහ හිඟයත් සමග ගොවීන් රට පුරා කහ වගා කර අස්වැන්න කල්තියාම නෙළන්නට වූයේ අමු කහ කිලෝව රුපියල් දහසට ඉහළ යද්දීය.

කහ අස්වනු දිගින් දිගටම වෙළෙඳපොළට යොමු කරද්දී කහ බීජ හිඟයක් අනාගතයේ ඇතිවිය හැකි බව විශ්ලේෂණය කර කහ බීජ වගා කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම පශු සම්පත් බළකාය අරඹන්නේ අම්බලන්ගොඩ, කොහිලවගුරවත්තේ ගොවි පොළේදීය. ඊට අමතරව කුරුණෑගල, බලල්ලේ ගොවිපොළේ කහ බීජ අක්කර පහක්ද, නීරාවිය මහවැලි ගොවිපොළේ අක්කර විස්සක්ද වගා කෙරුණේය. අම්පාරේ ගොවීන්ටත් කහ බීජ ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹූ බව මේජර් ජෙනරාල් කඳනආරච්චි පෙන්වා දෙයි.

කෘෂිකර්ම අපනයන දෙපාර්තමේන්තුවේ සහාය මැද රුපියල් ලක්ෂ 1040ක් වැය කර මිරිස් අක්කර දෙසියක වගාවකට මුල පුරන්නේද අනාගත සැලසුම් ඉලක්ක කරගෙනය.

කන්දකාඩුවල අක්කර සියයක් හා මැණික්ෆාම්හි අක්කර පනහක් වගා කරන්නේ මිරිස් ඵලදාව ලබා ගැනීමටය. එහි කන්නයක අපේක්ෂිත ලාභය රුපියල් ලක්ෂ 1200කි.

ලංකාව පුරා එකවර අක්කර දෙසීයක මිරිස් වගා කරන ව්‍යාපෘතියක් රාජ්‍ය මට්ටමින් ඇරඹෙන්නේ පළමුවරටය. වෙළෙඳපොළට අක්කර 150ක ඵලදාව නිකුත් කරන අතරේ තවත් අක්කර පනහක මිරිස් බීජ නිෂ්පාදනය සඳහා වගා කරන්නේ අනාගත ප්‍රයෝජනය සඳහාය.

පිටරටින් බීජ ගෙන්වන තුරු නොසිට මෙරට ගොවීන්ට බීජ හිඟයකින් තොරව දේශීය වගාවන්ට උචිත බීජ නිකුත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.

අක්කර දෙදහසක කජු වගා ව්‍යාපෘතිය, හා අක්කර පන්සියයක ටොම් ජේ.සී. අඹ ව්‍යාපෘතිය මෙම වගාවන් අතරට එක් වූ තවත් අංගයකි. අක්කර පන්සියයක අඹ ව්‍යාපෘතිය සඳහා පැළ හතළිස් දහසක් සිටුවා තිබුණේ රුපියල් ලක්ෂ හත්සියයක් අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ආයෝජනය කරද්දීය.

මෙම වගා ව්‍යාපෘතීන්වලට අමතරව නව බළකායට ගව පාලනය සඳහාද වගකීම් පැවරෙන්නේ ජීවානුහරිත කල්කිරි, යෝගට්, මුදවපු මී කිරි නිෂ්පාදන ව්‍යාපෘති සඳහාය. යුද හමුදාවට බිත්තර පිටතින් ලබා ගැනීම වෙනුවට හමුදා ගොවිපොළෙන්ම එම අවශ්‍යතාව සපුරාලන්නට ලේයර් සතුන් ලක්ෂයකින් යුත් බිත්තර නිෂ්පාදන ව්‍යාපෘතියක් ඇරඹෙන්නේය. මෙම ගොවිපොළෙන් මාසිකව යුද හමුදා සුබසාධන අංශය හා සේවා වනිතා ශාඛාවෙන් බිත්තර ලක්ෂය බැගින් වෙළෙඳපොළට ලබාදීමද අරමුණ වී ඇත.

කැලෑ සලාක මලු නිෂ්පාදනයද මෙම නව බළකායට පැවරුණ තවත් වගකීමකි.

තක්කාලි සෝස් නිෂ්පාදන ව්‍යාපෘතියක්ද මේ අතරේ ඇත්තේය. ගොවීන්ගේ තක්කාලි විකුණාගත නොහැකිව කුණු වී යන කාල පවා තිබුණද ඒවා නිසි ලෙස කළමනාකරණය කර ඵලදායී අයුරින් යොදා ගැනීමට මෙතෙක් වැඩපිළිවෙළක් නොවීය. රටේ අවශ්‍යතාව සඳහා තක්කාලි සෝස් මෙට්‍රික් ටොන් ගණනින් මෙරටට ආනයනය කරන්නේ මේ නිසාය.

විදෙස් රටවලට ඇදී යන මුදල් රට ඇතුළේම සංසරණය කරලීමට මෙම තක්කාලි සෝස් ව්‍යාපෘතිය ඇරඹීම එක් බලාපොරොත්තුවකි.

මීට අමතරව කොම්පෝස්ට් නිෂ්පාදනය, ලුණු නිෂ්පාදන ව්‍යාපෘතියට අමතරව තේ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමටද මෙම බළකායට පැවරී ඇත.

අනාගතයේදී කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, ශීතාගාර පහසුකම් ඇතිකිරීම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය දියුණු කිරීම මෙන්ම ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්‌යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ නව බළකායට ඇති සෙසු අභියෝගයන්ය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා