විශේෂාංග

යුද්දෙන් පස්සෙ ගමට යන්නත් අවසර පතක්!

ඔබ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගර මධ්‍යයේ සිට මවුන්ට් බේ (Mount Bay) මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම බස් රථයක වෙස්ටර්න් ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාල ප්‍රධාන බස් නැවතුම දක්වා ගොස් එතැන් සිට විශ්වවිද්‍යාල භූමිය මැදින් ස්වෝන් (Swan) ගංගාව දක්වා ඇති මාර්ගයේ කෙටි දුරක් ගමන් කළහොත් කුඩා ස්මාරකයක් හමුවනු ඇත. එය රතු පැහැති ගලක තඹ තහඩු ඔබ්බවා සකස් කළ ස්මාරකයකි.

ඔබ එය නිරීක්ෂණය කළහොත් පාෂාණයට ඔබ්බවා ඇති මුල් තඹ පුවරුවේ ගුවන් යානයක රූපයක් හා කොන්ටාස් කැතලිනා මෙමෝරියල් (Qantas Catalina Memorial) යන මාතෘකාව යටතේ යටි විස්තරයක් සඳහන් කර ඇති අයුරු දැකගත හැකිවනු ඇත. ඊට පහළින් තිබෙන තඹ තහඩුවේ කැටයම් කර තිබෙන්නේ සිතියමකි. ඒ සිතියමේ ඔස්ට්‍රේලියාව ඊට ඉහළින් පිහිටා තිබෙන මලයානු අර්ධද්වීප කලාපය හා ඉන්දියාව දැක්වේ. ඉන්දියාවට පහළින් ශ්‍රී ලංකාවද පෙනෙන්නට තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ සිතියමේ ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට ශ්‍රී ලංකාව දක්වා ඉන්දියන් සාගරය හරහා කඩ ඉරකින් සම්බන්ධ කර තිබීමය. දෙරට කඩ ඉරකින් සම්බන්ධ කර සිහිවටනයක් ගොඩ නැගීමට තරම් වැදගත් වූ ඒ කතාව පහතින් දැක්වේ.

මෙම මෙහෙයුම ඔස්ට්‍රේලියාවේ කොන්ටාස් ගුවන් සේවයේ නමින් සිදුකළද සැබැවින්ම එය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාව මගින් සිදු කරන ලද්දක් විය. කොන්ටාස් හි සේවකයන් ලෙස මෙම ව්‍යාපාරයට සම්බන්ධව සිටි ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් ආදී සියලුදෙනා ගුවන් හමුදා නිලධාරීන් බව හෙළිව ඇත්තේද එය අවසන් වීමෙන් පසුවය. ජපනාට ආසියාවේදී පසුබැසීමට මෙන්ම ඔස්ට්‍රේලියාව දෙසට හැරෙන්නට නොහැකි වීමටද ප්‍රධාන හේතුවක් ව ඇත්තේද මෙම රහස් සන්නිවේදන මෙහෙයුම නිසි පරිදි සිදුවීම බව සඳහන්ය. එසේම රහස් මෙහෙයුම ක්‍රියාත්මක වූ වසර දෙකක පමණ කාලය තුළදී ජපනාට මේ ගැන
හාංකවිසියක්වත් නොදැනෙන ලෙස සිදු කිරීමට හැකිවීම මෙම මෙහෙයුමේ සාර්ථකත්වයට හේතුවී තිබේ.

මෙම මෙහෙයුම දෙවරක් හිරු උදාවීම යන අර්ථය ඇති Double Sunrise යනුවෙන් නම් කිරීමට හේතුව වී ඇත්තේ අවම වශයෙන් පැය 48කට අධික කාලයක් ගත වන මෙම ගුවන් ගමනේදී දෙවරක් හිරු උදාවනු නැරඹීමට හැකි වන බැවිනි.

කුඩා ගුවන් යානයක එතරම් කාලයක් එකදිගට රැඳී සිටීම ඉතා අපහසු විය. එමෙන්ම ඉතා අනතුරුදායක ගමනක් විය. සියලු රේඩියෝ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර ගමන් කළ බැවින් අවම වශයෙන් කාලගුණ තත්ත්වය පිළිබඳවවත් තොරතුරු දැන ගැනීමේ හැකියාවක් යානයට තිබුණේ නැත. නියමුවන්ට ඇසට පෙනෙන පරිදි කාලගුණය ගැන තීරණ ගැනීමට සිදුවිය. කිසියම් යාන්ත්‍රික හෝ වෙනත් ප්‍රශ්නයකට ගමන අතරතුරදී මුහුණදීමට සිදුවුණොත් සදාකාලික අබිරහසක් ලෙස ඉන්දියන් සාගර පතුලේ සැඟව යන්නට සිදුව තිබිණි. එබැවින් මෙම රහස් මෙහෙයුම අතරතුර කැටලිනා ගුවන් යානාවල ගමන් ගත් සියලු දෙනාට Secret Oder of the Double Sunrise නමින් විශේෂ සහතිකයක් පිරිනමා තිබේ.

‘‘උපන්දා සිට’’ කොග්ගල ගමේ ජීවත් වූ හා පසුව ගම කඳවුරක් කිරීම නිසා අවතැන් වූ ගැමියකු යුද්ධය අවසන් වීමෙන් පසු සිය ගම සොයා ගොස් මෙවැනි සටහනක් තැබු​වේය. ඒ වෙද්දී ගමෙන් රහස් කඳවුර ඉවත් කරගෙන ගොස් තිබිණි.

‘‘අට අවුරුද්දක් පමණ මවගේ තුරුල්ලෙන් ඉවත් කරනු ලැබූ දරුවකු යළිත් මව‍ගේ තුරුල්ල සොයා යන්නාක් මෙන් කොග්ගලට ගිය මා මුහුණ පෑයේ නොසිතූවකටය. දැන් කොග්ගලට ඇතුළුවිය හැක්කේ අහස් නැව් දිවෙන මාවත නමින් හැඳින්වෙන සමතලය දෙපැත්තෙන් පිහිටි දොරටු දෙකකිනින් පමණි. මොටෝරිය නවතා එයින් බැස දොරටුවක් කරා ගිය අප දෙස පළමුව උදාසීන බැල්මක් හෙළුවේ දොරටුව හරස් කොට බාන ලද උණ ගස් ළඟ සිටි කොංඩයෙකි.

‘‘අපි ආවෙ කොග්ගල බලන්නටයි’‘
‘‘පර්මිට් එකක් ගෙනාවද?’’
‘‘පර්මිට් එකක්’’
‘‘ඔව්’’

‘‘ අපි දන්නේ නැහැ කොහෙන්ද අවසර පත ගන්ට ඕනෑ’’ කොට කලිසන් කාරයෙක් මුරගේ තුළින් ඔහුගේ කිතුල් කෙඳි සහිත හිස එළියට දැම්මේය. ඔහු හේවාපන්නකාරයකුගේ ගතිය ආරූඪ කරගන්ට වෑයම් කරතියි ඔහුගේ මුහුණ බැලූ මට හැඟින.

‘‘ඩියාරෝ මහත්තයාගෙන්’‘
‘‘ඒකට ආයිත් ආපහු උණවටුනට යන්ට එපායැ’’
‘‘විදාන ආරච්චි මහත්තයාගෙන් වුණත් පර්මිට් එකක් ගන්න පුළුවනි’’
‘‘ඒ මහත්තයා ඉන්නේ මේ කිට්ටුවද?’’
‘‘ඔව් නමුත් එයා ගාල්ලට ගියා. හවස් වරුවෙයි එන්නේ’’
‘‘මේක අපේ ගම. අපට යන්න ඉඩ දෙන්න. ඕනෑ නම් අවසර පතක් පස්සේ ගෙනැත් දෙන්නම්’’

‘‘නිලධාරි කියා තියෙන්නේ පර්මිට් නැතුව කිසි කෙනෙකුට ඇතුළු වෙන්න දෙන්න එපා කියා’’
‘‘නිලධාරීන් කිව්වේ කාටද?’’
‘‘ඒජන්ත මහත්තයා – ඩියාරෝ මහත්තයා’’
‘‘ඒ මහත්තැන් කවදාවත් එහෙම කියන්නේ නෑ’’
කොට කලිසන්කාරයා මෙවර මා දෙස බැලුවේ බුම්මාගත් මුහුණ ඇතුවයි.
‘‘ඔය මිනිහා එක්ක කතාකරන එකෙන් පලක් නෑ මාමේ’’යි මට වඩා හොඳින් තක්කඩියන් හා මෝඩයන් හඳුනන මගේ බෑණා කීවේය.

‘‘අපේ ගමට යන්න අවසර ගන්නත් ඕනෑ ද?’‘ යි තරහෙන් කියූ මම රියට නැග්ගෙමි. අපි මුරදොරටුවෙන් මයිල භාගයක් පමණ ඈතට ගොස් පාර අයිනෙහි පොල් රුප්පාවට රිය හැරවීමු. පොල් රුප්පාව කෙළවර රේල් පාර අයිනෙහි මිනිසකුට වඩා උස් කටු කම්බිවැට අපට එල්ල කරන ලද තර්ජනයක් වැන්න. අක්කර පන්සීයක් පමණ වන කොග්ගල යුදඟන පිටියෙන් එක් පැත්තක් ආරක්ෂා කරන්නේ කටු කම්බි වැටයි. එහෙත් එය අර මිනිහා මෙන් අප කුප්පන කුහක ආරක්ෂකයෙක් නොවේ.

බල්ලෙකුට වඩා ලොකු සතකු ඇතුළු වනු වළක්වනු පිණිස ගහන ලද මේ කටුකමිබ් වැටින් මා රිංගුවේ ඉතා අමාරුවෙනි. මා කෝට් එක උනා දමා හතර ගාතෙන් වැටෙන් ඇදෙන්නට වෑයම් කරනු දුටු මගේ සොඳුර කෑගෑවාය. හතර ගාතෙන් කොග්ගලට ඇදුණු මා සිනාසෙනු දුටු අනිත් ඈයෝ හතර ගාතෙන් නොගොස් ඇතුළු විය හැකි තැනක් සොයා පාදා ගත්හ.
‘‘මහා යුද්ධය පටන්ගත් විට අහස් නැවු තොටක්… කරන ලද ගම් පෙරළියෙන් පසු කොක්ගලට යනු කැමතියන්ට එහි දොර හරින ලද්දේ මෑතකදීය.

’‘අපේ ගම’’ නමින් හැඳින්විය යුතු කොග්ගල, අවුරදු පහකට වැඩි කලක් රහස් නගරයක් විය. සුදු මිනිසුන් විසින් අරක්ගත් එහි පිවිසියකු එකල හමු වූයේ ඉතාම කලාතුරකිනි. කොක්ගල මතක් කළ විට ඔහු ද ගොළුවන ප්‍රශ්නයක් විය. එකල ඉතා කලාතුරකින් කොග්ගල යුදඟනා පිටියට ඇතුළු වූවකු මුද්‍රා තබා වසන ලද දෙතොල ඇත්තෙකු සේ ගොලු වීම පුදුමයක් නොවන බව මට වැටහුනේ මෙවර එහි ඇතුළු වුණු දවසෙහිය.

අහස් නැවියන්ගේත් සෙබළුන්ගේත් වාසස්ථාන, කන්තෝරු, අහසෙහිත්, මුහුදෙහිත් යාත්‍රා කෙරෙන සතුරු නැව් බලනු පිණිස තනන ලද කූටාගාර, ලෙඩවන සෙබළුන් උදෙසා තනවන ලද ඉස්පිරිතාල, සක්මන් මළු, අහස් නැව් හල යන ආදියෙන් යුතු මේ යුදඟන පිටියෙහි තැනින් තැන ලොකු අකුරින් මුද්‍රිත දැන්වීම් කොළ අලවා තිබුණු බව අපට සිතාගත හැකි වූයේ එයින් දැන්වීමක් දැකීමෙන් පසුවය. මැලියම් පරණ වීම ගැලවීමෙන් සැලෙන කොනක් ඇතිව බිත්තියක එල්ලී සිටි දැන්වීම් කොළය එංගලන්තයෙහි මුද්‍රණය කරන ලද විසිතුරු සිත්තමකි. රිදීපාටින් තරයේ එක්කොට මහන ලද දෙතොලින් දැඩි කොට වැසුණු කටක් ඇති ඉංග්‍රීසි සෙබළකුගේ හිසත්, මුහුණත් දැක්වෙන ඒ සිත්තමෙහි ඉංගිරිසි අකුරු දෙපළක් වීය. ‘‘විඳගන්නට බැරි සේම ඔබගේ දෙතොල එක් කොට යතුරු දමා මහන්න’’ යන අරුත් ඇති ඒ ඉංග්‍රීසි අකුරු දෙපෙළ කියවූවන් එකල කොග්ගලින් පිට වූ කල ගොළුවත පිරීම පුදුමයක්ද? ‘‘කට පියා ගන්න’’යි ගොළුබසින් කියමින් තර්ජන කරන මුර සෙබළුන් වැනි මේ සිත්තම් කොළ එකල මෙහි පිවිසියන් බිය ගන්වන්නට ඇත.’’

සිය උපන් ගමට කටු කම්බි වැටින් රිංගූ ගැමියාගේ නම මාර්ටින් වික්‍රමසිංහය. එම ගැමියා ඉහත විස්තරය සටහන් තබා ඇත්තේ ඔහුගේ ‘‘කළුනික සෙවීම’‘ නම් කෘතියෙහිය. එම ගැමියාගේ විස්තරයෙන්ද කොග්ගල රහසිගත මෙහෙයුම් කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති ආකාරය හොඳින් පැහැදිලි වේ.

‘‘ඩබල් සන්රයිස් මෙහෙයුම’’ සිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙහි ස්වෝන් නදිය ඉවුරු මොබ පිහිටා ඇති ස්මාරකයෙහි ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව කඩ ඉරකින් යා කර ඇති සිතියම නිරීක්ෂණය කළ විට ශ්‍රී ලංකාවේ අපේ නායක ගොබිලන්ට නොතේරෙන (හෝ දැනගෙන නොදන්නා සේ සිටින) ලෝකයට තේරෙන දෙයක් වටහා ගත හැකිය. ඒ පහළට දක්ෂිණ ධ්‍රැවය තෙක්ද, දෙපසට අප්‍රිකානු හා ඔස්ට්‍රේලියානු මහාද්වීපය තෙක්ද වූ මහා කලාපයටම බලපෑම් කළ හැකි උපායමාර්ගිකව ඉතා වැදගත් භූගෝලීය ස්ථානයක ශ්‍රී ලංකා දූපත පිහිටා තිබෙන බවය. ඇමෙරිකාව, චීනය හෝ ඉන්දියාව වේවා ශ්‍රී ලංකාවට කෙළ හලන්නේ එහි භූගෝලීය පිහිටීමේ වැදගත්කම හොඳින් දන්නා බැවිනි.

සමරිසි දේදුනුවල පැටලීම නිසා රකින්නට පරපුරක් නැති වත්මන් ශ්‍රී ලංකා නායකයෝ මත්තල, හම්බන්තොට හා ත්‍රිකුණාමලය ආදී මර්මස්ථාන ප්‍රතිවිරුද්ධ ලෝක හා කලාපීය බලවතුන්ට තුට්ටු දෙකට විකුණා දැමීමෙන් අනාගතයේ අපේ රට බලවතුන්ගේ බල අරගලයක් වන භූමියක් නොවනු ඇතැයි කාටනම් අනාවැකි කිය හැකිද? එසේ වුවහොත් එදා ගම්පෙරළියක් වී කොග්ගල ගම්මුන් අවතැන් වූවා සේ ‘‘රට පෙරළියක්’‘වී අප අපේම භූමියේ අනාථයන් වනු ඇත.

නුවන් ගන්කන්ද