අතන මෙතන

යාපනය සරසවි සිසුන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග අත්හිටුවයි

යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ බුදු කුටියක් තැන්පත් කිරීමේ සිද්ධිය මුල් කරගෙන ඉකුත් 2019 වසරේ ඇතිවූ මතභේදකාරී තත්ත්වයෙන් පසුව එහි ශිෂ්‍යයන් පස් දෙනෙකුට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අද(18) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන් හතර දෙනෙකු හා එක් හින්දු ශිෂ්‍යයෙකු සිය ශිෂ්‍ය භාවය අත්හිටුවීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

යාපනය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර සිසුන් සම්බන්ධයෙන් සිදුකළ විනය ක්‍රියාමාර්ග ඉදිරියට පත්වාගෙන නොයාමට තම සේවාදායකයින් තීරණය කර ඇති බවයි.

ශිෂ්‍යභාවය අත්හිටවූ සිසුන් පස් දෙනා යළි විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එකඟ වන බවත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එහිදී අධිකරණයට දන්වා සිටියේය.