විශේෂාංග

යාපනය කොටුවේ සිර වූ සෙබළුන් බේරා ගැනීමට ගෝඨාභය සමග ගියෙමු

ඒ එක්දහස් නවසිය අනූව අවුරුද්දේ අගෝස්තු මාසය ය. ‘‘ප්‍රේමදාස කොටි හිල්ටන් මධුසමය’’ ලෙසින් හැඳින්වූ සාම සාකච්ඡා එල්.ටී.ටී.ඊ.ය අවසන් කළේ උතුරු හා නැගෙනහිර හමුදා කඳවුරු ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමිනි. මඩකලපුවේදී පොලිසියේ 600 ක්, ප්‍රේමදාස ජනපතිවරයාගේ සාම සාකච්ඡා වෙනුවෙන් කොටින්ට බිලි දුන්හ. එකල යාපනය අර්ධද්වීපයේ අලිමංකඩ, පලාලි, කන්කසන්තුරෙයි, පේදුරුතුඩුව, වඩමාරච්චි කඳවුරු ඇරෙන්නට අනෙක් සෑම ප්‍රදේශයක්ම පාලනය කළේ ත්‍රස්තවාදීන්ය. කොටින්ම කියනවානම් යාපනය කොටුව හැර යාපනය මුළු නගරයේම බලය තිබුණේ ත්‍රස්තවාදීන් අතය.

පොලිස් සාමාජිකයන් ඇතුළුව හමුදා භටයෝ හත්සිය පනහක පමණ පිරිසක් යාපනය කොටුවේ කොටුව සිටියහ. කොටුවේ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් මුහුණ දුන් බරපතළම ප්‍රශ්නය වූයේ කොටින්ගේ බබා මෝටාර් ප්‍රහාරය. එම උණ්ඩ එල්.ටී.ටී.ඊ.යේ නිෂ්පාදනයකි. බබා මෝටර් නිකුත් වන්නේ විශාල ශබ්දයක් සමගය. එම ශබ්දය සෙබළුන්ට දුරතියාම ඇසේ. මේ නිසා බබා මෝටර් ප්‍රහාර එල්ල වේදැයි බැලීමට වෙනම සෙබළුන් කිහිපදෙනකු රාජකාරියක යොදවා තිබුණි. ඔවුහු බබා මෝටාර්වල හඬ ඇසුණු සැණින් ‘බබා බබා’ යනුවෙන් කෑ ගසති. එවිට කොටුවෙහි සෙබළු ආරක්ෂිත ස්ථාන කරා දිව යති.
සැපයුම් මාර්ග නොමැති වීමෙන් කොටුවේ සිරවී හුන් සෙබළුන් සිටියේ මරණය අපේක්ෂාවෙනි. කෑම, බීම, වතුර බෙහෙත් එන්න එන්නම අඩුවෙමින් තිබුණි. කොටින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට ඔවුන්ට පතොරම්ද හිඟ වෙමින් තිබුණේය.

ඇතැම් අවස්ථාවල සෙබළුන්ට කෑම හිඟ බව දැනගත් කොටි සාමාජිකයෝ බල්ලන්ගේ කරෙහි පාන් ගැටගසා කොටුව දෙසට එළවූයේ හමුදාවට සම්මචල් කරන්නටය.

තත්ත්වය මෙසේ තිබියදී යාපනය කොටුවේ සිරවී හුන් සෙබළුන් ගලවා ගැනීමට මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා බ්‍රිගේඩියර් විජය විමලරත්න මෙහෙයුමක් සැලසුම් කළහ. සැලසුම වූයේ යාපනය කොටුවට වයඹට වන්නට තිබෙන කරෙයිනගර් නාවික හමුදා කඳවුරෙහි සිට පාබළ බළඇණි කොටුව දෙසට යවා සෙබළුන් බේරා ගැනීමටය. ඒ අනුව කරෙයිනගර් නාවික හමුදා කඳවුරෙන් මෙහෙයුම අරඹා කයිට්ස් හා මණ්ඩතිව් දූපත අත්පත් කර කොටුවට ඇතුළු වීමට නියමිතව තිබුණි. මෙහෙයුම් ආඥාපතිවරුන් වූ කොබ්බෑකඩුව විමලරත්න සුසංයෝගයේ තේරීම වූයේ මේ තීරණාත්මක මෙහෙයුමේ ක්ෂේත්‍ර අණ​ දෙන්නන් ලෙස ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකා හා ලුතිනන් කර්නල් ගාමිණී හෙට්ටිආරච්චි යොදා ගැනීමටය. ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ අණ දුන්නේ පළමු වැනි ගජබා රෙජිමේන්තුවටය. ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකා පළමුවන සිංහ රෙජිමේන්තුවට අණ දුන්නේය. එම පාබල රෙජිමේන්තු දෙකට ලුතිනන් කර්නල් ගාමිණී හෙට්ටිආරච්චි අණදෙන පළමුවැනි විශේෂ බළකාය සහාය දුන්නේය. මෙහෙයුම අනුව කරෙයිනගර් නාවික කඳවුරට ගිය භට පිරිස් නෞකාවක නැගී කයිට්ස් දෙසට යාත්‍රා කළහ.

ඒ අතරේ පළමු ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී වූ මේජර් සුමේධ පෙරේරා සමග ගජබා සෙබළුන් හතළිස් දෙනෙක් රහසිගත මෙහෙයුමට සූදානම් වූහ.

1990 අගෝස්තු 22 වැනි දින යාපනය සයුරු දියවර මත ඉර එළිය වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී මේජර් සුමේධ පෙරේරා ඇතුළු සෙබළුන් පිරිසක් හෙලිකොප්ටර් හතරක නැගී කයිට්ස් දෙසට ගමන් කළහ. ටික වේලාවකට පසුව යානා සියල්ලම කයිට්ස් දූපතෙහි බටහිර වෙරළ අන්තයට ගොඩ බෑවේය. ඔවුන්ට මුලින්ම තිබුණේ ආරක්ෂිත පියවර ගැනීමට යුද අගල් කැපීමටය.

‘අ​පේ සෙබළු ටික දෙනෙක් අදාළ උපකරණ භාවිත කරමින් යුද අගල් කපන විට අනෙක් සෙබළුන් නිකන් හිටියේ නැහැ. ඔවුන්ගේ හෙල්මට් භාවිත කරමින් යුද අගල් කපන්න පටන් ගත්තා. ඒ හරියේ වැලි පස හින්දා ඒ වැඩේ කරන්න පුළුවන්. ‘විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙ​රේරා එසේ සිහිපත් කරන්නේ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ අණ දීම යටතේ සෙබළු එකාමෙන් වැඩ කළ ආකාරය සිහිපත් කරමිනි. ඔවුන් මෙවන් යුද අගල් කපා වෙරළේ කඳවුරු බැඳ ගත්තේ මුහුදෙන් එන සෙබළුන්ට වෙරළට ගොඩබැසීමට ආරක්ෂාව දෙන්නටය. ඒ හමුදාවේ හැටිය. ඔවුන් හැම විටම කල්පනා කරන්නේ තම ආරක්ෂාවට වඩා තමා සහෝදර සෙබළුන්ගේ ආරක්ෂාව ගැනය.

මේ වන විට සන්නද්ධව පැමිණි කොටි සාමාජිකයන් සෙබළුන්ට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන් තිබුණි.

එහෙත් නැවෙන් පැමිණෙමින් සිටි ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂටත් ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකාටත් ආපසු හැරීමක් නොවීය. ඔවුන් දෙන්නා අණදුන් පළමුවැනි ගජබා හා පළමුවැනි සිංහ යන රෙජිමේන්තු දෙකේම සෙබළුන් ලෑස්ති වෙමින් සිටියේ ගොඩබිමෙන් පණිවුඩයක් ලද සැණින් හදිසි ගොඩබෑමකටය. ඒ සඳහා පණිවුඩය ලද සැණින් ඔවුහු නැවෙන් කුඩා යාත්‍රාවලට ගොඩ වී කයිට්ස්හ දූපතට ආවෝය. එහෙත් කොටින්ගේ ප්‍රහාර එන්න එන්නම දරුණු විය. කොටි ප්‍රහාර මැද සෙබළු දූපතට ගොඩ බැස ගොඩබිමේ සිටි සෙබළු සමග එක්ව කොටින්ව කයිට්ස් සිට මණ්ඩතිව් දෙසට පලවා හැරියේය.

සෙබළු ඉන් අනතුරුව කණ්ඩායම් දෙකක් ලෙස සෑදී මණ්ඩතිව් දෙසට ගමන් කළහ. මේ අතර කොටින් හමුදාවට දැවැන්ත ප්‍රහාර එල්ල කළේ කයිට්ස් අතහැර දමා යාමට නොකමැත්තෙනි.

කයිට්ස්වල සිටි කොටි සියල්ලන්ම මණ්ඩතිව් කඳවුරට පසු බැස්සා. ඒක දැවැන්ත කඳවුරක්. අපේ බළඇණි දෙකම එකතුවෙලා ඔවුනට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා. එහිදී කොටි මණ්ඩතිව් අතහැර යාපනය දෙසට පලා ගියා.

මණ්ඩතිව් කඳවුර නිරීක්ෂණ කිරීමේදී අපට පැහැදිලි වුණා එහි විශාලත්වය. අපිට කඳවුරෙහි තිබී මියගිය කොටි සාමාජිකයන් හතළිස් හත්දෙනෙකුගේ පමණ සිරුරු හමු වුණා.

මණ්ඩතිව් වෙරළට ගියාම යාපනය කොටුව හොඳින් දිස් වෙනවා. නමුත් අපට ගමන් කරන්න මාර්ගයක් නැහැ. එකම මාර්ගය තමයි කලපුව හරහා යාම. ඒක පයින් යන්න බැහැ. අපි මේ සඳහා සැලැසුමක් සකස් කළා. ඒ කුඩා ​බෝට්ටුවල නැගලා ඒ දෙසට යන්න.’ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා කීවේය.

නමුත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සිතූ තරම් පහසු කාර්යයක් නොවන බව නිලධාරීන්ට වැටහිණි. ඒ වන විටත් එවැනි කුඩා බෝට්ටු බළඇණියක් නාවික හමුදාව සතු නොවීම ​හේතුවෙනි.

නමුත් සෙබළු වෙනුවෙන් එවැනි බළඇණියක් නිර්මාණය කෙරුණි.. කපිතාන් ඒ.එච්.එම්. රාසික් එහි මූලිකත්වය ගත්තේ.

මේ අතරේ මණ්ඩතිව් දූපතට පැමිණ කඳවුරු බැඳගත් සෙබළුන්ගේ ඊළඟ අරමුණ ගැන කොටින්ට ඉව වැටී තිබුණි. මේ නිසා ත්‍රස්තවාදීහු යාපනය කොටුවට උතුරින් හා දකුණෙන් ඔවුන්ගේ බර අවි ස්ථානගත කළහ. මේ අතර හමුදාව යාපනය කොටුව අල්ලන්නට සැලසුම් කළහ. ඒ අනුව දහය බැගින් වූ බෝට්ටු පේළි දෙකකින් රැල්ලක් සේ ගමන් කරමින් ගොඩ බැසීම සැලසුම විය.

එක් බෝට්ටු පෙළකට අණ දුන්නේ සිංහ රෙජිමේන්තුවේ මේජර් බොනිෆස් පෙරේරාය. ගජබා රෙජිමේන්තුවේ මේජර් උදය පෙරේරා අණ දුන් පළමුවැනි බෝට්ටු පෙළෙහි මේජර් සුමේධ පෙරේරා ඇතුළු පළමුවැනි ගජබා රෙජිමේන්තුවේ සෙබළු අසූවක් පමණ ගමන් ගත්හ. මෙසේ පළමු බෝට්ටු පේළියෙහි ගමන් කිරීම වූ කලී මරුවාගේ කටටම යාමක් බඳුය. යුද බිමේ මරණය ලියැවෙන්නේ ඉදිරියෙන් යන සෙබළුන්ගේ නමටය. ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂයන් කල්පනා කළේ පළමු බෝට්ටු පෙළෙහි ගමන් කිරීමටය. ඔහු සිය අභිලාෂය සිය දෙවන අණදෙන නිලධාරියාට කීවේය. එහෙත් ඊට මේජර් සුමේධ පෙරේරාගෙන් වැඩ මනාපයක් හිමි නොවීය.

‘‘පළමු බෝට්ටු පේළියේ මම විතරයි යන්න හිටියේ. අපේ අණදෙන නිලධාරිතුමාටත් එහි ගමන් කරන්න ඕන කියලා එකහෙලාම කියනවා. මම කිහිප විටක්ම කිව්වා පසුපස බෝට්ටු පේළියේ එන්න සර් කියලා. නමුත් ඔහු කැමැති වුණේ නැහැ. පසුව මම ගමන් කරපු ​බෝට්ටුවට සර් හා සර්ගේ බඩියා (සහායක) ගොඩ කර ගත්තා.’’ සුමේධ පෙරේරා මතකය ආවර්ජනා කළේය.

දිනය 1990 වසරේ සැප්තැම්බර් 13 වැනි දිනය. ඉර උදාවවට පැයක්, දෙකක් තිබියදී ඔවුහු ගමන් කළ බෝට්ටු පෙළ යාපනය කොටුව දෙසට ගමන් කරන විට උතුරින් හා දකුණින් ස්ථානගතව සිටි කොටි සාමාජිකයෝ ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. ඔවුන් ප්‍රහාරයන් එල්ල කරන්නේ ගුවන් යානාවලට පහර දීමට යොදා ගන්නා ස්වයංක්‍රිය බර අවිවලිනි. එම වෙඩි උණ්ඩවලට හසු වූ ඇතැම් බෝට්ටු පෙනේරයක් සේ හිල් වන්නට පටන් ගත්හ.

එහෙත් ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ වීරත්වය නතර කිරිමට ත්‍රස්තවාදීන්ගේ බර අවිවලට හැකිවූයේ නැත. ඒ වනවිටත් කොටින්ගේ ප්‍රහාරවලින් සෙබළු රැසක් තුවාල වී තිබුණි. ඔවුන්ගේ සිරුරෙන් ගලා ගිය රුධිරයෙන් යාපනය කලපුව රතු පැහැයට හැරී තිබුණේය. එම සිද්ධියත් හරියට දෙවැනි ලෝකය යුද්ධය සමයේ ජර්මානු හමුදාවන්ට එරෙහිව මිත්‍ර හමුදා නෝමැන්ඩි වෙරළට ගොඩ බැස්ස ‘‘ඕවල් ලෝඩ්’’ මෙහෙයුමේ දසුනත් සේය. එදා හිට්ලර්ගේ සේනාව එරෙහි වූ නෝමැන්ඩි සටන මෙදා කොටින්ට එරෙහිව යාපනය කොටුව ඉදිරිපිට සිදුවෙමින් තිබුණේය. නෝමැන්ඩි සටනට අණ දුන් ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ටි ගොමරි සේ මෙදා යාපනය සටන් පිටියේ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂය. තීරණාත්මක සටනකදී නැති නායකත්වය කුමක්ද? ‘මොන්ටි ගෝමරි’ ඇදහූ කතාවක් විය. ලුතිනන් කර්නල් ගෝඨාභය ද ඒ මග ගිය සෙනෙවියෙකි.
මේ අතරතුර ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ හා පිරිස ගමන් ගත් බෝට්ටුව ක්‍රියාකරුට පාලනය කිරීමට නොහැකිව කලපුවෙහි මඩ ගොඩක එරුණි. එල්ල වූ ප්‍රහාරයන්ගෙන් බෝට්ටුවට සිදුව තිබෙන හානිය සුළුපටු නොවීය කොටුවට තිබෙන්නේ මීටර් සියයක පමණ දුරකි. දැන් සියල්ලන්ම පසුවන්නේ ජීවිතයත්, මරණයත් අතර සටනකය.

‘‘දැන් කරන්න කිසිම දෙයක් නැහැ. මරණය පෙනි පෙනී අපි ඉන්නවා. කරන්න තියෙන්නේ එකම දෙයයි. ඒ වතුරට බැහැලා එරිලා තිබුණ බෝට්ටුව තල්ලු කිරීම විතරයි. අපේ හිටිය කිහිප දෙනෙක් බැහැලා තල්ලු කරන්න ගත්තා. මේ වෙනකොටත් එල්ල වූ ප්‍රහාරයන්ගෙන් බෝට්ටුව වටේ තිබුණු රබර් පටියත් ගැලවිලා ගිහිල්ලා. අපේ දෙදෙනකුටත් තුවාල වෙලා. දැන් කොහොම හරි බෝට්ටුව මඩෙන් එළියට ගත්තා. ඒත් කලපුවට බැහැපු සෙබළෙක්ට බෝට්ටුවට ගොඩවෙන්න බැහැ. ඔහුගේ කකුලේ කෙණ්ඩ පෙරළිලා. අපේ අණදෙන නිලධාරියා ඇතුළු අපි හැමෝම එකතු වෙලා කොහොම හරි ඔහුව බෝට්ටුව ඇතුළට ගත්තා.’’ සුමේධ පෙරේරා කීවේය.

දැන් බෝට්ටුවට ගමන් කිරීමට සිදුව ඇත්තේ ළඟ ළඟ එල්ල වන වෙඩි වරුසා මධ්‍යයේය. කොටුවෙහි දකුණින් හා උතුරින් ප්‍රහාරයන් එල්ල වේ. කොටුවට මීටර් පනහක් පමණ සමීප වෙද්දී උණ්ඩ යන්නේ සෙබළුන්ගේ කන ළඟිනි.

මේ වන විට පැමිණි සෙබළු බොහෝ දෙනෙක් වෙරළට පැමිණීමට සමත් වූහ. ඒ අතර තුවාලකරුවෝද බොහෝය. ඇතැමකු තුවාල සහිතව කලපුවෙහි වැටී සිටියේය. තවත් පිරිසක් ප්‍රහාර මධ්‍යයේ ඔවුන්ව වෙරළට ගෙන ඒමට උත්සාහ දැරූහ.

‘‘දැන් අපිට තියෙන්නේ කොටුවට ඇතුළු වීමටයි. යාපනය කොටුවේ සිටි සෙබළු බිත්ති දිගේ පහළට ඉනිමං දැම්මා. අපි ඒවා දිගේ කොටුවට ඇතුළු වුණා. මේ වෙනකොට කොටුව ඇතුළේ තිබුණ ගස්වල කොළ පොතු පවා සෙබළා කාලා තියෙනවා. නමුත් අපි ගිය හැටිය ඔවුන් සතුව තිබූ බිස්කට් කිහිපයකින් සංග්‍රහ කරන්න පවා ජයන්ත ප්‍රනාන්දු අමතක කළේ නැහැ. අපිට මෙය හරි පුදුමයි.’’

කොටුව තුළට ඇතුළු වීමෙන් පසුව ඔවුහු තවත් පුදුම සහගත දෙයක් දුටූහ. ඒ කෝටි ගණන් වටිනා මුදල් හා රන් ආභරණයි. යාපනය නගරය කොටි අල්ලා ගනිද්දී එසේ බැංකුවල තිබූ රත්රන් හා සල්ලි ආරක්ෂිතව කොටුවට ගෙනැවිත් තිබිණි.

මේ අතර ගජබා සහ සිංහ රෙජිමේන්තුවේ සහායට විශේෂ බළකායේ සෙබළුද පැමිණියහ. ඔවුන්ගේ සහාය ඇතිව කොටුවෙහි කොටුවී සිටි සෙබළුන් මණ්ඩතිව් වෙත යැවීමට කටයුතු සූදානම් විය. ඔවුහු මණ්ඩතිව්වල ස්ථානගතව, ලණුවක් ගැට ගසා ඉතිරි කෙළවර යාපනය කොටුව දෙසට රැගෙ පැමිණියහ. රාත්‍රිය උදාවීමත් සමග ඉනිමං ආධාරයෙන් කොටුවෙන් බැස වෙරළ තීරයට පැමිණ සිටි සෙබළුන් පිටත් කිරීමට කටයුතු සූදානම්ය. ඔවුන් විශේෂ බළකා සෙබළුන්ගේ සහාය ඇතිව ලණු ආධාරයෙන් බෝට්ටුවල නැගී රාත්‍රියේදී කොටුවෙන් පිටත් වූ නමුත් කොටි ත්‍රස්තයන්ගේ ප්‍රහාරවල අඩුවක් නොවීය. මේ ආකාරයට කොටුවෙහි සිටි සෙබළුන් සියල්ලන්ම මණ්ඩතිව් වෙත පිටත්ව ගොසිණි. පසුව ආරක්ෂිතව තිබූ මුදල් හා රන් ආභරණ සියල්ලම මේ ආකාරයට කොටුවෙන් පිටතට යැවිණි.

‘‘මේ කාර්යයෙන් පසුව අපේ ක්‍රියාන්විතය අවසන් වුණා. නමුත් අපිට ඉහළින් අණ ලැබුණා. කොටුවෙහි දොරටු දෙකින් එළියට ගොස් යාපනය නගරය අල්ලා ගන්න කියලා. නමුත් අපේ අණදෙන නිලධාරියා ඉහළ නිලධාරීන්ට කතා කරලා කිව්වා මෙය මේ වෙලාවේ සුදුසු දෙයක් නෙමේ, පසුව අපි සංවිධානය වෙලා ඇවිත් කරමු කියලා. නමුත් අපිට අණ ලැබෙනවා එය කරන්න කියලා.’’ සුමේධ පෙරේරා කීවේය.

පළමුවන ගජබා රෙජිමේන්තුවට ලැබෙන ඉලක්කය වන්නේ කොටුවට බටහිර දෙසින් තිබෙන පොලිස් නිවාස කිහිපය අත්පත් කරගැනීමය. ලුතිනන් කර්නල් සරත් ෆොන්සේකා අණ දුන් පළමුවන සිංහ රෙජිමේන්තුව කොටුවෙහි නැගෙනහිර පැත්තට තිබෙන ටෙලිකොම් ගොඩනැගිල්ල ප්‍රදේශයට ගමන් කිරීමට නියමිතය.

‘‘කොටුවෙන් එළියට යන්න තිබුණේ දොරවල් දෙකක් විතරයි. මේ දොරවල් දෙකම කොටින්ගේ මළසිරුරුවලින් පිරිලා. මොකද කොටුව අල්ල ගන්න කොටි සාමාජිකයන් ඇවිත් තියෙන්නේ විශාල පිරිස් ලෙස. හරියට රැලි වාගේ. මේ හැම කොටියකුටම යාපනය කොටුවෙහි සිටිය අපේ සෙබළුන් වෙඩි තැබුවා. ඔවුන්ගේ මළසිරුරු ගොඩ ගැහිලා අපිට දොරවල් දෙක ඇරගන්න දවස් දෙකක් විතර ගියා.’’ ඔහු කීවේය.

කොටුවෙහි දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව තිබුණේ ඇළ මාර්ගයකි. එයින් පසුව කලපුවෙන් යාපනය නගරය පැත්තට වන්නට මීටර් තිහක් දුරින් හිස් භූමි ප්‍රදේශයකි. ඉන් මඳ දුරකින් පසුව තිබුණේ පොලිස් නිවාසයන්ය. ගමන් කිරීමට ඇත්තේ මෙම මාර්ගයේය.

‘‘මුලින්ම ගමන් කළේ ලුතිනන් ශාන්ත දිසානායකගේ (විශ්‍රාමික මේජර් ජෙනරාල්) කණ්ඩායමය. ඔහුට යන්නට වෙන්නේ මඳ දුරකි. ත්‍රස්තවාදීහු එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ඔහුට වැදුණි. මේ වන විට කොටි පොලිස් නිවාස වෙත ගමන් කිරීමට හැකි හැම මාර්ගයක්ම වසා දමා තිබුණි. ඒ වගේම බිම පුද්ගල නාශක බෝම්බ අතුරලා පොලිස් නිවෙස් වෙත යන්නටත් කලින් සෙබළු අටදෙනකු පමණ පුද්ගල නාශක බෝම්බවලට අහුවෙලා තුවාල ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.’’

එන්න එන්නම තත්ත්වය බරපතළ වීමත් සමගම ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ කාලතුවක්කු හා ගුවන් සහාය ඉල්ලා ගත්තේය. ගුවන් හමුදාවේ ෂියාමා ෂෙට්ටි ගුවන් යානා තුනක් පියඹා ඇවිත් කොටි ඉලක්කවලට බෝම්බ හෙළීය.

උද්ගත වූ තත්ත්වය හමුවේ සෙබළු පොලිස් නිවාස ප්‍රදේශයේ සිට නැවතත් කොටුව දෙසට එන්නට උත්සාහ කළහ. ඔවුන් එසේ එන්න උත්සාහ කිරීමේදී දැවැන්ත ප්‍රහාරයන්ට ලක් විය. ඔවුනට පැමිණීමට එපා යැයි කීමට ක්‍රමවේදයක්ද නොමැත. තිබුණේ එක් ක්‍රමයක් පමණි. ඒ සෙබළුන් පිරිසක් ඒ දෙසට ගමන් කර පණිවුඩය දීමය. එයද මරුවා පපුවේ කොටා යන ගමනක් බඳුය. අතුරා තිබෙන පුද්ගල නාශක බෝම්බ අතරින් යාමට කිසිසේත් නොහැකිය. ගියත් අතරමගදී කොටින්ගේ බර අවි ප්‍රහාර කන්නට වන්නේය. එතැන් සිට වූ දේ සුමේධ පෙරේරා මතකය අවදි කළේ මෙසේය.

‘‘අපි කොහොමද යන්නේ කියලා හිත හිත ඉන්නකොට කොටුවේ පහළ සන්නාහ සන්නද්ධ රථයක් නවත්තලා තිබෙන අයුරු දුටුවා. අපි බැලුවා ඒක ස්ටාර්ට් කරන්න. සෙබළෙක් කොහේදෝ තිබිලා හොඳ බැටරි එකකුත් ගෙනාවා. අපි ඒක දාලා ස්ටාර්ට් කළා. දෙයියන්ගේ පිහිටෙන් ඒක ස්ටාර්ට් වුණා. ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් (දැන් බ්‍රිගේඩියර්) රන්ජන් ළමාහේවාගේ නායකත්වයෙන් යුත් පිරිසක් මෙහි ගමන් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා.

දහතුන් දෙනෙක් ගමනට සූදානම් වූහ. නමුත් නක්ෂත්‍රය දන්න, සෙබළෙක් කීවේ දහතුන නපුරුයි සර් යනුවෙනි. මේ නිසා එක් අයෙක් නතර විය. දහතුන දොළහ විය. එම සන්නද්ධ රියට කොටි වෙඩි තැබූහ. එකපාරම රථය කඩාගෙන ගොස් පොලිස් නිවස අසල නතර විය. බලන විට රියැදුරාගේ අතට වෙඩි වැදිලාය. ඔහු කෙසේ හෝ තනි අතින් රථය පදවාගෙන ගොස් ඉලක්කය දක්වා ගමන් කරලා රථය නතර කළේය.’’

මේ අතර ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂගෙන් අණක් ලැබේ.

‘‘මට මගේ අණදෙන නිලධාරියා පැවසුවා සුමේධ, හවස් වෙන්න කලින් අපි මේ හැමෝම මේ පැත්තට ගෙන්න ගන්න ඕන කියලා. අපි ඒකට සැලසුමක් හැදුවා. කපිතාන්, (වර්තමාන යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල්) ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුතුව භට පිරිසක් යොදවලා අපි බිම දිගාවෙලා මිනිස් පවුරක් ලෙස සිටින විදිහට ලයින් එකක් හැදුවා. මේ ආකාරයට මේ භට පිරිස් ඔස්සේ අපි එහා පැත්තේ තුවාල ලබලා හිටපු හැමෝම කොටුව පැත්තට ගෙනාවා. අපි අන්තිම සෙබළා වෙනකන් ඒ ආකාරයට බේරා ගත්තා. අපේ අණදෙන නිලධාරියාට අවශ්‍ය වුණා කෙසේ හෝ තුවාලකරුවන් ගත්ත ආකාරයට මළ සිරුරුත් ගන්න ඕන කියලා. නමුත් සියල්ලම ගන්න බැරි වුණා. හැකිතරම් ගත්තා. මොකද ඒ වෙනකොට කොටි අපිට දැවැන්ත ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඒ අනුව අපි එම ප්‍රදේශයෙන් ඉවත්ව කොටුව තුළට පැමිණියා.’’

‘‘දෙමසකට අධික කාලයක් තුළ කළ අපගේ මේ ක්‍රියාන්විතය අවසන් කර අප කොටුව අතහැර නැවතත් මණ්ඩතිව් දූපතට ආවා. මේ කාලය පුරාම ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ අපට දැවැන්ත වෘක්ෂයක් සේ නොසැලී අප ළඟ හිටියා. අපේ සාර්ථකත්වයට හේතුව ඔහුයි.’’ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා කියන්නේ යළිදු වරක් ෆීල්ඩ් මාර්ෂල් මොන්ටි ගෝමරිගේ කියමන සිහිපත් කරමිනි. තීරණාත්මක සටනකදී නැති නායකත්වය කුමටද?

ශිරෝමි රත්නායක