කතුවැකි

යළි උපන්නෙමි

දින හතළිස් පහකට පසු රට යළිත් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ඇඳිරිනීතිය ඉවත් කෙරෙන දවස අදය. සඳුදාය.

රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණත් එය කොරෝනා වසංගතයට කළින් තිබුණ තත්ත්වය නම් නොවේ. එය අසාමාන්‍ය සාමාන්‍ය තත්ත්වක් වනු ඇත. මගතොට දී සිනාසෙන මුහුණක් දැකීමට නොලැබෙනු ඇත. මගට බසින සියලු මුහුණුවලට මුඛවාඩම් බැඳෙන බැවිණි. එපමණක් නොව ආර්ථිකයෙන්ද ඇවතුම් පැවතුම්වලින් ද ආකල්පවලින් ද දැවැන්ත විපර්යාසයක් වුණ රටකටය ඇඳිරිනීතිය ඉවත් වන්නේ.

කොරෝනා වසංගතයට රට වසන්නට ආසන්න වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 177කි. රට අරින විට එය රුපියල් 186කි. කොරෝනා වසංගතයට මුහුණ පා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුණ රටවල් අතර අප ඉන්නේ 61 වැනි තැනය. මහ බැංකුව කියන්නේ 2020 ලංකාවේ ආර්ථිකය ඝෘණ අගයක් ගනු ඇති බවය.

කොරෝනා වසංගතය එන්නට කලින් මුහුදෙන් එහා පැත්තට පැනගැනීම අපේ ජාතියේ සිහිනය වී තිබිණ. විදේශීය පුරවැසියකු වීමේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳුන පුරවැසියකු හැටියටය ලාංකිකයා සඳුදාට අවදි වන්නේ.

එසේම කොවිඩ් වසංගතයට කලින් විදේශවලින් ලංකාව ගෙනෙන දේ ගැනවත් ගෙවුම් ශේෂ අර්බුදය ගැනවත් ලාංකිකයා ප්‍රශ්න කළේ නැත.

ඇපල්, මුද්දරප්පලම්, ඔලිව් තෙල් නොව කහ, සියඹලා ද විදේශවලින් ගෙන්වීමේ බරපතළකම කිසිවෙක් ප්‍රශ්න කළේ නැත. හඳුන්කූර ​ඔතන ලී කූරද පිච්ච මල්ද විදේශවලින් ගෙනාවත් ඒවා ගැන පශ්චාත්තාප නොවූයේ ඒවා විවෘත ආර්ථිකය යටතේ සාමාන්‍යදේ හැටියට ලාංකික පුරවැසි මනසේ ඇඳී තිබූ නිසාය. එහෙත් ගෙවී ගිය දින ගණනාව තුළ එබඳු අයාලේ ගිය ආනයන වෙළෙඳාමට තිත තැබී ඇත. ඒ වෙළෙඳාම මහා අපරාධයක්ය යන සිතුවිල්ලද අප ජාතියේ මනසේ තැන්පත් වී ඇත.

ජනතාව රාජ්‍ය සේවය ගැන බලන්නේද අලුත් ඇහැකිනි. එදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙවත් පී.එච්.අයි.ලා ගැන මහජනතාව බැලුවේ හෝටල්වල ජරාව කවන්නට ඉඩ දී ඉන්නා පිරිසක් වශයෙනි. රජයේ වෛද්‍යවරු යනු හිතක් පපුවක් නැතිව වැඩ වරන්නන්ය. එහෙත් රජයේ සෞඛ්‍ය සේවයේ ඇත්තන් ගැන අපූර්ව චිත්‍රයක් සමාජ මාධ්‍යවල පසුගියදා සැරිසැරුවේය.

ලෝකයේ අසමසම වීරයන් සේ බාල පරපුර සැලැකූ හල්ක් ,බැට්මෑන්, සූපර් මෑන්, අයන් මෑන්, අයන් ගර්ල් ,ටාසන්,ස්පයිඩර් මෑන්, රොබින් හුඩ් වෛද්‍යවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් එන විට දෙපැත්තේ පේළි සැදී හිස නමා වීරත්වයට ආචාර කරති.

ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අධිපතීත්වය දැරුවේ බටහිර වෙදකමය. වා පිත් සෙම් මුල් කරගෙන මිනිස් සිරුරේ සනීපය පවතින බවට ආයුර්වේද වෛද්‍යවරු කී විට බටහිර වෛද්‍යවරු සිනා සුනහ. එහෙත් කොරෝනා වසංගතයත් සමග ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පෙරුම්කායම් මතු නොව දුම් හට්ටියට ද බටහිර වෛද්‍යවරු මුහුණ එබූහ. රජයේ රෝහල්වල ද ආයුර්වේද හා සිංහල වෙදකම කෙරෙන අංශයක් ගැන දැන් කතා කෙරෙයි. බහු භාණ්ඩික ජාතික උත්සවවල නිසරු බව කොරෝනා අස්සේ ආ සිංහල අවුරුද්ද පෙන්වා දුන්නේය. ඒ වෙනුවට බුදු දහමේ තිබෙන අල්පේච්ඡ ජීවිතයේ වටිනාකම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාද පිළිගන්නා බව ලාංකික පුරවැසියාට මේ කාලයේ අසන්නට ලැබුණේය.

කොරෝනාවෙන් නරකක් විය. හොඳක්ද විය. අවිචාරයද විය. විචාරශීලී මනසක් ද මතු විය. කොරෝනාව ලෝක රාජ්‍ය නායකයන් අතර තබා අපේ රාජ්‍ය නායකයා මැනිය හැකි මිනුම් දණ්ඩයක් ද විය. ලෝක බලවතුන් හා සැසඳීමේදී අපේ රාජ්‍යතාන්ත්‍රිකයා සාර්ථකත්වය ලොවටම පෙන්නුවේය. අයිස්ලන්තයේ සිදු වූ මරණ ගණන අනුව සැසඳූ කල ලංකාවේ මරණ ගණන වැඩි යැයි කියා විපක්ෂයට හිත හදා ගන්නට මගක් ද ඉතුරු විය.

කොරෝනාව වෙනත් රටවල පැතිරෙන විට මේ රටේ හිටපු ජනාධිපතිත් අගමැතිත් ප්‍රමුඛ ආණ්ඩුව තිබුණා නම් අපි කම්මුතු යැයි බොහෝ දෙනකුට කියැවිණ. එහෙත් එබඳු දුර්වල අසාර්ථක ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් සමග සසඳා සාර්ථකත්වය සංසන්දනය කිරීම තරම් නොවේ. නොගැලපේ. සාර්ථකත්වය මනින මිනුම විය යුත්තේ මේ ලැබූ ජයග්‍රහණ රැකගෙන ඉන් ලබාගත් පාඩම් වලින් ද ඉගෙන ගෙන ඉදිරියේ අනාගතය දෙස බලන ආකාරයෙකි.