විශේෂාංග

යළි ඉපදුණු සබරගමු සිසුවිය

ජීවිතය ඉගෙනුමෙන් පාට කරන්නට අමාලි හිතුවේ පුංචි කාලේ පටන්මය. වර්ණයක් නැති ජීවිතයට වටිනාකමක් එන්නෙ ජීවිතය වර්ණවත් වූ විටයි කියා ඇයට කියා දුන්නේ අම්මාය. අම්මාගේ ඒ බලාපොරොත්තුව ඉටුකරන්නටත් තමන්ගේ අනාගතය යහපත් කරගන්නටත් අමාලි හිතට ගත්තේ තාත්තාත් නැතුව තමන්ගේ අනාගතය හදන්නට අම්මා දැරූ වෙහෙස දැන සිටි නිසාය. අමාලි සබරගමුව විශ්ව විද්‍යාලයට ගියේ දහසක් බලාපොරොත්තු හිත පුරවාගෙනයි. සරසවිය තමා ආදරයෙන් පිළිගනු මිස ජීවිතයට නපුරක් කරතැයි ඇගේ තුන්හිතකවත් තිබුණේ නැත. ඒත් ඇගේ ජීවිතයට සිදුවිය හැකි විශාලම නපුර සබරගමුව සරසවියෙන් වුණේය. ජිවිතය ජයගන්නට සරසවි ගිය සායක්කාර හේවගේ අමාලි චතුරිකා සරසවි ජීවිතයට පරාද වී තිබුණි.

ඇගේ නික්මයාමට හේතුව සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් ඈ මානසිකව ලෙඩ කිරීම නිසා බව ඈ අවසන් මොහොතේ ලියූ ලිපියක සඳහන් අතර තවත් ලිපියක ලියා තිබුණේ ඒ නිසා ඔවුන් කිසිවෙකුට හෝ තම අවසන් අවස්ථාව සහභාගිවන්නට ඉඩ නොදෙන ලෙසයි. අමාලි මියගියාය. ඇගේ මරණයේ වරදකරුවන්ට අවුරුදු තුනහමාරක් තිස්සේ ලැබුණු දඬුවමක් නැත. ඒත් අවුරුදු තුනහමාරකට පසු අමාලිගේ අම්මාසේම ඇගේ මරණය ගැන තැවුණු කවුරුන් හෝ අමාලි මියෙන්නට පෙර ලියූ එක් ලිපියක පිටපතක් උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට යොමුකර තිබුණේය. ඒ ලියුමේ වූ සිද්ධියේත් ,ඒ අම්මා ගැනත් තොරතුරු සොයන අතරවාරයේ නවකවදය සම්බන්ධයෙන් නීතිය උපරිම ක්‍රියාත්මක කිරීම හා නවකවද පනත බලාත්මක කිරීම ගැන පැවති රූපවාහිනී සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ ලිපිය කියවා ඇත. අමාලිගේ මව් වසන්ති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවන්නේ මේ සිදුවීම්වලින් පසුවය.

ඒ හමුවීමෙන් පසු වසර තුනහමාරකට පෙර මියගිය අමාලිගේ කතාව යළි ඉපදුණේය.

අම්මෙක් දරුවෙකු වෙනුවෙන් අසාධාරණ ඉල්ලීමක් ඉල්ලන්නේ නැත. තමන්ට දුකට සැපට, ජීවිතය බෙදාගන්නට හෙවනැල්ල සේ සිටි , එකම දරුවාගේ ජීවිතය උදුරාගත් පාර්ශවයට එරෙහිව අමාලිගේ අම්මා වසන්ති පද්මිණී ඇල්විටිගල එදවස සබරගමුව සරසවියෙන් මෙන්ම හෝමාගම පොලීසියෙන් ද පිළිසරණ පැතුවාය. ඒත් ඒ නීතියේ සාධාරණත්වය ඇයට ලැබුණේ නැත. ඇගේ පැමිණිල්ල තීන්ත ටිකටත් කඩදාසියටත් පමණක් සිමා වුණේය.

අමාලි නික්ම ගොසින් මේතරම් කාලයක් ගෙව් ගියත් ඒ අම්මා තම දියණියට ජීවිතය හැර සුසානයට යන්නට පාර කැපූ පාර්ශවයට ඇගේ සිතින් සමාවක් දුන්නේ නැත.

” ඒ අතරෙ තමයි මම දැනගන්නෙ ඇමතිතුමා මේ සම්බන්ධව හොයනව කියලා. පස්සෙ මට ඇමතිතුමා හම්බවෙන්න කියලා පණිවිඩයක් ලැබුණා.මම දරුවගෙ මරණයේ සියලු ලිපි ලේඛන ෆයිල් එකත් අරන් පසුගිය අගෝස්තු 31 වැනිදා ගියා. ඇමතිතුමාටත් එකවරක් මේ නඩුව කියලා මගෙ දුවගෙ මරණයට සාධාරණයක් ඉල්ලනවා කියලා හිතුවා. එතුමාගේ උපදෙස් අනුව පොලිස්පතිතුමා මගින් මම මේ සිදුවීම ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළා. ”

දරුවෙකු මියැදුණ කියා අම්මෙකුට ඒ දරුවා අමතක වන්නේ නැත. ඊටත් එකම දරුවාගේ අනාගතය ගැන ඒ අම්මාගේ හිතේ ඉපදුණු අපමණක් බලාපොරොත්තු එහෙම ලේසියෙන් මියෙන්නේත් නැත. දූ නැතත් දුක් කඳුළේ ගිලෙමින් ඒ බලාපොරොත්තුවලට මනසින් පණදෙන වසන්තාට විටෙක අමාලි නැති ජීවිතයේ මහා තනියක් දැනෙන අවස්ථා බොහෝය.

ඇයට සියල්ල තාමත් ඒ වගේ මතකය.

අමාලි මුලින් සුදුසුකම් ලබන්නෙ රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයටයි. දුර වැඩිවීම නිසා ඇය යොමු කළ ඇපෑලට එවර ඇයට ඌව විශ්ව විද්‍යාලයත් සබරගමුව විශ්ව විද්‍යාලයත් දෙකම ලැබී තිබුණි.ඈ තෝරාගත්තේ සබරගමුවයි.

” මම දුවව එහෙ ඇරලුවේ 2014 මාර්තු 23 වැනිදා. එතකොට විශ්ව විද්‍යාලෙ පටන් අරන් ටික දවසක් වුණා. දුවට හොස්ටල් ලැබුණා. හොස්ටල් කිව්වට අලුත් හොස්ටල් හදනකල් ගත්ත ගෙයක් ඒක. ඒ කාමරේ ළමයි හය හත් දෙනෙක් හිටියා. සති අන්තයේ දුව ඉඳහිට ගෙදර ඇවිත් ගියා. ඒ අතරේ අප්‍රේල් 26 හදිස්සියෙම ගෙදර ආවා. ඇවිත් කිව්වෙ ‘ මටනම් ඒ කැම්පස් එකේ ඉගෙන ගන්න බෑ. රැග් කරනවා. ඉවරයක් නෑ. කන්නත් බෑ. කැන්ටිමේ කෑම බලෙන් කවනවා.මට ආයෙ විශ්ව විද්‍යාලෙ යන්නම බෑ..කියලා”

ඈ සිටින්නේ හිතේ අපහසුවකින් බවට වසන්තාට තේරුණි. ඒ නිසාම ඈ දියණියට කීවේ යන්නට අකමැතිනම් ගෙදර ඉන්නා ලෙසයි. ඒත් දවස් දෙකකට වඩා ඈ ගෙදර හිටියේ නැත. අම්මා වැඩට ගිය විට අමාලි යළි විශ්ව විද්‍යාලයට ගොස් තිබුණි. ඒ ගිය අමාලි අප්‍රේල් 30 වැනිදා අසනීපව ඇත. ඒ බව වසන්තාට කතා කර කියා ඇත්තේ සරසවියේම සිසුවියක හා වෛද්‍යවරියක විසිනි.

” මං එයාට කතාකරලා බේත් ගන්න යන්න කියන අතරතුරේ ඩීන් සර් කතා කරලා මට ඉක්මනට එන්න කිව්වා. මං ඒ වෙලේ පිටත් වුණත් යන්න පැය 5 ,ක් ගියා. ඩීන් සර්රුත් එතන හිටියා. දුවව බස් එකේ ගෙදර එක්ක එන්න මට පිරිමි ළමයි දෙන්නෙකුත් දුන්නා. ගෙදර ආවත් එයා හිනාවුණේ නෑ.කතා කළේ නෑ. කාලා නෑ. වතුර බිව්වෙ නෑ. දරදඬු වෙලා හිටියේ. හෝමාගම හොස්පිට්ල් එකට එක්ක ගියාම සේලයින් දුන්නා වතුර ඇඟේ නෑ කියලා. දුව හොස්පිට්ල් එකේ නොතියා එක්ක එන ගමන් විශ්ව විද්‍යාලෙදි එයාට සිද්ධවෙලා තියෙන දේ ගැන හෝමාගම පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. ගෙදර ආවෙලේ ඉඳලම දුව කිව්වෙ ‘ මට මැරෙන්න ඕන ‘ කියලා විතරයි. ”

ඒ කියමන නිසා වසන්ති නිරන්තරවම දියණිය දෙස ඇස ගසාගෙන සිටියාය. අඳුර වැටෙද්දී වසන්තිගේ නෙත් මානයෙන් ඈත්වු සුළු මොහොතකදී අමාලි කාමරේ දොර වසා ගත්තාය. මේ අම්මා කාමරේ දොර අරවාගන්නට පින්සේන්ඩු වූවත් ඈ දොර ඇරියේ නැත. මොහොතකින් කාමරේ විදුලියද නිවුණි. ඒත් වසන්තිගේ පපුව ඇතුලේ ගින්දර පත්තු වන්නට විය. ටික වෙලාවකින් අමාලිගේ කාමරය තුළින් එළියක් දිස්වන්නට වුණේය. වසන්ති උදව් ඉල්ලා කෑගැසුවෙන් ඒ ආසන්නයේ මහගෙදර සිටින ඇගේ මල්ලිත් අම්මාත් දුව ආහ.

” මල්ලි ජනේලෙ කඩලා කාමරේට යනකොට මෙට්ටෙට ගිනි තියලා. දුවගෙ අතකුයි කොණ්ඩෙයි පිච්චිලා. අපි එයාව හෝමාගම හොස්පිට්ල් අරන් ගියා. නින්ද යන්න බෙහෙත් දුන්නා . පහුවදා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නලා කළුබෝවිලට මාරුකළා.”

කළුබෝවිල මනෝ සුව පියසේ දින අටක් ප්‍රතිකාර ලැබූ අමාලි ගෙදර ගියත් සම්පූර්ණයෙන් රෝහල් ප්‍රතිකාරවලින් මිදී ඇත්තේ මැයි 19 වැනිදාය. පාඩම් වලට ලෝබකමේ අමාලි ආයෙත් මැයි 20 වැනිදා විශ්ව විද්‍යාලයට ගොස් තිබුණි. ඒත් මැයි 30 වැනිදා රාත්‍රියේ නේවාසිකාගාරයෙන් ආ ඇමතුම කීවෙ අමාලි ගෙදර කැඳවා යන ලෙසයි.

” එයා ළමයින්ට බනිනව කිව්වා. මට රෑ එන්න අමාරුයි කීවම ඩීන් සර් කිව්වා එන්න එපා, දුවව එවන්නම් කියලා. ජූනි 01 වෙනිදට එළිවෙන්න දුවව වෑන් එකක දාලා එව්වා. අපි දුව කළුබෝවිල එක්ක ගියා. දවස් තුන හතරක් යද්දි මුරණ්ඩු ගති නැතිවුණා. ජුනි 23 රෝහල් ප්‍රතිකාර සම්පූර්ණයෙන් නැවතුණාම ආයෙ එයාට විශ්ව විද්‍යාලෙ යන්න ඕන වුණා. එයාව මම ජුලි 07 වැනිදා එක්ක ගියා. හොස්ටල් එකට බාරගන්න අකමැත්තක් වගේ තිබුණ නිසා ගෙදරක නැවැත්තුවා. දුවත් ඒකට කැමති වුණා. එයා එක්ක කවුරුත් කතා කරන් නෑ කිව්වා. කවුරුත් එයාට කැමති නෑ කිව්වා. මට තේරුණා රැග් එක දුවට ලොකු මානසික පීඩනයක් වෙලා කියලා. මම බෙහෙත් පෙතිත් දීලා එයා තියලා ආවට ඒ ගෙදරට කිව්වෙ නෑ දුව අසනීපෙකට බෙහෙත් බොනවා කියලා…”

මේ අම්මා හිතේ සැනසිල්ලේ හිටියේ ටික දිනකි. බළංගොඩ රෝහලේ වෛද්‍යවරයෙකු වු ඇගේ ඥාති සහෝදරයා අගෝස්තු 01 වැනිදා ඇයට කතා කර කීවේ අමාලි බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඒ අසනීපයට බොන්නට නියමිතවූ බෙහෙත් පෙති වැරදිවට පාවිච්චි කිරීමෙනි. ප්‍රතිකාර ලබා බලංගොඩ රෝහලින් ගෙදර කැඳවා ආ අමාලි නැවතත් කළුබෝවිල රෝහලට ඇතුළත් කළාය. කළුබෝවලින් ප්‍රතිකාර ලබා තවත් මාස දෙකක් ගෙදර සිටි අමාලි නීතිය සහ සිමා හදාරන්නටත් උත්සාහ කළාය. ඒ අතරතුරේ සබරගමුව විශ්ව විද්‍යාලයේ අලුත් නේවාසිකාගාරය ළමුන්ට විවෘත වන උත්සවයටත් ඈ ගියාය.

යළි ඇය විශ්ව විද්‍යාලයට ඉගෙනීමට ගියේ නිවාඩුවකින් පසු විවෘත වූ ඔක්තෝබර් 26 වැනි දාය. එදා ඇය අලුත් නේවාසිකාගාරේ නැවතුනත් එය ඇයට හිතට අල්ලා තිබුණේ නැත.

” එයා හොස්ටල් එකේ කොන් වෙලා වගේ කිව්වා. එක්කෙනයි එයත් එක්ක කතා කරන්නෙ කිව්වා. ඉතින් මං එයාට කිව්වා ඉන්න බැරිනම් ගෙදර එන්න කියලා. දුව කොයි වෙලාවකවත් විශ්ව විද්‍යාලය අතාරින තැනක හිටියෙ නෑ. එයාට ඕන වුණේ කොහොමහරි උපාධිය පාස් කරගන්න. මගෙ දුව හුඟක් දක්ෂ දරුවෙක්. එයා ශිෂ්‍යත්වෙ පාස් වුණා. සාමාන්‍ය පෙළට A නමයක් අරන් තමයි දේවි බාලිකාවට ගියේ. උසස්පෙළ ගණිත අංශයෙන් පාස් වෙලා තමයි විශ්ව විද්‍යාලෙට තේරෙන්නේ. එහෙම දක්ෂ දරුවෙක් තමයි රැග් එක දිදී මේතරම් මානසිකව වැට්ටුවේ…”

දියණිය මේ දුර ගෙන එන්නට දුක් විඳි තරම දන්නේ වසන්තාය. ඒ නිසා මේ සියල්ල ඈ හිතට දුකය. ඒ නිසාම ඊළඟ සතියේ ගෙදර ආ අමාලි දිගටම ගෙදර ඉන්නවාට වසන්තා සතුටු වූවාය. අමාලි නිවසේ සිට පීඨාධිපතිට කතාකොට විභාගය කල් දමාගන්නට ඉල්ලුවාය. ඒ හරි ඉගැනීමක්, පාඩම් සටහන් හෝ උදව් කරන්න කිසිවෙකුත් ඇයට නොසිටි නිසාය.

” දුව කලකිරිලා හිටියෙ. විභාගෙ නම් ඊළඟ ළමයි එක්ක කරන්න පුළුවන් කියලා තිබුණා. ආයෙ දුව ඒකට අකමැති වුණා. එතකොටත් අර රැග් කරපු ළමයත් ඉඳියිනෙ කිව්වා. දුවට රැග් කරලා තිබුණෙ විශ්ව විද්‍යාලෙ එයාට ඉහළ වසරෙ ගෑනු ළමයි දෙන්නෙක්. ඒ එක්කෙනෙක් දුවගෙ ඉස්කෝලෙම එයාට ඉහළ පන්තියක හිටපු ළමයෙක්. දුව ඒ නිසා පස්සෙ විභාගෙ කරන්නත් කැමති වුණේ නෑ. එයා ගෙදර හරිම නිදහසේ සතුටෙන් හිටියා. ඒ වෙනකොට දුව පිරිමි ළමයෙක් එක්ක යාළුවෙලා හිටියේ. ඒ දරුවා දුවට හරිම ආදරෙයි. මමත් මේ සම්බන්ධෙ දැනගත්තෙ දුව අසනීප වුණාට පස්සෙ..”

නිවසේ විසීමත් ඒ ආදරයත් ඇගේ සිත සුවපත් කළා වන්නට ඇත. පොඩි දරුවන් හා ඔට්ටු දුවමින් හැංගිමුත්තන් කරමින් වෙල් ඉපනැල්ලේ සෙල්ලම් කරමින් සිටි අතරේ ඈ කල්පනා කරන අවස්ථා ද නොතිබුණා නොවේ.

” මට දවසක් කිව්වා ආයෙ විශ්ව විද්‍යාලෙ නොයා ප්‍රයිවෙට් ඩිග්‍රියක් කරන්න තියේනම් කියලා. ඒත් මං ඇහුවා සල්ලි කොහෙන්ද කියලා. එයා අර රැග් කරපු ළමයා ඉන්න හින්දා ආයෙ විශ්ව විද්‍යාලෙ යන්න කැමති වුණේම නෑ. අපි බැලුවා දුවගෙ විශ්ව විද්‍යාලය වෙනස් කරගන්න. ඩීන් සර් හමුවුණාම ලියුමකුත් දුන්නා. එදා මට දැනගන්න ලැබුණා දුව අසනීප වුණ මුල්ම දවසෙ ඩීන් සර්ගෙ කාමරේ ජනේලෙන් පනින්නත් ගියා කියලා.

එදා 2015 පෙබරවාරි 15 වැනිදා දුව අර දරුවත් එක්ක ගෝල්ෆේස් ගිහින් ආවා. එයා එදා හරි සතුටකින් හිටියෙ. පහුවදා උදේ තුනට මං නැගිටලා උයනකොටත් දුව නිදි. මං වැඩට යන්න හදනකොට නම් වෙනදට ඇඳේ ඉඳලා සාදු කියන දුව එදා 5.15 ට විතර නැගිටලා රාත්‍රි ඇඳුම් මාරු කරලා හිටියෙ.මම ගෙදරින් එළියට බහිනකොට ළඟට ඇවිත් දණ ගහලා වැඳලා මාව බදාගෙන මූණත් ඉම්බා. මං යනකල් අතත් වැනුවා. බස් එකට නැගලා කෝල් එකක් ගන්න හදනකොට ෆෝන් එකේ සල්ලි තිබ්බෙ නෑ. හොස්පිට්ල් එකට ගිහින් කතාකරන්න හිතාගත්තත් එදා උදේ ඉඳලා දවල් 12 වෙනකල් ට්‍රේනිං එකකට දාලා. ඒ හින්දා පස්සෙ කෝල් කරන්නම් කියලා sms එකක් දැම්මත් දුව උත්තරයක් එවලා තිබ්බෙ නෑ. දවල් ට්‍රේනිං එක ඉවරවෙලා ෆෝන් එක බලද්දි දුව යාළුවෙලා ඉන්න පුතාගෙන් මග ඇරිච්ච කෝල් තුන හතරක් තිබ්බා. මං කතා කළාම කිව්වේ දුවට කතා කළාට ෆෝන් එක ගන්නෙ නෑ කියලා. මමත් ගත්තා. කතාව ඇත්ත. පස්සෙ මම කුමාරි නංගිට කතා කරලා බලන්න කිව්වත් කතා කළාට දුව දොර ඇරලා තිබ්බෙ නෑ,. මං කිව්වා ජනේලෙ කඩලා යන්න කියලා..”

ඔවුන් ගෙතුළට ගොස් දියණිය දකිනතුරු වසන්ති සිටියේ හද ගින්නෙනි. ඒත් ඒ ගින්න නිවී හිත සනසාගන්නවා වෙනුවට ඈ ඒ ගින්නේ දැවෙන්නට ගත්තේ නැවත ආ කුමාරිගේ ඇමතුමින් කී කතාවෙනි. අමාලි ජීවිතය හැරගොස් සිටින බව වසන්තා අසා සිටියේ සිහිනයෙන් සේය.

” එදා උදේ මට ටිකක්වත් එයාගෙ වෙනසක් දැනුනනම් මං දුව ළඟින් හෙල්ලෙන්නෙ නැතුව ඉන්නවා. ඒත් එයා එහෙම වෙනසක් පෙන්නුවේ නෑ. ලියුම් දෙකක් ලියලා තිබුණා. එක ලියුමක පැහැදිලිව ලියලා තිබුණා අර ළමයි දෙන්නා නිසා තමයි එයාට මේ වගේ දෙයක් කරන්න සිද්ධ වෙන්නෙ කියලා. ඒ අය ගැන සර්ව සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලලා තිබ්බා. මගෙ දුව විශ්ව විද්‍යාලෙ යන්න කලින් මානසික රෝගයක් තිබ්බෙ නෑ. එහෙම තිබ්බා නම් කොහොමද එයා මේ තරම් දක්ෂ විදිහට විභාග පාස් වුණේ. ”

ඇය අද අසන්නෙත් මීට වසර තුනහමාරකට කලින් ඇසූ ප්‍රශ්නයමයි. මේතරම් කාලයක් කිසි තැනකින් සාධාරණයක් ඉෂ්ඨ නොවු අමාලි ජීවිතයෙන් ගෙවූ වන්දියට ස්ථිරවම සාධාරණයක් ඉෂ්ඨවෙන ලකුණු පෙනෙමින් පවතී. මේ වන විටත් මේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර අමාලිගේ මරණය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇත. අදාල සාක්ෂි පොලිසියට ලබා නොදීම හා වසන් කිරීමේ සාපරාධී වරද වෙනුවෙන් එවකට උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පවරන ලෙසටත් දිවි නසා ගැනීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම පැහැර හැරීම සම්බන්ධව හෝමාගම පොලිසියේ එවකට සිටි ස්ථානාධිපතිවරයාටත් එරෙහිව විනය පරික්ෂණ පවත්වා සුදුසු දඬුවමක් ලබාදෙන ලෙසටත් ඉල්ලා ඇති එම ලිපියේ අමාලිගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

” කාලය මේ තරම් ගෙවුණත් මං හිතනවා මේ වතාවේ මගේ දුවගේ ජීවිතේ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ටවෙයි කියලා.එයා අහිංසක ළමයෙක්. එයාත් ලස්සනට ජීවත් වෙන්න හරි ආසාවෙන් හිටපු කෙනෙක්. ඒ දරුවගෙ ජීවිතේ උදුරගත්ත අයට දඬුවම් ලැබෙනකල් එදාවගේම මං බලාගෙන ඉන්නවා..”

වසන්තා දියණියගේ ජීවිතේ වෙනුවෙන් දන් පින් කරනා අතරේ නීතියේ ඒ සාධාරණත්වය හැම තත්ත්පරයකම ප්‍රාර්ථනා කරමින් සිටින්නීය.

බියංකා නානායක්කාර