විශේෂාංග

යහපාලන ආණ්ඩුවට ආ විශ්වාසභංග එකොළහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය දෙස බලන විට, ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ මුල් ම විශ්වාසභංගය හමුවන්නේ, 1968 දී ය. එම පළමු විශ්වාසභංගය ඉදිරිපත් වූයේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව, රජයේ ඉඩම් විශේෂ කල්බදු යටතේ ආණ්ඩුවේ හිතවතුන්ට ලබාදීමට එරෙහිව ය. එමෙන් ම එම පළමු විශ්වාසභංගය ඉදිරිපත් කරන ලද්දේ එවකට විපක්ෂයේ සටන්කාමී මන්ත්‍රීවරයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසිනි. එම විශ්වාසභංගය එවකට කතානායකවරයා වූ ස්ටැන්ලි තිලකරත්න විසින් භාරගත් අතර ඡන්ද විමසීමේදී ඡන්ද 33 කින් පරාජයට පත් විය.

කෙසේවෙතත් ඉන් පසුව පත් වූ සෑම ආණ්ඩුවකට ම පාහේ විවිධ අවස්ථාවල දී විශ්වාසභංග ඉදිරිපත් වූ අතර යටත් පිරිසෙයින් එම ආණ්ඩු නියෝජනය කළ ඇමතිවරුන්ට එරෙහිව හෝ විශ්වාසභංගයක් දෙකක් ඉදිරිපත් වීම ‘සාමාන්‍යයක්’ විය. එහෙත් වර්තමානයේ පවතින ‘යහපාලන ආණ්ඩුවට සහ එහි ඇමතිවරුන්ට’ එරෙහිව ගත වූ අවුරුදු 4 ½ ක කාලය තුළ විශ්වාසභංග 11 ක්ම ඉදිරිපත් වීම ‘ඓතිහාසික’ය. මක්නිසාද යත්, එක් ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ ‘වැඩිම විශ්වාසභංග සංඛ්‍යාව’ එය විය හැකි නිසා ය. කෙසේවෙතත්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විචාරකයින් පවසන ආකාරයට මීට පෙර එක් ආණ්ඩුවකට එරෙහිව විශ්වාසභංග පහ හයකට වඩා වැඩිපුර ඉදිරිපත් වූ අවස්ථා නොමැත.
සන්සන්දනාත්මකව බලන විට, මීට කලින් ආණ්ඩුවට, එනම් ‘2010 – 2015 මහින්ද රාජපක්ෂගේ’ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූයේ ‘විශ්වාසභංග 3’ ක් පමණි. ඉන් පළමුවැන්න ඉදිරිපත් වූයේ, 2010 දී, එවකට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස්ට එරෙහිව ය. ඉන් පසුව 2013 වර්ෂයේ දී, එවකට විදේශ රැකියා ප්‍ර‍වර්ධන අමාත්‍යවරයා වූ ඩිලාන් පෙරේරාට එරෙහිව තවත් විශ්වාසභංගයක් ඉදිරිපත් විය. පසුගිය ආණ්ඩුවට එරෙහිව අවසන් විශ්වාසභංගය ඉදිරිපත් වූයේ 2014 දී මුළු ආණ්ඩුවටම එරෙහිව ය. එමෙන් ම එම විශ්වාසභංග තුනම ‘විවාදයට ගැනීම’ත්, එම විශ්වාසභංග හමුවේ එවකට සිටි ඇමතිවරුන් ඉල්ලා අස්නොවී ඒවා ජයග්‍රහණය කිරීමත් විශේෂත්වයක් විය.

2015 දී පිහිටුවන ලද යහපාලන ආණ්ඩුවට එරෙහි පළමු විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ, ‘යහපාලනයේ පළමු අදියරේ’දී, එනම් ‘දින සියයේ භාරකාර ආණ්ඩුව’ පැවති කාලයේ දී ය. ‘දින සියයයේ ආණ්ඩුව’ පත් වී හරියට මාසයක් ගත වූ තැන දී, ඉදිරිපත් වන මෙම විශ්වාසභංගය මඟින් චෝදනා කරන ලද්දේ එවකට ‘මහජන සාමය’ පිළිබඳ අමාත්‍යවරයා වූ ‘ජෝන් අමරතුංග’ට ය. මෙම විශ්වාසභංගයට පදනම වැටුණේ, ‘මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා’ වූ ජෝන් අමරතුංග වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට තදබල ලෙස පහරදෙමින් ‘ප්‍රසිද්ධියේ ම මහජන සාමය කඩකිරීම’ යන කාරණයෙනි.

කෙසේ වෙතත් ඔහු ක්ෂණිකව ‘ඇමති ධුරයෙන් ඉවත්වීම’ මත විශ්වාසභංගය විවාදයට නොගැනිණි. ඉන් අනතුරුව 2015 වසරේදී ම ‘යහපාලන ආණ්ඩුවට’ තවත් විශ්වාසභංග දෙකකට මුහුණදෙන්නට සිදුවිය. ඉන් එකක් ඉදිරිපත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ය. අනෙක මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ය. කෙසේවෙතත් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ මෙම පළමු විශ්වාසභංගය ‘න්‍යාය පුස්තකයටවත්’ ඇතුළත් කෙරුණේ නැත. රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගයට ‘අයවැය සෑදීමේ දී කරන ලද වංචනික කටයුතු’ හේතු වූ අතර ඒ වන විටත් ‘අයවැය සම්මත වී අවසන් ව තිබු බැවින්’ එම විශ්වාසභංගය ද ‘විවාදයට නොගෙනම’ අත්හැර දමන ලදී.

2016 දී, ‘යහපාලන ආණ්ඩුවේ’ වැරදිවලට අනුබල දෙන්නේ යැයි කියමින්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකට එරෙහිව තවත් විශ්වාසභංගයක් ඉදිරිපත් විය. එමඟින් මහලේකම්වරයාට චෝදනා නගා තිබුණේ, ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 55 ක් සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවකට අදාළ ඡන්ද විමසීමේ දී ඡන්ද ගණන්ගැනීමේ දී ‘වරදක්’ සිදුකළ බවට ය. කෙසේවෙතත්, මෙම විශ්වාසභංගය ද විවාදයට නොගෙන ම ප්‍රතික්ෂේප කරන ලද්දේ, කථානායකවරයාගේ මැදිහත්වීමෙන් ඒ පිළිබඳ කරුණු සොයාබැලීමකදී ‘ඡන්ද ගණන්ගැනීමේදී එවන් වරදක් නොවුණු බව’ ප්‍රකාශ කරමිනි.

ඉන් අනතුරුව 2016 වසරේදී ම ‘අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ ආර්ථිකය විනාශ කරන්නේ’ යැයි, චෝදනා පත්‍රයක් මත පදනම්ව විපක්ෂය විසින් එවකට මුදල් අමාත්‍ය වූ රවී කරුණානායකට එරෙහි ‘දෙවන විශ්වාසභංගය’ ද ඉදිරිපත් කළ අතර එය විවාදයට ද ගැනිණි. කෙසේවෙතත් ආණ්ඩුව ඉන් ජයගත් අතර ‘රවීගේ මුදල් ඇමතිකම’ දෙවන වතාවට ද සුරැකිණි.

ඉන් අනතුරුව 2017 දී, එවකට සෞඛ්‍ය ඇමතිවරයා වූ රාජිත සේනාරත්නට එරෙහිව ද විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර එය ‘විවාදයට නොගැනුණේ’ අදාළ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති ‘නඩු කිහිපයක්’ නිසා ය. 2017 දී ‘අමාත්‍ය රවී කරුණානායකට’ එරෙහිව තුන්වැනි විශ්වාසභංගයක් ද යොමු වූ අතර, ඊට පදනම් වී තිබුණේ, ‘කුප්‍රකට මහබැංකු වංචාව’ ය.

ඉන් අනතුරුව 2018 වසරේදී දෙවන වතාවට, අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් වන අතර, එයින්‘කරුණු 14 ක්’ යටතේ චෝදනා එල්ල කර තිබුණේ, මහබැංකු වංචාවට වගකිවයුතු වූවන් ආරක්ෂා කිරීම ආදී කාරණාවලට ය. මෙම විශ්වාසභංගය විවාදයට ගැනුණු නමුත් එය වැඩි ඡන්ද 46 කින් පමණ ජයගැනීමට අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවිය.

මේ අතර ඉතිහාසයේ අන් කිසිදිනෙකවත් නොවූ විරූ පරිද්දෙන්, ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා ‘අගමැති සහ ආණ්ඩුව තමන්ගේ ද විශ්වාසය කඩ කර ඇති බව කියමින්’ ආණ්ඩුව අනෙක් පිට පෙරළුවේ ය. එසේ කරමින්, පාර්ලිමේන්තුවේ ඊළඟ බහුතර නියෝජනය තිබුණු කණ්ඩායමට ‘ආණ්ඩුව භාර දුන්නේ’ ය.

පත් වූ නව ආණ්ඩුව දින 52 ක කාලයට සීමා කරමින්, ‘තවත් විශ්වාසභංගයක්’ ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණ පත් වූ ‘නව ආණ්ඩුව’ නැවත වතාවක් අනෙක් පිට පෙරළුවේ ය. මෙහිදී විශ්වාසභංගයක් සම්බන්ධයෙන් ‘කිසිදිනෙක’ අනුගමනය නොකළ පිළිවෙතක් අනුව යමින්, කථානායකවරයා ‘හඬ අනුව’ එය සම්මත වූ බව ප්‍රකාශ කළේය. මෙම විශ්වාසභංගය සම්මත කර ගැනීමට යන අවස්ථාවේ මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අන් කවරදාකවත් නොවූ විරූ අන්දමේ ‘ගාලගෝට්ටියක්’ ඇති වූ බවද අමතක කළ නොහැකිය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ‘පාස්කු ප්‍රහාරය’ට අදාළව ‘ත්‍රස්තවාදයට සහ වහබ්වාදයට අනුබල දුන්නේය’ යන චෝදනාව මත රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ඊට මුහුණ නොදෙමින්, ඔහුත් සමග ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් ඇමතිවරුන් සියලුදෙනා ම ඉල්ලා අස්වූ අතර එබැවින්, එම විශ්වාසභංගය ද විවාදයට නොගෙන ම ‘අහක’ ගියේ ය.

‘පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගෙන ආණ්ඩුව ඉවත්විය යුතු බව’ කියමින්, ‘යහපාලන ආණ්ඩුවට’ ම එරෙහි ව ජනතා විමුක්ති පෙරමුණ තවත් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ මේ අතරය. පසුගිය බ්‍රහස්පතින්දා පැවති ඊට අදාළ ඡන්ද විමසීමේ දී ආණ්ඩුව එයින් ද ජයගත් අතර, එම විශ්වාසභංගය ‘යහපාලන ආණ්ඩුවට’ එරෙහිව ඉදිරිපත් වූ ‘දසවැනි විශ්වාසභංගය’ ලෙස සැලකිය හැකි ය.

ඒ අනුව ‘විශ්වාසභංග එකොළහක්’ ඉදිරියේ වුවත්, ‘තවමත් නොදැවී’ සිටීමේ ‘වාර්තාව හිමිවනු’ ඇත්තේ ද යහපාලන ආණ්ඩුවට ම ය. ‘විශ්වාසභංග’ මඟින් දෙවතාවක් චෝදනාවට පාත්‍ර වූ අගමැති රනිල් ‘තවමත් අගමැති’ වන අතර, ‘විශ්වාසභංග’ මඟින් තුන් වතාවක් බරපතළ ගණයේ චෝදනාවන්ට පාත්‍ර වූ ඇමති රවී කරුණානායක ද ‘තවමත් ඇමති’ ය. එක් වතාව බැගින් ‘විශ්වාසභංග’ යටතේ චෝදනාවට පාත්‍ර වූ ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න, යන අයද තවමත් ඇමතිවරුන් ලෙස කටයුතු කරන අතර මෑතකදී ‘විශ්වාසභංගයක්’ හමුවේ තනතුර අත්හරින්නට සිදුවූ ‘රිෂාඩ් බදියුදීන්’ ද ආණ්ඩුව යළිත් ආරාධනා කරන අවස්ථාවක ඇමති ධුරය යළි භාරගත හැකි බව කියමින් සිටී.

– සුරේඛා සමරසේන