විශේෂාංග

ආණ්ඩුවේ උපන් දිනය අදයි

මේ ආණ්ඩුව පිහිටුවීම සඳහා මහ මැතිවරණයකට ගියේ මීට වසර හතරකට පෙර අද වැනි දවසකය. එබැවින් එදා ගැන අතීතාවර්ජනයක් කිරීමට අද හොඳම දවසය.

මේ ආණ්ඩුව දුන් මැතිවරණ පොරොන්දු මීට පෙර ආණ්ඩු දුන් පාන් 3.50ට දීම, පොහොර සහනාධාරය දීම වැනි පොරොන්දු නොවේ.

මේ ආණ්ඩුවේ ප්‍රධානම තේමාව වූයේ යහපාලනය ය. මුලදී කොළඹ කුඩා කුටිවල රහක් ගුණක් නැතිව නිතර හප හපා සිටි ගෑවෙන ගෑවෙන තැන ඇලවෙන චුයිංගම් පෙත්තක් බඳුව තිබූ යහපාලන වචනය මහා පරිමාණයෙන් දේශපාලන වේදිකාවට ආවේ 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදීය. එය කොතරම් වාර ගණනක් ජප කළේද යත් සිව්වසරකට පෙර අද වැනි දිනක බලයට පත් මේ ආණ්ඩුව හැඳින්වූයේ යහපාලන ආණ්ඩුව යනුවෙනි.

කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ යහපාලනය යන වචනය තේරුම් ගත්තේ තම තම නැණ පමණිනි. හරියට අන්ධයෝ පස්දෙනා අලියා අත ගා වංගෙඩියක්, කුල්ලක්, කොස්සක් ආදී වශයෙන් අලියා වරනැගූ සේය. ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය තේරුම් ගෙන තිබුණේ හොරු ඇල්ලීමත් උන් හිරේ දැමීමත් සේය. මනෝ ගනේෂන්, සී.ජේ., වැලිඅමුණ ආදීන් යහපාලනය භාරගත්තේ ජාතික ගීය දෙමළෙන් ගයා, දෙමළ ජනතාවට බලය බෙදීමේ වැඩක් වශයෙනි. මංගල සමරවීර වැනි පාර්ශ්වයන් එය තේරුම් ගත්තේ සමලිංගික අයිතිවාසිකම් තහවුරු කර රට අනාගාමික රාජ්‍යයක් කළ යුතු මගක් වශයෙනි. ඡන්දෙන් දිනා යූඑන්පී ආණ්ඩුවට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු සිතුවේ මෛත්‍රීපාල සිරිසේන රැක ගැනීම යහපාලනය ලෙසය. මේ සියල්ල අතරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් වූ සජිත් ප්‍රේමදාස වැන්නන් යහපාලනය තේරුම් ගත්තේ විසි වසරක් තිස්සේ වරප්‍රසාද අහිමිව සිටි තම පාක්ෂිකයන්ට ආණ්ඩු බලයේ කොටසක් කඩා ගැනීමේ කාර්යයක් ලෙසය. යහපාලනය ගැන කතා කළ වියතුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පෙන්වා දුන්නේ යහපාලනය යනු රාජපක්ෂලාට බලයට ඒමට තියෙන ඉඩ ඇහිරීමක් සේය. මේ සියල්ල බලා සිටි පොදු ජනතාව යහපාලනය තේරුම් ගත්තේ කෙසේදැයි තේරුම් ගත හැකි පෝස්ටරයක් මහමගදී පසුගියදා දැක ගත හැකි විය.

යහපාලනය පන්නව්!

මේ ආණ්ඩුව තම ක්‍රියාවෙන් පොදු ජනතාවට යහපාලනය තේරුම් කර දුන් සැටිය.
ඇත්ත වශයෙන්ම යහපාලනය නම් සංකල්පයක් කතා නොකෙරූ පසුගිය ආණ්ඩුව නිතරම මැතිවරණ පැවැත් වූයේය. ඇතැම් ඒවා කලට වේලාවටත් කලිනි. නමුත් යහපාලනය ගොඩ නැගීමට ආ ආණ්ඩුව ඡන්ද කල් දමන විට ජනතාව යහපාලනය එපා යැයි කීමේ වරද කිම. ආණ්ඩුව සාමය රැකීම ලෙස අදහස් කළේ ත්‍රිවිධ හමුදා සෙබළුන්ට නඩු දමා බන්ධනාගාරගත කිරීමය. නීතියේ ආධිපත්‍යය රැකීම සඳහා කළේ ව්‍යාජ චෝදනා නගා විරුද්ධවාදියාට නඩු පිට නඩු දැමීමය. විදේශ සබඳතා තහවුරු කළේ රටට එරෙහිව ගෙනෙන යෝජනාවලට සහාය ලබා දීමය. ආර්ථිකය නැංවීමට කළේ ව්‍යාපාරිකයන්ට බදුබර පැටවීමය.

යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියන්නේ ඡන්ද පැවැත්වීමට ජනතා කැමැත්තට ඉඩදීම නොවේ. ආණ්ඩුවට අම්මා අප්පා මතක් කර බණින්නට දෙස් දෙවොල් තබන්නට ඉඩදී නිකම් ඉඳීමටය. නැතිනම් ඕනෑම තැනක ජනතාවට ආණ්ඩුවේ නායකයාට හූ කියන්නට නිදහස ලබා දීමටය.

ජාතික ආරක්ෂාව යැයි ආණ්ඩුව විශ්වාස කරන්නේ හමුදාපතිට මයික්‍රෆෝනයක් දී දැන් බය නැතිව පාසල් යන්න යැයි කීමටය. රට දැය නගා සිටුවීම යැයි ආණ්ඩුව කුමක් අදහස් කරන්නේද යන්න තේරුම් ගත හැකි කිසිවක් ආණ්ඩුව කර නැත්තේය.

යහපාලනය යනු මෙයයැයි දෙසාබෑ වියතුන් මේ ගැන වචන මාත්‍රයකුදු කතා නොකළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිරිහෙද්දී හොරු කම්බා හොරු වෙද්දී වචනයක් කතා නොකළේය. ඔවුන්ට වූ දේ මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රසිද්ධ මාධ්‍යයට මෙසේ හෙළි කළේය.

මම දවසක් උත්සවයකට ගියාම සුදු කරපටි දාපු රැකියාවක් කරන මහත්තයෙක් මා හම්බු වෙලා ඇහුවා දැන් දකින්නවත් නෑ නේද කියලා. නෑ අපි ඉන්නවා මම කීවා. ඊළඟට ඒ මහත්තයා මගේ කනට කරලා ඇහුවා ‘‘තෝ කලිසමක් ඇඳගෙනද ඉන්නේ කියලා’’
වසර හතරක් අද සපුරන ආණ්ඩුව තැනූ උන් කාගෙනුත් ජනතාව අසන්නේ එසේය.