කතුවැකි

යන්න හිතෙන රටක සිට – ඉන්න හිතෙන රටකට

වේගවත් සංවර්ධනයක් සහතික කිරීම සඳහා බුද්ධි ගලනය පාලනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය අමතමින් පසුගියදා ප්‍රකාශ කළේ ය. රටක සංවර්ධනයට පාදක වන කරුණු ගණනාවක් තිබේ. රටක බුද්ධිමතුන් වැඩිවීම හා ඔවුන්ගේ සේවයද ඒ අතරින් එකකි. මේ නිසා බුද්ධි ගලනය හෙවත් බුද්ධිමතුන් රටහැර යෑම සංවර්ධනයට හිතකර නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. බුද්ධි ගලනය රටක සංවර්ධනයට හිතකර නොවන්නේ කුමක් නිසාද?

බුද්ධිමතුන් රටක සංවර්ධනයට හේතුවන එක් අංගයක් නොව, එහි අඩිතාලම ලෙස සැලකිය හැකිය. ඇත්තෙන්ම සංවර්ධනය අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා වන සංකල්ප, යෝජනා හා සැලසුම් මෙන්ම ඒවායේ ක්‍රියාත්මක අදියරයන්හිදී බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වන බැවිනි. මේ දායකත්වය නොමැතිව සංවර්ධන සැලසුම් සකස් කිරීම, සැලසුමක්, ආයුධයක්, මග පෙන්වීමක් නොමැතිව යුද්ධයට ගියා සේ සමානය.

අප මේ කතා කරන්නේ බුද්ධිමතුන් ගැන මිස උගතුන් ගැන නොවන බවද සඳහන් කළ යුතුය. උගතුන් හා බුද්ධිමතුන් අතර පැහැදිලි වෙනසක් තිබේ. අද අපේ රටට උගතුන්ගෙන් නම් හිඟයක් නැත. මේ අතර බුද්ධිමතුන් රට හැර යෑමද තවමත් සිදු වේ. බුද්ධිමතුන් මතු නොව හැකියාවක් තිබේ නම් මේ රටේ සියලු දෙනා මේ වන විට රට අතහැර ගොස් අවසන්ය. නූතන පරම්පරාවට, මේ රට ජීවන ගමනේ අතරමැද නවාතැනක් ගානය. ඔවුන් රට යන්නට අධිෂ්ඨාන කරන්නේ සාමාන්‍ය පෙළ පන්තියට එන්නටත් පෙරය. බුද්ධි ගලනය පාලනය කරන්නට පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ, ඔහු මේ තත්ත්වය තේරුම්ගෙන තිබෙන නිසා බව පැහැදිලිය. ජනාධිපතිවරයාට මේ බුද්ධි ගලනයේ ආදීනව තේරුම් ගන්නට තමාව තමාට උපමා කරගෙන වුවද පුළුවන. ඒ ජනාධිපතිවරයාද ඉතා තීරණාත්මක යුද මෙහෙයුම්වලට නායකත්වය දී නායකත්ව හැකියාව ඇතිව සහ පරිගණක විශේෂඥ දැනුම ඇත්තකු වශයෙන් විදේශගත වීම නිසාය. එතුමාට එදා බලපෑ හේතුවලින් අද අවසන්ව ඇත්තේ යුද්ධය පමණකැයි කීමේ වරදක් නැත.

බුද්ධි ගලනය යනු මේ අද ඊයේ සිට නොව දශක කිහිපයක් තිස්සේ අප රට මුහුණ දී සිටින ප්‍රශ්නයකි. එහෙත් මීට පෙර සිටි රාජ්‍ය නායකයන් බුද්ධි ගලනය වැළැක්වීමට පියවර ගන්නා බවක් ප්‍රකාශ කොට ඇති බවක් වාර්තා වී නැත. එහෙත් ඔවුන් විදෙස්ගත බුද්ධිමතුන්ට යළි මෙරටට එන ලෙස ආරාධනා කළ අවස්ථා තිබේ. එසේ වුවත් මේ ආරාධනාවන්ගෙන්ද පළක් නොවූයේ බුද්ධි ගලනයට හේතුවන කරුණු වෙනස් කරන්නට ඔවුන් පියවර නොගත් බැවිනි.

බුද්ධිමතුන් වේවා, නොවේවා රට හැර යන්නට ප්‍රධානම හේතුවක් නම් සුව පහසු ජීවිතයක් සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමය. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරුන්, නීතිඥයන් වූ අය පවා එතෙර ගොස් ඉඳුල් සෝදන්නට වුව යොමු වන්නේ ඉහළ ආදායමක් වෙනුවෙනි.

කොතරම් උගතකු, බුද්ධිමතකු වුවත් මෙරටදී මොනතරම් ඉහළ රැකියාවක නිරතව සිටියත් නොරටකදී ඉඳුල් පමණක් නොව වැසිකිළි සෝදන්නට වුවත් මැළි නොවීමට තවත් ප්‍රධාන හේතුවක් තිබේ. ඒ රටවලදී රැකියාව අනුව සමාජ තත්ත්වයක් නිර්මාණය නොවීමය.

අපේ බුද්ධිමතුන් පමණක් නොව එතරම් ඉහළ අධ්‍යාපනයක් නොලද අය පවා රට හැර යන්නට පොලඹවන තවත් කාරණයක් නම් තත්ත්වය, තරාතිරම කුමක් වුවත් මානව ගෞරවය නොලැබී යාමය. මේ රටේ බොහෝ තැන්වල දී මානව ගෞරවයට කිසිදු සැලකිල්ලක් නැත. පොලිසිය, රෝහල, පොදු ප්‍රවාහන සේවය වැනි කිසිදු තැනකට යන්නට බොහෝ දෙනකු කැමැති නැත්තේ මේ ස්ථානවලදී ඔවුන්ගේ ආත්ම ගෞරවයට ආත්ම විශ්වාසයට හානි සිදුවන බැවිනි. ඇතැම් තැනකදී එය ආරක්ෂා කර ගැනීම සඳහා අත යට ගනුදෙනු කරන්නට සිදු වේ. මේ ලැජ්ජාසහගත තත්ත්වයට මුහුණ දෙන්නට අකැමැති ඇත්තන් තමන්ගේ පදිංචියට සුදුසු රටක් තෝරා ගන්නට උත්සුක වෙති.

රටේ නීතිය කොතරම් දුරට පිරිහී ඇද්ද යන්න මේ වන විට ඉතා හොඳින් සාක්ෂි සහිතව සනාථ වී තිබේ. ඊට යටින් ඇති දේශපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, රාජ්‍ය පරිපාලනය මේ ආදී සෑම ක්ෂේත්‍රයක්ම රටවැසියාට නිර්මාණය කර දී ඇත්තේ ඉන්න හිතෙන රටක් නොව පැන දුවන්නට හිතෙන රටකි. වැඩිහිටියන් කල්පනා කරන්නේ තමන්ට අත්විඳින්නට සිදුව ඇති මේ ඛේදවාචකයෙන් තමන් නැතත් තම දරුවන් හෝ මුදාගත යුතු බවය. මේ තත්ත්වය වෙනස් කිරීමට ජනතාව වසර පහෙන් පහට උත්සාහ කළත් මේ දක්වා සතුටුවිය හැකි ප්‍රතිඵලයක් අත් වී නැත. අවසානයේ ඒ පිළිබඳවත් කලකිරීමට පත්වන ජනතාව තෝරා ගන්නේ කොහේ හෝ රටක දෙවැනි පුරවැසියන් ලෙස ජීවත් වීමය.

රටේ ජනතාව රට අතහැර යන්නට හේතු වූ කාරණයක් ලෙස යුද්ධයද බැහැර කළ නොහැකි සාධකයකි. යුද්ධය හේතුකොටගෙන වසර තිහක කාලයක් තිස්සේ රට අතහැර ගිය පිරිස කොතෙක්ද? මේ පිරිසට තවමත් නැවත මේ රටට එන්නට තරම් විශ්වාසයක් ගොඩනැගී නැත.

යුද්ධයක් නැති නිසා ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබී ඇතත් උතුර දකුණ භේදයකින් තොරව සමාජ විනය පිරිහීම නිසා මාර්ග අනතුරු, මත්ද්‍රව්‍ය, පාතාල මිනීමැරුම් නිසා මේ සමාජය ජීවත් වන්නට සුදුසු නැති රටක් යැයි කෙනකු තීරණය කරන්නේ නම් එය යුක්ති සහගත නොවේද?

මේ තත්ත්වයන් වෙනස් කොට මේ රට ඇත්තටම ඉන්න හිතෙන රටක් බවට පත් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බවට විවාදයක් නැත. එසේම එක රැයින් කළ හැකි ආශ්චර්යමත් වික්‍රමයක් වන්නේද නැත. මේ සඳහා පළමු පියවර තැබිය යුත්තේ ඒ වික්‍රමය කළ හැකි බවට ජනතාව තුළ විශ්වාසය ගොඩනැංවීමය. දැනට පෙනෙන්නට ඇත්තේ ජනතාවගේ ඒ විශ්වාසය දිනා ගන්නට ජනාධිපතිවරයා සමත් වී ඇති බවය. ඔහුට දැන් ඇති අභියෝගය වන්නේ අවසානය තෙක් ඒ විශ්වාසය රැකගෙන කටයුතු කිරීමය.