විශේෂාංග

යකුන් පලා යන විට ගස් අතු කඩාවැටීමේ රහස

පහතරට ශාන්තිකර්ම අතරට අයත් යක් තොවිල්වල වඩාත් උද්වේගකර අවස්ථා දෙකකි. යක්ෂයා නළුවකු ලෙසින් හෝ ආතුරයා හෙවත් රෝගියාගේ අාරූඪයක් ලෙසින් කරළියට පැමිණෙන අවස්ථා සහ ආතුරයා හැර දමා යක්ෂයා පලායන අවස්ථාව එම අවස්ථා දෙකය. එහෙත් මෙම අවස්ථා දෙකින් වඩාත් විස්මය දනවනුයේ යක්ෂයා පලායන අවස්ථාවය. ඒ එම පලායාම සන්නිවේදනය කෙරෙමින් එම තොවිල්පොළ අද්දර කොස්ගසක අත්තක් මහ හඬින් කඩා වැටෙනා බැවිනි. එම තොවිලයේ ආතුරයාට මෙතෙක් වින කළ යක්ෂයා තමන් පලා යන බවට ලකුණක් වශයෙන් මෙලෙස කොස් ගසක අත්තක් එකවරම කඩා බිම හෙළීම ඒ ආතුරයාගේ මෙන්ම තොවිල්පොළේ සිටිනා කාගේත් ලොමුදැහැගන්වන අවස්ථාවකි. එමෙන්ම දැන් තමන් ඒ යක්ෂ ග්‍රහණයෙන් මිදුණේය යන දැඩි විශ්වාසය මත එම ආතුරයාගේත්, තොවිල් පොළේ සිටින සෙස්සන්ගේත් සිත් තුළට මහත් සැනසුමක් අස්වැසුමක් පිවිසීමද මෙහිදී සිදු වෙයි.

රාත්‍රියේ පෙරයමේ ඇරඹෙන යක් තොවිලයක මෙම උද්වේගකර සංසිද්ධිය අත්දැකීමට සිදුවනුයේ පසුදා අරුණෝදයට කලිනි. කුකුළන් හැඬලීමත්, කපුටන්ගේ හැඬීමත් අතර වන මෙම කාල සීමාව ඇතැම් ප්‍රදේශවල ‘මහ පාන්දර’ යනුවෙන් හැඳින්වෙයි. එම ආතුරයාට වින කරන යක්ෂයා යක් තොවිලයේ දී සබයට පැමිණියද මහ පාන්දරට හෙවත් කුකුළන් හැඬලීමට කලින් එලෙස පලා යන්නේ නැත. ඊට හේතුව එය උන්ගේ ජාමය හෙවත් වෙලාව බැවිනි. කුකුළන් හැඬලීමත් සමග මෙලෙස අමනුෂ්‍ය බලපෑම් තුරන්වන බව ශ්‍රී ලාංකීය ජන විඥානයට පමණක් ආවේණික සිතිවිල්ලක් යැයි ඇතැම් විට ඔබටද හැඟෙනු ඇත. එහෙත් රාත්‍රිය පුරා තම බලය පැතිර වූ අමනුෂ්‍යයන් කුකුළාගේ හැඬලීමත් සමග උන්ගේ අඳුරු ගුහාවලට ගොස් සැඟවෙන බව මහා කවි විලියම් ෂේක්ෂ්පියර් ලියූ ‘හැම්ලට්’ නාටකයේ ද සඳහන් වෙයි.

හිමිදිරි යාමයේ යකුන්ගේ පලායාමත් සමග මෙලෙස අද්භූත ලෙසින් ගස් අතු බිඳී යාමේ සිදුවීමෙන් විස්මයට පත්ව ඇත්තේ අප රටේ ගැමි ජනතාව පමණක් නොවේ, විසිවන සියවසේ මුල් කාර්තුවේ ශ්‍රී ලාංකීය ජන ජීවිතය සියුම් ලෙස ග්‍රහණය කර ගත් ආර්. එල්. බ්‍රෝහියර් විසින් ලියන ලද Discovering Ceylon නම් කෘතියෙහිද එබඳු අත්දැකීමක් මනාව විස්තර කෙරේ.

එහිදී සුමනසිංහ නම් යකැදුරකු විසින් වින්ගා නම් යුවතියකට වද දී තිබූ ‘කළු කුමාර දෝෂය’ සමනය කිරීම පිණිස කළ තොවිලයක් මුල සිට අග දක්වා විචිත්‍රවත් අයුරින් එළිදැක්වෙයි.

කුකුළා හැඬලීමත් සමග එම යුවතියට වැහී සිටි කළු කුමාර යක්ෂයාට ඇය අතහැර යන ලෙස මහ හඬින් නියෝග කරමින් සිටි සුමනසිංහ ‘ලකුණක් පෙන්නපන්’’ කියමින් යක්ෂයාට අණ කළ බවද බ්‍රෝහියර් තම කෘතියෙහි සඳහන් කරයි. ඒ සමගම ඔහු පවසනුයේ රැස්ව සිටි සියල්ලන්ගේ සිත් කලඹමින් පෙරදා රාත්‍රියේ යක්ෂයා බන්ධනය කොට තිබූ කොස් ගසේ විශාල අත්තක් මහ හඬින් කඩා වැටුණු බවය. ඒ සමගම කළු කුමාර යක්ෂයා එම යුවතිය හැර ගිය බව පවසන කතුවරයා ඒ සමගම මෙසේ ද කියයි.

‘‘එම කොස් අත්ත කපා නොමැති බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. එමෙන්ම ඒ ගුප්ත රහස තේරුම් ගැනීමේ හැකියාවක් මා තුළ ද නොවීය.
අප රටේ සිදු කෙරෙන බලි තොවිල් ශාන්තිකර්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. එනම් දෙවිවරුන් උදෙසා පවත්වනු ලබන පුද පූජා, මුල්කොටගත් ‘මඩු’ ආදී ශාන්තිකර්ම, යකුන් පලවා හරිනු පිණිස කරනු ලබන යක් තොවිල් සහ ග්‍රහයන්ගෙන් සිදුවන බලපෑම් දුරලීම් පිණිස කරනු ලබන බලි ශාන්තිකර්ම වශයෙනි.

එහෙත් සූනියම් කැපීම වැනි ශාන්තිකර්ම පිළිබඳ විමසුමේදී ඒවායේ ඉහත සඳහන් ශාන්තිකර්ම සම්බන්ධ සම්මිශ්‍රණ ලක්ෂණ පවතින බව පෙනී යයි. ඒ කෙසේ හෝ අතීතයේ මඩු ශාන්තිකර්ම සඳහා පත්තිනි කපු ආදී වශයෙන් හැඳින්වෙන වෙනම කපු පරම්පරා තිබූ බවට සාක්ෂි තිබේ. එමෙන්ම යක් තොවිල් සඳහා මාතර කේන්ද්‍ර කොටගත් වෙනම ඇදුරු පරම්පරා තිබූ මුත් නූතන සමාජ ආර්ථික පසුතලය යටතේ දැන් ඒවා ‘දියවෙමින්’ තිබේ. එමෙන්ම මීට දශක කීපයක් දක්වා බලි ශාන්තිකර්ම සඳහා ජ්‍යොතිර්වේදය හා සම්මිශ්‍ර වූ වෙනම ඇදුරු පරම්පරාවල් පැවති අතර අද වන විට එම පරම්පරා උරුමයන් සිඳබිඳ ලමින් එම ගුප්ත ශාස්ත්‍රයට පිවිසි බාහිර පුද්ගලයන් නිසා බලි, තොවිල්, ශාන්තිකර්ම විෂය පථය එකම පිළුණු අච්චාරුවක් වී ඇත. ඒ බව අපට නැවත නැවතත් සපථ වනුයේ රූපවාහිනී ආදී විද්‍යුත් මාධ්‍ය හමුවේ ඇදුරන් ලෙසින් පෙනී සිටින සමහරුන් එම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එවරස්ට් කඳු මුදුනේ දුහුවිලි කුණාටු ඇතැයි බඳු ඔල්මොරොන්දම් කතා පවසන බැවිනි.

මෙම විෂය පිළිබඳ හයක් හතරක් නොදන්නා සාමාන්‍ය ජනතාව ඇස් කන් අයා මේවා අසා සිටිති.
ඉහත සඳහන් කළ සාම්ප්‍රදායික ඇදුරන් අතුරින් යක් තොවිල්වල යෙදෙන ඇදුරෝ විනය සහ සංවරය අතින් කිසියම් පසුගාමී තත්ත්වයක් පසු කරති. බොහෝ විට රතු පැහැති දෙනෙත්වලින් සහ හැඩපලු ගෙතුණු කෙස් වැටිවලින් යුතු මොවුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මත්පැනෙහි සහ ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව හිඳින බවක් පෙනෙන්නට තිබේ. බෞද්ධ සාහිත්‍යයේ ‘යකුන් පිළිබඳ පැවසෙන ආටානාටිය සුත්‍රයේ යක්ෂයන් පස් පව්, දස අකුසල්වල යෙදෙන බව පැහැදිලිවම සඳහන් වෙයි. ඒ අනුව ඔවුන් ඇසුරු කරන එම යකැදුරන්ද එම ‘පාප මිත්‍ර සේවනයේ’ අනිටු ප්‍රතිඵල භුක්ති විඳිනවාද විය හැක.
ඒ කෙසේ හෝ මෙම යක් තොවිලය ප්‍රධාන යකැදුරකුගේ නායකත්වය යටතේ සිදු කෙරෙන සාමූහික ක්‍රියාවලියකි. තොවිලයේ කෑම පිසීම සිදු කරන ගබඩා භාරකරුවන් හෙවත් කෝෂ්ටාගාරකරුවන් (කොට්ටෝරුවන්) ඇතුළු තොවිලයේ විවිධ කටයුතු භාරව සිටින හත්අට දෙනකු නැතහොත් දහදොළොස් දෙනෙක් එම තොවිල් කාර්ය මණ්ඩලයට අයත් වෙති.

ඒ අතරට එම කටයුතුවලට ඍජුව සම්බන්ධ නැති තොවිලයේ අත්උදව්කරුවන් වශයෙන් සැලකෙන වයස අවුරුදු දහඅටේ විස්සේ කොලු කුරුට්ටෙක් දෙදෙනෙක්ද ඒ කාර්ය මණ්ඩලයේ ‘වලිගය’ වශයෙන් එල්ලී ඒවාට එක් වෙති.
වර්තමානයේ මෙන් නොව අතිතයේ තොවිලයක් සඳහා ප්‍රධාන ඇදුරාගේ නායකත්වයෙන් යුතු එම තොවිල් කණ්ඩායම දුර බැහැර සිට එම තොවිල්පොළ වෙත පැමිණෙනුයේ එම තොවිලයට දින දෙක තුනකට කලිනි. ඒ තොවිලයේ කටයුතු කල්වේලා ඇතිව සැලසුම් කොට නිසි පරිදි පිළියෙල කර ගනු පිණිසය. එහිදී මා ඉහත කී කොල්ලන් කුරුට්ටන් දෙදෙනාද එම ගම්වාසීන් විසල් කරගත් දෙනෙත්වලින් යුතුව ඒවාට කන් දෙනුයේ එම තොරතුරු කිනම් හෝ ගුප්ත බලයකින් යක්ෂයාට සන්නිවේදනය වූ බව දැඩිව විශ්වාස කර ගනිමිනි. එය ශාන්තිකර්මයේ සාර්ථකත්වයටද මහා රුකුලකි.
යක් තොවිලයක යක්ෂයා පලවාහරින මොහොත අතිශය උද්වේගකරය. එහිදී රාත්‍රිය පුරා නිදි වරා සිටින ආතුරයා, නිවැසියන් සහ අසල්වැසියන් ඒ කෙරෙහි තදින් ආශක්ත වීම අතිශය ස්වභාවිකය. එමෙන්ම පන්දම් ආලෝකය, තියුණු යක්බෙර හඬ සහ තීව්‍ර දුම්මල සුවඳ යන සාධක මත එහි සිටින පිරිස් සරල මෝහන තත්ත්වයකට වුව පත් විය හැක.

සෑම පන්දමකටම අලුතින් තෙල් සහ දුම්මල දමන ලදී. එබැවින් පරිසරය යළිත් මනාව ආලෝකවත් විය. සුමනසිංහගේ හැසිරීම්වලින් පළ වූයේ ඔහු තම අාරූඪයේ උච්ච, තීව්‍ර අවස්ථාවකටම පැමිණ සිටි බවකි. ඔහුගේ වාග් විලාසයද කස පහර මෙන් තියුණු බවක් පළ කළේ ය. ආර්. එල්. බ්‍රෝහියර් තමන් දුටු ශාන්තිකර්මයේ එම අවස්ථාව විස්තර කරනුයේ එලෙසිනි. එහෙත් එම ශාන්තිකර්මයට එක් වූ සියල්ලන්ගේ නෙත් සිත් තදින්ම ඒ හා බැඳීගත් මොහොතේ මා ඉහත සඳහන් කළ කොලු කුරුට්ටන් දෙදෙනා කිසිවකුටත් නොදන්වා අතුරුදන්ව ඇති අයුරු කාගේත් අවධානයට ලක් නොවී තිබීමේ අරුමයක් නැත. දෙදෙනකුට එල්ලී ඉහළට, පහළට පැද්දවීමෙන් පසු කඩා හෙළිය හැකි පොළොවින් අඩි දහයක්, දොළහක් උස කොස් අත්තක් කඩා වැටෙනුයේ ඒ අතරේය. නැතහොත් දෙදෙනකු මහත් වැර වීරිය පාදවලින් තල්ලු කරගෙන සිටියදී කඩා වැටිය හැකි කොස් අත්තක්ද එලෙසින් බිමට කඩා වැටීමට පුළුවන. එමෙන්ම එලෙස අත්ත කඩා වැටෙන හඬ ඇසී ඉතා කෙටි වේලාවක් තුළ ඉහත සඳහන් කොලු කුරුට්ටන් දෙදෙනා සඟවා ගන්නා ලද හතියකින් යුතුව හීන්සීරුවේම විත් නැවත ශාන්තිකර්මයට එක්වීම බොහෝ දෙනාට හසු නොවූ රහසකි.

වරක් යකුන් පලා යන විට මෙලෙස ගස් අතු බිඳීමේ රහස මගේ මිතුරන් පිරිසකට කීවෙමි. ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ද එම පිරිස අතරේ විය.
‘‘මොනවා නැතත් ඒ කතාව නම් පිළිගන්න පුළුවන්.’ මගේ කතාව අැසූ ඔහු සිනාසුණි.
‘‘අපේ ටීවී ප්‍රඩක්ෂන් ටීම්වලත් ඉන්නවා ඔය වයසෙම ඔය ජාතියෙම කොල්ලෝ සෙට් එකක්. උන් කරන සමහර වැඩවලට අපිත් හිරේ විලංගුවේ නොවැටී බේරිලා එන්නේ බොහෝම අමාරුවෙන්.’’ ඔහු කීය.
‘‘අර පත්තරේට ලියු විස්තරේ සීයට සීයක්ම හරි…’’
මීට වසර දහයකට පමණ පෙර මා පුවත්පතකට ලියූ මීට සමාන විස්තරයක් කියැවූ පාඨකයෙක් මට දුරකථනයෙන් ඇමතුමක් දෙමින් කීය.
‘‘ඔහු මාතර, හක්මන ප්‍රදේශයේ විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි.

‘‘අපේ අම්මා ඔය වගේ ඇදුරු පරම්පරාවක ඒ හින්දා ඒ පත්තරේ තිබුණු විස්තරේ සම්පූර්ණයෙන් ඇත්ත බව මාත් සහසුද්දෙන්ම දන්නවා, හැබැයි ඒ කියන කොල්ලෝ දැන් නැහැ. උන් හිටියේ මීට අවුරුදු පනහකට විතර කලින්. අනතුරුව හෙතෙම කීය.
‘‘අනේ කොහොම වුණත් මම කැමැතියි ඒ වගේ කොල්ලෙකුට කතා කරන්න. ඒ ගැන අත්දැකීම් ටිකක් දැන ගන්න.’’ විශ්‍රාමික විදුහල්පතිවරයාගේ කතාවෙන් ඇති වූ බලවත් උනන්දුවෙන් ඇළලී යමින් මම කීවෙමි. එවිට ඔහු මට දුන්නේ මෙවැනි පිළිතුරකි.
‘‘ඕනේ දෙයක් අහන්න. මේ කතා කරන්නෙත් ඒ කොල්ලෙක් තමයි.’’

තිලක් සේනාසිංහ