විශේෂාංග

යකාගේ කෑම තමන්ගේ කරගත් මීගමු වැසියෝ

මීගමු වැසියන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් මීට දශක තුන හතරක කාලය දක්වාම විවිධ කතාබහ පැවතුණි. ඔවුන්ගේ එම ආහාර රටාව සම්බන්ධයෙන් ඇතැම් ගම්මානවල සිංහල බොදු ජනතාව වෙතින් පළවූයේ බිය මුසු අප්‍රසාදයකි. එකම ආහාර වේලක් සඳහා දිය මස්, ගොඩ මස් යන දෙවර්ගයම ගැනීම, රාත්‍රී කාලයේ පවා පුළුටු වර්ග ආහාරයට ගැනීම, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, විනාකිරි වැනි ගිනියම් ආහාර, අසීමාන්තිකව ආහාරයට ගැනීම ඒ බිය මුසු අප්‍රසාදයට හේතු විය.

මූලික බුදු දහමට අයත් නොවුණ ද බලි, තොවිල්, ශාන්තිකර්ම දේශීය බෞද්ධ සංස්කෘතිය තුළ මුල් බැසගෙන දැනට වසර දහස් ගණනකි. එහි දැක්වෙන අන්දමට යක්ෂ, ප්‍රේතාදීන් සඳහා දෙනු ලබන දොළ පිදේනි සඳහා දිය මස්, ගොඩ මස් සහ පුළුටු එක් කර ගත යුතුය. ඒ අනුව යක්ෂයන් ප්‍රේතයන් සඳහා කැප වූ එම ආහාර වර්ග දෙකක් එකම ආහාර වේලක් සඳහා එක් කර ගැනීමට සිංහල බෞද්ධ ගැමියෝ බිය වූහ. ඊට හේතුව එවන් ආහාර රටාවක් මගින් ඒවාට ලොල් වඩන එම අමනුෂ්‍යයන්ගේ බැල්ම තමන් සහ තම නිවෙස් වෙතට ද යොමු විය හැකි බවට ඔවුන් තුළ පැවැති විශ්වාසයයි.

එමෙන්ම ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, විනාකිරි, තක්කාලි වැනි ආහාර යමකුගේ ශරීර සුවතාව සඳහා පදනම් වන ආහාර වට්ටෝරුවෙන් බැහැරින් බැහැර කළ යුතු බවට එවක සිංහල වෙද මහත්වරු රෝගින්ට තරයේම අවවාද කළහ. එහෙත් මීගමු වැසියන් තුළ ඒ සම්බන්ධයෙන් ද කිසිදු වග විභාගයක් නොමැති වූ විට රට ඇතුළත ගම්බද වැසියන් විසින් එය විවේචනය කරන ලද්දේ ‘‘මීගමුව පැත්තේ මිනිස්සු කිසිම අණක් ගුණක් නැතුව යක්කුන්ගේ කෑමනේ කන්නේ’’ යනුවෙනි. මෙම අදහස ගම්පහ ආසන්නයේ පිහිටි අපගේ ගම්මාන තුළ ද එකල මනාව ස්ථාපිත වී තිබිණි.

එබැවින් මීගමු වැසියන් විසින් අනුගමනය කරන ලද මෙම යක්ෂ ආහාර රටාව පිළිබඳව විමසුමක් කරනු පිණිස මම පසුගිය දිනවල මීගමු පුරවරය ආශ්‍රිත වැල්ලවීදිය, කාමච්චෝඩේ, තලාදූව, දූව පිටිපන ආදී ප්‍රදේශ කිහිපයක සංචාරය කළෙමි.

මීගමු වැසියන්ගේ මෙම ‘‘යක්ෂ ආහාර’’ රටාව මීගමුව කේන්ද්‍ර කොට පැවැතියද හලාවත සිට හැඳල දක්වා වන ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ආසන්නයේ ධීවර වෘත්තිය මුල් කොට ගත් කතෝලික ජනතාව අතර එහි විවිධ අංග භාවිත වන බව පළමුව අවධාරණය කර ගත හැකි විය.

මීගමුව යනු පෘතුගීසි සහ ඕලන්ද යන ජාතීන් ගේ සෘජු පාලන බලයට තතු වූ ප්‍රදේශයකි. 1523 පෘතුගීසීන් මීගමුවේ බළකොටුවක් තනා ගත් අතර 1644 වසරේ මීගමුවේ බලය ලන්දේසීන් අතට පත්වීමත් සමග එහි ඕලන්ද බළකොටුව තැනිණ. මීගමු වැසියන්ගේ මෙම ‘‘යකාගේ ආහාර’’ රටාවට එම යටත්විජිත බලපෑමද යම් තරමකට හෝ ඉවහල් වන්නට ඇත.

‘‘මීගමු මූදේ මාළුන්ගේ තියෙන විශේෂ ගුණය රස අනික් පළාත්වල මාළුන්ගේ නැහැ.’’ මෙම චාරිකාවේ දී මීගමුව, කාමච්චෝඩේ දී හමුවූ පාරම්පරික ධීවරයකු වන ෆ්‍රැන්සිස් මොරායස් මහතා කීය. මීගමු ආහාර සංස්කෘතියේ ප්‍රධාන තැන මුහුදු මාළුවලට හිමි වන බැවින් මම ඔහුගේ කතාවට හොඳින් සවන් දුන්නෙමි.

‘‘මීගමුව වටේ මූද එච්චර ගැඹුරු නැහැ. ඒ හින්දා රළ පහර වේගවත්, එතකොට මුහුදු පතුලේ එකතු වෙන රොන් මඩ වගේ දේවල් හැම තිස්සේම ගොඩට ගහගෙන ඇවිත් මූදු පතුල පිරිසිදු වෙනවා. ඒක මාළු රස වෙන්න ප්‍රධාන හේතුවක් වගේම මූදෙ නොගැඹුරු බව හින්දා මූදු පතුලටම හොඳට ඉර එළිය වැටෙනවා. ඒකෙන් මාළුන්ගේ කෑමත් බහුල වෙනවා. අනික මීගමු මූදෙ වතුරවල ලුණු රසයත් තරමක් වැඩි හින්දා මාළුන්ගේ මසටත් ඒ ලුණු ගතිය කැවිලා තියෙනවා’’

මොරායස් මහතාගේ එම ප්‍රකාශය පිළිබඳ විද්‍යාත්මක විමසුමකට යාමෙන් මෙම ලිපියේ ‘‘ගමන් මග’’ වෙනස් විය හැකි බැවින් මම ඉන්පසු මීගමු වැසියන් මාළු ආහාරයට ගැනීම පිළිබඳව තොරතුරු විමසීමට පටන් ගත්තෙමි.

මීගමුවෙන් ගොඩ දාන හැම මාළුවෙක්ම මීගමු මාළුවෙක් නෙවෙයි. මොකද මීගමුවෙන් මූදු යන සමහර බෝට්ටු මාසෙ හමාර මහමූදේ නතර වෙලා මාලදිවයින මැඩගස්කරේ පැත්තෙනුත් මාළු ගේනවා. ඉතින් ඒවා මීගමු මාළු නෙවෙයිනේ. නමුත් පාරම්පරිකව අපි උයන්න පිහන්න ගන්නේ එදා උදේ හරි කලින් දවසේ රෑ හරි අල්ලන මීගමු මූදේ මාළු විතරයි.’’ මීගමු වැල්ල වීදියේ දී හමුවූ කත්‍රිනා ප්‍රනාන්දු මහත්මිය මා හා එසේ කීවාය.

‘‘ඉස්සර අපේ අම්මල අයිස් දමපු මාළු ගෙදර පැත්ත පළාතට ගන්නේ නැහැ. ඒ වගේම පරණ වුණු, අයිස් දමපු මාළු දැක්ක හැටිය කියන්න ඒ අයට පුළුවන් වුණා කොහොමත් අල්ලලා පැය දොළහක්වත් යන්න කලින් ළිපේ තියන්න පුළුවන් නම් තමයි අපේ අම්මල මාළු ගෙදරට ගත්තේ. අදත් මේ පළාත්වල සමහරු ඉන්නවා. ඒ සිරිත ඒ විදිහටම අනුගමනය කරන ඇය වැඩිදුරටත් එසේ කීවාය.

ඉන්පසුව මම ඇඟට පතට නොදැනී මීගමු වැසියන්ගේ යකාගේ ආහාර රටාව පිළිබඳවද ඇගෙන් විමසා සිටියෙමි. එවිට ඇය කීවේ මීගමු ප්‍රදේශයේ ඇති මාළු බහුලත්වය සහ ආහාර පිණිස සපයා ගත හැකි වෙනත් ද්‍රව්‍යවල හිඟතාව මත එක් බත් පතක් සඳහා කිහිප ආකාරයකින් මාළු පිළියෙල කිරීම මීගමු වැසියන්ට අතීතයේ සිටම අරුමයක් නොවූ බවය.

එමෙන්ම එක් එක් මාළු වර්ගයේ ස්වභාවය අනුව ඒවා පිසීම සඳහා වන විවිධ ක්‍රම පිළිබඳවද පැරණි මීගමු කාන්තාවන් දැන සිටි බව ඇය කීවාය. ඒ අනුව සාමාන්‍යයෙන් අප මාළු පිසින ‘‘කිරට’’ ‘‘මිරිසට’’ යන ක්‍රම දෙකට අමතරව කුම්බලාවන් වැනි මාළු වර්ග තියුණු පිහියකින් පලා තෙළෙන් තැම්බීමක් පිළිබඳවද ඇය කීවාය. එසේ තියුණු පිහියකින් මාළුවා මත ඉරි ඇඳීම ඔවුන් හඳුන්වන්නේ ‘‘කේඳි ඇදීම’’ යනුවෙනි. එසේ සකස් කර ගන්නා මාළුවා අබ, ගම්මිරිස්, කහකුඩු සහ විනාකිරි මිශ්‍රණයක බහා තබා රම්පෙ, කරපිංචා, ලුණු සහිත පොල්තෙල් තෙම්පරාදුවකින් තම්බා ගැනීමෙන් බත් පත සඳහා වන වෙනම ව්‍යංජනයක් ලෙස සකසා ගත හැක.

1940 වසරේ ජනවාරි 13දා පිහිටුවනු ලැබූ මීගමුව නගර සභා ලාංඡනයේ කකුළුවාගේ රූපයක්ද දක්නට ලැබේ. ඇතැම් විට යම් පළාත් පාලන ආයතනයක ලාංඡනයක් සඳහා ආහාර පිණිස ගනු ලබන සතකුගේ රූපයක් සටහන් වන්නේ නම් ඒ මීගමුවේ පමණක් විය යුතුය. ඊට හේතුව අතීතයේ සිට මීගමුව ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ආදී මුහුදු ආහාර සම්බන්ධ සුවිසල් ප්‍රසිද්ධියක් ලබා තිබීමය. මීගමුවෙන් ලබා ගත හැකි කකුළු විශේෂ අතර දියෙහි සේම ගොඩබිමද සැරිසැරිය හැකි දිය සෙවෙලේ පැහැයේ කලපු කකුළුවන් විශේෂයක්ද ඇත. ඉස්සර මීගමු ගෙවල්වල් ජාඩි මුට්ටිය වැරදුණේම නැහැ. මෙම සංචාරයේ දී හමුවූ මීගමු  දූවේ පාරම්පරික ධීවරයකු වන ෆ්‍රැන්සිස් එමානුවෙල් ප්‍රනාන්දු මහතා කීය.

‘‘ඒ කාලේ අද වගේ ශීතකරණ නොතිබුණු හින්දා මාළු බහුල කාලෙට ඒවයින් කොටසක් ජාඩි දැම්මා. මාළු අරගෙන හොඳට කපලා හෝදලා ඒ මාළු මැටි මුට්ටියක ලුණු කැට, ගොරකා තට්ටු අතරේ තැන්පත් කරලා හුළං නොවදින්න තව හට්ටියකින් වහලා මාසයකින් හමාරකින් ගත්තාම ඒවා හොඳට ජාඩි වෙලා. හැබැයි හුළං වැදුණොත් පණුවො ගහන හින්දා සමහරු ඒ මූඩිය හුඹස් මැටිවලින් වහලා තමයි දුම්මැස්සේ තිබ්බේ. ඔය ජාඩි කොච්චි වගේ දේවල් දාල රස කර ගත්තම වෙන මුකුත් නැතුවත් ‘‘බත් මරන්න’’ පුළුවන්. ඒ වගේම කොස්, දෙල් වගේ දේවල් කන්නත් පංකාදු පහයි’’ හෙතෙම කීය.

මෙවන් පසුබිමක් යටතේ අපගේ රට ඇතුළත පිටිසර ගම්බද ජනතාව යක්ෂයන්ගේ ආහාර වශයෙන් හඳුන්වනු ලැබූ මුහුදු ආහාර විවිධාංගීකරණය සම්බන්ධ මීට වසර එකසිය දෙකක් පැරණි ස්මාරකයක් අදටත් මීගමුව කාමච්චෝඩේ ප්‍රදේශයේ දක්නට ලැබේ. ඒ The Negombo Fish market 1917 යනුවෙන් පිවිසුම් දොරටුවේ ඉහළින් සඳහන් ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදි කරන ලද පැරණි මාළු වෙළෙඳසලයි. මේ වන විට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළ හැකි මෙම ගොඩනැගිල්ල මුල් කොට ධීවර ජන කෞතුකාගාරයක් තැනවීම කෙරෙහි මීගමුව මහ නගර සභා, බස්නාහිර පළාත් සභා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන්ගේ අවධානය යොමු වීම අතිශය වැදගත්ය.

මස් මාංශ යන සිංහල වදනෙන් මස් යන්නෙන් මසුන් හෙවත් මාළු යන්න හැඟවෙන අතර මාංශ යනුවෙන් ගොඩබිම සතුන්ගේ මාංශ පිළිබඳව ඇඟවේ. දේශීය ගැමි වහරෙහි දිය මස් – ගොඩමස් යනුවෙන් හැඳින්වෙනුයේද මේ දෙවර්ගයයි.

සාමාන්‍යයෙන් නත්තල් උත්සවය මුල් කොට ලොව පුරා වැඩිපුරම භාවිත වනුයේ කළුකුන් මස්ය. එහෙත් මීගමුවේ සාම්ප්‍රදායික ආහාර රටාව අනුව එහි වැසියන් තම නත්තල් කෑම මේසයේ කළුකුමාට හිමි තැන අත් කර දී ඇත්තේ ඌරාටය. නත්තල වෙනුවෙන් සේම ප්‍රදේශයේ දේවස්ථාන මංගල්‍යය වෙනුවෙන් විවාහ මංගල්‍යයන් ඇතුළු සියලු උත්සව සාද වෙනුවෙන් මීගමු යක්ෂ ආහාර රටාව අනුගමනය කරන ජනයා ඌරු මසක් පිළියෙල නොකළහොත් එය ලෝක පුදුමයකි.

පිටපළාතකින් මීගමුවේ ගෙදරකට එන කෙනෙකුට ඌරු මස් ටිකක් එක්ක බත් කටක් කන්න නොදුන්නොත් ඒක ඒ ගෙදර අයගේ වගේම අමුත්තාගේ හිතටත් මදිකමක්. ඒ වගේම ඌරු මස් කැපීමේ ඉඳලා ඉවීම දක්වාම මීගමුවට ආවේණික වෙනම ක්‍රම තිබුණා. එසේ කීයේ චාරිකාවේ දී මීගමු පිටිපන දී හමුවූ කුරුකුලසූරිය විනිෆ්‍රීඩා ප්‍රනාන්දු මහත්මියයි.

සෙසු ප්‍රදේශවල පිටිසරබද ගැමියන් පවසන අන්දමට දියමස්, ගොඩමස් පුළුටු ආදී යක්ෂයන්ට දෙන දොල පිදේනි සඳහා ගනු ලබන ආහාර අනුභවයෙන් මීගමු වැසියන්ට කිනම් හෝ ගුප්ත බලපෑමක් කෙසේ වෙතත් එමගින් ඔවුන් තුළ යම් මානසික බිඳ වැටීමක් සිදුවිය හැකිද? යන්න පිළිබඳව මම ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතාගෙන් විමසා සිටියෙමි.

‘‘ඕක සංස්කෘතික විශ්වාස මත පදනම් වුණු කාරණයක්. දිය මස්, ගොඩමස්, පුළුටු ආහාරයට ගත්තම යක්ෂ බැල්ම වැටෙනවා කියන විශ්වාසය හිතේ දරාගෙන ඉන්න කෙනෙකුට ඒ වගේ ආහාරයකින් පස්සේ මානසික ගැටුමක් (Conflict) වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ විශ්වාසයක් හිතේ නැත්නම් ඒ මුකුත්ම නැහැ’’ ඔහු කීය.

ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, විනාකිරි, ජාඩි වගේ දේවල්වලින් අසාත්මිකතා බහුලවම ඇති වෙන්නේ ඒ ආහාර රටාවට සෘජුවම අනුගත නොවුණු අයට. නමුත් කවුරුන් හෝ පුංචි කාලේ ඉඳන්ම ඒ ආහාර රටාවට අනුගත වෙලා ඉන්නවා නම් ඒ අයගේ ශරීර ව්‍යුහයන් ඒ ආහාරවලට විසංවේදීකරණය (desensitization) වෙනවා. එතකොට අසාත්මිකතාවන් ඇතිවීම හුඟක් දුරට අඩුයි.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ළමා රෝග සහ අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා කීය.
අනික ඔය ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ වැනි ආහාර ගැනීමෙන් අසාත්මිකතා ලක්ෂණ ඇතිවෙන්නේ ඒවායේ නිපදවෙන හිස්ටමීන් (histamine) කියන රසායනිකය නිසයි. නමුත් ඒවායේ ඒ රසායනිකය උත්පාදනය වෙන්නේ ඒ මාළු වර්ග පරණ වෙනකොට. ඒ හින්ද අලුත් මාළු ආහාරයට ගැනීමෙන් ඒ අවදානම පිටු දකින්න පුළුවන්.’’
ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තිලක් සේනාසිංහ