කතුවැකි

යක්ෂයා සමග නොව දෙවියන් සමග නත්තල සමරමු

අද ලොව පුරා කිතුනුවෝ ජේසු සමිඳාණන්ගේ උපත සමරති. අදින් වසර 2019 කට පෙර උන්වහන්සේ උපත ලැබුවේ ලෝකයට සාමයේ පණිවුඩය රැගෙනය. මේ දිනය සැලකෙන්නේ දෙවියන් මිනිසත් බව ලැබූ දිනය වශයෙනි. උන්වහන්සේගේ කෙටි ජීවිත කාලය තුළ ලෝකයාට පෙන්වා දුන්නේ ඒ දිව්‍යමය ගුණය තමන් තුළ වගා කර ගන්නා අන්දමය. සතුරාටත් ප්‍රේම කරන්නැයි උන්වහන්සේ දේශනා කළේ මේ නිසාය. උන්වහන්සේ ජාති, කුල ආගම් හෝ දේශ සීමා භේදයකින් තොරව සමස්ත මනුෂ්‍ය වර්ගයාට අසීමිතව ආදරය කළහ. අවසානයේ ඒ වෙනුවෙන් සිය ජීවිතය පූජා කළහ.

ක්‍රිස්තුස් වහන්සේගේ සමස්ත දේශනාවන්හි තිබූ හරය මේ ජීවිත පූජාව තුළ ගැබ් වී තිබුණේ යැයි කිව හැකිය. උන්වහන්සේගේ ඉගැන්වීම්වල වටිනාකම තීව්‍ර කළේ යැයි කිව හැකිය. මන්ද යත් උන්වහන්සේ සිය ජීවිත පරිත්‍යාගය කළේ තමන් වෙනුවෙන් නොව සමස්ත ලෝකයාම වෙනුවෙන් වන බැවිනි. එසේ වුවත් අප තවමත් ඒ උතුම් පරිත්‍යාගයට නියම වටිනාකම ලබා දී තිබේද යන්න විමසා බැලීමට අද ඉතාමත් සුදුසු දිනයකි.

ලොව පුරා කිතුනුවෝ සිය ජීවිත කාලය පුරාම ජේසු සමිඳාණන් සිහි කරති. උන්වහන්සේට ගරු බුහුමන් දක්වති. වසරකට වරක් එළැඹෙන නත්තල් දිනයේ වඩාත් බැති සිතින් එතුමන් සිහි කරති. කා බී විනෝද වෙති. එහෙත් ඒ පමණින් උන්වහන්සේගේ දහම අප පිළිපදින්නේ හෝ ඒ අනුව ජීවත් වන්නේ යැයි කිව හැකිද?

ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට ගෙන ආවේ සාමයේ පණිවුඩයයි. ඒ පණිවුඩය ලොව පුරා පැතිරවීමේ ආයුධය වූයේ ප්‍රේමයයි. නමුත් උන්වහන්සේ අපට ඉගැන්වූ ආකාරයට සතුරාටත් ප්‍රේම කරනවා තබා අපේ මිතුරාටවත් අප ප්‍රේම කරන්නේද? මිනිසකු තවත් මිනිසකුට ප්‍රේම කරන්නේ ඉන් තමන්ට යම් වාසියක් සැලසෙන්නේ නම් පමණය. ඇත්තෙන්ම එය ප්‍රේමයක් නොව ගනුදෙනුවක් පමණකි. මේ නිසා රට රටවල් අතර ගැටුම්ය. රටවල් අභ්‍යන්තරයේ ගැටුම්ය. ජාතීන් අතර සේම ආගම් අතර ගැටුම්ය. පවුල් පවුල් අතර මෙන්ම පවුල් අභ්‍යන්තරයේ ගැටුම්ය. මේ සියලු ගැටුම්වලට සමාජ, දේශපාලන, ආර්ථික හෝ කුමන හේතුවක් සඳහන් විය හැකි වුවත් ඒ සියල්ලේ මූලය ආත්මාර්ථය නොවේද? අප තමන් හැර අනෙකාට වටිනාකමක් ඇතැයි පිළිනොගැනීම නොවේද?

පෞද්ගලික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා පවතින ගැටුම් නිසා වර්තමානයේ ‘සාමය’ මිල අධිකම වැඩිම ඉල්ලුමක් ඇති අවශ්‍යතාව වී තිබේ. අප ඒ වෙනුවෙන් බොහෝ දේ කරන්නෙමු. ඒ වෙනුවෙන් විවිධාකාරයේ සංකල්ප, න්‍යාය බිහිකර ඇත්තෙමු.

ඒවා ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණ, සංවාද පවත්වන්නෙමු. ගම් මට්ටමේ සමථ මණ්ඩලයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වා සංවිධාන පිහිටුවාගෙන ඇත්තෙමු. ඇතැමකු ආයුධ අතට ගන්නේද සාමය වෙනුවෙනි! මේ සියල්ල කළත් ලෝකයට සාමය උදා වී නැත. කවදා උදා වන්නේ දැයි කීමටද නොහැකිය. එසේ වුවත් අප ජේසු සමිඳාණන්ගේ මග පෙන්වීම අනුව ලෝකයට සාමය උදාකර ගැනීමට කල්පනා කරන්නේ නැත. නමුත් අපි උන්වහන්සේගේ අනුගාමිකයන් යැයි කියමු.

මේ ගැටුම් නිසා අප අපටත්, ලෝකයටත් සිදු කරගන්නා විනාශය කොතෙක්ද? ලොව පුරා කොතෙක් නම් අහිංසක ජනතාවකට මේ නිසා සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුව තිබේද? පසුගිය අප්‍රේල් 21 දා මීගමුව කටුවපිටියේදී අප අත්වින්දේ එවන් අවස්ථාවක් නොවේද? මේ නත්තල, කටුවපිටිය ජනතාවගේ ජීවිතයේ එළඹුණු අඳුරුතම, දුක්ඛදායකම නත්තල බවට පත්ව තිබෙන්නේ කාගේ වරදින්ද?

කෙසේ වුවත් කටුවපිටියේ ඛේදවාචකය තුළින් අපට සනාථ කෙරෙන වැදගත් කාරණයක් තිබේ. ජේසු සමිඳාණන්ගේ ඉගැන්වීම් බොහෝ දෙනකු නොතකා හැර ඇතත් තවමත් එහි ජීව ගුණය මුළුමනින්ම වියැකී ගොස් නැති බවය.

තමන්ට කොතරම් බිහිසුණු විපතකට මුහුණ දෙන්නට සිදු වුවත්, ඒ ජනතාව ඊට ප්‍රතිචාර දැක්වූයේ ඉතාමත් සන්සුන්වය. ඔවුන් ඇසට ඇසක්, දතට දතක් ඉල්ලා සිටියේ නැත. ඔවුන් මිනිසා තුළ සිටින යක්ෂයාට ජය ගන්නට ඉඩ තැබුවේ නැත. කටුවපිටියේ ජනතාවට මේ උපේක්ෂාව ලැබුණේ කොතැනින්ද? ජේසු සමිඳාණන්ගේ ඉගැන්වීමෙනි. ඔබගේ එක් කම්මුලකට පහර දුන් විට අනිත් කම්මුලත් පාන්නැයි උන්වහන්සේ දේශනා කොට ඇත්තාහ. කටුවපිටියේ ජනතාව අප්‍රේල් 21 දා සිද්ධියෙන් පසු කටයුතු කළේ ඒ ඉගැන්වීමේ සාරගුණය අනුවය.

ජේසු සමිඳාණන්ගේ ඉගැන්වීම්, දහම අදටත් නොනැසී පවතින්නේ මෙවන් මිනිසුන් නිසාවෙනි. දෙවියන් දකින්නේ මෙවැනි මිනිසුන්ය. නත්තලේ සැබෑ උරුමකරුවන් වන්නේ එවැනි මිනිසුන්ය.

එසේම කටුවාපිටියේ බෝම්බය පුපුරවා සිය ගණනක් අහිංසක බැතිමතුන්ද, දුවාදරුවන්ද මරා දමා ස්වර්ග රාජ්‍යයට ගොස් කන්‍යාවියන්ගේ පහස පතන්නට සිතූ ඇත්තන්ට කිව යුත්තේ කුමක්ද?

ජේසු සමිඳාණන් තමන් කුරුසයේ තබා ඇණ ගසද්දී එයට තීන්දුව දුන්නා වූද ඇණ ගැසුවා වූද, අය දෙස බලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ අයැදීම ඉතා කාලෝචිතය.

දෙව් පියාණෙනි, මොවුන්ට අනුකම්පා කළ මැනව. මක් නිසාද යත් මොවුන් කරන්නා වූ දේ මොවුන්ම නොදන්නා බැවිනි.