කතුවැකි

මෝස්තර නැති සුබ අලුත් අවුරුද්දක් වේවා

ලෙඩ, දුක්, කරදර, විපත් සිදුවූ විට සිත සනසා ගැනීමට පන්සලට යාම බෞද්ධයාගේ සිරිත වී තිබිණි. එහෙත් කොවිඩ් – 19 වෛරසය පැතිරෙන විට ඒ දුක නිවා ගන්නට පන්සලට යාම අැවතක් බවට පත් වී තිබේ. එබැවින් මේ වසංගතයෙන් බිඳුණු සිත් සනසා ගන්නට පන්සලට යාම නොකළ යුතුවූ එකම ඓතිහාසික පොහොය ලෙස මේ බක් පොහොය ඉතිහාස ගත වෙයි.

බක් පොහොය සේම 2020 සිංහල අවුරුද්ද ඉතිහාස ගත වන්නේය. ඒ සිංහලයාගේ බක්මහ වසන්තය මේ වසංගතය නිසා සපුරා අහිමි වී යාමය. මේ අවුරුද්දේ කැවිලි පෙවිලි තැනීමට තෙල් වළං ළිප තැබෙන්නේ නැත. එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවායි කියන හිස තෙල් ගෑමද සිද්ධ නොවේ. බිත්තිවල සුදු පිරියම් කිරීමක් නැත. ඒ වෙනුවට රූපවාහිනී ප්‍රවෘත්තිවල ඇත්තේ සුදු කොඩි නැති අවමංගල්‍යයන්ය. සෞඛ්‍ය බලධාරීන් නිතර දෙන උපදෙස වූ ඈතින් හිඳීම හොඳම අවුරුදු චාරිත්‍රය ලෙස පිළිගන්නට සිදුව තිබේ. ඒ නිසා අසල්වැසි ගෙදරට යවන කිරිබත් කැවිලි පිඟානද මෙවර ගෙවල් අතරට යන්නේ නැත. අභ්‍යවකාශයේ සිද්ධ වෙන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යාමෙන් අවුරුදු උදාවෙන බව පිළිගැනීමය. මේ අවුරුද්ද ලබන්නට ඔන්න මෙන්න කියා ආරංචි වූයේ කොවිඩ් – 19 වෛරසය උල්කාපාතයක් ගෙනා එකකැයි විද්‍යාඥයන් පරීක්ෂා කර නිගමනයකට එන්න හදන බවය. කොවිඩ් – 19 උල්කාපාතයකින් ගෙනාවත්, සිවුපාවකු ගෙනාවත් විද්‍යාඥයන් ඒ හමුවේ අසරණය.
මෙබඳු තත්ත්වයක් යටතේ අපට අලුත් අවුරුදු කන්නට බැරිද?

මේ තියෙන තත්ත්වය යටතේ අපට අවුරුද්ද යැයි කියා අහිමි වන්නේ මොනවාද? සුවහසක් වෙළෙඳ දැන්වීම් මුල් කරගත් මෝස්තරකාරී වෙළෙඳ සවාරි අහිමි වෙයි. ජීවිතේට චීත්ත ගවුමක්වත් ඇන්දේ නැති, ඩෙනිම අඳින කාන්තාවෝ චීත්ත රෙද්දක් පටලාගෙන දෑත් නගා ආයුබෝවන් කියන සුපර් මාර්කට් දර්ශනය සිංහලයාට අහිමි වෙයි. හෙළ සිරිතය කියා නාකින්ට සූප්පුවේ කිරි පෙවීම, බැලුම් බෝල බඩේ තද කරගෙන බැලුම් ඩාන්ස් තිබෙන, හිනා යන, ලැජ්ජා දැනෙන අවුරුදු උත්සව අහිමි වෙයි.

අවුරුද්දට ඉතාලියේ හෝ කොරියාවේ හිඳ පැමිණ පිටස්තරයන් සේ කල් ගෙවන පවුල්වල ඇත්තෝ සිංහල අවුරුද්දට ගේ දොර වසා දමා සැළලිහිණි වසන්තය නම් නුවරඑළියේ වසංගත උත්සවවලට යන අවස්ථාව අහිමි වෙයි.

මේවායින් තොර සිංහල අවුරුද්දක් තිබේ. එය ගෙදර ඇත්තන්ගේ බැඳීම ඇති කරන සරල වූත්, චාම් වූත් චාරිත්‍ර වාරිත්‍රය. ඒ තුළින් ඇතිවන ගමේ, රටේ එකමුතුවය. සමස්ත ජාතියේම ගෙවල්වල එකම මොහොතක වැඩ නවතා, එකම මොහොතක ළිප ගිනි දල්වා එකම ආහාරයක් පිස, එකම වේලාවක අනුභව කර ජාතියම එකම තීන්දුවක, ඒකමතිකව සතුටෙන් බැඳී සිටීමට ඇඳිරි නීතිය කවර බාධාවක්ද? කොරෝනා කවර බාධාවක්ද? අවුරුද්ද එන්නේ එකම හැඟීමකින් බැඳීමේ සතුට ගෙන ඒමටය.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!