කතුවැකි

මෝදිට නැති ගෝඨාට ඇති චෝදනා

පසුගිය දිනවල ඉන්දියාවේ දිල්ලි නුවර පුරා පැතිර ගිය ජාතිවාදී ගිනි දැල්වල රස්නය ​මේ වන විට තරමක් අඩුවී තිබේ. එසේ වුවත් ඊයේ (01 වැනිදා) දහවල් වන විට මේ නිසා අහිමිව තිබූ ජීවිත සංඛ්‍යාව 40කට අධිකය. දිල්ලියේ හින්දු හා මුස්ලිම් ජනතාවගේ කෝටි ගණනක දේපළවලට හානි සිදුව තිබිණ. පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ඉන්දියාව පැවතියේ කොයි මොහොතක හෝ පුපුරා ගැලීමට නියමිත ගිනි කන්දක ස්වභාවයෙනි. නරේන්ද්‍ර මෝදි රජය විසින් හඳුන්වාදුන් පුරවැසි පනතට එරෙහිව එරට සෑම ප්‍රාන්තයකම පාහේ විරෝධතා පැවැති අතර මෙහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ මැදිහත්වීම කැපීපෙනුණු ලක්ෂණයකි. දින කිහිපයකට පෙර දිල්ලියෙන් පුපුරා ගියේ මාස කිහිපයක සිට රට තුළ ඇතිව තිබූ උණුසුම් තත්ත්වය බව කිව හැකිය.

නමුත් පුදුමයට කාරණය නම් ජීවිත හතළිහක් බිලිගෙන ඇති කෝටි ප්‍රකෝටි ගණනක දේපළ අහිමි කළ මේ ජාතිවාදී ගැටුම් ලෝකයේ කිසිදු මානව හිමිකම් සංවිධානයක අවධානයට ලක්ව නොතිබීමය. දිල්ලියේ ගැටුම් නිසා ඇතිවූ භීතිය තවමත් එහි ජනතාවගෙන් තුරන්ව ගොස් නැත. මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ගෙන දියත් වූ මෙම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඊයේ දිනයේත් විරෝධතාවන් සංවිධානය කොට තිබිණ.

ඉන්දියාවේ මේ තරම් බරපතළ ජාතිවාදී ගැටුම් තත්ත්වයක් ඇතිවූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සංචාරයක යෙදී සිටියදීය. එහෙත් ඇමරිකාව හෝ ඇමරිකාවේ හිතමිතුරු රටවලින් හෝ ඔවුන්ගේ අනුග්‍රහය ලබන ජාත්‍යන්තර සංවිධාන කිසිවක් මේ දක්වා මෙම ගැටුම් ගැන කටේ කෙළ බිඳක් බිම හෙළා නැත. ඒ ගැන අප විමතියට පත් වන්නේ අප රටේ සුළු ගැටුමක් ඇතිවූ විටෙක පවා ඒ ගැන මේ රටවල හා සංවිධානවල හදවත වෙඬරු පිඩක් මෙන් උණු වී යන නිසාය. 2018 වසරේ පෞද්ගලික හේතුවක් මුල්කරගෙන මහනුවර දිගන ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් ජනතාව අතර ගැටුමක් හටගත් අවස්ථාවේ මේ ජාත්‍යන්තර සංවිධාන කටයුතු කළේ ඒ ආකාරයෙනි.

මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරයට මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැෂලෙට් ඉදිරිපත් කළ වාර්තාව මගින්ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සැක පහළ කර තිබිණ. ඇය ඉන් කියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුළ යළිත් වරක් මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවදානමක් ඇති බවය.

එසේ වුවත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා ලත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි රජය යටතේ ඉන්දියාව තුළ එවැනි අවධානමක් ඇතැයි ඇය කියන්නේ නැත. දිල්ලියේ ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් කිසිවකුට සෘජුව චෝදනා නොකරන ඇය සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වය වළක්වා ගන්නා ලෙස පමණය.

වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි – ගුජරාටයේ ප්‍රාන්ත අමාත්‍ය ධුරයට පත්වන්නේ 2001 වසරේදීය. ඉන් වසරක් යන්නට පෙර 2002 වසරේ ගුජරාටයේ ජාතිවාදී ගිනි දැල් ඇවිළී යන්නට පටන් ගත් අතර මෙම ගැටුම් මාස තුනක පමණ කාලයක් පැවතියේය. ගැටුම් නිමාවන විට නිල සංඛ්‍යා ලේඛනවලට අනුව එක්දහස් හතළිස් හතර දෙනකු (1044) මියගොස්, දෙසිය විසිතුන් දෙනකු (223) අතුරුදන්ව ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව දෙදහස් පන්සියයකට (2500) අධික විය. මියගිය පිරිසෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන්ය. නිල නොවන වාර්තාවලට අනුව මියගිය සංඛ්‍යාව දෙදහසද ඉක්මවා තිබේ.

මෙම ගැටුම් සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වූයේ මහ ඇමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදිටය. එරට තුළ ඔහු මේ චෝදනාවන්ට නිවැරදිකරු වුවත් – ඇමරිකාව ඔහුට එරෙහිව සංචාරක තහනමක් පැනවීමට පවා පියවර ගත්තේය. වර්තමානයේ මෙරට හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුළුවීමට තහනම් කළ ආකාරයට මෝදිට එරෙහිව පැනවූ මෙම තහනම ඉවත් කෙරුණේ ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පසුවය.

මෙතරම් චෝදනා ලත් නරේන්ද්‍ර මෝදි අගමැති පදවියට පත්වන විට ඔහු යටතේ ඉන්දියාවේ සුළු ජාතීන් හිරිහැරයට පත්වනු ඇතැයි මානව හිමිකම් කොමිසමේ හෝ කිසිදු සංවිධානයක් අනතුරු ඇඟවූ බවක් අපට මතක නැත. නරේන්ද්‍ර මෝදි ආර්ථික වශයෙන් ඉන්දියාව දියුණු කරමින් සිටියත්, රට තුළ ඔහුට නැගෙන බරපතළම චෝදනාව නම් ඔහු සුළු ජාතීන් නොසලකා හරින්නේය යන කාරණාවයි. කාශ්මීරයට තිබූ පරිපාලන බලතල කප්පාදුව එහි අන්තර්ජාල පහසුකම් සීමා කිරීම, ප්‍රකට පුරවැසි පනත ඊට ඇති නිදසුන්ය.

ලෝකයේ අයිතිකරු යැයි සිතන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක පැමිණියේ මානව හිමිකම් කඩවන බවට මේ අන්දමේ බරපතළ චෝදනා එල්ල වී තිබෙන ඉන්දියාවටය. මෝදි රජය ඇමරිකානු ජනාධිපතිවරයාට අතිවිශාල පිළිගැනීමක් සූදානම් කර තිබුණේය. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් සංකේතවත් වන්නේ ඇමරිකාව ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය සැලකිල්ලට නොගන්නා බව නොවේද? එසේ වන්නේ ඇමරිකාව කාගේවත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන නිසා නොව ඉන්දීය සාගරයේ තම ආධිපත්‍ය රැක ගැනීමේ ඔවුන්ගේ ඉත්තා ඉන්දියාව වන නිසාය.

අතීතයේ ඇමරිකාවට ඉන්දිය සාගරයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණේ නැත. එවකට චීනය ලෝක ආර්ථික බලවතෙකු නොසිටි බැවිනි.

හෙට දිනයේ ශ්‍රී ලංකා ආණ්ඩුව චීන හිතමිතුරුකම් අතහැර ඇමරිකාවේ සරණ යන්නට තීරණය කළොත් එතැන් සිට අප රටට එරෙහිව නැගෙන මානව හිමිකම් චෝදනා වාෂ්ප වී යන්නට පටන් ගනු ඇත.