විශේෂාංග

මොකක්ද මේ වෝහාරික විගණනය

වෝහාරික විගණනය යන වචනයක් මේ දිනවල නිතර අසන්නට ලැබේ. ඒ පාර්ලිමේන්තුවේ වූ කතාබහකින් පසුවය. භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව සභාගත කරන ලෙස කථානායකවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලීමක් කර තිබුණි. කථානායකවරයා මුලින් කියා සිටියේ එය අධිකරණයේ දැනට විභාග වන නඩුවකට අදාළ ලේඛනයක් හෙයින් සභාගත කළ නොහැකි බවය. එහෙත් පසුව කරු ජයසූරිය මෙම වෝහාරික විගණන වාර්තාවේ පිටපත් මහජන නියෝජිතයන්ට ලැබෙන්නට සැලැස්වීය.

මහජන නියෝජිතයන් අතට පත් වූ වෝහාරික විගණනයේ අන්තර්ගතය කෙසේ වෙතත් එයින් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන පැහැදිලි කරගැනීම වැදගත්ය. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට දිනපතාම පාහේ රටට වැදගත්වන පර් යේෂණ, සමීක්ෂණ හා අධ්‍යයන වාර්තා ලැබේ. විගණන තොරතුරු හා වාර්ෂික වාර්තා පිටපත් කර පුද්ගලිකව ලැබෙන්නට සලස්වයි. මේවා කියවන පිරිස් අතලොස්සකි. පාර්ලිමේන්තු විවාදයක දී රටට වැදගත්වන කරුණු පැත්තකින් තබා පුද්ගලික අහුමුලු ගැන කතා කරන්නේ එම දුර්වලතාව හේතු කරගෙනය. තමන්ට කියවන්ට හෝ අධ්‍යයනය කරන්නට වෙලාවක් නැති බව මැති ඇමතිවරු කියන කතාවකි. එහෙත් ජනතා මුදලින් වැටුප් ගෙවන පර් යේෂණ නිලධාරියෙකු ද පත් කරගැනීමට ඔවුන්ට හැකිය. එම නිලධාරියාගෙන් සේවය ගෙන පාර්ලිමේන්තුවට ලැබෙන දැනුම ජනතාව අතට පත් නොවන හේතුව ප්‍රශ්න කළ යුතුය.

එය අතුරු කාරණාවකි. වෝහාරික විගණනයේ පසුබිම එයට වඩා ප්‍රධාන තැනක් ගනී.

වෝහාරික විගණනය ගැන ජාත්‍යන්තරයෙන් අදහසක්

වෝහාරික විගණනය ඉතා සූක්ෂම වෘත්තීයවේ දී කටයුත්තකි. එවැනි විගණනයක් සඳහා විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් අවශ්‍ය බව නිර්වචනය කර තිබේ. මූල්‍ය රක්ෂණ, තෙල් හා ගෑස්, නිෂ්පාදන සහ සෞඛ්‍ය යනාදී ඉතාම බලවත් අංශ වල තිබෙන අක්‍රමිකතා ගැන පරීක්ෂාකාරීව කටයුතු කිරීමට වෝහාරික විගණනය යොදාගැනේ. එසේ කරනු ලබන විගණන අධිකරණය පිළිගන්නා අතර ඒවායේ උපුටන කිසිම ප්‍රශ්න කිරීමකට යටත් නොවීම ද විශේෂත්වයකි.

ලෝකයේ ප්‍රධාන පෙළේ වෝහාරික විගණන සමාගම් හතරක් අලුත්ම ශ්‍රේණිගත කිරීම් වලට ඇතුළත්ය. මෙයින් සමහර සමාගම්වල නම් මෙරට ජනතාවට ද හුරු බව දැක්විය යුතුය. එයට හේතුව මෙම සමාගම් වල ශාඛා මෙරට ක්‍රියාත්මක වීමයි. ප්‍රයිස් ඇන්ඩ් වෝටර්කූපර් හවුස් ප්‍රධානම තැනක් උසුලයි. 1998 දී නැවත සංවිධානගත වූ බව දක්වන මෙම සමාගම ලෝකයේ රටවල් 158ක ශාඛා 721 ක් නඩත්තු කරයි. වෘත්තීය විගණකයෝ දෙලක්ෂ පනස් දහසකට වඩා සේවය කරති. 2018 වසරේ ඔවුන්ගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 41.3 ඉක්මවා ඇත. ඩිලොයිට් යන බ්‍රිතාන්‍ය සමාගම දෙවැනි තැන ගෙන තිබේ. 1845 දී ඇරඹුණ සමාගමේ මූලස්ථානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇත. ලක්ෂ තුනක විශේෂඥ පිරිසක් සේවය කරන අතර පසුගිය වසරේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 46.2 කි. අර්නස්ට් ඇන්ඩ් යං විගණන ආයතනයේ මූලස්ථානය ද ඇත්තේ බ්‍රිතාන්‍යයේය. රටවල් 150 ක ශාඛා 700 කි. 1939 දී ඇරඹුණු බව ඉතිහාසය දක්වයි. කේ.පී.එම්.ජී. සමාගම නෙදර්ලන්තයේ මූලස්ථානය පිහිටි අතර රටවල් 154 ක කටයුතු මෙහෙයවයි. මූල්‍ය, බදු හා වෙනත් උපදේශන අංශයන් හි විගණන විශේෂඥයන් සේ සැලකේ.

මෙකී සමාගම් ඇතුළුව ලොව පුරා වෝහාරික විගණනයෙහි නිරත සමාගම් ලැයිස්තුව දිග එකක් වන අතර එම සමාගම් උපයන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 11.4 ක් බව පසුගිය වසරේ වාර්තා පෙන්වයි. මෙම ආදායම වසරක් පාසා සියයට 5.8කින් වර්ධනය වන අතර වෝහාරික විගණනය කොපමණ අවශ්‍ය ද යන්න පමණක් නොව වංචා හා දූෂණ මැඩ පැවැත්වීම වෙනුවෙන් විගණන සඳහා ගෙවන පිරිවැය කොපමණ බරපතල ද යන්න මෙයින් පෙන්වයි.

වෝහාරික විගණනයේ දී දත්ත ගැන සොයා බැලේ. ඒවා විශ්ලේෂණය කරන අතර සමහර ගැඹුරු ගිණුම් ක්‍රමවේද අනුගමනය කරයි. විශේෂ අවස්ථාවල දී එකවරක් පමණක් නොව සමහර බහුජාතික සමාගම් සිය සමාගම් වල කටයුතු වරින් වර වෝහාරික විගණනයන්ට යටත් කෙරේ. හරස් දත්ත විශ්ලේෂණය හා එමගින් අල්ලස් හෝ දූෂණ වලට සාක්ෂි තිබේදැයි පරීක්ෂා කිරීමට මෙම අංශ වලට දියුණු දැනුමක් ඇත.

රජයේ විගණකාධිපතිවරයා වෝහාරිකයෙන් අසමත්
කෙසේ නමුදු වෝහාරික විගණනය යන වචනය මෑත කාලයේ දී කරළියට ආවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලද ජනාධිපති කොමිසමේ යම් නිර්දේශයන් සමගය. 2015-16 කාල වකවානුවේ සිදුවූ බව කියන මෙම බැඳුම්කර වංචාව ගැන පමණක් නොව එයින් ඈතටද විහිද යන පරිදි වෝහාරික විගණනයක් කළ යුතු බව එම කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය. ඒ අනුව,
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිටි දේශමාන්‍ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියේය. එයට ලැබුණ අනුමැතිය අනුව ටෙන්ඩර් කැඳවන ලදුව බී.ඩී.ඕ ඉන්දියා සහ කේ.පී.එම්.ජී. සමාගම අවස්ථාව දිනා ගත්තේය. මෙකී වෝහාරික විගණනය වෙනුවෙන් රුපියල් මිලියන 250ක් කැබිනට් මණ්ඩලය අනුමත කළේය. බැඳුම්කර සිද්ධිය කාල වකවානුවේ දුරකතන වලට සවන් දීම ඒවා ලිඛිත සටහන්වලට ගැනීම යනා දී අතිරේක වියදම් ද සහිතව එය රුපියල් මිලියන 300 ක් දක්වා විය හැකි බව ප්‍රකාශ විය. පරීක්ෂණ හයක් පවත්වන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයට යටත් සේවක අර්ථසාධක අරමුදලේ මෙහෙයුම් 1997 වසරේ සිට සිට සොයා බැලීම ද එයට අයත්ය.
මහ බැංකු අධිපතිවරයා මෙකී වෝහාරික විගණනය රජයේ විගණන දෙපාර්තමේන්තුවට කළ හැකි දැයි පළමුවෙන් සොයා බලා තිබේ. සිය දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් සම්පත් නැති බවත් අවශ්‍ය සම්පූර්ණ සහාය දිය හැකි බව විගණකාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. මහ බැංකු බැඳුම්කර ගැන මෙරට ඉතිහාසයේ පළමු වතාවට වෝහාරික විගණනයක් සිදුකරන තීරණයට එළැඹෙන්නේ එයින් අනතුරුවය. පසුගිය රජය ස්වාධීන විගණන පනතක් සම්මත කරන ලද අතර පාර්ලිමේන්තුවට වගකියන පුළුල් බලතල සහිත රජයේ විගණකාධිපතිවරයාට ද පරීක්ෂා කිරීමට නොහැකි තරම් වෝහාරික විගණනය සංකීර්ණ බව පෙන්වා දිය යුතුව තිබේ.

මහබැංකුවේ බැඳුම්කර වංචාව ගැන යමක්

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු අලුත් මහ බැංකු අධිපතිවරයෙක් පත් කරනු ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ උපත ලැබූ අර්ජුන් මහේන්ද්‍රන්ය. ඔහු බැංකු හා මූල්‍ය ප්‍රධානියෙකි. සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා ගෙන සිටි අයෙකි. වෙනත් රටක පුරවැසියෙකු මහ බැංකුවේ අධිපතිධුරයට පත් කිරීම ගැන රට තුළ විරෝධයක් පැන නැගුණ නමුත් එවකට තිබුණ ආණ්ඩුව එය අවධානයට ගත්තේ නැත. එම පත්කිරීම සිදුවන විට ද ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන අර්ජුන ඇලෝසියස් ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එහි ලියාපදිංචි බැඳුම්කර මිල දී ගන්නා සමාගමක්ව තිබුණි.

ඥාතීත්වය සහ මහබැංකු අධිපතිවරයාගේ බලතල හෙයින් මෙම සමාගම බැඳුම්කර වෙන්දේසි අවස්ථාවල අභ්‍යන්තර තොරතුරු ලැබුණ බවට මතයක් ඇත. එය දැනට අධිකරණයේ පවතින නඩුවකි. මේ සිද්ධියට මුල් වූ සුප්‍රකට වෙන්දේසියේ දී එක දිනක් තුළ රජයට අවශ්‍ය බැඳුම්කර මුදල් ප්‍රමාණය ඉක්මවා හදිසි මිල දී ගැනීමක් සිදුවී ඇත. එම මුදල් සැපයුම වෙනුවෙන් අධි පොලී අනුපාතයක් නියම කර තිබේ. සමහර අවස්ථාවල මහා බැංකුවේ පාලනයට යටත් රු. ට්‍රිලියන 2.2 ක වත්කම් සහිත සේවක අර්ථසාධක අරමුදල පවා බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් වෙන්නේ නැත. එහි දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මුදල් ඉල්ලුම හා සැපයුම පාලනය කළ හැකි වූ අතර අවශ්‍ය කරන ධනය පවා රහිතව වෙන්දේසියෙන් බැඳුම්කර මිල දී ගෙන ඇති බව කියැවේ.

2015 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන එකක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් ප්‍රකාශයට පත් කළ අතර එයට ගෙවන්නට නියමිතව තිබුණ පොලී අනුපාතකිය සියයට 9.5 කි. තිස් අවුරුද්දකින් කල් පිරෙන බැඳුම්කරයකි. එකී විශේෂ බැඳුම්කරයට අධි ඉල්ලුමක් වාර්තා විය. ගැනුම්කරුවන් තිස් හයදෙනෙකු ඉල්ලා සිටි මුදල රුපියල් බිලියන විස්සක් විය. අධි ඉල්ලුමක් පවතින විට අඩුම පොලී අනුපාතය ඇති ඉල්ලුම්කරුවන්ට බැඳුම්කර නිකුත් කෙරේ. එම අඩු පොලී අනුපාතය සහිත රුපියල් මිලියන සියයක පමණ කොටස බාරගෙන තව දුරටත් මුදල් අවශ්‍ය නම් දෙවැනි නිකුත් කිරීමකට යා හැකිව තිබිය දී ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලුම් පත් කැඳවන ලද රුපියල් බිලියනයක මුදල දහ ගුණයකින් වැඩි කර තිබේ. වඩාත් බරපතල කාරණයනම් එම අති විශාල බැඳුම්කරය වෙනුවෙන් සියයට 9.5-12 අතර වාර්ෂික පොලියක් ගෙවන්නට එකඟවීමයි. එම ණය බැඳුම්කර ගනුදෙනුව මගින් 2016 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ පර්ෆචුවෙල් ට්‍රෙෂරීස් ලිමිටඩ් උපයාගෙන ඇති ලාභය රුපියල් බිලියන 5.1 ක් බව අනාවරණය විය. මූල්‍ය විශේෂඥයන්ගේ ගණන් ගැනීම අනුව මෙම අනාවරණය කර ඇති ලාභය එයට වඩා දෙගුණයක් එනම් බිලියන දහයක් විය හැකිය. එයට කලින් අවුරුද්දේ දී උපයාගත් ලාභය මෙන් හාරසිය තිස් ගුණයක් ලාභ උපයන්නට මෙම බැඳුම්කර නිකුත් කිරීමට සම්බන්ධ වන පර්ෆචුවෙල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමත්ව ඇති බව අනාවරණය වූ කරුණකි. මෙය වරදක් ද නැද්ද යන්න සහ එය සිදුවූ ආකාරය ගැන ඉතා සූක්ෂමව සොයා ගැනීම වගකිවයුතු අංශ මුහුණ පෑ ගැටලුවයි.

වරද හොයන්නට මහන්සි වූ තරම

යහපාලන ආණ්ඩුව මුල සිටම මෙම බැඳුම්කර සිද්ධිය වංචාවක් නොවන බවට ස්ථාවරයක සිටියේය. පසුව අගමැති රනිල් හා ජනාධිපති මෛත්‍රී අතර විරසකය ලියලන විට මේවායේ අභ්‍යන්තරය එළියට පැමිණියේය. ආණ්ඩුව කමිටුවක් පත් කර ගැටලුව විමසා බැලූ අතර එය එපමණ වරදක් නොවන බව දැක්විණ. කෝප් වාර්තාව ද ඉදිරියට පැමිණියේය. ජනාධිපති කොමිසමක් පත් කරන ලද අතර එහි අනාවරණය වන කරුණු අලලා නඩු පවරන්නට නීතිපතිවරයා පියවර ගත්තේය. මහ බැංකුව පර්පෙවුවල් ට්‍රෙෂරීස් අසාදු ලේඛන ගත කළ අතර සමාගමේ ප්‍රධානීන්, මහ බැංකුවේ ඉහළම නිලධාරීන් හා අවශේෂ පුද්ගලයන් දෙන සාක්ෂි වලින් කියැවුණේ අති විශාල මුදල් පිරිනමමින් තමන්ට හිතවත් පැලැන්තියක් නඩත්තු කරගෙන දැවැන්ත ජාවාරමක් කරගෙන ගිය බවය.

වෝහාරික විගණනය අනුව 1997 වසරේ සිට මෙරට බැඳුම්කර වෙන්දේසි වූ ආකාරය සොයා බලා තිබේ. ඉදිරිපත් වූ ලංසු සහ තීරණ ගත් ආකාරය නිරීක්ෂණය කර ඇත. සමාගම් ඇතුළත් වූ ආකාරය හා රජයේ ණය ගැනීමේ ක්‍රියාවලිය විනිවිද දකින විශේෂ මෙහෙයුමක් කර තිබේ. විශේෂයෙන් රජයට අයත් ආයතන වල ධනය භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය වූ ආකාරය සහ පුද්ගලික අංශය ණය ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වූ ආකාරය විමර්ශනය කර ඇත. හුදෙක් සම්ප්‍රදායික ඉලක්කම් අනුව පමණක් නොව විශේෂිත හරස් දත්ත විගණනය කර තිබේ. මෑත කාලීන තොරතුරු ගවේෂණයට දුරකතන සාක්ෂි විමර්ශනය කර ඇත. හදිසියේ ණය ඉල්ලුම වැඩි කරන තීරණයක් ගෙන එයට ලැ​ෙබන ප්‍රතිචාර අනුව තමන්ට හිතවත් සමාගම්වලට බිල්පත් වෙන්දේසි කරන ලද්දේ දැයි විමර්ශනය කර තිබේ. පොදු ජනතාව රජයේ ණය ගැනීමේ ක්‍රියාවලිය ගැන දන්නේ නැත. නිතිපතා ඉංග්‍රීසි හා සිංහල පුවත්පත් වල බිල්පත් හා බැඳුම්කර වෙන්දේසිය ගැන දැන්වීම් පළ කරයි. ජීවන වියදමෙන් බැට කමින් දිනපතා වැඩට එන්නට මහා වෙහෙසක් ගන්නා පොදු ජනතාවට බැඳුම්කරයේ වෙන්නේ කුමක්දැයි සොයන්නට ඉස්පාසුවක් නොවීය. දැනුමක් හෝ අවබෝධයක් ද නොතිබුණි. ශූර හා කපටි ව්‍යවසායකයෝ එය අවස්ථාවක් කරගත් අතර මහා වංචාවකට මග පාදාගත්තේය. ආර්ථික විශේෂඥයන් දක්වන පරිදි මෙම වංචාවේ පීඩනය වසර තිහක් දක්වා මෙරට ආර්ථිකය පීඩාවට පත්කරනු ඇත. වෝහාරික විගණනය මගින් කරුණු සොයා ගත හැකිය. සිදුවූ දෙය ඉඟි කරනු ඇත. එහෙත් රටට හා ජන සමාජයට එකතු වූ හානිය බරපතලය. එය ආපහු කැඳවිය හැකිද?.

ජී. කේ. ජී. සරත්